කාන්තාවකට හිමිවූ අපූරු ලොතරැයි දිනුමක් ගැන ඇමරිකාවේ මිචිගන් ප්‍රාන්තයෙන් වාර්තා වේ.
55 හැවිරිදි ලෝරා ස්පියර්ස් දින කිහිපයකට පෙර මෙගා මිලියන්ස් නමැති ලොතරැයියෙන් ටිකට් පතක් මිලදීගෙන තිබුණේ මාර්ගගත (online) ක්‍රමයටය.
කෙසේ නමුත් පසුව ඇයට මෙම ලොතරැයිය ගැන අමතකව ගොස් තිබිණි. පසුගියදා ඇය වෙනත් පාර්ශ්වයකින් තමාට ලැබුණු ඊමේල් පණිවුඩයක් ඉන්බොක්ස් (Inbox) කොටසේ සොයා ගැනීමට නොහැකි වූ තැන ස්පෑම් (Spam) ෆෝල්ඩරයේ පරීක්‍ෂා කිරීමට පියවර ගෙන තිබුණාය.
"කෙනෙක් මට එවපු ඊමේල් එකක් සාමාන්‍යයෙන් ඊමේල් පෙන්වන ඉන්බොක්ස් එකේ සොයා ගන්න නොතිබුණු නිසා මම නිකමට ස්පෑම් ෆෝල්ඩර් එකේ පරීක්‍ෂා කළා. ඒ වෙලාවෙ මම දැක්කා ලොතරැයි ආයතනයෙන් ආපු ඊමේල් එකක් මේ ස්පෑම් එකේ තියෙනවා. මම ඒක විවෘත කරල බැලුවා. මට ලොතරැයි ක් හිමි වී ඇති බව එහි සටහන් වෙලා තියෙනව දැක්කා. ඒකෙ තිබුණු විස්තරය කියෙව්වම මට අදහගන්න බැරි වුණා. ඒ පාර මම ඉක්මනට ලොතරැයියේ නිල ගිණුමත් පරීක්‍ෂා කරල බැලුවා. ඒක දැකලා මම මහත් පුදුමයට පත් වුණා" බවයි ඇය පැවසුවේ.
එම ලොතරැයි දිනුම් ඇදීමෙන් ලෝරාට ඇමරිකානු ඩොලර් ලක්‍ෂ 30 ක විශාල මුදලක් හිමිව තිබිණි. එය ලංකා රුපියල්වලින් කෝටි 60 කටත් අධික මුදලකි.
55 හැවිරිදි ලෝරා පවසන්නේ දැන් තමා වේලාසනින් විශ්‍රාම ගෙන විවේකීව සිටින්නට බලාපොරොත්තු වන බවයි. එමෙන්ම ඉදිරියේදී තමාගේ ඊමේල් ගිණුම ගැන මීට වඩා අවධානයෙන් සිටින්නට තීරණය කළ බවද ඇය සඳහන් කර තිබේ.
ඇය හෙදියක් ලෙස සේවය කරන බව අන්තර්ජාල වාර්තා පෙන්වා දෙයි.
Source: nethgossip.lk
Mega Millions Surprise: Woman finds $3M lottery prize in her spam folder
