"James Webb" අභ්‍යවකාශ දුරේක්ෂය (James Webb Space Telescope) මගින් ලබාගත් "Cartwheel Galaxy" නැතහොත් "ESO 350-40" හා "PGC 2248" යන නාමයන්ගෙන් ද හදුන්වනු ලබන කාචාකාර මන්දාකිණියෙහි (lenticular galaxy) නවතම ඡායාරූපයක් ඇමරිකාවේ නාසා ආයතනය විසින් එළිදැක්වීම ඊයේ දිනයේදී සිදුකරන ලදී. පෘථිවියේ සිට ආලෝක වර්ෂ මිලියන 500 ක් පමණ දුරින්, 'Sculptor' නම් තාරකා රාශියේ පිහිටා තිබෙන, ආලෝක වර්ෂ 144 300 ක විෂ්කම්භයකින් යුක්ත වූ මෙම මන්දාකිණිය "Cartwheel Galaxy" නමින් හැදින්වීමට එහි පවතින කරත්ත රෝදයක ආකාරයක් ගන්නා ස්වභාවය හේතු වී තිබේ. "James Webb" දුරේක්ෂය මගින් ලබාගත්, මෙම "Cartwheel" මන්දාකිණිය දැක්වෙන අපූරු අධෝරක්ත කිරණ (infrared) ඡායාරූපය මගින් එම මන්දාකිණිය තුළ සිදුවන නව තාරකාවක බිහිවීම හා මන්දාකිණිය මධ්‍යයයේ වූ කළුකුහරය පිළිබදව වූ නවතම දත්තයන් රාශියක් අනාවරණය කිරීම සිදු කර ඇති අතර "Cartwheel" මන්දාකිණිය යාබදව පිහිටා තිබෙන තවත් කුඩා සහචර මන්දාකිණි (companion galaxies) ද්විත්වයක් ද නිරූපණය කර ඇත.
"Near-Infrared Camera" (NIRCam) කැමරාව මගින් ලබාගත් "Cartwheel" මන්දාකිණියේ ඡායාරූපය
මීට වසර මිලියන 200 ක පමණ ඉහතදී දැවැන්ත සර්පිල මන්දාකිණියක් (spiral galaxy) හා තවත් කුඩා ප්‍රමාණයේ මන්දාකිණියක් අතර සිදුවූ ගැටීම (Galaxy merger /galaxy collision) හේතුවෙන් මෙම "Cartwheel" මන්දාකිණිය බිහිවන්නට ඇතැයි තාරකා විද්‍යාඥයන්ගේ මතය වී තිබේ. මෙම ගැටීම "Cartwheel" මන්දාකිණියෙහි වූ මෙම සුවිශේෂී හැඩය හා ව්‍යුහය සදහා හේතු වී ඇති අතර ඒ හේතුවෙන් මෙම මන්දාකිණිය සතුවූ දීප්තිමත් අභ්‍යන්තර වළල්ල හා ඒ වටා පිහිටා ඇති වර්ණවත් බාහිර වළල්ල නිර්මාණය වී තිබේ. මෙම වළලු ද්විත්වය, පොකුණක ජලය මතට ගල් කැබැල්ලක් පතිත කළ විට හටගන්නා රැළි සේ, මන්දාකිණි ගැටීම සිදුවූ මධ්‍යයයේ සිට ඉවතට ප්‍රසාරණය වී ගොස් ඇති අතර අපගේ ක්ෂීරපථය මන්දාකිණිය වැනි සර්පිල මන්දාකිණියන්හි සුලභව දක්නට නොලැබෙන ආවේණික ලක්ෂනයන් මෙම "Cartwheel" මන්දාකිණිය සතු වීම හේතුවෙන් “ring galaxy” ගණයේ මන්දාකිණියක් ලෙස ද සලකනු ලබයි.
"Cartwheel" මන්දාකිණියේ හරය (core), උණුසුම් දූවිලි වළාවන්ගෙන් ගහණව පවතින අතර එහි පවතින දීප්තිමත් කලාපයන් තුළ දැවැන්ත, යොවුන් තාරකා පොකුරු ද පිහිටා ඇත. මේ අතර මන්දාකිණියෙහි වූ බාහිර වළල්ල වසර මිලියන 440 ක සිට ප්‍රසාරණය වීම සිදුවෙමින් පවතින අතර එය තුළ නව තාරකාවන්ගේ බිහිවීම් මෙන්ම විශාල සුපර්නෝවා පිපිරීම් ද නිරන්තරයෙන් සිදු වේ. එමෙන්ම මෙම බාහිර වළල්ල ප්‍රසාරණය වීම හේතුවෙන් ඊට ඔබ්බෙන් වූ අවකාශයේ වූ වායූන් මත සිදුකරන බලපෑම් හේතුවෙන් නව තාරකාවන්ගේ බිහිවීම සදහා පොළඹවා හැරීමක් ද සිදු කරයි. "James Webb" අභ්‍යවකාශ දුරේක්ෂයේ වූ "Near-Infrared Camera" (NIRCam) අධෝරක්ත කිරණ කැමරාව යොදාගනිමින් මයික්‍රෝන 0.6 සිට 5 දක්වා වූ අධෝරක්ත කිරණ පරාසය තුළ වූ තරංග ආයාමයන්හී දී ලබාගත් මෙම ඡායාරූපය තුළින් දෘෂ්‍ය ආලෝකයේදී (visible ligh) මෙම මන්දාකිණියෙහි දක්නට ලැබෙන තාරකාවන්ට වඩා විශාල තාරකාවන් ප්‍රමාණයක් හසුකර ගැනීමට මෙහිදී හැකියාව ලැබී තිබේ.
මන්දාකිණියේ බාහිර වළල්ල තුළ බිහිවූ යොවුන් තාරකාවන් දූවිලි මගින් ආවරණය වී පැවතීමේදී අධෝරක්ත කිරණ මාධ්‍ය මගින් නිරීක්ෂණය කරන විට මෙම තාරකාවන් අනෙක් අවස්ථාවන්ට වඩා පැහැදිලිව දිස්වීම මේ සදහා හේතු වී තිබේ. මෙම "Near-Infrared Camera" (NIRCam) කැමරා උපාංගය මගින් ලබාගත් ඡායාරූපයන්ගේ දත්තයන් නිල්, තැඹිලි හා කහ යන වර්ණයන්ගෙන් නිරූපණය වන අතර මෙහිදී මන්දාකිණිය තුළ දිස්වන නිල් පැහැති තිත් මගින් තාරකාවන් හෝ ඒවා නිර්මාණය වීම සිදුවන කලාපයන් නිරූපණය කිරීම සිදු කරනු ලබයි. එමෙන්ම මන්දාකිණිය තුළ ක්‍රමවත් ආකාරයෙන් විසිරී පවතින පැරණි තාරකාවන් හා ඒවා පිහිටා තිබෙන ආකාරයත්, දූවිලිවලින් ගහණ වූ අක්‍රමවත්ව පිහිටා ඇති නව තාරකාවන් අතරත් පවතින ස්වභාවයන්ගේ වෙනස මෙමගින් හෙළි කිරීම
සිදු කර තිබේ.
"Cartwheel" මන්දාකිණියෙහි වූ දුවිලි මගින් ආවරණය වී පවතින සියුම් දත්තයන් අනාවරණය කර ගැනීමට "Near-Infrared Camera" (NIRCam) කැමරාවේ පමණක් නොව "James Webb" අභ්‍යවකාශ දුරේක්ෂයේ වූ "Mid-Infrared Instrument" (MIRI) කැමරාවේ ද සහය ලබා ගැනීම සිදුකර තිබේ. ඒ අයුරින් "Mid-Infrared Instrument" (MIRI) කැමරාව මගින් ලබාගත් පහත දැක්වෙන සංයුක්ත ඡායාරූපයෙහි (composite image) වූ රතු පැහැයෙන් දැක්වෙන දත්ත ප්‍රදේශයන් මගින් "Cartwheel" මන්දාකිණිය තුළ පවතින හයිඩ්‍රොකාබන (hydrocarbons) මෙන්ම පෘථිවියේ පවතින දූවිලිවලට සමාන ස්වරූපයක් ගන්නා සිලිකේට් දූවිලි (silicate dust) වැනි රසායනික සංයෝගන්ගෙන් අනූන වූ ප්‍රදේශයන් ද නිරූපණය වේ. 2018 වසරේදී හබල් දුරේක්ෂය මගින් ද, මන්දාකිණියේ වූ සැකිල්ල නිර්මාණය වීම සදහා ද හේතු වූ සර්පිලාකාර ගරාදි ලෙස පිහිටා තිබෙන මෙම ප්‍රදේශයන් හසුකර ගැනීමට සමත් වී තිබුණ ද මෙවර "James Webb" අභ්‍යවකාශ දුරේක්ෂය මගින් ලබාගත් මෙම ඡායාරූපය මගින් එම ප්‍රදේශයන් පෙරටත් වඩා පැහැදිලි ආකාරයෙන් නිරීක්ශනය කිරීමේ අවකාශය ලබා දී තිබේ.
"Mid-Infrared Instrument" (MIRI) කැමරාව මගින් ලබාගත් ඡායාරූපය
"James Webb" අභ්‍යවකාශ දුරේක්ෂය මගින් ඉදිරියේදී ලබාගැනීමට බලාපොරොත්තු වන, "Cartwheel" මන්දාකිණියෙහි කාලාන්තරයක් පුරා සිදුවූ පරිණාමය හ එහි වර්ථමාන ස්වභාවය පිළිබදව කරුණු අනාවරණය කරන මෙවැනි ආකාරයේ ඡායාරූප මගින් අප ජීවත් වන ක්ෂීරපථය මන්දාකිණියේ උපත හා අනාගතයේදී එහි පරිණාමය සිදුවන ආකාරය පිළිබදව පුරෝකථනයන් කිරීම සදහා එම කරුණු යොදාගත හැකි ආකාරය පිළිබදව අධ්‍යයනය කිරීම තාරකා විද්‍යාඥයන්ගේ මූලික අභිප්‍රාය බවට පත්වී තිබේ.
සැ: යු - දවසේ නාසා ඡායාරූප ලිපි පෙළ ඇතුළුව කිරියෙ මං මේ පළ කරන Astrronomy සම්බන්ධ ලිපිවලටයි, අනෙක් විෂයන් ගැන සම්බන්ධව පළ කරන ලිපිවලටයි ඕන කරුණු හොයාගන්නයි, ඒවා ටයිප් කරන්නයි මං හැමදාම වගේ ලොකු කාලයක්, මහන්සියක් කැප කරනවා. ඒ නිසා ඕගොල්ලො තාරකා විද්‍යාව සම්බන්ධව කමැත්තක් නැති වුනත් මේ ලිපි කියවන්න අහම්බෙන් හරි ලැබුණොත් තාරකා විද්‍යාව සමබන්ධ කැමැත්තක් දක්වන අනෙක් එළකිරි සහෝදරයන්ට හරි ඒක බලලා කියවන්න පුළුවන් විදිහට අඩුම තරමේ ත්‍රෙඩ් එකට බම්ප් එකක් හරි දාගෙන යන්න අමතක කරන්න එපා.


Last edited:
