“අපරාධයක්” වුණු ප්‍රේමයක්
“අපරාධයක්” වුණු ප්‍රේමයක්
------------------------------------------
ආදරය විටෙක මිනිසුන්ව උමතු කරවයි. උමතු අනුවණ තීරණ ගන්නට පොළඹවයි.
දරාගත නොහැකි අනාදරයද. හුදෙකලාවද එසේමය.
කේට් සොෆෙල් දරාගත නොහැකි අනාදරයක් මැද හුදෙකලා වූ ගැහැණියකි.
කේට් පිට්ස්බර්ග් හි ඇලෙග්නි ජනපද බන්ධනාගාරයේ ප්‍රධාන බන්ධනාගාර පාලකවරයාගේ බිරිද වූවාය. බෙහෙවින් තද ගතිගුණ ඇති බන්ධනාගාර පාලකවරයා සමග ගෙවන විවාහ ජීවිතය කේට්ව පීඩාවට පත් කරවන්නක් වීය. නපුරු ගතිගුණ ඇති සැමියෙකු සමග, දරුවෙකුවත් නැති විවාහ ජීවිතය කේට් ගෙව්වේ දැඩි හුදෙකලාවකිනි. මේ හුදෙකලාව මකා ගන්නට කේට් යොමු වූයේද බන්ධනාගාරය වෙතටමය.
ඇය බන්ධනාගාරයේ උන් රැදවියන්ව යහමගට යොමු කරන්නට ස්වේච්ඡාවෙන් සේවය කරන සමාජ සේවිකාවක බවට පත් වූවාය. බන්ධනාගාර රැදවියන්ට ඇය ශුද්ධ වූ බයිබල් ග්රන්ථයන් ගෙනගොස් දුන්නාය. අසනීප වූ රැදවියන්ට ආහාර පානද, ඖෂධද ගෙනගොස් දුන්නාය.
ඉතින් ඇය බන්ධනාගාර රැදවියන් අතර “සිපිරි ගෙයි රැජිණ” නම් වූවාය.
බන්ධනාගාරයේ අදුරු සිරකුටි අතර ආගමික සැනසීම බෙදමින් ඇවිදින අතරතුර කේට් අලුත් අමුත්තෙකු දුටුවාය.
මේ අමුත්තා අලුත් සිරකරුවෙකි. හේ කඩවසම්ය. තරුණය.
ඒ රුවෙහි කුමක් හෝ ආකර්ෂණයක් ඇතැයි ඔහු දුටුමනතින්ම කේට් සොෆෙල්ට හැගුණි. ඇය ඒ සිරකුටිය අසලට ගියාය.
“ඔයාගෙ නම මොකක්ද..?” ඇය ඇසුවාය. “මොනව කරලද ආවෙ..?”
අමුත්තා අමුතු සිනාවක් පෑවේය.
“මම එඩ්.. එඩ් බිඩ්ල්.. මේ ඉන්නෙ මගේ මල්ලි ජැක් බිඩ්ල්..” ඔහු සිරකුටියේ උන් තම සගයාව පෙන්වමින් කීවේ අර සිනාවෙන් යුතුවමය. “අහල ඇතිනෙ.. අපි ක්ලෝරෆෝම් කල්ලියෙ..”
ඒ වන විට “ක්ලෝරෆෝම් කල්ලිය” ගැන අසා නැති අයෙකු ඒ පලාතේ නොසිටි තරම්ය.
“ක්ලෝරෆෝම් කල්ලිය” 1900 මුල් භාගයේදී ඒ පලාතම බියෙන් හෙල්ලූ කොල්ල කල්ලියකි. මේ කල්ලිය කොල්ලකෑම් වලදී භාවිතා කරන ප්‍රධානම අමුද්‍රව්‍ය වූයේ ක්ලෝරෆෝම්ය. යමෙකුට ක්ලෝරෆෝම් අල්ලා සිහි නැති කරන මේ මංකොල්ල කල්ලිය සිහි නැති වන පුද්ගලයා සතු සියලු සේසත කොල්ලකයි.
මේ ක්ලෝරෆෝම් කල්ලිය පොලිසියට කොටු වූයේ දිනක් ඒ ප්‍රදේශයේ සිල්ලර බඩු වෙලද සැලක් කොල්ලකන්නට ගොස් එහි උන් වෙලදසැල් හිමියාට ක්ලෝරෆෝම් අල්ලන්නට යාමෙනි. ක්ලෝරෆෝම් කුරුමාණම වැරදී ගියේය. වෙලදසැල් හිමියා කොල්ල කල්ලිය සමග පොර බදන්නට වූයේය. එහි ප්‍රතිඵලය වූයේ වෙලදසැල් හිමියාට වෙඩි වැදී ඔහු මිය යාමය. එහෙත් ඒ වන විට පොලිසිය එතැනට පැමිණ හමාරය. පොලිසියත් සමග ඇතිවුණු ගැටුමෙන් මේ කොල්ල කල්ලියේ එක් සාමාජිකයෙක් මිය ගියේය. තවත් සාමාජිකයෙක් රජයේ සාක්ෂි කරුවෙක් බවට පත් විය. දෙදෙනෙක් සාමාජිකාවන්ය. ඔවුන් යොමු වුණේ කාන්තා සිපිරිගෙයටය.
වෙලදසැල් හිමියාගේ මරණයට සෘජුවම හේතු වුණූ එඩ් බිඩ්ල් හා ජැක් බිඩ්ල් මරණීය දණ්ඩනයට නියම විය. ඔවුන්ව මේ පිට්ස්බර්ග් බන්ධනාගාරයේ රදවා තැබෙන්නේ ඒ මරණ දඩුවමට දින නියම වන තුරුය.
“ක්ලෝරෆෝම් කල්ලිය” කොටු වුණු බව ඇසුවාටත් වඩා මිනිසුන් පුදුම වුණේ මේ මුළු කල්ලියම එකම පවුලක සහෝදර සහෝදරියන් බව දැනගැනීමෙනි.
“ඉතින් ඇයි ඔයාලාගෙ පවුලෙ සහෝදර සහෝදරියො සේරම හොරකමට පෙලඹුණේ..?” කේට් එඩ්ගෙන් ඇසුවාය.
“මගේ තාත්තා කැනඩාවෙන් මෙහාට පැනලා ආපු මිනිහෙක්.. නොම්මර එකේ බේබද්දෙක්.. එයා කවදාවත් අපි ගැන බැලුවෙ නෑ.. පුංචිම කාලෙ ඉදන් අපිට සිද්ද වුණා අපි ගැන බලාගන්න.. බඩගිනි වුණාම, කන්න දෙයක් නැති වුණාම.. පුංචි කාලෙ නං අපි එක එක්කෙනාගෙන් ඉල්ලුවා. ඒත් අපිට කවුරු හරි මොනව හරි දුන්නෙ කලාතුරකින්.. වැඩිපුරම හම්බ වුණේ ඇනුම් බැනුම් තමයි.. ඊට පස්සෙ තමයි අපි කන බොන දේවල් හොරකම් කරන්න පටන් ගත්තෙ.. ලොකු වෙනකොට අපි හය දෙනාම හොදට පදම් වෙච්චි හොරු..” එඩ් කියා දැම්මේ කිසිම ගාණකට නැතිවය.
එහෙත් කේට්ගේ හදවත එයින් කම්පාවට පත් විය. එඩ්ගේ අතිශය කඩවසම් පෙනුමත්, ඔහුගේ මේ දුක්බර කතාවත් ඇගේ සිත සොරාගන්නට සමත් වී තිබිණ.
ඇය ඔවුන්ගේ මරණ දඩුවම ලිහිල් කරන්නැයි ඉල්ලමින් ආණ්ඩුකාරවරයාට පවා ලිපි ඉදිරිපත් කළාය.
දින කිහිපයක් ගත වන විට කේට් හා එඩ් පෙම්වතුන් බවට පත්ව උන්හ. කේට් දිනපතාම එඩ් උන් සිරමැදිරිය වෙත ගියාය. ඒ බයිබලය රැගෙන නොවේ. තම පෙම්වතාට රසැති කෑම බීමද, මත්පැන්ද, දුම්වැටිද රැගෙනය.
මරණ දඩුවමට දින කෙමෙන් ලං විය. තම කඩවසම් පෙම්වතා එල්ලා මරන හැටි බලන්නට කේට්ට කොහොමටවත් නොහැකිය.
“අපි පැනලා යමු..” ඇය යෝජනා කළාය. “මං ඔයාට උදව් කරන්නම්..”
ඉතින් එඩ් සැලසුම් හැදුවේය. කේට් ඔහුට ඔහු ඉල්ලූ පිස්තෝලයක් ගෙනැවිත් දුන්නාය. ඔහු කී දිනයේදී, ඔහු කී පරිදිම, තම සැමියා වූ බන්ධනාගාර පාලකයාට ක්ලෝරෆෝම් අල්ලා ඔහුව සෑහෙන වෙලාවකට නිදිගැන්වූවාය.
දැන් එක ප්‍රශ්නයක් ඉවරය. බන්ධනාගාර පාලකයා තවත් සෑහෙන වෙලාවකට කරදරයක් වෙන්නේ නැත. ඉතිරිව ඇත්තේ ජේලර්ලා ගැන බලාගැනීමය.
ඒ වගකීම එඩ් තමන් පිට පවරා ගත්තේය.
“අනේ කවුරු හරි මෙතනට එන්ඩ.. ජැක් අසනීප වෙලා.. එයාට සිහිය නෑ..” ඔහු එක් වරම කෑ ගැසුවේය. අසල උන් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු එතැනට දිව ආහ.
“මෙයාව ඉක්මනට ඉස්පිරිතාලෙකට ගෙනියන්න.. මෙයාට මෙහෙම අසනීපයක් තියෙනවා. ඉක්මනින් බෙහෙත් නොකළොත් මැරිලා යයි..” එඩ් ඒ වන විට බිම වැතිරී උන් ජැක්ව පෙන්වමින් කීවේය.
සිර මැදිරියේ අගුලු විවර කොට ජැක්ව ගෙන යන්නට එතැනට පැමිණි බන්ධනාගාර නිලධාරින්ට එඩ් තමා අත වූ පිස්තෝලයෙන් වෙඩි තැබුවේය. ඉන්පසු සිරකුටියෙන් පැනගත් අයියා මලෝ, ඒ බන්ධනාගාර නිලධාරින්ව තමන් උන් සිර මැදිරියට දමා අගුළු දැමූහ. පිටතට පැමිණි බිඩ්ල් සහෝදරයින් දුටු බන්ධානාගාරයේ සෙසු නිලධාරීහු කලබල වූහ. මුලු බන්ධනාගාරයම එකම කලබැගෑනියක් විය. ඒ කොයි හැටි වුවත්, බන්ධනාගාර නිලධාරීන් කිහිප දෙනෙකු මරා දමමින් හා තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු කරමින්ද, ඉතිරි අයව සිර කුටි වල කූඩු කරමින්ද බන්ධනාගාරයෙන් පැන ගන්නට බිඩ්ල් සහෝදරයින්ට හැකි විය.
බන්ධනාගාරයෙන් පැනගත් මේ සහෝදරයින් දෙදෙන ඉන් පසු කෙලින්ම ආවේ කේට් සොෆෙල්ගේ නිවසටය. එහිදී රැදවියන්ගේ ඇදුමින් මිදුණු ඔවුහු, කේට් විසින් ගෙනැවිත් තිබුණු අලුත් ඇදුම් වලට මාරු වූහ.
ඉන්පසු තිදෙනාම එතැනින්ද පැන ගත්හ.
පීටස්බර්ග් වෙතින් පලාගොස් පෙරිස්විල් කරා පැනගන්නට මේ තිදෙනාට හැකි විය. එහෙත් වරින් වර ගිමන් හරින්නට තැන් තැන් වල නවතින්නට කේට් සොෆෙල්ට උවමනා විය. හිම වැටෙන සීතලේ එතරම් දුරක් වේගයෙන් ගමන් කරන්නට දුර්වල කේට් සොෆෙල්ට පුලුවන් කමක් තිබුණේ නැත. ඔවුන්ගේ ගමනේ වේගය අඩු වූයේ එනිසාවෙනි.
එහෙත් ඒ වන විටත් පොලිසිය ඔවුන් පසු පස හඹා එමින් සිටියහ. ඈත තියා මේ තිදෙනාව දුටු පොලිසිය තවත් මොහොතක්වත් පමා නොවී වෙඩි ප්‍රහාර එල්ල කරන්නට වූහ.
එයින් එක් වෙඩි උණ්ඩයක් එඩ්ගේ පපුව පසාරු කරගෙන ගියේය. ඔහු ඇද වැටිණ. තවත් විනාඩි කිහිපයක් යන්නට කලින් ජැක්ද වෙඩි පහරකට ගොදුරුව එතැනම මිය ගියේය.
තමන්ගේ කඩවසම් පෙම්වතා එඩ් තමන්ගේ දෑස් ඉදිරිපිටම මිය යමින් සිටින හැටි කේට් සොෆෙල්ට දරා ගන්නට බැරි විය. ඒ වන විටත් එඩ් අතර රැදී තිබුණු පිස්තෝලය තම අතට ගත් ඇය එයින් තමන්ගේ පපුවට වෙඩි තබා ගත්තාය.
එඩ් හා ජැක් බිඩ්ල් මිය ගිය නමුත් කේට් සොෆෙල්ට මිය යන්නට වාසනාවක් තිබුණේ නැත. ඇය පොලිස් අත් අඩංගුවට පත් වූවාය.
මරණ දඩුවම නියමවුණු දාමරිකයින් දෙදෙනෙකුට සිරෙන් පැන යන්නට උදව් කිරීමේ වරදට ඇයට දෙවසරක සිර දඩුවම් නියම විය. ඒ දෙවසර නිමවී කේට් සිර ගෙදරින් පිටතට ආවේ තමන්ගේ කියා කිසිවෙක් නැති ලොවකටය. ඇගේ පවුලේ අය ඇයට නෑකම් කියන්නටවත් කැමති වූයේ නැත. මුළු සමාජයෙන්ම ඇයට ලැබුණේ ගැරහුම් සහ නින්දා පමණකි. ඇයට දිවි ගෙවන්නට සිදු වූයේ දැඩි අගහිග කම් මැදය.
අපරාධකරුවෙකුට පෙම් කළ වරදට කේට් සොෆෙල් ජීවිතාන්තය දක්වා සමාජයෙන් දඩුවම් වින්දාය. ඒ දරුණු දඩුවම අවසන් වූයේ එයින් වසර හයකට පසුව 1909 දී ඇය සෙංගමාලය වැලදී මිය යාමෙන් පසුවය.
නිම්මි මුදිතා හේරත්.
මේ ඇසුරින් 1984 නිපදවුණු මෙල් ගිබ්සන් රගපෑ Mrs. Soffel චිත්‍රපටයේ පෝස්ටරය.