පහත දැක්වෙන ඡායාරූපය මගින් නිරූපණය වන "Lobster Nebula" නමින් හදුන්වනු ලබන විසරණ නිහාරිකාව (diffuse nebula) තුළ මෙතෙක් විශ්වයෙහි හදුනාගෙන තිබෙන දැවැන්තම තාරකාවන් අතරින් බොහෝමයක් බිහිවී තිබේ. මෙලෙස අනෙක් නිහාරිකාවන්ට වඩා මෙම නිහාරිකාව තුළ විශාලතම තාරකාවන් බිහිවීමට හේතුවූ සුවිශේෂී කරුණ කුමක් ද යන්න වර්තමානයේදී ද තාරකා විද්‍යාඥයන් අතර මතභේදයට දුටු දී ඇති කරුණක් බවට පත්ව ඇත. "NGC 6357" යන වර්ගීකරණ නාමයෙන් ද හදුන්වනු ලබන මෙම "Lobster Nebula" හි පිහිටා ඇති විවෘත්ත තාරකා පොකුරක් (open star cluster) වන "Pismis 24" නම් වූ තාරකා පොකුර මෙම නිහාරිකාවේ මධ්‍යයයට වන්නට පිහිටා ඇති අයුරු මෙහිදී නිරීක්ශනය කළ හැකි අතර ආසාමාන්‍ය දීප්තියකින් යුක්ත වූ දැවැන්ත තාරකාවන් බොහෝමයක් සදහා ද මෙමගින් වාසස්ථානයන් සපයා ඇත.
සමස්ථයක් ලෙස මෙම නිහාරිකාවෙහි වූ නව තාරකාවන් උපැද්දවීම සිදු කරන ප්‍රදේශයෙන් නිකුත් වන රතු පැහැ දීප්තියට එහි වූ අයනීකෘත හයිඩ්‍රජන් වායුව මගින් සිදුවන විමෝචනය හේතුවී තිබේ. මෙහි දිස්වන නිහාරිකාව වටා වූ ප්‍රදේශයෙහි සංකීර්ණ ලෙස නිර්මාණය වූ තීරු ආකාරයෙන් අඳුරු දූවිලි, වායු හා තවමත් බිහිවෙමින් පවතින තාරකාවන් හා මෑතදී බිහිවූ නව තාරකාවන්ගෙන් ද සමන්විතව පවතී. මෙම ප්‍රදේශයන්ගෙන් නිරූපණය වන සංකීර්ණ රටාවන් නිර්මාණය වීම සදහා එම ප්‍රදේශයන් සමග සංකීර්ණ අන්තර්ක්‍රියා පවත්වන අන්තර්තාරකා සුළං, විකිරණ පීඩනයන්, චුම්බක ක්ෂේත්‍රයෙහි හා ගුරුත්වය මගින් එල්ලවන බලපෑම් හේතු වී තිබේ.
පහත දැක්වෙන "Lobster Nebula" නිරූපණය වන මෙම අපූර්ව ඡායාරූපය හසුකර ගැනීම සිදුකර තිබෙන්නේ චිලී රාජ්‍යයයේ පිහිටි "Cerro Tololo Inter-American Observatory" නම් වූ අභ්‍යවකාශ නිරීක්ශනාගාරයේ වූ මීටර 4 ක විෂ්කම්භයකින් යුක්ත දර්පණයකින් සමන්විත "Blanco' නම් දුරේක්ෂයෙහි (Blanco Telescope) රදවා ඇති ඇමෙරිකා එක්සත් ජනපද බලශක්ති දෙපාර්තමේන්තුවට අයත් "Dark Energy Camera" (DECam) නමින් හදුන්වන කැමරා උපාංගය මගිනි. පෘථිවියෙහි සිට ආලෝක වර්ෂ 8000 ඈතින්, "Scorpion' තාරකා රාශිය දෙසට වන්නට පිහිටා තිබෙන මෙම "Lobster Nebula' හි විෂ්කම්භය ආලෝක වර්ෂ 400 ක පමණ අගයකින් යුක්ත වේ.
Image Credit: CTIO/NOIRLab/DOE/NSF/AURA
Processing: T. A. Rector (U. Alaska Anchorage/NSF’s NOIRLab), J. Miller (Gemini Obs./NSF’s NOIRLab), M. Zamani & D. de Martin (NSF’s NOIRLab)
NGC 6357 - The Lobster Nebula
