හතේ පොතට කලින් , ළමයි ඉන්න අයට

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    දරුවා සමඟ ලිංගික අධ්‍යාපනය ගැන කතා බහ කරන්නේ කෙසේද?
    අම්මා තාත්තා ගෙන් නිවරදි ලිංගික අධ්‍යාපනයක් දරුවාට නොලැබුනහොත් දරුවා ඒ සම්බන්ධ අතාත්වික හෝ ගුණාත්මක බවක් නොමැති දැනුමක් මිතුරන්ගෙන්, නොගැලපෙන පුද්ගලයන්ගෙන්, රූපවාහිනියෙන් බාල කසිකබල් චිත්‍රපටි වලින්, පත්තර වලින් හෝ අන්තර්ජාලයෙන් ලබා ගනු ඇති.
    අප ඉපදී හැදී වැඩෙන ලාංකික සමාජයේ සදාචාරය සහ සංස්කෘතියට අනුව ලිංගිකත්වය කියන්නේ දෙමාපියන් සහ දරුවන් අතර නොව වැඩිහිටියන් වැඩිහිටියන් අතරවත් විවෘතව කතා නොකරන මාතෘකාවක් .

    පහුගිය දින කිහිපය තුළ අම්මලා කිහිපදෙනෙක් විසින්ම මගෙන් පෞද්ගලිකව මේ ලිංගික අධ්‍යාපනය කාරණය ගැන විමසූ නිසාම මම තීරණය කරා මෙවර විශේෂාංග ලිපිය සඳහා “දරුවා සහ ලිංගික අධ්‍යාපනය “ කියන මාතෘකාව තෝරා ගන්න.



    1.දෙමාපියන් විසින් දරුවන්ට ලිංගික අධ්‍යාපනය ක් ලබා දිය යුතු ද?
    අත්‍යාවශ්‍යයෙන්ම ඔවු.
    අපි හැදුනු වැඩුනු වසර විසි තිස් ගණනක අතීතයට වඩා අද සමාජය බෙහෙවින් වෙනස් වෙලා, ”බබාලා ගෙනත් දෙන්නේ සුරංගනාවියන් “ යැයි විශ්වාස කරන දරුවන් තවත් නැහැ. ඔවුන් නවීන තාක්ෂණය හරහා මුළු ලෝකයම හා අසුරු සැනින් සම්බන්ධ වීමට තරම් දැනුමක් ඇති ලොකු පොඩ්ඩන් වෙලා.
    ගේ ඇතුලේ දරුවා මොනතරම් ආරක්ෂා කරගෙන හිටියත් ඔවුන්ව සමාජයට මුදාහරින්න අවස්ථාවක් එනවා, ඒ මොහොත වෙන විට ඔවුන් අවශ්‍ය දැනුමෙන් පරිපූර්ණ වෙලා නොහිටියොත්, ඔවුන් ඒ දැනුම ලබා ගන්නේ බාහිර සමාජයෙන්. එසේ ලබා ගන්නා දැනුමේ ගුණාත්මක භාවය ගැන වගකිව හැක්කේ කාට ද?
    සරලවම කියනවා නම් අම්මා තාත්තා ගෙන් නිවරදි ලිංගික අධ්‍යාපනයක් දරුවාට නොලැබුනහොත් දරුවා එම දැනුම මිතුරන්ගෙන්, නොගැලපෙන පුද්ගලයන්ගෙන්, රූපවාහිනියෙන් බාල කසිකබල් චිත්‍රපටි වලින්, පත්තර වලින් හෝ අන්තර්ජාලයෙන් ලබා ගනු ඇති.
    ඒ තත්වය වළක්වලා නිවරදි දැනුම නිවරදි ආකාරයට ලබාදීම වැදගත් නිසා තමයි මේ කාර්යය දෙමවුපියන්ට නිවසේදීම ඇරඹීමට සිදුවෙලා තියෙන්නේ .

    දරුවාට නිවැරදි ලිංගික අධ්‍යාපනය ක් ලබා දීමේ වාසි.
    🌸
    දරුවා කුඩා කළ සිටම තම ශරීරය ගැන ඉගෙන ගන්නවා.
    🌸
    තමන්ගේ සිරුරට වගේම අනෙත් අයගේ සිරුරටත් ,ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව සියලුම මිනිසුන්ටත් ගරු කිරීමට ඉගෙන ගන්නවා.
    🌸
    යහපත්,හොඳ සම්බන්ධතා පිළිබඳ හැඟීමක් ඇති කරගන්නවා.
    🌸
    ලිංගික අපයෝජනයන්ගෙන් ආරක්ෂා වීමට ඉගෙන ගන්නවා.
    🌸
    නොගැලපෙන මාධ්‍ය වලින් විකෘති තොරතුරු රැස් කිරීමට ඇති ඉඩකඩ අවම වෙනවා.
    🌸
    අනාරක්ෂිත ලිංගික සබඳතා වලට යොමුවීම, කුඩා වයසෙන් ගැබ් ගැනීම වැනි දේ අවම කර ගන්න පුළුවන් .
    🌸
    ලිංගාශ්‍රිත ව බෝවන රෝග වලින් දරුවා ආරක්ෂා කරගන්න පුළුවන් .
    ⭕️
    දරුවාට ලිංගික අධ්‍යාපනය ලබා දීම ආරම්භ කළ හැක්කේ කුමන වයසින් ද?
    ඔබ කියන දේ දරුවාට වැටහෙන්න පටන් ගත් වහාම ඔබට මෙය ආරම්භ කරන්න පුලුවන් .
    පුලුවන් තරම් කළින් පටන් ගන්නා තරමට ක්‍රමානුකූලව අවශ්‍ය දැනුම ඔබේ දරුවාට ලබා දීම පහසුයි.
    මේ සදහා සූදානම් වීමේදී ඔබ මුලින්ම කළ යුතු දේ
    මව පියා හෝ රැකබලාගන්නා ලෙස ඔබ මුලින්ම නිවැරදි දැනුමෙන් පෝෂණය වෙන්න.
    උදා:- මොනතරම් නවීන තාක්ෂණය සහ විද්‍යාවෙන් දියුණු සමාජයක අපි හිටියත්, තවමත් පියාගේ හෝ පිරිමි පාර්ශවයේ ඇදුම් වලින්, එකම වැසිකිළිය භාවිතා කිරීම තුළින් ගැබ් ගැනීමක් සිදුවිය හැකි බව සිතන අම්මලා ඉන්නවා, ඒ අපිට නිවැරදි සහ ක්‍රමානුකූල ලිංගික අධ්‍යාපනයක් නොලැබුණු නිසා.
    ඉතින් ඔබගේ දරුවන්ට නිවැරදි දැනුම ලබා දීමට මුලින්ම ඔබ ඒ පිළිබඳ නිවැරදි දැනුම එක් රැස් කරගන්න. මිත්‍යා මත දුරු කරගන්න.
    මේ සදහා ඔබට,
    දරුවන් සදහා ලිංගික අධ්‍යාපනය ලබා දීම සම්බන්ධව ලියවුනු පොතපත, සඟරා, වෙබ් අඩවි ආදිය උපකාර කරගන්න පුළුවන්.
    ඒ සම්බන්ධව විශේෂිත දැනුම ඇති පුද්ගලයින්ගෙන් උදා- ඔබේ පවුලේ වෛද්‍යවරයා, පාසලේ ගුරුවරයා වැනි අයගෙන් අවශ්‍ය දැනුම හා උපදෙස් ලබා ගන්න.
    ⭕️
    වයස් කාණ්ඩ වලදී අපි කොහොමද දරුවන්ට මෙම දැනුම ලබා දෙන්නේ කියලා.
    🌸
    වයස 0-2 අතර කාලය
    දරුවා ජීවිතය ආරම්භ කළ මුල්ම අවධිය. ගවේෂණාත්මක කාලය.
    මේ කාලය තුළ ඔබ දරුවාට ඔහුගේ ශරීර අවයව පිළිබඳ කියා දෙන්න.
    එහිදී ලිංගික අවයව පිළිබඳ විශේෂ අවධානයක් යොමු කිරීමට හෝ හඳුන්වා නොදී මඟහැර යාමට උත්සාහ කරන්න එපා.
    ශරීරයේ සමහර අංග වලට නමක් තිබීමත්, සමහර අංග වලට නමක් නොතිබීමත් දරුවන්ට ගැටලු සහගත වෙන්න පුලුවන් .
    දරුවාගේ වයසට ගැලපෙන වචනයක් භාවිතා කරමින් ලිංගික අවයව දරුවාට හදුන්වා දෙන්න.මෙහීදී වඩාත්ම වැදගත් දේ දරුවාගේ වයසට ගැලපෙන සභ්‍ය වචන සහ භාෂාවක් භාවිතා කිරීම.
    මේ වයසේ දරුවන් තුළ දකින්න පුළුවන් දෙයක් තමයි තමන්ගේ ලිංගික අවයව පිරිමැදීම හෝ ඇල්ලීම, ඒවා සමඟ සෙල්ලම් කිරීම.
    බොහෝ අම්මාවරු මේ ගැන බිය වෙනවා. ඒක හරිම සාමාන්‍ය දෙයක්. ඔබේ දරුවා රෝගී දරුවෙකු නොවේ නම්, සාමාන්‍ය ක්‍රියාකාරීත්වයක් ඇති නිරෝගී දරුවෙක් නම්, එය හරිම සාමාන්‍ය දෙයක්. දරුවා තමන්ගේ ශරීරය ගැන ඉගෙනුමට පටන් අරගෙනයි තියෙන්නේ.
    එවැනි දෙයක් දුටු විට අනවශ්‍ය තරම් කලබල නොවිය යුතුයි. දරුවා ලැජ්ජාවට පත් කිරීම ද කිසිසේත් නොකල යුතුයි. එය නුසුදුසු බව හෙමින් දරුවාට කියාදෙන්න.
    දරුවාට වයස අවුරුදු 2 පමණ වෙද්දී ගැහැණු සහ පිරිමි වෙන්කර හදුනා ගැනීමේ හැකියාව ඇති වෙනවා, එනම් පුද්ගලයෙක් බාහිරෙන් දුටු විට ඔහු/ඇය ගැහැණියක්ද, පිරිමියෙක් ද යන්න මේ වන විට දරුවාට තේරුම් ගන්න පුලුවන්. මේ වයස වෙද්දී පෞද්ගලිකත්වය පිළිබඳ හැඟීමක් දරුවට තවම ඇති වෙලා නැහැ.
    🌸
    ලිංගික අධ්‍යාපනය: වයස අවුරුදු 3- 6 කාලය
    මේ වයස හඳුන්වන්නේ විශ්මයානුකූල ආකාරයට හිතන්නන්ගේ (magical thinkers ) වයස කියලා .
    මේ වයසේ දරුවෙක් තමන් වටේ තිබෙන සියළු දේ ගැනම අවසන් නොවන කුතුහලයකින් යුතු වෙනවා. හැම දෙයක් ගැනම ප්‍රශ්න රාශියක් හිතේ තියෙනවා. අහනවා.
    දරුවා ගැහැණු සහ පිරිමි බාහිරෙන් වෙන් කරලා හදුනා ගන්නවා වගේම ගැහැණු සහ පිරිමින්ගේ ශරීර අවයවවල වෙනසක් ඇති බවත් මේ වයසේදී අවබෝධ කරගන්නවා.
    විවාහය, දරුවන් ලැබීම වැනි දෑ ගැන දාහක් ප්‍රශ්න මේ කාලයේදී දරුවාට ඇති වෙනවා.
    මේ වයසේදී බොහෝ දරුවන් විවාහය, දරුවන් හැදීම, නිරුවත, ගැහැණු පිරිමි අයගේ අවයවවල වෙනස වැනි දේ පිළිබඳ ප්‍රශ්න කරන අතරම තමන්ගේ ලිංගික අවයව පරීක්ෂා කර බැලීම වගේම විරුද්ධ පාර්ශවයේ දරුවන්ගේ ලිංගික අවයව පරීක්ෂා කර බැලීමද කිරීමට පෙළඹෙනවා.
    ඒ වගේම මේ වයසේදී විරුද්ධ පාර්ශ්වය ගැන විශාල උනන්දුවක් ඇති වෙනවා, බොහෝ දුරට හොදම යාළුවා විරුද්ධ පාර්ශ්විකයෙක්. ඔහුට/ඇයට ආදරය කරන බවත් ඔහු/ඇය සමඟ විවාහ වෙන බවත් දරුවන් හදන බවත් බොහෝ දරුවන් පවසනවා.
    විරුද්ධ පාර්ශවයේ ඇදුම් ඇදීමට ,ඒ ආකාරයට හැසිරීමට මෙම වයසේ දරුවන් බොහෝම කැමැත්තක් දක්වනවා.
    මේ හැම දෙයක්ම හරිම සාමාන්‍ය යි. ඔබේ දරුවා මෙවැනි දේ කරනවා නම්, කියනවා නම් එයින් හැඟෙන්නේ ඒ දරුවා නියමිත ලෙස වර්ධනය වෙන නිරෝගී දරුවෙක් බවයි.
    එවැනි අවස්ථාවක කලබල නොවී, දරුවව ලජ්ජාවට පත් නොකර, දරුවාට දඬුවම් නොකර සූක්ෂම ලෙස දරුවාට නිවරදි දෙය වටහා දෙන්න.
    ඒ කිසිදු ප්‍රශ්නයක් මඟහැර යන්න හෝ බැහැර කරන්න එපා,එවිට දරුවා තවදුරටත් ඔබගෙන් ප්‍රශ්න නොවසාවි. එවිට දරුවා නොදන්නා දේ ඉගෙන ගන්නේ කොහොමද?
    ඒ ප්‍රශ්නවලට ලබා දියහැකි හොදම සහ සත්‍යම පිළිතුරක් ලබා දෙන්න. කිසිම විටෙක ව්‍යාජ උත්තර දෙන්නත් එපා ඒ මොහොතේ ඔබේ දරුවා රැවටේවි. ඒත් කුමන මොහොතක හෝ දරුවා නිවරදි දේ දැනගත් පසු තවදුරටත් ඔබව විශ්වාස කරන එක නතර කර දමාවි.
    ඔබ ඒ අසනා දෙය ගැන නොදන්නවා නම්,ඒ ගැන දරුවාට කියන්න.ඒ ගැන නිවරදිම දේ තමන් නොදන්නා බවත්,දන්නා කෙනෙකුගෙන් අසා කියා දිය හැකි බවත් දරුවාට කීමට කිසි ලෙසක ලැජ්ජා වෙන්න එපා.
    මේ වයසේදී ගැහැනියක් සහ පිරිමියෙක් එකතුව පවුලක් බිහිකරන බවත් ඔවුන් දෙදෙනා එක්ව දරුවන් හදන බවත්,ඒ දරුවා මවගේ කුසේ විශේෂිත ස්ථානයක ඉන්නා බවත් දරුවාට කියා දෙන්න.
    ප්‍රජනනය සම්බන්ධ ඉතාම මූලික දැනීම ලබා දීමට මෙම වයස වඩාත් සුදුසුයි..
    මේ සදහා කුඩා කතන්දර පොත්,පුංචි සින්දු,ශරිර අවයව නම් කරලා තියන පෝස්ටර් වගේ දේවල් උදවු කරගන්න පුලුවන් .
    පෞද්ගලිකත්වය පිළිබඳ හැඟීම දරුවාට ලබාදීම අරඹන්න.
    උදා:- දරුවාගේ ඇදුම්,සපත්තු ඇතුලු පෞද්ගලික භාණ්ඩ වෙනම තබාගැනීම,
    බාහිර පුද්ගලයන් ඉදිරිපිට නිරුවත් නොවීම
    කිසිවිටෙක වෙනකකු ඉදිරියේ ඇදුම් මාරු නොකිරීම.
    වෙන කෙනෙකු ගේ ශරීරයේ අවයව අත පත ගෑම වගේම වෙනත් කෙනෙකුට දරුවාගේ ශරීරය අතපත ගෑමේ සීමාවන් නැවත නැවත හැකිනම් දිනපතාම සිරිතක් වශයෙන් මතක් කරදෙන්න.
     
    • Like
    Reactions: Nu1Dnk

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    🌸
    වයස අවුරුදු 6-9 කාලය
    මේ වයසේ දරුවන්ට පෞද්ගලිකත්වය පිළිබඳ හොද අවබෝධයක්, හැඟීමක් තිබිය යුතුයි.
    ඒ වගේම ඔබ දරුවාට මුලින් ලබා දුන් දැනුම තරමක් පුළුල් කරන්න පුළුවන්.
    උදා:- ලිංගික අවයවවලට කියන නිවැරදි වචනය හදුන්වා දෙන්න.
    චූ පැත්ත - මුත්‍රා මාර්ගය
    කක්කි පැත්ත - ගුද මාර්ගය
    යෝනි මාර්ගය
    කුක්කු - පියයුරු ආදී ලෙස.
    මේ සදහා ශරීර අවයව හදුන්වා දීම පිළිබඳ සැකසුනු අධ්‍යාපනික වීඩියෝ වැනි දෑ උපකාරී කරගන්න පුළුවන් .
    දරුවාගේ පෞද්ගලිකත්වය පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන්න.
    උදා:- වැසිකිළි ගිය පසු ශරීරය තනිවම පිරිසුදු කරගැනීමට කියා දෙන්න.
    නෑම, ඇඟ සේදීම, ඇදුම් මාරු කිරීම වැනි දෑ තනිවම කිරීමට හුරු කරන්න.
    එමෙන්ම ලිංගික ක්‍රියාවලිය පිළිබඳ අවබෝධය තරමක් පුළුල් කරන්න .
    උදා:- ගැහැණියගෙන් පිටකරන බිත්තරයක් (ඩිම්බය මේ වයසට එලෙස හදුන්වා දීම ප්‍රමාණවත්) පිරිමි බිත්තරයක් සමඟ එකතු වී දරුවන් හදන බවත්, එය මවගේ කුසේ පෝෂණය වී නියමිත කාලයේදී යෝනි මාර්ගයෙන් එළියට එන බවත්, විශේෂිත අවස්ථාවලදී පමණක් මවගේ කුස විවර කර දරුවා එළියට ගන්නා බවත් දරුවාට කියා දෙන්න.
    ලිංගික අපයෝජන සිදු විය හැකි ආකාර සහ එයින් වැලකිය හැකි ආකාර, එසේ සිදු උනොත් ඉන්පසු කළයුතු දේ දරුවාට නිතරම කියා දෙන්න
    ඔබ දරුවාට කතාකරන හැම මොහොතකම දරුවාට තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට, ප්‍රශ්න ඇසීමටත් අවස්ථාවක් දෙන්න. එමඟින් සූක්ෂම ලෙස දරුවා මේ ගැන හිතන විදිය, දරුවා තුළ දැනට ඇති දැනුම වැනි දේ පිළිබඳ අවබෝධ කරගන්න.
    එය මේ ක්‍රියාවලිය ඉදිරියට ගෙනයාමට ඉතාම හොඳ පිටිවහලක් වෙනවා වගේම දරුවාට දෙමාපියන් සමඟ වඩාත් විශ්වාසවන්ත සම්බන්ධතාවයක් ගොඩනඟා ගැනීමටත් ප්‍රබල ලෙස බලපානවා .
    🌸
    වයස අවුරුදු 9- 12 කාලය
    මේ හරිම අභියෝගාත්මක වයසක්.
    දරුවාගේ ජීවිතයේ ඉතාම තීරණාත්මක අවධියකට පිවිසීමට මඟ බලාගෙන ඉන්න තවදුරටත් ළමාත් නොවන යෞවනත් නොවන අතරමැදි අවස්ථාවක් .
    නමුත් ඔබ මුල සිටම දරුවා සමඟ මේ සම්බන්ධව කතා කරමින් විවෘත සම්බන්ධයක් ගොඩනගා ගෙන ඇත්නම් මේ අභියෝගාත්මක අවස්ථාවට පහසුවෙන් මුහුණ දෙන්න පුළුවන් . ඒ නිසාමයි හැකි තරම් වේලාසනින් දරුවාට ලිංගික අධ්‍යාපනය ලබා දීම ඇරඹීම වැදගත් වෙන්නේ.
    මෙම වයස් කාණ්ඩයේදී ඔබ දරුවා සමග කතා කළ යුතු දේ සහ දරුවාට ලබා දිය යුතු දැනුම
    මල්වර වීම ගැන කතා කරන්න .
    ගැහැණු සහ පිරිමි දරුවන් දෙපාර්ශවය සමඟම.
    මෙහිදී මල්වර වීම යනු කුමක්ද සහ එහිදී සිදුවන්නේ කුමක්ද යන්න දරුවාට වටහාගත හැකි ලෙස සරලව පහදා දෙන්න.
    මෙය දරුවෙකු වැඩිහිටියෙකු බවට පත්වීමේ මූලිකම පියවර බවත්, මල්වරයෙන් පසු ඔවුන්ගේ ශරීරය දරුවෙකු බිහිකිරීම සදහා සූදානම් බවත් දරුවාට කියා දෙන්න.
    එමෙන්ම ඒ වයසේදී ඇති වෙන හෝර්මෝන වෙනස්කම් හේතුවෙන් කුරුළෑ ඇතිවීම, ඉකිළි කිහිලි ප්‍රදේශවල රෝම ඇතිවීම, පියයුරු වර්ධනය වීම, පිරිමි දරුවන්ගේ කටහඬ වෙනස් වීම, රැවුල වැවීම වැනි දෑ ගැන දරුවා දැනුවත් කරන්න .
    ගැහැණු දරුවන් සමඟ මුල්ම ඩිම්බය මුදා හැරීම ( ඔසප් චක්‍රය ඇරඹීම) පිළිබඳවත් ඉන්පසු අපේ ශරීරයේ සිදුවන වෙනස් කම් පිළිබඳවත්, පෞද්ගලික සනීපාරක්ෂාව (personal hygiene ) පිළිබඳවත් කතා කරන්න .
    ලිංගික අපයෝජනය පිළිබඳව සහ අපයෝජකයන්ගෙන් ආරක්ෂා වෙන අයුරු අඛණ්ඩව කියා දෙන්න.
    එමෙන්ම ඔබ මේ අවධියේ දරුවා පිළිබඳ දැඩි අවධානයෙන් සිටීමට මතක තබා ගන්න. ඉන් අදහස් කරන්නේ දරුවා කරන හැම දේම හාරා අවුස්සා බලමින් දරුවාගේ පෞද්ගලිකත්වයට හානි කිරීම නෙමෙයි.
    දරුවාගේ යහලුවන් පිළිබඳ , ඔවුන්ගේ පවුල් වටපිටාව පිළිබඳ , දරුවා විවේක වේලාවේදී කරන්නේ මොනවාද යන්න පිළිබඳව, දරුවා දත්ත තොරතුරු ලබා ගන්නා මාධ්‍ය පිළිබඳව , විශේෂයෙන්ම අන්තර්ජාලය භාවිතා කරනවා නම් ඔහු සැරිසරන වෙබ් අඩවි ගැන , කොටින්ම දරුවාගේ සිදුවෙන සියුම් වෙනස්කම් පිළිබඳව පවා අවදියෙන් සිටීම අත්‍යාවශ්‍ය දෙයක්.
    මෙය දරුවාට බාධාවක් නොවන ලෙස සූක්ෂම ලෙස කිරීමට දෙමාපියන් දක්ෂ විය යුතුයි. එසේ නොමැති වුවහොත් දරුවාට දෙමාපියන් පිළිබඳව ඇති වෙන්නේ අප්‍රසාදයක් .
    🌸
    අවුරුදු 12-18 කාලය
    දැන් ඔබේ දරුවා යෞවනයෙක්. එය ඔබට පිළිගන්නම වෙනවා. ඉතින් තව දුරටත් මේ කරුණු වසං කිරීම සිදු කළ යුතු නැහැ.
    ඔබ නිවැරදි සහ විවෘත ලෙස දරුවා සමඟ කතා කරමින් හොඳ සම්බන්ධතාවයක් ගොඩනඟා ගෙන ඇත්නම් මෙහිදී වඩාත් පහසු වෙනවා.
    මේ වයසේදී දරුවා සමඟ කතා කළ යුතු දේ
    පුරුෂයන් විසින් නිපදවන බිත්තර ශුක්‍රානු ලෙස හදුන්වන බවත්, ගැහැණිය විසින් නිපදවන බිත්තර ඩිම්බ ලෙස හදුන්වන බවත් දරුවාට කියා දෙන්න.
    පිරිමි ශුක්‍රානු ඔවුන්ගේ ශිෂ්නය හරහා ගැහැණු ශරීරය තුලට ඇතුලු වෙන බවත් ,එහිදී ඩිම්බ හා ශුක්‍රානු සංසේචනය වී කලලයක් සෑදී එයින් දරුවෙකු හට ගන්නා බවත්, මෙය ජීවය ඉදිරියට පවත්වා ගෙන යාමට උපකාරී වන ලිංගික ක්‍රියාවලිය බවත් මෙය අතිශයින්ම වැඩිහිටියන් විසින් සිදු කරන දෙයක් බවත් දරුවාගේ මනසට ගැඹුරින් වටහා දෙන්න.
    එමෙන්ම මෙය නිශ්චිත වයසට කලින් සිදු කලහොත් විය හැකි අපහසුතා පිළිබඳ දරුවා දැනුවත් කරන්න.
    මෙම කරුණු වයස 12-13 වන විටම දරුවාට කියා දීම ඉතාම වැදගත් වේ.
    එමෙන්ම අන්තර්ජාලයේ සැරිසරන ලිංගික ක්‍රියාකාරකම් පෙන්වන වීඩියෝ සැබෑ ජීවිතය නොවන බවත්, එය විකෘති මනස් ඇත්තවුන් නිපද වූ දෑ බවත්, දරුවාට වටහා දෙන්න.
    ලිංගික ක්‍රියාකාරකම් හෝ ඒ සම්බන්ධව දරුවාට අවශ්‍ය නිවැරදි තොරතුරු ලබාගත හැකි පොත පත , සඟරා සහ අධ්‍යාපනික වෙබ් අඩවි හදුන්වා දෙන්න.
    පෞද්ගලික සනීපාරක්ෂාව පිළිබඳව මෙන්ම ලිංගික අපයෝජන වලින් ආරක්ෂා වෙන අයුරු අඛණ්ඩව ම දරුවා දැනුවත් කරන්න .
    පළමු ලිංගික එක්වීමේදී වුවත් ගැබ් ගත හැකි බවත්, එවැනි හදිසි ගැබ් ගැනීම් වලින් ආරක්ෂා විය හැකි අයුරු පිළිබදවත් ඔබේ යොවුන් දරුවා දැනුවත් කරන්න .
    එමෙන්ම මුලින් සඳහන් කළ ආකාරයට ම දරුවා පිළිබඳ හොද අවධානයකින් හැම තත්පරයකම සිටින්න උත්සාහ කරන්න.
    නවීන තාක්ෂණය භාවිතය මෙම වයසේදී වැඩි වෙන නිසා ඒ පිළිබඳව දැඩි අවධානයක් දෙන්න.
    වයස අවුරුදු 18 න් පසු
    අවුරුදු 18 පසු වූ ඔබේ දරුවා තව දුරටත් ළමයෙක් නෙමෙයි. ඔහු /ඇයත් ඔබ වගේම වැඩිහිටියෙක්.
    සමාජයට මුදා හැරීමට පෙර අවශ්‍ය දැනුම නිසි ලෙස ඔබ ලබා දී ඇත්නම්, හරි වැරැද්ද ගැන හොඳ අවබෝධයක් ඔබ දරුවාට ලබා දී ඇත්නම්, ඔහුට /ඇයට යන්න දෙන්න. සමාජය සමඟ ගැටෙන්න දෙන්න. එසේ නොමැතිව, අවුරුදු 18 පසු වූ පසු, විවාහ වෙන තුරුම දරුවාව හිරකරගෙන ඉන්න උත්සාහ කරන්න එපා.
    අවසන් වශයෙන් දරුවාට ලිංගික අධ්‍යාපනය ලබා දීමේදී සහ එදිනෙදා ජීවිතයේදී ඔබ සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් මම සඳහන් කරන්නම්.
    ඔබ දරුවාගේ ඕනම වයසකදී ලිංගික ක්‍රියාකාරකමක් හෝ හැසිරීමක් හෝ ඒ හා සම්බන්ධ දෙයක් නිරීක්ෂණය කරහොත්:
    කිසි විටෙක කලබල වෙන්න එපා.මුලින්ම ඔබ සංසුන් වී ,ඊලගට කල යුතු දේ ගැන සිතන්න.
    එය වයසට අදාළ සාමාන්‍ය හැසිරීමක් ද, එසේත් නොමැතිනම් සාමාන්‍ය නොවන හැසිරීමක් ද යන්න තීරණය කරන්න .
    කිසිවිටකත් පිරිසක් ඉදිරියේ මේ ගැන පැවසීමෙන් දරුවා ලැජ්ජාවට පත් කිරීම හෝ දරුවාට දඬුවම් කිරීම කරන්න එපා.
    නොගැලපෙන පුද්ගලයින් සමඟ මේ සම්බන්ධව සාකච්ඡා කරන්න එපා.
    උපදෙස් අවශ්‍ය නම් හොදින් දැනුවත්, මෙවැනි ගැටළු දෙස මැදහත්ව බැලීමට හැකි වගකිවයුතු පුද්ගලයින්ගෙන් පමනක් තොරතුරු ලබා ගන්න.
    හැම විටම වයසට අදාල (age appropriate ) කරුණු දරුවා සමඟ කතා කරන්න. එහිදී වයසට ගැලපෙන වචන, භාෂාව භාවිතා කිරීමට මතක තබා ගන්න.
    ඔබ නිවැරදි දැනුමෙන් මුලින්ම පෝෂණය වන්න.
    සාකච්ඡා කරන අවස්ථාවේ ඉදිරිපත් වන දරුවාගේ අදහස් වලට ගරු කරන්න .
    දරුවාගේ සෑම ප්‍රශ්නයකටම පිළිතුරු දෙන්න. කිසිම විටෙක ව්‍යාජ උත්තර දෙන්න එපා. ප්‍රශ්න මඟ හැර යන්න එපා.
    දරුවාට මෙම දැනුම ලබා දීමේදී වයසට ගැලපෙන , අධ්‍යාපනික ලෙස සැකසුණු , සභ්‍ය පොතපත, වෙබ් අඩවි පමණක් භාවිතා කරන්න .
    ලිංගික අධ්‍යාපනය: එදිනෙදා ජීවිතයේදී ඔබ සැලකිලි මත් විය යුතු දේ.
    දරුවා උපන් දා පටන් කිසිම දවසක පිටස්තර පුද්ගලයින් ඉදිරියේ නිරුවතින් තබන්න එපා. ඉතාම කුඩා අවදියේ පවා, නෑමේදී ඇඳුම් මාරුකරන අවස්ථාවලදී මව, පියා හෝ ළඟම රැක බලාගන්නියක් පමණක් ඉදිරියේ සිදු කරන්න උත්සාහ කරන්න.
    කිසිම විටෙක ඔබ දරුවා ඉදිරියේ නිරුවත් වෙන්න එපා. (ඉතාමත්ම කුඩා අවදියේදී පවා)
    නෑමේදී, ඇදුම් මාරු කිරීමේදී වැනි කටයුතු වලදී හෝ වෙනත් පෞද්ගලික කටයුත්තකදී වත්
    මෙය දරුවාට තමන්ගේ ශරීරයට වගේම අනෙකාගේ ශරීරයටත් ගරු කිරීමට බලපාන කරුණක් වෙනවා.
    කිසිම විටෙක මවගේ සහ පියාගේ හෝ නිවසේ වැඩිහිටියෙක්ගේ ලිංගික ක්‍රියාකාරකම් දරුවාගේ ඇස ගැටෙන්න දෙන්න එපා.
    දරුවාගේ මානසික වර්ධනයට එය තරම් අහිතකර ලෙස බලපාන දෙයක් තවත් නැහැ.
    මව පියා සමඟ ආදරෙන් කතා බස් කිරීම හෝ සිප වැලඳ ගැනීම වැනි දේ මෙයින් අදහස් කරන්නේ නැහැ. එවැනි දේ දරුවාට දකින්න දිය යුතුයි. එමගින් දරුවා යහපත් සම්බන්ධතා පිළිබඳ ඉගෙන ගනීවි.
    * යහපත් සම්බන්ධතා පිළිබඳව දරුවාට කියා දීමේදී ඔබ ආදර්ශය (role model ) වෙන්න.
    උදා:- ඔබ දෙපල (මව සහ පියා ) එකිනෙකාට ආදරය කරන විදිය, ගරු කරන විදිය, උපකාර කරන විදිය දරුවාට ප්‍රායෝගිකව පෙන්වන්න.
    එවිට දරුවා තමන්ගේ විරුද්ධ පාර්ශවයට ගරු කිරීමට සහ හොඳින් සැලකීමට ඉගෙන ගන්නවා වගේම යහපත් සබඳතා පිළිබදවත් ඉගෙන ගනීවි.
    * හැම විටම ඔබේ දරුවා පිළිබඳව අවදියෙන්, අවධානයෙන් ඉන්න.
    ඉතින්...අපේ දරුවා රැක ගමු.යහපත් හෙටක් බිහි කරමු.
    copied.
    🙏
    🙏
    🙏
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ගොඩ වැදගත් මේන්න මෙවා නම්.. පොඩි උන්ට කෙසේ වෙතත් අම්මලට/ටට්ටලට නම් මේව කියල දෙන්නේ ඕන... පොඩි උන් දැනුවත් නම් අපචාර ක්‍රන්න බෑ ලොකු උන්ට.. TFS