නාසා ආයතනයේ "James Webb" අභ්‍යවකාශ දුරේක්ෂය (James Webb Space Telescope) මගින් විශ්වයේ මෙතෙක් සොයාගත් පැරණිතම මන්දාකිණි ද්විත්වය සොයා ගැනීමට පසුගියදා සමත් විය. "James Webb" අභ්‍යවකාශ දුරේක්ෂය මගින් සිදුකළ ආරම්භක මෙහෙයුම් අතරින් එකක් වූ "Grism Lens-Amplified Survey from Space" (GLASS) මෙහෙයුම යටතේ සිදු කළ ගවේෂණයකදී මෙම සොයාගැනීම සිදුකර ගැනීමට සමත් විය. මෙහිදී "James Webb" දුරේක්ෂයේ අවධානය යොමු වුණේ "Abell 2744" නැතහොත් 'Pandora's Cluster' යන අනුවර්ථ නාමයෙන් හැදින්වූ මන්දාකිණි පොකුර (galaxy cluster) වෙතයි. පෘථිවියේ සිට ආලෝක වර්ෂ බිලියන 3.98 ක් ඈතින් පිහිටා ඇති ආලෝක වර්ෂ මිලියන 350 ක වපසරියක් පුරා පැතිරී පවතින මෙම මන්දාකිණි පොකුරෙහි වූ දැවැන්ත ගුරුත්වය මගින් එහි ඇතිකරන ගුරුත්ව කාච ආවරණය (gravitational lensing) හේතුවෙන් එම මන්දාකිණි පොකුරට පිටුපසින් හා ඉතා ඈතින් පිහිටි මන්දාකිණියන්ගේ රූපයන් විකෘති හා විශාලනය වූ ආකාරයෙන් දිස්වීම සිදුවන අතර එසේ දිස්වන මන්දාකිණියන් පිළිබදව සිදුකළ නිරීක්ශනයන්හීදී මෙම මන්දාකිණි ද්විත්වය සොයා ගැනීම සිදුකර තිබේ.
"GLASS-z11" සහ "GLASS-z13" ලෙස නම් කර ඇහි මෙම මන්දාකිණි ද්විත්වය, "redshift scale" නම් දර්ශකයේ (redshift යනු විද්‍යුත් චුම්භක විකිරණ තරංග ආයාමයේ වැඩි වීම සහ ඊට අනුරූපී සංඛ්‍යාතයේ සහ ෆෝටෝන ශක්තියේ අඩු වීමේ ස්වභාවය අනුව ආකාශ වස්තූන් අතර දුර මැනීමට භාවිතා කරන දර්ශකයකි) '11' හා '13' යන අගයයන්ට සමාන වූ දුරකින් පිහිටා තිබේ. මෙම 'redshift' අගයයන්ට අනුව මෙම මන්දාකිණියන් ද්විත්වය බිහිවීම සිදුවී තිබෙන්නේ මීට වසර බිලියන 13.4 කට පෙර එනම් විශ්වය බිහිවීමට හේතුවූ මහා පිපිරුම (The Big Bang) සිදුවී වසර මිලියන 400 - 300 අතර කාලයකට පසුව (මහා පිපිරුම සිදුවූයේ වසර බිලියන 13.8 කට පෙරය) බව විශ්වාස කරනු ලබයි. මෙම දත්තයන් ලබාගැනීම සදහා "James Webb" අභ්‍යවකාශ දුරේක්ෂයේ වූ "NIRCam" (Near Infrared Camera) නම් කැමරා උපාංගය භාවිතා කර තිබෙන අතර මෙම "Grism Lens-Amplified Survey from Space" (GLASS) මෙහෙයුම යටතේ "50 square arcminutes" ක වපසරියක් පුරා විහිදී පවතින අවකාශ කලාපයක මෙම නිරීක්ශනයන් සිදු කර තිබේ.
මෙම දීප්තිමත්, පැරණි මන්දාකිණියන් අධ්‍යයනය කිරීම හා සිතියම් ගත කිරීම මගින් මේවා බිහිවීමේදී එහි වූ පදාර්ථයන්ගේ සිදුවූ සංකේන්ද්‍රණ ක්‍රියාවලියන් හා එම පදාර්ථයන්ගේ මෙන්ම අඳුරු පදාර්ථයේ (dark matter) බෙදීයාම මහා පිපිරුමෙන් වසර මිලියන සිය ගණනකට පසු කාලයේදී සිදුවූ ආකාරය පිළිබදවත් කරුණු හෙළිකර ගැනීම තාරකා විද්‍යාඥයන්ගේ මූලික අරමුණ වී තිබේ. මෙහිදී සොයාගත් තවත් සුවිශේෂී කරුණක් වනුයේ "GLASS-z11" මන්දාකිණිය දික් වූ, වර්ධනය වන සර්පිලාකාර තැටියකින් සමන්විතව තිබූ බවත්, මේ හේතුවෙන් "GLASS-z11" හා "GN-z11" යන මන්දාකිණි ද්විත්වයේ ව්‍යුහයන් වර්ධනය වීම ඉතා සීඝ්රයෙන් සිදු වී ඇති බවත්ය. අපගේ ක්ෂීරපථය මන්දාකිණිය මෙන් නොව (ක්ෂීරපථය මන්දාකිණියේ විෂ්කම්භය ආලෝක වර්ෂ 100000 ක් පමණ වන අතර තාරකාවන් බිලියන 200 කට ආසන්න ප්‍රමාණයක් පිහිටා තිබේ) විශාලත්වය අතින් කුඩා, එනම් විෂ්කම්භය අතින් ආලෝක වර්ෂ 3000 ත් 4500 ත් අතර ප්‍රමාණයක් ගත් අතර අපගේ සූර්යයාගේ ස්කන්ධය මෙන් බිලියන ගණනක ස්කන්ධයකින් යුක්ත ඉතා දීප්තිමත් තාරකාවන් තිබෙන්නට ඇති බවත් මෙහිදී සොයාගෙන තිබේ.
නමුත් කාලයත් සමග මෙම මන්දාකිණියන්ගේ ස්වභාවය වෙනස් වී යන්නට ඇති බවත් (මෙහි දිස්වන්නේ මෙම මන්දාකිණි මීට වසර බිලියන 13.4 කට පර දිස්වූ ස්වභාවයෙන් වන බැවින්) පසු කලකදී අනෙකුත් මන්දාකිණි සමග සිදුවූ ඒකාබද්ධ වීම් හේතුවෙන් "GLASS-z11" හා "GLASS-z13" මන්දාකිණි ද්විත්වය දැවැන්ත ඉලිප්සාකාර මන්දාකිණියන් ( elliptical galaxies) බවට පරිවර්ථනය වන්නට ඇති බවටත් විශ්වාස කෙරේ. එමෙන්ම විශ්වයේ සිදුවන ප්‍රසාරණ ක්‍රියාවලිය හේතුවෙන් වර්ථමානය වනවිට මෙම මන්දාකිණි පෘථිවියේ සිට ආලෝක වර්ෂ බිලියන 32 කටත් වඩා අධික දුරකින් පිහිටා තිබීම හේතුවෙන් මිහිපිට හෝ අභ්‍යවකාශයේ පවතින කිසිදු දුරේක්ෂකින් මෙම මන්දාකිණියන් නිරීක්ශනය කිරීමේ හැකියාවක් නොපවතී.
"James Webb" අභ්‍යවකාශ දුරේක්ෂය ලබාගත් "GLASS-z13" මන්දාකිණියේ ඡායාරූපයන්
මෙම මන්දාකිණිය චිත්‍ර ශිලිපියෙකුගේ තෙලි තුඩින් දුටු ආකාරය





