"James Webb' අභ්‍යවකාශ දුරේක්ෂය (James Webb Space Telescope) මගින් ලබාගත් "IC 5332' නමින් හදුන්වන සර්පිල මන්දාකිණිය (spiral galaxy) නිරූපණය වන අපූර්ව ඡායාරූපයක් නාසා ආයතනය විසින් ඊයේ දිනයේදී එළිදක්වන ලදී. පෘථිවියේ සිට ආලෝක වර්ෂ මිලියන 29 ක් ඈතින්, "Sculptor' නම් තාරකා රාශියට අයත්ව පිහිටා ඇති මෙම "IC 5332' සර්පිල මන්දාකිණියෙහි වූ සර්පිල ව්‍යුහය සමමිතික බවකින් යුක්ත වේ. ආලෝක වර්ෂ 66 000 ක (ක්ෂීරපථයෙහි විෂ්කම්භයෙන් 2/3) පමණ විෂ්කම්භයකින් යුක්ත වූ, දීප්තිය අතින් හීන වූ ස්වභාවයක් ගන්නා මෙම මන්දාකිණිය හසුකර ගැනීම සිදු කරනු ලැබුවේ "James Webb' අභ්‍යවකාශ දුරේක්ෂයෙහි වූ "Mid-InfraRed Instrument' (MIRI) නම් අධෝරක්ත කිරණ කැමරාව මගිනි.
"James Webb' අභ්‍යවකාශ දුරේක්ෂය මගින් ලබාගත් "IC 5332' සර්පිල මන්දාකිණිය දැක්වෙන ඡායාරූපය
Credit: ESA/Webb, NASA & CSA, J. Lee and the PHANGS-JWST and PHANGS-HST Teams
හබල් දුරේක්ෂයෙහි වූ "Wide Field Camera 3' (WFC3) නම් දෘෂ්‍ය වර්ණාවලි (visible spectrum) කැමරාව මගින් ද මීට ඉහතදී මෙම මන්දාකිණියෙහි ඡායාරූපයක් (පාරජම්බුල සහ දෘෂ්‍ය ආලෝක කිරණ ඡායාරූපයක්) ලබා ගැනීම සිදු කර ඇති අතර එම ඡායාරූපය තුළින් "IC 5332' සර්පිල මන්දාකිණියෙහි වූ උණුසුම් යොවුන් තාරකාවන්, සර්පිල බාහු තුළ බිහිවෙමින් පවතින නව තාරකාවන් හා මන්දාකිණියෙහි වූ කැපීපෙනෙන සර්පිල ව්‍යුහයත් පිළිබිඹු කර ඇත. නමුත් හබල් දුරේක්ෂයෙහි පවතින මන්දාකිණියෙහි වූ දූවිලි කලාපයන්ට එපිටින් ඇති දෑ හසුකරගැනීමට ඇති අපහසුව මගහරිමින් "James Webb' අභ්‍යවකාශ දුරේක්ෂය එම දූවිලි කලාපයන් විනිවිද යමින් මන්දාකිණියෙහි පවතින සංකීර්ණ සර්පිල ව්‍යුහයන් හසුකර ගැනීමට සමත් වී තිබේ.
හබල් දුරේක්ෂය මගින් ලබාගත් "IC 5332' සර්පිල මන්දාකිණිය දැක්වෙන ඡායාරූපය
Credit: ESA/Webb, NASA & CSA, J. Lee and the PHANGS-JWST and PHANGS-HST Teams
හබල් දුරේක්ෂය මගින් ලබාගත් මෙම "IC 5332' මන්දාකිණිය දැක්වෙන ඡායාරූපය "Angular Resolution in Nearby Galaxy-HST” (PHANGS-HST) යන ව්‍යාපෘතිය යටතේ සිදුකළ නිරීක්ෂනයන්හී දී ලබාගත්තක් වන අතර හබල් දුරේක්ෂය මගින් හා උතුරු චිලී රාජ්‍යයයේ වූ ඇටකාමා කාන්තාරයේ පිහිටි (Atacama Desert) "The Atacama Large Millimeter/submillimeter Array" (ALMA) නම් වූ රේඩියෝ දුරේක්ෂයන් 66 කින් සමන්විත වූ රේඩියෝ දුරේක්ෂ සංකීර්ණය මගින් ලබාගත් නිරීක්ශන දත්තයන් ද යොදාගෙන විවිධ මන්දාකිණි පරිසරයන් තුළ පිහිටා ඇති යොවුන් තාරකාවන් හා ශීත අණුක වළාවන් අතර පවතින සම්බන්ධතාවන් පිළිබදව දත්ත වර්ගීකරණ ලැයිස්තුවක් නිර්මාණය කිරීම මෙම ව්‍යාපෘතියෙහි ප්‍රධාන අරමුණ වී ඇත. "James Webb' අභ්‍යවකාශ දුරේක්ෂය මගින් සිදුකරන, තෝරාගත් මන්දාකිණියන් පිළිබදව නිරීක්ෂණයන් තුළින් ලබාගත් අධෝරක්ත කිරණයන්හි බහුවිධ තරංග ආයාමයන්හි දත්තයන් මෙම "PHANGS-HST" ව්‍යාපෘතියෙහි ඉදිරි කටයුතු සදහා යොදාගැනීම විද්‍යාඥයන්ගේ ප්‍රධාන බලාපොරොත්තුව බවට පත්ව තිබේ.
PHANGS-HST Physics at High Angular resolution in Nearby GalaxieS with the Hubble Space Telescope
Last edited:
