හදිසි නීතිය හදිස්සියේ මොකටද?

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,913
    3,250
    113
    හදිසි නීතිය හදිස්සියේ මොකටද?

    හදිසි නීතිය පැනවීම සඳහා රජයට බලය පැවරී ඇත්තේ 1947 අංක 25 දරන මහජන ආරක්ෂක පනත (Public Security Ordinance) ඔස්සේ ය. එය වර්ෂ 1949, 1953, 1959, 1979 සහ 1988 යන කාලවලදී සංශෝධනයට ලක් වුණු පනතකි. විශේෂයෙන්ම මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් යම් තර්ජනයක්, යම් ව්‍යසනකාරී තත්ත්වයක්, අනාරක්ෂිත බවක් පැන නැගුණහොත් ඊට අදාළව කඩිනම්ව ක්‍රියාත්මක වීම සඳහා එයින් විධි විධාන සලසා ඇත. රටේ පවතින සාමාන්‍ය නීතිය අබිබවා යම් යම් ක්‍රියාමාර්ග ගැනීමට, හදිසි නීතිය යටතේ අවකාශ සලසා තිබේ.

    මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 18 වැනි පරිච්ඡේදය යටතේ එන විධි විධානයන්ය. හදිසි තත්ත්වයන් ඉස්මතු වීමකදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති විධි විධාන හැර, වෙනත් කවර වූ හෝ සාමාන්‍ය නීතියකින් පැවරී ඇති විධි විධාන යටපත් කරමින් ‘හදිසි නීති රෙගුලාසි’ පැනවීමට ජනාධිපතිවරයාට බලය පැවරී තිබේ. ඒ බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 155(2) වගන්තිය යටතේ සඳහන්ව තිබේ. ඒ අනුව, මහජන ආරක්ෂක ආඥා පනතේ දෙවන වගන්තිය යටතේ හදිසි නීතිය පැනවීමකදී, පනවන්නට යෙදෙන රෙගුලාසි කවරේද යන්න ජනාධිපතිවරයා විසින් ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කළ යුතු බව ද දක්වා තිබේ.

    මහජන ආරක්ෂක ආඥාපනත මුල්වරට ක්‍රියාත්මක වූයේ 1958 දී එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ පාලන සමයේදී ඇති වූ ජාතිවාදී කෝලාහල මැඬපැවැත්වීම පිණිසය. එහෙත් එය දීර්ඝ කාලයක් ක්‍රියාත්මක නොවුණද 1971 සමගි පෙරමුණු රජය යටතේ පවරනු ලැබූ හදිසි නීති තත්ත්වය වසර කිහිපයක් ක්‍රියාත්මක විය. විශේෂයෙන් ඊට බලපෑ සාධක වූයේ 1971 දී රජයට එරෙහිව ඇති වූ සන්නද්ධ තරුණ කැරැල්ල මර්දනය කිරීමේ අභිලාෂයයි. කෙසේ වෙතත් එකල හදිසි නීතිය භාවිත කරමින් ‘දවස’ වැනි පුවත්පත්වලට මුද්‍රා තැබීම තුළ ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතියට බාධා එල්ල වූ බවට එකල පැවති රජයට චෝදනා එල්ල විය.

    ඉන්පසුව 1977 දී බලයට පැමිණි එක්සත් ජාතික පක්ෂ රජයටද වරින් වර හදිසි නීතිය පනවන්නට සිදු විය. එම රජයට එල්ල වූ දැවැන්ත චෝදනාව වූයේ 1980 ජූලි වැඩ වර්ජනය මර්දනය කිරීම සඳහා හදිසි නීතිය යොදා ගත්තාය යන්නයි. මෙහිදී විශාල පිරිසකගේ රැකියා අහිමි වූ අතර එම චෝදනාව රජයට කළු පැල්ලමක් විය. පසු කාලීනව, කොටි ත්‍රස්ත ක්‍රියාකාරිත්වයන් මර්දනය පිණිසද, 1988 - 89 කාලයේදී දකුණේ සිදු වූ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ සන්නද්ධ අරගලය මර්දනය කිරීම පිණිසද හදිසි නීති ප්‍රතිපාදන භාවිත කෙරිණි. ඉන්පසු පොදු පෙරමුණු රජය යටතේ ද පසු කාලීනව එක්සත් ජනතා නිදහස් සන්ධාන රජය යටතේද, එල්ටීටීඊ ත්‍රස්තවාදය අවසන් කිරීම දක්වාද හදිසි නීති ප්‍රතිපාදන ක්‍රියාත්මක විය.

    2009 වසරේදී එල්ටීටීඊ සංවිධානය යුදමය ලෙස පරාජය කිරීමෙන් පසුව සාමකාමී වාතාවරණය හේතුවෙන් 2011 වසරේදී එවකට පැවති මහින්ද රාජපක්ෂ මහතාගේ රජය, හදිසි නීතිය පැනවීම අවසන් කරන ලදී. ඉන්පසු නැවත හදිසි නීතිය පැනවීමට සිදු වූයේ යහපාලන රජය යටතේ පාස්කු දින එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයත් සමගය.
    ඉන්පසු නැවතත් වර්තමාන රජය යටතේ හදිසි නීතිය ප්‍රකාශයට පත්කරමින් ජනාධිපතිවරයා විසින් ගැසට් පත්‍රයක් මේ මොහොතේ නිකුත් කර ඇත.

    හදිසි නීතියේ වගන්ති ගැන විමසා බැලීමේදී ඒවාට රටේ සාමාන්‍ය නීති අබිබවා ක්‍රියාත්මක වීමේ බලය ඇතුළත් කර ඇත. විශේෂයෙන් අප දන්නා පරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගැනීම, රඳවා තබා ගැනීම, සෝදිසි කිරීම, ප්‍රශ්න කිරීම ආදිය සඳහා බලය පැවරී ඇත්තේ පොලිසිය වෙතය. එහෙත් හදිසි නීතිය යටතේ එම කටයුතු යුද හමුදාව ඇතුළු සන්නද්ධ හමුදාවන් වෙත පැවරීමට ද හැකියාව ඇත.

    මෙහිදී අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ ක්‍රියාත්මක විය යුතු බලතල හා කාර්ය පටිපාටියට පරිබාහිරව සෝදිසි වරෙන්තුවක් නොමැතිව ස්ථාන පරීක්ෂාවට ඉඩකඩ දීම, සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සැකකරුවකු විසින් කරන පාපොච්චාරණයක් ඔහුට විරුද්ධව සාක්ෂි ලෙසට භාවිත කිරීමට ඇති හැකියාව වැනි තත්ත්වයන් හදිසි නීතිය ක්‍රියාත්මක විමේදී බලාත්මක වේ.

    එමෙන්ම පුද්ගලික ඉඩම් හෝ දේපොළ අවශ්‍ය විටකදී රජය වෙත පවරා ගැනීමටද, පුපුරන ද්‍රව්‍ය අන්තරාකාරී ආයුධ ආදිය රජය වෙත පවරා ගැනීමටද හදිසි නීතිය යටතේ බලය හිමි වේ. මීට අමතරව හදිසි නීතිය ප්‍රකාශ කර ඇති අවස්ථාවක රටේ කලබලකාරී වාතාවරණයක් ඇති වුවහොත්, යම් ප්‍රදේශයකට හෝ දිවයින පුරා යම්කිසි කාල සීමාවක් දක්වා ඇඳිරි නීතිය පැනවීමටද හැකියාව තිබේ. තවද ඒ කාල සීමාව තුළ පොදු ස්ථානවල මහජනයා ගැවසීම එක්රැස්වීම තහනම් කිරීමටද හදිසි නීති රෙගුලාසි යටතේ බලය ඇත.

    මීට අමතරව මහජනයා වෙත සපයන යම් සේවාවක් (උදා තැපැල්, සෞඛ්‍ය, ප්‍රවාහන, විදුලිය) ’අත්‍යවශ්‍ය සේවාවන්’ ලෙසට නම් කිරීමටද හදිසි නීතිය යටතේ හැකියාව ඇත. එවැනි සේවා සපයන සේවකයන්ගේ නිවාඩු ගැනීම්, වැඩ වර්ජනය කිරීමේ අයිතීන්, ආදිය නිතැතින්ම සීමා කෙරේ. හදිසි නීති රෙගුලාසි පැනවීමේදී ජනාධිපතිවරයාට උපරිම මාසයක කාලයක් දක්වා ඒවා පැනවීමට පුළුවන. ඉන්පසු එය දීර්ඝ කරන්නේ නම් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගත යුතු වේ.

    සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය යටතේ පිළිගෙන බලාත්මක කර ඇති ඇතැම් මානව අයිතිවාසිකම් පවා සීමා කිරීමට හදිසි නීතිය යටතේ බලය පැවරී තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10 වන වගන්තියේ සිට 14 වන වගන්තිය දක්වා මූලික අයිතිවාසිකම් ප්‍රකාශ කොට ඇති අතර, 10 හා 11 වගන්ති යටතේ ලබා දී ඇති අයිතිවාසිකම් කිසිම ආකාරයකට සීමා කිරීමට නොහැකිය. ඊට හේතුව වනුයේ ඒවා මිනිසාගේ සිතීමේ, හෘදසාක්ෂියේ හා ආගමික නිදහසට මෙන්ම වද හිංසාවෙන් මිදීම නැතහොත් ජීවත් වීමේ අයිතිය කෙරෙහි බලපාන්නා වූ නිසාවෙනි. එහෙත් 12, 13. 14 යන වගන්තිවල දක්වා ඇති අයිතිවාසිකම් වන සර්ව සාධාරණත්වයේ අයිතිය, අත්තනෝමතිකව සිරබාරයට ගැනීම, රඳවා තබා ගැනීමෙන් මිඳීමේ අයිතිය හා භාෂණයේ, සමාගමයේ, නිදහසේ යාම්ඊම් ආදී අයිතිවාසිකම් හදිසි නීතිය පනවා ඇති අවස්ථාවකදී යම් යම් සීමා කිරීම්වලට ලක් වීමට හැකියාව ඇත.

    කෙසේ වෙතත් සමාජයීය යහ පැවැත්ම, රටේ ආරක්ෂාව පිළිබඳ සැලකීමේදී හදිසි තත්ත්වයන් තුළ දී තීන්දු තීරණ ගන්නේ රටේ සමස්ත මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙනි. එවන් අවස්ථාවලදී ඇතැම් මූලික අයිතිවාසිකම් මේ ආකාරයට සීමාවීම අපේක්ෂා කළ හැක.

    මේ ආකාරයට පනවන හදිසි නීති රෙගුලාසි සම්බන්ධයෙන් රටේ කිසිදු අධිකරණයක් හරහා ප්‍රශ්න කිරීමේ හැකියාවක් මහජනතාවට නැත. ඒ බව මහජන ආරක්ෂක පනතේ 8 වන වගන්තියේ දක්වා ඇත.

    වර්තමානයේ රටේ පවත්නා තත්ත්වය දෙස බැලීමේදී පවතින දේශපාලන අස්ථාවර භාවයෙන් රට මුදවා ගැනීමට හදිසි නීතියේ ප්‍රයෝජනයක් තිබේද?
    දේශපාලන අස්ථාවර භාවය ඇතිවීමට මූලික හේතුව වූයේ ආර්ථික අස්ථාවර භාවයක් නිර්මාණය වීම නිසයි. එහිදී එහි ප්‍රථිඵලයන් රටේ මහජනතාවට විඳින්නට වූයේ එක අවස්ථාවක විදුලි කප්පාදුවෙනි. තවත් අවස්ථාවක තෙල් පෝලිම් වල ගෑස් පෝලිම් වල ගතකිරීමට සිදු වීමෙනි. විටෙක පාරිභෝගික භාන්ඩ හා සේවාවන් හි මිල ගනන් සීඝ්‍ර ලෙස ඉහල යාමෙනි. තවත් විටෙක අත්‍යවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය ආදිය හිඟ වීමෙනි. එහි අවසාන ප්‍රතිඵ්ලය වූයේ මහ ජනතාව තමන් මුහුන දෙන ආර්ථික ගැටලු වලට විසඳුම් ඉල්ලා වීදි බැසීමයි. ඇතැම් දේශපාලන කල්ලි කන්ඩායම් මෙම පොදු ප්‍රශ්නය දඩමීමා කරගනිමින් තම දේශපාලන න්‍යාපත්‍රයන් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනු ලැබූවද මහ ජනතාව පැත්තෙන් ඔවුන්ගේ ඉල්ලිම් සාධාරණය. මේ දේශපාලන කල්ලි කන්ඩායම් වල පටු අරමුනු සහ පොදු මහ ජනතාව ඉල්ලනදේ වෙන්කොට තේරුම් ගෙන මහ පොලොවේ යථාර්ථයට මුහුන දීය යුතුය.

    කවුරුන් හෝ වත්මන් අර්බුදයන්ට විසඳුම් සොයනේනම් ප්‍රශ්නය ඇතිවීම මුල්වූ හේතුන් වලට පිලියම් කල යුතුය. එනම් රටේ ව්‍යවස්ථාදායකය තුලින් දේශපාලන ස්ථාවර භාවයක් රටතුල ඇතිකොට රටේ ආර්ථික ප්‍රශ්නය විසඳිය යුතුය. ඒ සඳහා අවශ්‍ය කැපකිරීම් සිදුකොට නිසි ක්‍රමවේදයක් ඇතිකොට ආර්ථික ප්‍රශ්නය විසඳීමේ කාලරාමුවක් රටට ඉදිරිපත් කල යුතුය. ඒ පිලිබදව ජනතාව දැනුවත් කල යුතුය ජනතාවගේ විශ්වාසය දිනාගත යුතුය. ජන ජීවිතය, සැපයුම් හා සේවාවන් යථාතත්වයට පත් කල යුතුය. එසේනම් ඒ සඳහා පනවනු ලැබූ හදිසි නීතිය භාවිතා කරන්නේද ? නැතහොත් ප්‍රශ්නයේ හේතුව අමතක කොට ඵලයට විසඳුම් සොයන්නට හදිසියේම හදිසි නීතිය පැනවූයේද?
    යන්න ඉතිහාසයේ අප ලැබූ ඉහත සඳහන් කල අත්දැකීම් තුලින් විමසා බැලීමට සියල්ලෝම කටයුතු කල යුතුය.

    -නීතිඥ සමින්ද කෝනාර-