හෙළ කලා කෙතේ පෝෂණය

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
හෙළ කලා කෙතේ පෝෂණය

z_p04-hela3.jpg


අප තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ නිර්මලවූත්, අමා ගුණයන්ගෙන් යුතු වූත් උතුම් ථේරවාදී බුදුදහමින් ප්‍රභාමත් වූ පෙරදිග ලෝකයේ, ඉන්දියන් සයුරු තලය ඒකාලෝක කළ චූඩා මාණික්‍යයක් බඳු වූ අප ශ්‍රී ලංකා ධරණී තලය වර්තමානය වනවිට වසර දෙදහස් පන්සියයකට ආසන්න අතිශය ශ්‍රේෂ්ඨ වූත් අනභිභවනීය වූත් ප්‍රෞඪ ඉතිහාසයක පිය සටහන් දරමින් ආසියාව තුළ වැජඹෙන්නාවූ අභිමානවත්, උතුම් රාජ්‍යයකි. ඈත අතීතයේ ලොව තවත් එක් කුඩා දිවයිනක් පමණක් ම වූ අප සිරිලක් මාතාවගේත්, ලක්වැසි අප සැමගේත් භාග්‍යයක් ලෙසින් මින් වසර දෙදහස් පන්සියයකට පමණ පෙර, එනම් ක්‍රි.පූ. සවැනි සියවස තුළ මෙරට විජයාවතරණය සිදුවූයේ ලක්දෙරණ වැසී ගත් අඳුරු තිමිර පටල සිඳ දැමෙන බවට වූ මග සලකුණු සිරිලක් වංශකතාව තුළ රන් අකුරිත් සනිටුහන් කරමිනි.

එසේ විජය නිරිඳුන්ගෙන් ඇරඹි විකාශනය වූ සිංහල රාජවංශයේ තවත් එක් ස්වර්ණමය රාජ්‍ය සමයක් වූයේ දෙවනපෑතිස් රජ දවසයි. එවකට අප අසල්වැසි භාරත දේශයේ රාජ්‍යත්වය හෙබවූ ධර්මාශෝක අධිරාජ්‍යයාගේ උතුම් සංකල්පයකට අනුව, නිර්මල ථෙරවාදී බුදුදහමේ පාරිශුද්ධියත්, චිර පැවැත්මත් අරමුණු කොටගෙන පවත්වන්නට යෙදුණු බෞද්ධ ඉතිහාසයේ තවත් එක් ස්වර්ණමය සන්ධිස්ථානයක් වූ උතුම් තෙවන ධර්ම සංගායනාවේ අතිශය වැදගත් වූ ප්‍රතිඵලයක් ලෙසින් ද, එවකට ධර්මාශෝක අධිරාජයා හා අප දෙවන පෑ තිස් රජු අතර ගොඩනැඟී තිබූ අදෘෂ්ඨ මිත්‍රත්වයේ ප්‍රතිඵලයක් ලෙසින්ද, විශේෂයෙන් ශ්‍රී ලංකාවාසී අප සැමගේ පුරාකෘත පුණ්‍ය බලමහිමයක් ලෙසින් ද, අප ශ්‍රී ලංකා ධරණී තලයට වන්දනීය මිහිඳු මහරහතන් වහන්සේගේ ආගමනය සිදුවූයේ බුද්ධ වර්ෂ දෙසිය සතිස් වසෙහි උදාවූ උත්තම පොසොන් පොහොය දිනය ලකඹරෙහි රන් අකුරින් සනිටුහන් කරමිනි.

තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පාදස්පර්ශයෙන් තෙවරක්ම පූජනීයත්වයට පත් වූ අප ශ්‍රී ලංකා ධරණී තලය සදහම් දීපයක් ලෙසින් ලෝතලය තුළ දිලෙන්නට එසේ මුල් අඩිතාලම තැබුණේ ශ්‍රී ලාංකික මානව ශිෂ්ටාචාර විකාශනයේ නව හැරවුම් ලක්‍ෂයක් සනිටුහන් කරමිනි. එසේම ලක්දිව සතර දිගන්තය පුරා සදහම් අමා ගඟ ගලා හැළීමේ සමාරම්භය අප දෙවනපෑතිස් රජුගේ රාජානුග්‍රහයෙනුත්, අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ උතුම් අනුශාසකත්වයෙනුත් මෙසේ සනිටුහන් වීය.

එවකට ශ්‍රී ලාංකික ජනයාගේ ආධ්‍යාත්මය සුවපත් වූයේත් ඔවුන් තම රැකවරණය අභිවෘද්ධිය ප්‍රාර්ථනා කළේත් ගස්, ගල්, ගින්න ආදී වූ ස්වභාවික වස්තූන් වන්දනය ඇසුරිනි. එවන් වූ ජන සමාජයක් පැවතියා වූ යුගයක සම්බුදුපියාණන්ගේ උතුම් ධාර්මික ශ්‍රී සද්ධර්මය අතිශය ධාර්මික බවින් හා කලාත්මක බවින් යුක්තව ලාංකික ජන හදවත් තුළට සමීප කරවන්නට මිහිඳු මහරහතන් වහන්සේ අපමණ වූ වෙහෙසක් ගත් බව අප කාටත් නොරහසකි. ඒ අනුව හුදෙක් ධර්මදේශනා පැවැත්වීම්, දහම් සාකච්ඡා දියත් කිරීම්, බණ භාවනාවන් සිදුකිරීම් වලටම පමණක් සීමා නොවෙමින් විවිධ මංපෙත් ඔස්සේ ඉතා කලාත්මක බවකින් ද යුක්තව සදහම් ගඟ ගලායන්නට හැකිවන පරිදි නව දොරගුලු විවර කරන්නට උන්වහන්සේ ඉතා ඥානාන්විතව ක්‍රියා කළ සේක.මිහිඳු මහරහතන් වහන්සේගේ මෙම නව දැක්මේත්, සම්මා වායාමයේත් උතුම් ප්‍රතිඵලයක් ලෙස නොබෝ කලකින්ම පෙර නොවූ විරූ ලෙස හෙළ කලා සම්ප්‍රදායන් නවමු මාවතක් ඔස්සේ දියුණුව කරා පා තැබීමත්, ශ්‍රී ලාංකේය සභ්‍යත්වයේ නිම්වළලු පුළුල්වීමත් ඉතා ආශ්චර්යමත් ලෙස සිදුවීය. මිහිඳු මහරහතන් වහන්සේගේ අනුශාසකත්වයත්, අනුග්‍රහයත් සමඟ වන්දනීය ජය ශ්‍රී මහා බෝ සමිඳුන් රැගෙන ලක්දිවට වැඩම කළ සංඝමිත්තා තෙරණින් වහන්සේ සමඟ අප රටට පැමිණියා වූ දහ අට කුලයක කලාශිල්ප ප්‍රගුණ කළ ප්‍රතිභාපූර්ණ කලාකරුවෝ මෙම සුවිශේෂී කර්තව්‍යයේදී හෙළ කලාකරුවන්ට තම දායකත්වයද ලබා දීමට නොමසුරුව කටයුතු කළ බව කිව යුතු ය. එසේ ආරම්භය සනිටුහන් කළ බෞද්ධ හෙළ කලා සම්ප්‍රදාය භාරත දේශයෙන් අපට ලැබුණු ස්වර්ණකාර, ගල්වඩු, සංගීතඥ, කුඹල් කාර්මික, වාස්තු විද්‍යාඥ, උද්‍යාන ගෝපිත, චිත්‍ර ශිල්පි, පෙදරේරු කාර්මික, රංගන ශිල්පී, කැටයම්කාර, අරක්කැමි, අක්ෂර ශිල්පී, හේරවාදක, සන්නාලි, වඩු කාර්මික, ඡ්‍යොතිර්විද්‍යාඥ, මූර්ති ශිල්පි හා ලෝකුරු යන්නාවූ දහඅටක් කලාශිල්පද සමඟින් නවමු මාවතක් ඔස්සේ, ඉතා දීප්තිමත්ව විකාශනය විය. බුදුදහමින් ලද මානසික සංවරශීලී බව, ප්‍රඥාව හා ඉවසීම වැනි උතුම් ගුණාංග පෙරදැරි කරගෙන සියලු ආභාෂයන් ලබමින් අප හෙළ කලාකරුවන්ද ඉතා ප්‍රතිභාපූර්ණ ලෙස ශ්‍රී ලංකා ධරණී තලයේ, බොදු ගුණ සුවඳ කලාත්මක බවින් යුක්තව පතුරුවා හරින්නට තම කාලය, ශ්‍රමය කැප කළේ ය.

මේ සියල්ලෙහිම වටිනා ප්‍රතිඵලයන් ලෙස අපට උරුම වූ කලා නිර්මාණ රාශියකි. ඒ අතරින් බුද්ධ ප්‍රතිමා වහන්සේ, චෛත්‍යරාජයාණන් වහන්සේ ප්‍රධානම වේ. මීට අමතරව බෞද්ධ කැටයම්, මූර්ති හා චිත්‍ර කලාවද, ඒ ඇසුරින් උපත ලද්දා වූ වාහල්කඩ, වටදාගෙය, මුරගල්, වාමන රූප, චේතියඝර, බෝධිඝර ආදී නිර්මාණ රැසක් ද කලා කෙත සාරවත් කරවීය. එබැවින් මේ සියල්ලක්ම අගය කළ යුතුම වූ අපේ නිර්මාණයන් ය.

22-stone-carvings.jpg

එවකට ආදී ජනසමාජය තුළ මුල්බැස තිබුණා වූ ගල් පර්වත වන්දනයන්ට නවමු අරුතක් එක් කරමින් අතිශය සියුම් ලෙස බුදුදහමද, කලාවද ජන හදවත් තුළට සමීප කරවන්නට මිහිඳු හිමියන්ගේ අනුශාසකත්වය පරිදි හෙළ කලාකරුවන්ට හැකිවිය. අප කලා කෙතට බුද්ධ ප්‍රතිමාවහන්සේ දායාද වූයේ ඒ අනුවය. සිත් පිත් නොමැති, චණ්ඩ මාරුතයකට හෝ සෙලවිය නොහැකි ලෙස තේජස් බවින් යුතුව නිල්වන් ගුවන විනිවිඳ, නැගී සිටින්නා වූ මහා කළුගල් පර්වත තුළින් මනා සියුමැලි බවින් යුක්තව, අමාගුණයන් වෑස්සෙන පරිදි අප සම්බුදුපියාණන්ගේ රුව තැනූ හෙළ කලාකරුවෝ එයට මහා කරුණාව, ප්‍රඥාව වැනි ලොව්තුරු ගුණද එක් කරමින් හෙළ කලාවේ පූජනීයත්වය තව තවත් ඔප් නැංවූහ. අප සිංහල වංශකතාව වූ මහාවංශය පිරික්සා බැලීමේදී, දෙවනපෑතිස් රජු ථූපාරාමයේ මුල්වරට ‘ශිලා පට්මා’ නමින් බුදු පිළිමවහන්සේ නමක් පිහිට වූ බව සඳහන් වේ. එසේ විමසන විට, මහින්දාගමනය අප බෞද්ධ කලා සම්ප්‍රදායට සෘජුවම දායක වී ඇති බව අවිවාදයෙන් පිළිගත හැකි කරුණකි. එසේ ආරම්භ වූ ප්‍රතිමා කලාවට තව තවත් පූජනීයත්වය ද කලාත්මක බවද එක් කළ හෙළ කලාකරුවෝ අභය මුද්‍රාව, ධ්‍යාන මුද්‍රාව, ධම්මචක්ක මුද්‍රාව, භූමිස්පර්ශ මුද්‍රාව ආදී වූ විවිධ මුද්‍රා වර්ගයන්ද, හිටි පිළිම, හිඳී පිළිම, සැතපෙන පිළිම ආදී වූ විවිධ ඉරියව් ද නිරූපණය වන බුද්ධ ප්‍රතිමාවන් නිර්මාණය කරමින් අප බුදුහිමිගේ වන්දනීය භාවය කලාත්මකව, සමාජගත කරන්නට කැපවූහ.

මෙවන් වූ බුද්ධ ප්‍රතිමා වහන්සේලාට නිදසුන් ලෙස, කලාවැවට නෙත් යොමා වැඩ සිටින අවුකන බුද්ධ ප්‍රතිමාවහන්සේ, මාලිගාවිල බුද්ධ ප්‍රතිමාවහන්සේ, ගල්විහාර හිටි පිළිම වහන්සේ මෙන්ම මහමෙවුනා උයනේ සමාධි බුදු පිළිමවහන්සේ වැනි ප්‍රතිමා වහන්සේලා ගෙනහැර දැක්විය හැකිය. මෙම අනභිභවනීය වූ උතුම් බුද්ධ ප්‍රතිමාවහන්සේලා දෙස නෙත් යොමන ඇසිල්ලෙන් සිත සමාධිගත වීමෙන්ම එම නිර්මාණයන් තුළ ඇති ප්‍රභාෂ්වර බවත්, හෙළ කලාකරුවන්ගේ වටිනා උත්සාහයේ සාර්ථකත්වයත් මැනවින් අවබෝධ කරගත හැකිය. අනුරාධපුර යුගයේ දී හෙළ කලා සම්ප්‍රදායට එක්වූ මෙම බුද්ධ ප්‍රතිමා, යුග ගණනාවක්ම කලා කෙත පොහොණි කරමින්, විකාශනය වූ අතර වර්තමානයේ ද එය බෞද්ධ කලා සම්ප්‍රදායේ අගනාම නිර්මාණයක් ලෙස වන්දනීයත්වයට පත්ව තිබේ.

මහින්දාගමනය සිදුවූ යුගයේ සිටම හෙළ කලා කෙත සුපෝෂණය කළ, වර්තමානයේ ද පෝෂණය කරන්නා වූ තවත් එක් වටිනා කලා නිර්මාණයකි. චෛත්‍යරාජයාණන් වහන්සේ, චෛත්‍යය හෙවත් දාගැබෙහි සමාරම්භක අවස්ථාව මහියංගන චෛත්‍යය දක්වා දිව ගියද මහින්දාගමනය නිසා අපට දායාද වූ ගෘහනිර්මාණ ශිල්පයද ඇසුරු කරගෙන, විධිමත් හා පරිපූර්ණ ලෙස කලාව සුපෝෂණය කරන්නට මෙම නිර්මාණය සෘජුවම දායක වීය. පරතෙරක් නොපෙනෙන්නා වූ සුවිසල් ගුවන සිසාරා අභිමානවත් ලෙස නැගී සිටින ශ්වේත වර්ණ චෛත්‍යයරාජායණන් වහන්සේලා, බුදුදහමේ පරිපූර්ණත්වය මෙන්ම ගැඹුරු අර්ථයද මනාව විදහා පායි. ඒ අනුව චෛත්‍යයක සැකැස්ම පිරික්සා බැලීමේදී එහි කොටස් ලෙස පහතින්ම පේසා වළලුද, පසුව ගර්භය, හතරැස් කොටුව, දේවතා කොටුව, කොත් කැරැල්ල හා සිළුමිණ කොත යන කලාත්මක සැලැස්ම දැක්විය හැකිය.

ඒ අනුව මිහිඳු හිමියන්ගේ අනුශාසකත්වයද සහිතව හෙළ කලාකරුවෝ මෙම නිර්මාණයට උතුම් ධාර්මික වූ අර්ථයක්ද එක් කළහ. බෞද්ධයෙකු තම ආගමික ජීවිතයේ තිබෙන ක්ලේශ අවම කරගනිමින් දහම් මාර්ගය දියුණු කොට අවසන නිවනට පත්වීම, පේසා වළලු වල සිට සිළුමිණ කොත දක්වා නිරූපණය වන පරිදි, දහම් මගද කියා දෙන ශ්‍රේෂ්ඨ නිර්මාණයක් ලෙසින් එහි වටිනාකම ඔප් නංවන්නට අප හෙළ කලාකරුවන්ට හැකි වූ බව කිව යුතු ය.

ඝණ්ටාකාර, ඝටාකාර, බුබ්බුලාකාර, ධාන්‍යාකාර ආදී වූ විවිධ කලාත්මක ආකාරයන්ට නිමවූ උන්වහන්සේලාගේ සුවිසල් බව මෙන්ම තේජස් බව ඉදිරියේ පෘථග්ජන අපගේ කායික මෙන්ම මානසික තත්ත්වයේ පවතින සුළු බව අපටම පසක් කරගත හැකිවීම සැබවින්ම විස්මයජනක මෙසේ පොදු ජනයාගේ හදවත් තුළට කතා කිරීමට තරම් අප කලා සම්ප්‍රදාය දියුණුවී තිබීම අප ලද මහත් භාග්‍යයක් නොවන්නේද? එවන් වූ සුවිසල් චෛත්‍යරාජයාණන් වහන්සේලාට නිදසුන් ලෙස මහින්දාගමනයෙන් පසු ඉදි වූ ප්‍රථම චෛත්‍යය වූ ථූපාරාමයද, ඉතිහාසයේ ස්වර්ණමය යුගයක් වූ දුටුගැමුණු රජසමයේ එතුමා විසින් කරවූ මිරිසවැටි චෛත්‍යයද, රුවන්වැලි මහා චෛත්‍යරාජයාණන් වහන්සේද, වළගම්බා රජු විසින් කරවූ අභයගිරි චෛත්‍යයද, මහසෙන් රජු විසින්, ඉදිකරවූ අනුරාධපුර විශාලම දාගැබ වූ ජේතවනාරාම චෛත්‍යයරාජයාණන් වහන්සේද, අප බුදුහිමිගේ ධර්මයෙහි වූ විස්තෘත බව කියාපාන්නා වූ මහා මං සලකුණු ලෙස ශ්‍රී ලක් දෙරණ පුරා නොමැකෙන කලා සම්ප්‍රදායක් ගොඩනගා ඇති බව කිව යුතු ය. එසේ අප කලා කෙත සුපෝෂණ කරන උතුම් නිමැවුමක් වූ චෛත්‍යය අනුරාධපුර යුගයේ සිට ඉදිරියට ද මැනවින් දියුණු වූයේ අප හෙළ රජදරුවන්ගේත්, පොදු ජන සමාජයේත් අනුග්‍රහයෙනි. හෙළ කලා සම්ප්‍රදායේ රන් අකුරින් සැමරුම් තැබුවා වූ තවත් එක් දායදයක් වන කැටයම් කලාව ද අප කලා කෙතෙහි වපුරන ලද්දා වූ රන් බිජුවටයකි. කැටයම් කලාව ඇසුරින් අපට දායාද වූ නිර්මාණ අතර සඳකඩපහණ, කොරවක්ගල, මුරගල, වාමන රූප ආදී නිර්මාණ බෙහෙවින් සුවිශේෂී වේ. මේ අතරින් ද සඳකඩපහණට හිමිවන්නේ අතිශය වැදගත් ස්ථානයකි. බෞද්ධ ගොඩනැඟිල්ලකට, ඇතුළු වන දොරටුව අබියස, පියගැටපෙළ ආරම්භවත්ම පවතින අඩ සඳක් වැනි පහණ අප මෙනමින් හඳුන්වයි. මුල් කාලයේ දී එය ගල් ලෑල්ලක් ලෙස පමණක් පැවතිය ද බෞද්ධ කලාවේ දියුණුවත්, කලා ශිල්පීන්ගේ නිපුණත්වයත් සමඟ එය කැටයම් වලින් අලංකාර වූ හෙළ කලාව පෝෂණය කරන නිර්මාණයක්ම වීය. දැනට අපට දායාද වී ඇති සඳකඩපහණ අතුරින් අගනාම නිර්මාණයක් ලෙස, අනුරාධපුර බිසෝ මාලිගය අසල සඳකඩපහණ දැක්විය හැකිය.
 
Last edited:

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
ඒ අනුව සඳකඩපහණ ද මහින්දාගමනයේ ආභාෂය මතම නිමවුණු ඉතා අනර්ඝ නිර්මාණයක් බව කිව හැකිය. එහි ඇති කැටයම් පිළිබඳ පිරික්සා බැලීමේදීත්, විද්වතුන්ගේ අදහස් සැලකීමේදීත් බොහෝ දුරට පිළිගත් මතයක් වන්නේ මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ මතය පෙන්වාදිය හැකිය.

moonstone.jpg

ඔහුට අනුව එම කලාත්මක මතය නම් සඳකඩපහණේ පිටතින්ම ඇති ගිනිදැල්වලින් කෙලෙස්ද, සතුන් සතර දෙනාගෙන් ජාති, ජරා, ව්‍යාධි, මරණ යනාදී වූ සංසාරික භයද, සංකීර්ණ වූ ලියවැලෙන් තණ්හාවද, හංසයාගෙන් සසර දුකින් මිදීමට තැත් කරන්නා වූ සත්ත්වයාද, සරල ලියවැලෙන් තණ්හාව තුනී වූ බවද, නෙළුම් මලෙන් සසරින් එතෙර වීමද ඉතා කලාත්මකව නිරූපණය කරන බවය. කලාකරුවාගේ බෞද්ධමය සිතිවිලි වල ගැබ්වූ කුසලතාවය මෙමඟින් විදහා පාන අතර හෙළ කලාව පෝෂණය කළ, දෙස් විදෙස් විද්වතුන්ගේද සම්භාවනාවට පාත්‍ර වූ, ලාංකේය මානවයාගේ කලා කෞෂ්‍යල්‍ය තීව්‍රව ජනිත කරන්නාවූ වටිනා නිර්මාණයක් ලෙස මේ අනුව සඳකඩපහණ හැඳින්විය හැකිය.

මීට අමතරව කැටයම් කලාවට අයත් වන්නා වූ තවත් අංග වන කොරවක් ගල්, වාමන රූප, මුරගල් ආදිය ද ශ්‍රී ලාංකික කලා අනන්‍යතාවය විද්‍යාමාන කරන වටිනා දායාදයන්ය. ලක්දිව මුරගල තරම් විශිෂ්ටතම, නිර්මාණාත්මක බවින් යුතු මුරගලක් ලොව මෙතෙක් හමු වී නොමැති අතර ලාංකික මුරගලට වසර දෙදහසකට ආසන්න අතීතයක් ඇති බවද ඓතිහාසික ලේඛන පිරික්සීමේ දී විද්‍යාමාන වන කරුණකි. පූජනීය ස්ථානවලට පිවිසෙන දොරටු සමීපයේ පිහිටුවා ඇති මුරගල, සශ්‍රීකත්වය විදහාපාන, අලංකෘත, ප්‍රෞඪ නිර්මාණයකි. එසේම ‘කොරවක්ගල’ යන කලා නිර්මාණය ද හෙළ කලාවේ පෝෂණයට සෘජුවම දායක වූ නිමැවුමකි. වාමන රූප පිළිබඳවත් එලෙසම කිව හැකිය. වාමන රූප, බෞද්ධාගමික ගැඹුරු අරුතක් ඉස්මතු කරමින් කලා කෙතට දායාද වී ඇත. සෑම තන්හිම ඔවුන් නිරූපණය වන්නේ විශාල බරක් උසුලාගෙන සිටින ආකාරයකිනි. බොදු ආභාෂය ලත් කලාකරුවන් මෙයට ගැඹුරු මෙන්ම වටිනා අරුතක් එක්කර ඇත. එනම් වාමනරූපයන්ගෙන් නිරූපණය වන්නේ ලෝකයේ පෘථග්ජන මිනිසුන් අත්විඳින තාවකාලික සන්තුෂ්ටිය බවත්, ඔවුන් සාංසාරික බර උසුලාගෙන සිටින බවත් යන්නය.

බෞද්ධ කලාශිල්ප අතර චිත්‍රවලට ද අද්විතීය ස්ථානයක් හිමිවේ. දැනට අනාවරණය වී ඇති පරිදි ඉපැරැණිම චිත්‍ර ලෙස අනුරාධපුර යුගයට අයත් සීගිරි බිතු සිතුවම් ගෙනහැර දැක්විය හැක. මහින්දාගමනයේ සෘජු බලපෑමත් සමඟ බෞද්ධ ආභාෂයද ලබමින් අනුරාධපුර යුගයේ දී විධිමත් ලෙස ඇරඹුණු චිත්‍ර කලාව ඉන්පසු යුග ගණනාවක්ම දියුණුවට පත්වෙමින්, එදා මෙදා තුර ඉතිහාසයේ අමරණීය මං සලකුණු තබා ඇති අතර, තිවංක පිළිමගෙයි චිත්‍ර, දඹුලු විහාර චිත්‍ර, දෙගල්දොරුව, රිදීවිහාරය වැනි ස්ථානවලට අයත් වූ චිත්‍ර මෙයට කදිම නිදසුන් වේ. නරඹන්නන්ට කලාත්මක විනෝදාස්වාදය ලබාදෙන අතරතුර සදාචාර සංවර්ධනයට ද දායක වීම මෙම කලාවේ පරමාර්ථය වූ බව කිව යුතුමය. එබැවින් මේ සියලුම නිර්මාණයන් මනා අර්ථපූර්ණ බවකින් හෙබි කලා කෙත සුපෝෂණය කළා වූ අගනා නිමැවුම් බව අපට පසක් කරගත හැකිය.

ශ්‍රී ලාංකේය කලා සභ්‍යත්වයේ නිම්වළලු තව තවත් පුළුල් කළා වූ අතිශය සුවිශේෂී වූත්, අද්විතීය වූත්, තවත් එක් ස්වර්ණමය දායාදයක් ලෙසින් භාෂාව හා සාහිත්‍යය වර්ණයට ලක් කළ යුතු, අගනා දායාදයක් ලෙස හඳුනාගත හැක. මිහිඳු මහරහතන් වහන්සේගේ, උත්තම ශ්‍රී සද්ධර්මය දසදෙස පැතිරවීමේ මහඟු කර්තව්‍යයේ වටිනා ප්‍රතිඵලයක් ලෙස, ශ්‍රී ලාංකික සංස්කෘතියට පොදුවේත්, සිංහල බොදු ජනයාට විශේෂයෙනුත් විධිමත් භාෂාවක් හා සාහිත්‍යයක් දායාද වීම, සැබවින්ම ලක්වැසි සැමගේම පුරාකෘත පුණ්‍ය මහිමයේ මල්ඵල ගැන්මකි. අප රටෙහි ආදිම ශිලා ලේඛනයන්හි ඇති අක්ෂර ඉපැරණි ඉන්දීය බ්‍රාහ්මණ අක්‍ෂරවලට සමානකම් දැක්වීමත්, භාෂාව ද අශෝක රජුගේ සෙල්ලිපි බසට සමානකම් දැක්වීමත් හේතුවෙන් ශ්‍රී ලක් වාසීන්ට විධිමත් බසක් උරුමවීමේ ගෞරවය අප අනුබුදු මිහිඳු හිමියන්ට පිදිය යුතු බව ශ්‍රී ලාංකික ජන හදවත් තුළ නිසැකයෙන්ම රැව් පිළිරැව් දෙන කරුණකි.

මෙසේ දියුණුවට සපැමිණි බෞද්ධ සාහිත්‍යය හා ලේඛන කලාව පාලි සංස්කෘත හා සිංහල යන්නා වූ තෙවැදෑරුම් ලෙස සුපෝෂණය වූ බව කිව යුතු ය. නව දහමක් ශ්‍රී ලාංකේය ජනතාවට සමීප කිරීමේ දී, අප ජනතාව අතර සිහල බස නිතැතින්ම දියුණු වූ අතර පාලි වචන රැසක් ද එක් වීම නිසා සිහල බස වඩ වඩාත් ඔප ගැන්විණ. මෙමඟින් ලක්මවුන් තුළ ජනිත වී සිටියා වූ ගැඹුරු චින්තනයක් උරුම වූ විදග්ධ සිහල ප්‍රාඥයින්ගේ දැනුම කුසලතා වර්ධනය වූ අතර, එවන් වූ ගැඹුරු හා සොඳුරු චින්තාවලෝකනයක කළඑළිදැක්ම හේතුවෙන් සිහල බස තවත් ශ්‍රී ලක් ධරණි තලයේ විරාජමාන වීය. මේ නිසා අනුරාධපුර යුගයේ දැල්වුණු සිහල බස හා සාහිත්‍යය නමැති පහන්සිල යුග ගණනාවක්ම එළිය කරන්නාවූ ආලෝකයක් බඳු වීය.

මෙසේ කළඑළි වැටුණා වූ, සිංහල භාෂාවේ ස්වර්ණමය සන්ධිස්ථානයන්ට නිදසුන් අප හෙළ භාෂා ඉතිහාසය පුරාම විරාජමානව පවතී. අනුරාධපුර යුගයේ දී, ‘හෙළ අටුවා’ වලින් ඇරඹි සිහල සාහිත්‍යයේ ගමන් මඟ දම්පියා අටුවා ගැටපදය, සිඛවලද විනිස, සියබස්ලකර යන්නා වූ කෘති වලින් සුපෝෂණය විය.

එමෙන්ම කලා කෙත පරිපූර්ණ කළ වටිනා ගද්‍ය කෘති රැසක් පොළොන්නරු යුගයෙන් ද හමුවේ. විශිෂ්ට ගත් කතුවරයෙකු වූ ගුරුළුගෝමි පඬිතුමා විසින් රචිත ‘අමාවතුර’ සිහල බසින් රචිත ශ්‍රේෂ්ඨම හා පැරණිම ගද්‍ය කාව්‍යය ලෙස පිදුම් ලැබීම අප හෙළ කලාකෙතේ ස්වර්ණමය අවස්ථාවකි. එමෙන්ම හෙළ බොදු ජනතාවට යහමගට යොමුවීමට විශාල පන්නරයක් වූ බෞද්ධ ග්‍රන්ථ රැසක් මෙසේ හෙළ සාහිත්‍යාර්ණවය බැබළවූ බව කිව යුතුමය. මීට අමතරව දඹදෙණි යුගයේ හෙළ කලාවට දායාද වූ බුත්සරණ, දම්සරණ, සඟ සරණ ද, සද්ධර්මරත්නාවලිය, පූජාවලිය යන්නා වූ කෘතිද හෙළ බස හා කලා කෙත පොහොණි කරවීය. එසේම බෞද්ධාගමික සැමගේ මුදුන් මල්කඩක් වන් වූ පන්සිය පනස් ජාතක පොත් වහන්සේද මෙහිදී සඳහන් කළ යුතුමය.

මේ සියල්ලෙහි ප්‍රතිඵලයක් ලෙස එකල බොදු ජනයා තුළ ගැඹුරු චින්තන ශක්තියත් කලා රසාස්වාදයත් නිරායාසයෙන්ම උද්දීපනය වීය. එසේම හෙළ සාහිත්‍යාර්ණවය පොහොණි කළ සියබස්ලකර, මුවදෙව්දාවත, සසදාවත, කාව්‍යශේඛරය යනාදී පද්‍ය කාව්‍යයන්ද අප කලා කෙතෙහි අංගයක් වූ හෙළ බසෙහි භාවපූර්ණත්වය ඔප් නැංවීය. මහින්දාගමනයේ ආභාෂයත් සමඟ තම ප්‍රතිභාපුර්ණ ප්‍රඥා පාටවය වර්ධනයේ හිණිපෙත්තට නංවාගත් හෙළ කතුවරු ඔවුන්ගේ ප්‍රඥා, රසාස්වාද, චින්තන මහිමයෙන් සදහම් පණිවිඩය සමාජගත කරන්නටත්, කලාව සුපෝෂණය කරන්නටත් එසේ දායක වූහ.

sri_lanka_4.jpg

මේ අයුරින් විමසා බලන විට ශ්‍රී ලාංකේය මානවයාගේ විධිමත් ශිෂ්ටාචාරගත වීමේ හැරවුම් ලක්‍ෂ්‍යය මහින්දාගමනයත් සමඟ සනිටුහන් වූ බව අවිවාදයෙන් පිළිගත හැකි කරුණකි. අප මාතෘභූමිය සවණක් ගණ රැසින් දිදුලවන්නටත්, සිත් තුළ අවිදු අඳුරු දුර කළ හෙළ බොදු පරපුරක් තනන්නටත්, ලකඹරෙහි පෑයූ උතුම් චන්ද්‍ර මණ්ඩලයක් බඳු වූ, උත්තම අනුබුදු මහින්ද මහරහතන් වහන්සේ එදා අපට පරිත්‍යාග කළා වූ බුදුදහමත්, උතුම් බෞද්ධ සංස්කෘතියත්, කලාවත් නොවන්නට සිහල පරපුරේ මෙම ගමන් මඟ හුදෙක් යථාර්ථයක් නොවූ ස්වප්නයක්ම වන්නට ඉඩ තිබුණි. එවන් වූ කාලවකවානුවක උන්වහන්සේ ජීවිත පරිත්‍යාගයෙන් කළා වූ මෙම සුවිසල් මෙහෙවරින් අපට දායාද වූ හෙළ කලා කෙතේ වටිනාකම වචනයෙන් විස්තර කළ නොහැකි තරම් වන්නේ, එසේ දැල්වුණා වූ කලාකෙතෙහි දීප්තිය,යුග ගණනාවක් පසු කරමින් වර්තමානයේ දී ද බැබළෙන්නා වූ නිසා ය. එබැවින් ලක්දෙරණටම අනන්‍ය වූ අනභිභවනීය වූ කලා කෙතක් අස්වැද්දූ, සකලවිධ කලා විස්කම්වලින් ලක්දෙරණ දීප්තිමත් කළ උතුම් මහින්දාගමනයෙන් අපට උරුම වූ අතිශය අග්‍රගණ්‍ය වූ කලාව ඇතුළු සියලුම දායාදයන් දිවිහිමියෙන් රැකගන්නට, ලක්වැසි අප සැම අත්වැල් බැඳ ගනිමු. එවිට අතීතයේ පටන් ථේරවාදී බොදු ගුණ සුවඳ පෙරටු කරගත් ශ්‍රී ලක් ධරණී තලය ඒකාලෝක කළා වූ උත්තම සම්මා සම්බුදුහිමිගේ ශ්‍රී සද්ධර්මයේත්, අම්බස්ථලයෙන් නැගුණා වූ මහින්දාගමනය නම් වූ සූර්ය රශ්මි කදම්භයේත් ප්‍රභාව සකලවිධ වූ ලෝ තලය සිසාරා සියවස් ගණනක් ඉදිරියට ද, ශ්‍රී ලක් නාමයත් සමඟ විරාජමාන වෙමින් පැතිර යනු නොඅනුමානය.



z_p04-hela2.jpg

කුරුණෑගල තෝරයාය හැඟව
ශ්‍රී ආනන්දාරාම දහම් පාසලේ
අශානි ශාලිකා විජේරත්න​
 
Last edited: