"James Webb' අභ්‍යවකාශ දුරේක්ෂය (James Webb Space Telescope) යොදාගනිමින්, අඟහරු ග්‍රහයාගේ නැගෙනහිර අර්ධගෝලයෙගි ලබාගත් අධෝරක්ත කිරණ ඡායාරූප (infrared images) කිහිපයක් නාසා ආයතනය විසින් ඊයේ දිනයේදී එළි දක්වන ලදී. "James Webb' අභ්‍යවකාශ දුරේක්ෂයෙහි වූ 'Near Infrared Camera' (NIRCam) නමින් හදුන්වන උපාංගය මගින් ලබාගත් මෙම ඡායාරූපයන් මගින් අඟහරු ග්‍රහයාගේ පෘෂ්ඨීය උෂ්ණත්වය හා වායූගොලයෙහි පවතින ස්වභාවය, අධෝරක්ත කිරණ තරංග ආයාමයන් ද්විත්වයකින් නිරූපණය කොට තිබේ. දෘෂ්‍ය ආලෝක ඡායාරූපයන්හී'දී (visible-light images) පවා දිස්වන අඟහරු ග්‍රහයාගේ වූ මතුපිට ලක්ෂණයන්, අඟහරුගේ පෘෂ්ඨයෙහි ගැටුණු සූර්යයාලෝකය පරාවර්තනය වීම හේතුවෙන් කෙටි අධෝරක්ත කිරණ තරංග ආයාමයන්හීදී ද හසුකරගැනීමට මෙහිදී සමත් වී තිබෙන අතර දිගු අධෝරක්ත කිරණ තරංග ආයාමයන්හීදී හසුකරගත් දත්ත මගින් අඟහරුගේ පෘෂ්ඨයෙන් හා වායුගෝලයෙන් විමෝචනය වන තාපය මෙන්ම වායුගෝලයෙහි පවතින කාබන්ඩයොක්සයිඩ් සාන්ද්‍රණය පිළිබදව කරුණු හෙළි කොට තිබේ.
Credit: NASA, ESA, CSA, STScI, Mars JWST/GTO team
"James Webb' අභ්‍යවකාශ දුරේක්ෂය මගින් අඟහරු ග්‍රහයා වැනි පෘථිවියට ආසන්නයෙන් වූ ආකාශ වස්තුවක් නිරීක්ශනය කිරීමේදී එල්ලවන ප්‍රධාන අපහසුතාවයක් වන්නේ, අඩු ආලෝකයක් පරාවර්තනය කරන දුරස්තර ආකාශ වස්තූන්ට සාපේක්ෂව අඟහරුගේ වැනි සමීපයෙන් පිහිටි ආකාශ වස්තුවක පෘෂ්ඨයෙන් වැඩි සූර්යාලෝකයක් පරාවර්තනය වීම හේතුවෙන් දුරේක්ෂයෙහි වූ අනාවරකයන් (detectors) දත්තයන්ගෙන් පිරී යාම සිදු වීමයි. එමනිසා කෙටි නිරාවරණ කාලයන්ගෙන් යුක්ත වූ, ආලෝකයන්ගෙන් තෝරාගත් කොටසක් පමණක් අන්තර්ගත වූ දත්තයන්, අනාවරකයන්ගෙන් උකහා ගනිමින් දත්ත විශ්ලේෂණයන් සිදු කිරීමට විද්‍යාඥයන් හට මෙහිදී සිදුවී තිබේ. මෙම ඡායාරූපයන් මගින් නිරූපණය වූ අඟහරු ග්‍රහයාගේ වර්ණාවලියන් මගින් එළිවූ අඟහරුගේ පෘෂ්ඨයේ හා වායුගෝලයෙහි ස්වභාවය පිළිබදව කරුණු මීට පෙර සිටම විද්‍යාඥයන් විසින් දැනසිටි කරුණු වූවද අනෙක් දුරේක්ෂයන් භාවිතයෙන් එක් රැස් කර ගත නොහැකි කරුණු, "James Webb' අභ්‍යවකාශ දුරේක්ෂය මගින් එක් රැස් කර ගැනීමට පවතින හැකියාව සනාථ කරන එක් අවස්ථාවක් බව ඔවුන්ගේ අදහසයි.
Credit: NASA, ESA, CSA, STScI, Mars JWST/GTO team
අඟහරු වැනි ග්‍රහලොවක මුළු පෘෂ්ඨයම කෙටි නිරාවරණ කාලයක් (short exposure time) තුළදී ඉතා ඉහළ විභේදන බලයකින් (high resolution) යුක්තව හසුකර ගැනීමට "James Webb' දුරේක්ෂයට පවතින හැකියාව හේතුවෙන් අඟහරු මත ඉතා කෙටි කාල පරිච්ඡේදයක් තුළ ඇතිවන දූවිලි කුණාටු මෙන්ම කාලගුණික හා සෘතු විපර්යාසයන් ද හසුකර ගැනීමේ අවස්ථාව ඉදිරි අනාගතයේදී හිමිවනු ඇත. එමෙන්ම අඟහරු ග්‍රහයාගේ වායුගෝලයෙහි කුඩා සාන්ද්‍රණයන්ගෙන් පවතින මිතේන් හා හයිඩ්‍රජන් ක්ලෝරයිඩ් වැනි වායුන් පිළිබදව සිදුකරන ගවේශණයන් මගින් අඟහරු මත සිදුවිය හැකි හැකි ජීව විද්‍යාත්මක හෝ භූ විද්‍යාත්මක ක්‍රියාවලීන් පිලිබදව කරුණු අවබෝධ කර ගැනීම ද විද්‍යාඥයන් සතු වූ තවත් එක් පරමාර්ථයකි.
මූලාශ්‍රය: Mars Is Mighty in First Webb Observations of Red Planet
බැරි දේවල් නොකර ඉන්න ඕනේ මන් නම් කියන්නේ