
කෝ නු හාසෝ කිමානන්දෝ

නිච්චං පජ්ජලිතේ සති

අන්ධකාරේන ඕනද්ධා

පදීපං න ගවෙස්සථ
🪷මේ ජීවිතය (ආශාවෙන්, තරහින්, මෝඩකමින් වයසට යෑමෙන්, රෝගවලින්, මරණයෙන්, ශෝකයෙන්, වැළපීමෙන්, කායික දුකින්, මානසික දුකින්, සුසුම් හෙළීමෙන්) හැම තිස්සෙම ගිනි ඇවිලෙද්දී මොන හිනාද? මොන සතුටක්ද? අනවබෝධය නැමැති ඝන අඳුරේ ගිලී සිටින ඔබ, පහනක් නොසොයන්නේ
ඇයි?🪷

පුඤ්ඤං චේ පුරිසෝ කයිරා

කයිරාථේතං පුනප්පුනං

තම්හි ඡන්දං කයිරාථ

සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝ

යම්කිසි පුද්ගලයෙක් ශ්‍රද්ධාවෙන් යුක්තව, සිත, කය, වචනය යන තුන් දොරින් පින් කළොත්, ආයෙ ආයෙමත් කරගන්න ඕන වෙන්නෙ ඒ පිනමයි. පින් කිරීම ගැනමයි හිතේ කැමැත්ත ඇතිකරගන්න ඕන. “සැප” කියල කියන්නෙ පිනටමයි

භද්‍රෝ’පි පස්සති පාපං

යාව භද්‍රං න පච්චති

යදා ච පච්චති භද්‍රං

අථ භද්‍රෝ භද්‍රානි පස්සති

කරගත්තු පින් විපාක නොදී තියෙන කල් විතරයි ඒ පින පාඩුවක් හැටියට පේන්නේ. නමුත් පින විපාක දෙන්න පටන්ගත්තු දවසට තමයි ඒ පිනේ හැබෑ ස්වභාවය පිනක් වශයෙන් ම අඳුනගන්නේ

මා’වමඤ්ඤේථ පුඤ්ඤස්ස

න මං තං ආගමිස්සති

උදබින්දුනිපාතේන

උදකුම්භෝ’පි පූරති

පූරති ධීරෝ පුඤ්ඤස්ස

ථෝකථෝකම්පි ආචිනං
🪷“ඕක ඉතින් පොඩි පිනක් නෙ” කියලා තමන්ට විපාක දෙන්ට තමා කරා එන්නෙ නෑ කියලා ගණන් නොගෙන ඉන්ට එපා. වතුර වුණත් බිංදුව බිංදුව වැටිලා තමයි කළයක් පිරෙන්නෙ. බුද්ධිමත් පුද්ගලයාත් ටික ටික වුණත් පින් කරන කොට, ඒ පින් එකතුවෙලා අන්තිමේදී ජීවිතය පිනෙන්ම පිරිලා යනවා

න අන්තලික්ඛේ න සමුද්දමජ්ඣේ

න පබ්බතානං විවරං පවිස්ස

න විජ්ජති සෝ ජගතිප්පදේසෝ

යත්ථට්ඨිතං නප්පසහේථ මච්චු

යම් තැනක සැඟවිලා මරණයෙන් ගැලවෙන්ට පුළුවන් නම්, එබඳු තැනක් අහසෙත් නෑ. මුහුද මැදත් නෑ. කන්දක් අස්සෙ ගුහාවක හැංගුණත් නෑ. එබඳු තැනක් ලෝකයේ කොහේවත් නෑ

යථා දණ්ඩේන ගෝපාලෝ

ගාවෝ පාචේති ගෝචරං

ඒවං ජරා ච මච්චු ච

ආයුං පාචෙන්ති පාණිනං
🪷ගොපල්ලෙක් කෙවිටෙන් පහර දිදී හරකුන්ව ගොදුරු බිමට දක්කනවා වගේ, මේ ජරා - මරණ දෙකත් ඒ විදිහටම සත්වයන්ගේ ආයුෂ අවසන් කරලා දානවා🪷

ගබ්භමේකේ උප්පජ්ජන්ති

නිරයං පාපකම්මිනෝ

සග්ගං සුගතිනෝ යන්ති

පරිනිබ්බන්ති අනාසවා

සමහර කෙනෙක් ආයෙමත් ගර්භාෂයක උපදිනවා. පව් කරගත්තු උදවිය නිරයේ උපදිනවා. පින් කරගත්තු උදවිය සුගතියෙ උපදිනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරපු මුනිවරු ආශ්‍රව නැතිකරලා පිරිනිවන් පානවා

මා’වෝච ඵරුසං කඤ්චි

වුත්තා පටිවදෙය්‍යු තං

දුක්ඛා හි සාරම්භකථා

පටිදණ්ඩා ඵුසෙය්‍යු තං

කාටවත්ම නපුරු වචන කියන්ට එපා! නපුරු වචන කියන්ට ගියොත් අනිත් උදවිය ඔබට පෙරලා, නපුරු වචන කියාවි. රණ්ඩු ඇතිවෙන කතා බස් ඇති කරගැනීම දුකක්. එයින් ඔබටමයි පෙරළා කරදර වෙන්නෙ

ස චේ නේරේසි අත්තානං

කංසෝ උපහතෝ යථා

ඒස පත්තෝ’සි නිබ්බාණං

සාරම්භෝ තේ න විජ්ජති
🪷ශබ්දය හටගන්න ලෝහ බඳුනක් කඩලා දැම්මා වගේ වචනය සංවර කරගෙන, තමන්ගේ ජීවිතය නිශ්ශබ්ද කරගත්තොත්, තමන් තුළම නිවිලා යනවා. එතකොට ආරවුල් හටගන්නෙ නෑ🪷

උදකං හි නයන්ති නෙත්තිකා

උසුකාරා නමයන්ති තේජනං

දාරුං නමයන්ති තච්ඡකා

අත්තානං දමයන්ති සුබ්බතා

වතුර ගෙන යන උදවිය තමන් කැමති දිසාවට ඇල වේලි බැඳගෙන වතුර අරගෙන යනවා. හී වඩුවො තමන්ට ඕනෙ පිළිවෙළට ඊතල සකස් කරගන්නවා. ලී වඩුවෝ තමන්ට ඕනෙ පිළිවෙළට ලී බඩු හදාගන්නවා. ධර්මයට කීකරු අය තමන්ගේ සිත දමනය
කරගන්නවා

අස්සෝ යථා භද්‍රෝ කසානිවිට්ඨෝ

ආතාපිනෝ සංවේගිනෝ භවාථ

සද්ධාය සීලේන ච වීරියේන ච

සමාධිනා ධම්මවිනිච්ඡයේන ච

සම්පන්නවිජ්ජාචරණා පතිස්සතා

පහස්සථ දුක්ඛමිදං අනප්පකං

තමන්ගේ ප්‍රමාදයෙන් කසපහර වැදුණට පස්සේ ආජානීය අශ්වයා තව තවත් වීරියවන්ත වෙනවා. අන්න ඒ වගේ ඔබත් මේ සංසාරය ගැන කළකිරිල, කෙලෙස් නැතිකරන්ටමයි වීරිය ගන්ට ඕනෙ. ශ්‍රද්ධාවන්තව, සිල්වත්ව, සමාධියෙන් යුක්තව විදර්ශනා ප්රඥාවෙන්මයි තීරණ ගන්ට ඕනෙ. අවබෝධයයි, හැසිරීමයි එකක් වෙන්ට ඕනෙ. හොඳට සිහි නුවණ පිහිටුවාගෙන, මේ මහා සසර දුක නැතිකරලා දාන්න

පස්ස චිත්තකතං බිම්බං

අරුකායං සමුස්සිතං

ආතුරං බහුසංකප්පං

යස්ස නත්ථි ධුවං ඨිති
🪷දැන්වත් හොඳින් බලාගන්න. ලස්සනට සරසාගෙන හිටියට මේකෙ තියෙන්නෙ මස් වැදිච්ච ඇටසැකිල්ලක්. ලෙඩ දුක් ගොඩක්. අඥාන ජනයා මේ ශරීරය ගැන බොහෝ මනහර සිතුවිලි සිතුවාට, මේකෙ නිත්‍ය දෙයක් නෑ. ස්ථිර දෙයක් නෑ. පවතින දෙයක් නෑ🪷

ඒථ පස්සථිමං ලෝකං

චිත්තං රාජරථූපමං

යත්ථ බාලා විසීදන්ති

නත්ථි සංගෝ විජානතං

එන්න! ඇවිත් බලන්න මේ ලෝකයේ ඇත්ත ස්වභාවය දිහා. විචිත්‍ර විදිහට සරසලා තියෙන රාජකීය අශ්ව රථයක් වගේ, අඥාන පිරිස මේ විලාසිතාවට සම්පූර්ණයෙන්ම අහුවෙනවා. නමුත්, මේකේ යථාර්ථය අවබෝධ කරපු උදවිය නම්, මේ ලෝකෙත් එක්ක කිසි ගණුදෙනුවක් කරන්නෙ නෑ

පරිජිණ්ණමිදං රූපං

රෝගනිඩ්ඪං පභංගුරං

භිජ්ජති පූතිසන්දේහෝ

මරණන්තං හි ජීවිතං

සතර මහා ධාතූන්ගෙන් හටගත් මේ රූපය ජරා - ජීර්ණ වෙලා අවසන් වෙනවා. රෝගවලට කූඩුවක් වගේ. වහා බිඳී යනවා. දොරටු නවයකින් අසූචි වැගිරෙනවා. මේ ජීවිතය බිඳිලා මරණයෙන් අවසන් වෙනවා

අට්ඨීනං නගරං කතං

මංසලෝහිතලේපනං

යත්ථ ජරා ච මච්චු ච

මානෝ මක්ඛෝ ච ඕහිතෝ

මේ ශරීරය ඇට වලින් ගොඩනගලා, මස් ලේ වලින් ආලේප කරලා අටවලා තියෙන නගරයක් වගේ. ජරාවටත්, මරණයටත් පත්වෙන්නෙත් මේ ශරීරයමයි. අහංකාරකම ඇති වෙන්නෙත් මේ ශරීරයටමයි. ගුණමකුකම ඇති වෙන්නෙත් මේ ශරීරයටමයි

ජීරන්ති වේ රාජරථා සුචිත්තා

අථෝ සරීරම්පි ජරං උපේති

සතඤ්ච ධම්මෝ න ජරං උපේති

සන්තෝ හවේ සබ්භි පවේදයන්ති

විචිත්‍ර විදිහට සරසපු රාජකීය මංගල රථ පවා දිරලා යනවා. කොච්චර සැරසුවත් මේ ශරීරයත් ඒ විදිහටම දිරලා යනවා. නමුත්, සත්පුරුෂයින්ගේ ගුණ ධර්ම ජරාවට පත්වෙන්නෙ නෑ. ඇත්තෙන්ම ශාන්ත මුනිවරු සත්පුරුෂයන්ට මේ කාරණේ කියලා
දෙනවා

අත්තා හි අත්තනෝ නාථෝ

කෝ හි නාථෝ පරෝ සියා

අත්තනා’ව සුදන්තේන

නාථං ලභති දුල්ලභං
🪷තමන්ට පිහිට සළසගන්ට ඕනෙ තමාමයි. තමන් හැර බාහිර වෙන කවුරු නම් තමන්ට පිහිට වෙයිද? හොඳට දමනය වුණාම තමන්ටම ඒ දුර්ලභ වූ ධර්මාවබෝධය නැමැති පිළිසරණ ලබන්ට පුළුවනි🪷

උත්තිට්ඨේ නප්පමජ්ජෙය්ය

ධම්මං සුචරිතං චරේ

ධම්මචාරී සුඛං සේති

අස්මිං ලෝකේ පරම්හි ච

අලසකමින් නැගී සිටින්ට ඕනෙ. අප්‍රමාදීව කටයුතු කරන්ට ඕනෙ. සුචරිත ධර්මයෙහි හැසිරෙන්ට ඕනෙ. ධර්මයේ හැසිරෙන කෙනා මෙලොව - පරලොව දෙකේම සුවසේ
ඉන්නවා

ධම්මං චරේ සුචරිතං

න නං දුච්චරිතං චරේ

ධම්මචාරී සුඛං සේති

අස්මිං ලෝකේ පරම්හි ච
🪷සුචරිත ධර්මයේමයි හැසිරෙන්ට ඕනෙ. කිසිසේත්ම දුෂ්චරිතයේ හැසිරෙන්ට ඕනෙ නෑ. ධර්මයේ හැසිරෙන කෙනා මෙලොව, පරලොව දෙකේ ම සුවසේ ඉන්නවා🪷

යථා බුබ්බුලකං පස්සේ

යථා පස්සේ මරීචිකං

ඒවං ලෝකං අවෙක්ඛන්තං

මච්චුරාජා න පස්සති

සිඳී බිඳී යන දිය බුබුලක් දිහා බලනවා වගේ ලෝකය දිහා බලනකොට, සැණෙකින් මැකී යන මිරිඟුවක් දිහා බලනවා වගේ ලෝකය දිහා බලන කොට, ඔය විදිහට ලෝකය දිහා බලන කොට, ඒ කෙනාව මාරයාට පේන්නෙ
නෑ

පථව්‍යා ඒකරජ්ජේන

සග්ගස්ස ගමනේන වා

සබ්බලෝකාධිපච්චේන

සෝතාපත්තිඵලං වරං

මුළු පෘථිවිය ම ජයගෙන, චක්‍රවර්තී රජකෙනෙක් වෙනවාටත් වඩා, දෙව්ලොව උපදිනවාටත් වඩා, සකල ලෝකයට ම අධිපති වෙනවාටත් වඩා, සෝවාන් ඵලයට පත්වීම ම උතුම්

සුසුඛං වත ජීවාම

වේරිනේසු අවේරිනෝ

වේරිනේසු මනුස්සේසු

විහරාම අවේරිනෝ
🪷ඇත්තෙන්ම අපි නම් ජීවත් වෙන්නෙ හරිම සැපෙන්. එකිනෙකාට වෛර කරගන්න මේ ලෝකයේ අපි නම් කිසි වෛරයක් නැතුව ඉන්නවා. වෛර කරගන්න මිනිස්සු අතරේ, කිසිම වෛරයකින් තොරවයි අපි ජීවත් වෙන්නෙ🪷

නත්ථි රාගසමෝ අග්ගි

නත්ථි දෝසසමෝ කලි

නත්ථි ඛන්ධසමා දුක්ඛා

නත්ථි සන්තිපරං සුඛං

රාගයට සමාන කරන්ට පුළුවන් වෙන ගින්නක් නෑ. ද්වේෂයට සමාන කරන්ට පුළුවන් වෙන අපරාධෙකුත් නෑ. පංචුපාදානස්කන්ධයට සමාන කරන්ට පුළුවන් වෙන දුකකුත් නෑ. ඒ අමා නිවනට වැඩියෙන් කියන්ට පුළුවන් වෙන සැපයකුත් නෑ

අයෝගේ යුඤ්ජමත්තානං

යෝගස්මිඤ්ච අයෝජයං

අත්ථං හිත්වා පියග්ගාහී

පිහේතත්තානුයෝගිනං

අනුගමනය නොකළ යුතු වැරදි දේ තමයි සමහරු අනුගමනය කරන්නේ. අනුගමනය කළ යුතු සතිපට්ඨානය පුරුදු කිරීම් ආදී දේ අනුගමනය කරන්නෙ නෑ. ආශා කරන දේ පස්සෙ දුව දුව යහපත අත්හරිනවා. නමුත් යහපත් දේ අනුගමනය කරලා සැප ලබාගත්තු අය දැක්කට පස්සේ, ඒ සැප ලබා ගන්ට ඔවුනුත් කැමති වෙනවා

මා පියේහි සමාගඤ්ඡි

අප්පියේහි කුදාචනං

පියානං අදස්සනං දුක්ඛං

අප්පියානඤ්ච දස්සනං
🪷තමන් කැමති උදවිය සමග පමණ ඉක්මවා හිත මිත්‍රකම් ඇතිකරගන්ට එපා! අප්‍රිය පුද්ගලයන් හා හිතමිතුරුකම් කොහෙත්ම ඕනෙ නෑ. ප්‍රියයන්ට ඇළුණොත්, ඔවුන් දකින්ට නොලැබීමෙන් දුක් ඇතිවෙනවා. අප්‍රිය පුද්ගලයන් දකින්ට ලැබීමෙනුත් දුක් ඇතිවෙනවා🪷

තණ්හාය ජායතී සෝකෝ

තණ්හාය ජායතී භයං

තණ්හාය විප්පමුත්තස්ස

නත්ථි සෝකෝ කුතෝ භයං

තණ්හාවෙන් තමයි ශෝකය හටගන්නෙ. භය හටගන්නෙත් තණ්හාවෙන් තමයි. තණ්හාවෙන් නිදහස් වුණ කෙනෙකුට ශෝකයක් නෑ. භයක් කොයින්ද?

කෝධං ජහේ විප්පජහෙය්‍ය මානං

සඤ්ඤෝජනං සබ්බමතික්කමෙය්ය

තං නාමරූපස්මිං අසජ්ජමානං

අකිඤ්චනං නානුපතන්ති දුක්ඛා

මේ ක්‍රෝධය දුරුකරන්ට ඕනෙ. මේ මාන්නය විශේෂයෙන්ම දුරු කළ යුතු දෙයක්. සංසාර බන්ධන ඔක්කොම ඉක්මවා යන්ට ඕනෙ. නාමරූප දෙකේ නොඇලෙන නිකෙලෙස් පුද්ගලයා පිටුපසින් දුක හඹාගෙන යන්නෙ
නෑ

යෝ වේ උප්පතිතං කෝධං

රථං භන්තං’ව ධාරයේ

තමහං සාරථිං බ්රෑමි

රස්මිග්ගාහෝ ඉතරෝ ජනෝ
🪷යමෙක් තමන් තුළ හටගත් ක්‍රෝධය නැති කරලා දැම්මොත්, ඔහු වේගයෙන් ගමන් කරන රථයක් පාලනය කරලා, නියම පාරට දාගත්තා වගේ. ඔහුට තමයි මං නියම රියදුරා කියන්නෙ. අනිත් උදවිය නිකං රැහැන්පට අල්ලගෙන ඉන්නවා විතරයි🪷

අක්කෝධේන ජිනේ කෝධං

අසාධුං සාධුනා ජිනේ

ජිනේ කදරියං දානේන

සච්චේන අලිකවාදිනං

ක්‍රෝධය ජයගන්ට තිබෙන්නේ ක්‍රෝධ නොකිරීමෙන්මයි. අයහපත ජයගන්ට තිබෙන්නේ යහපතින්මයි. ලෝභකම ජයගන්ට තිබෙන්නේ දන් දීමෙන්මයි. බොරු කියන පුද්ගලයා ජයගන්ට තිබෙන්නේ සත්‍ය වචනයෙන්මයි

සච්චං භණේ න කුජ්ඣෙය්‍ය

දජ්ජාප්පස්මිම්පි යාචිතෝ

ඒතේහි තීහි ඨානේහි

ගච්ඡේ දේවාන සන්තිකේ

සත්යමයි කතාකරන්ට ඕනෙ. කේන්ති ගන්ට හොඳ නෑ. කවුරු හරි යමක් ඉල්ලුවොත්, තියෙන ටිකෙන් හරි ඔහුට දෙන්ට ඕනෙ. ඔය තුන පුරුදු කළොත් තමයි දෙවියන් අතරට යන්නේ

සදා ජාගරමානානං

අහෝරත්තානුසික්ඛිනං

නිබ්බාණං අධිමුත්තානං

අත්ථං ගච්ඡන්ති ආසවා
🪷හැම තිස්සේම නින්ද පාලනය කරලා, දිවා රාත්‍රී දෙකේම ධර්මය තුළ හික්මෙන, නිවනෙහි ඇලුණ සිත් ඇති උතුමන්ගේ කෙලෙස් ඔක්කොම විනාශ වෙලා යනවා🪷

කායප්පකෝපං රක්ඛෙය්ය

කායේන සංවුතෝ සියා

කායදුච්චරිතං හිත්වා

කායේන සුචරිතං චරේ

මේ කය ප්‍රකෝප කරගන්නෙ නැතුව රැක ගන්ට ඕනෙ. කයින් සංවර වෙන්නට ඕනෙ. කාය දුෂ්චරිතය අත්හැරලා, කාය සුචරිතයේ හැසිරෙන්ට ඕනෙ

වචීපකෝපං රක්ඛෙය්ය

වාචාය සංවුතෝ සියා

වචීදුච්චරිතං හිත්වා

වාචාය සුචරිතං චරේ

වචනය ප්‍රකෝප කරගන්නෙ නැතුව රැක ගන්ට ඕනෙ. වචනයෙන් සංවර වෙන්ට ඕනෙ. වචී දුෂ්චරිතය අත්හැරලා, වචනයෙන් සුචරිතයේ හැසිරෙන්ට ඕනෙ

මනෝපකෝපං රක්ඛෙය්ය

මනසා සංවුතෝ සියා

මනෝදුච්චරිතං හිත්වා

මනසා සුචරිතං චරේ
🪷