ඇමරිකාවේ නාසා ආයතනයට හා යුරෝපානු අභ්‍යවකාශ ඒජන්සියට (European Space Agency - ESA) අයත් "James Webb" අභ්‍යාකාශ දුරේක්ෂය (James Webb Space Telescope) මගින් ලබාගත් පහත දැක්වෙන නවතම ඡායාරූපය මගින් නිරූපණය වනුයේ "NGC 7469" නම් වූ "face-on spiral galaxy"(සර්පිල ව්‍යුහය පැහැදිලිව දැකගත හැකි මන්දාකිණියන්) ගණයට අයත් සර්පිල මන්දාකිණියයි. පෘථිවියේ සිට ආලෝක වර්ෂ මිලියන 220 ක් ඈතින්, "Pegasus' නම් තාරකා රාශියට අයත්ව පිහිටා ඇති මෙම මන්දාකිණියෙහි විෂ්කම්භය ආලෝක වර්ෂ 90 000 ක පමණ අගයක් ගනී.
සක්‍රීය මන්දාකිණි න්‍යෂ්ටියකින් (active galactic nucleus - AGN) සහ දීප්තිමත් මධ්‍ය ප්‍රදේශයකින් මෙම මන්දාකිණිය සමන්විතව ඇති අතර මධ්‍යයයේ ඇති දැවැන්ත කළු කුහරය මගින් ගිලගන්නා ඒ අවට පවතින දූවිලි හා වායූන් ඒතුළට ඇද ගැනීමේදී නිකුත් කරන අලෝකයන්, මන්දාකිණි මධ්‍යයය ප්‍රදේශයෙහි පවතින මෙම ඉතා ඉහළ දීප්තියට හේතු වී තිබේ. මන්දාකිණියෙහි සක්‍රීය න්‍යෂ්ටියේ සිට ආලෝක වර්ෂ 1500 ක දුරකින් ඒ වටා "starburst ring" නම් වූ දැවැන්ත වළල්ලක් ආකාරයෙහි ව්‍යුහයක් නිර්මාණය වී ඇති අතර මන්දාකිණියේ මධ්‍ය කලාපයෙහි අසාමාන්‍ය වේගයකින් නව තාරකාවන් උපැද්දවීම සිදු කරන ප්‍රදේශයන්හි (star forming regions) සිදුවන ක්‍රියාවලීන් මගින් මෙම දැවැන්ත වළල්ල නිර්මාණය කොට තිබේ. ඉතා අඩු කාල පරාසයක් තුළදී නව තාරකාවන් උපැද්දවීම සීඝ්‍ර වශයෙන් සිදුකරන මෙවැනි මන්දාකිණියක් "Starburst Galaxy" ගණයේ මන්දාකිණියක් ලෙස හදුන්වනු ලබයි.
"James Webb" අභ්‍යාකාශ දුරේක්ෂයෙහි ඇති "Mid-Infrared Instrument (MIRI)", "Near Infrared Camera (NIRCam)" හා "Near Infrared Spectrograph (NIRSpec)" යන අධෝරක්ත කැමරා හා වර්ණාවලීක්ෂ උපකරණයන් උපයෝගී කරගනිමින් ලබාගත් දත්ත ඇසුරෙන් සකස් කර ඇති පහත දැක්වෙන අධෝරක්ත කිරණ ඡායාරූපය මගින් මෙම "NGC 7469" සර්පිල මන්දාකිණිය තුළ පිහිටා ඇති නව තාරකා පොකුරු ඇතුළු සුවිශේෂී අංගයන් රාශියක් ඉතා පැහැදිලිව පෙන්නුම් කොට තිබේ. මෙම මන්දාකිණියෙහි වූ දීප්තිමත් න්‍යෂ්ටිය මගින් එල්ලවන ආලෝකය "James Webb" අභ්‍යාකාශ දුරේක්ෂයෙහි ප්‍රධාන දර්පණය මත පතිත වීමේදී සිදුවූ ආලෝක විවර්තනය හේතුවෙන් න්‍යෂ්ටිය මගින් එල්ල වන ආලෝක කදම්භය උල් ආකාරයෙන් ස්වභාවයක් ගත් දිලිසුමක් (diffraction spikes) අයුරින් "James Webb" අභ්‍යාකාශ දුරේක්ෂයට මෙහිදී හසු වී ඇත.
Image Credit: ESA/Webb, NASA & CSA, L. Armus, A. S. Evans
NGC 7469
Webb’s New Image Reveals a Galaxy Awash in Star Formation