නාසා ආයතනය විසින් 2009 වසරේදී අභ්‍යවකාශ ගත කළ "Lunar Reconnaissance Orbiter" නම් චන්ද්‍ර ගවේශන යානය විසින් ලබා ගත් දත්ත ඇසුරු කරගෙන, 2022 වසරේදී ඇතිවීමට නියමිත චන්ද්‍ර කලාවන්/ චන්ද්‍ර මාස (lunation) 12 සිදුවන ආකාරය පෘථිවියේ උත්තර අර්ධ ගෝලයේ සිට නිරීකශනය කරන විට දිස්වන අයුරු දැක්වෙන වීඩියෝවක්, අද නාසා ආයතනය විසින් දිනයේ නාසා ඡායාරූපය/වීඩියෝව ලෙස තෝරාගෙන තිබේ. චන්ද්‍ර මාසයක් එනම්, චන්ද්‍ර කලාවක් දින 29.5 ක කාලයකට (නිවැරදිවම ගත හොත් දින 29යි, පැය 12යි, මිනිත්තු 44යි, තත්පර 2.8යි) සමාන වන අතර එම චන්ද්‍ර කලාවක් New Moon, first quarter, full Moon, හා last quarter (අප සිංහල භාෂාවෙන් හදුන්වන අමාවක, පුර අටවක, පුර පසලොස්වක හා අව අටවක) ලෙස අදියර 4 කින් සමන්විත වේ. මේ සියල්ලක්ම සිදුවන කාලය ඇතුලත සැමවිටම චන්ද්‍රයාගේ එක් පැත්තක් පමණක් පෘථිවියට මුහුණලා පවතින අතර ඒ අතර කාලයේදී සූර්යයාගෙන් ලැබෙන ආලෝකය සද මත පතිත වන්නේ විවිධ කෝණයන්ගෙන් ය. මෙම වීඩියෝවේ එක් රූපරාමුවකින් (Frame) පැය 1 කාලයක් නිරූපණය වන අතර එවැනි රූපරාමු රාශියක සුසංයෝගයෙන් හා එකතුවෙන් මේ වීඩියෝව නිර්මාණය කර තිබේ.