18 වන ශත වර්ෂයේ විසූ ප්‍රංශ ජාතික තාරකා විද්‍යාඥයකු වූ "Charles Messier" මහතා විසින් ආකාශ වස්තූන් වර්ගීකරණය කිරීම සදහා නිර්මාණය කරන ලද "Messier objects" නම් වර්ගීකරණයේ 88 වෙනි ස්ථානයට ඇතුලත් කර තිබෙන පහත දැක්වෙන ඡායාරූපය මගින් නිරූපණය කෙරෙන සර්පිල මන්දාකිණිය (spiral galaxy) එහි හදුන්වා දී තිබුණේ තාරකාවන්ගෙන් තොර වූ සර්පිල නිහාරිකාවක් ලෙසය. නමුත් වර්තමානයේදී "Messier 88" නැතහොත් "M88' හා "NGC 4501" යන නාමයන්ගෙන් ද හදුන්වනු ලබන මෙය, තාරකාවලින් පමණක් නොව දූවිලි හා වායූන්ගෙන් ද සමන්විත වී පවතින දැවැන්ත සර්පිල මන්දාකිණියක් ලෙස තාරකා විද්‍යාඥයන් විසින් හදුනාගෙන තිබේ.
පෘථිවියේ සිට ආලෝක වර්ෂ මිලියන 65.23 ක දුරින් පිහිටා තිබෙන, අරය ආලෝක වර්ෂ මිලියන 7.5 ක් වන කලාපයක විහිදී ගොස් තිබෙන 'Virgo Cluster' නම් මන්දාකිණි පොකුරට අයත් දීප්තිමත්ම මන්දාකිණියක් ලෙස සලකනු ලබන මෙම "Messier 88" සර්පිල මන්දාකිණිය පෘථිවියේ සිට ආලෝක වර්ෂ මිලියන 50 ත් 60 ත් අතර දුරකින්, "Coma Berenices" නම් තාරකා රාශියට අයත්ව පිහිටා තිබේ. මනරම් සර්පිල බාහූන්ගෙන් සැදුම් ලත් මෙම මන්දාකිණියෙහි විෂ්කම්භය ආලෝක වර්ෂ 100 000 ක් පමණ වන බව ගණන් බලා තිබේ.
එම සර්පිල බාහූන් තුළ නිල් පැහැයෙන් දිස්වන තාරකා පොකුරු හා රෝස පැහැයෙන් දිස්වන නව තාරකාවන් උපැද්දවීම් සිදු කරන ප්‍රදේශයන් ද (star-forming regions) පිහිටා ඇති අතර මන්දාකිණිය මධ්‍යයයේ ඇති දීප්තිමත් කහ පැහැති හරයේ සිට පිටතට විහිදී ගොස් ඇති අඳුරු දූවිලි මාවත්වලින් ද සැදුම්ලත්ව පවතී. තාරකාවන් බිලියන 400 ක් පමණ මෙම සර්පිල මන්දාකිණිය තුළ පිහිටා තිබෙන අතර මන්දාකිණිය මධ්‍යයයේ පවතින දැවැන්ත කළු කුහරයෙහි (supermassive black hole) ස්කන්ධය, සූර්ය සකන්ධ (solar masses - M☉) මිලියන 80 ක් පමණ අගයකින් ද යුක්ත වේ.
Image Credit & Copyright: Adam Block, Mt. Lemmon SkyCenter, U. Arizona
Messier 88
Messier 88 – the NGC 4501 Spiral Galaxy
