උක්ත පර්යේෂණයට අනුව අප රටේ වැඩිම ගබ්සාවන් ප්‍රමාණයක් කරන්නේ විවාහක කාන්තාවන් විසිනි. ඒ අනවශ්‍ය ගැබ් ගැනීමක් නිසා හෝ ආර්ථික අපහසුකම් නිසාය. අවිවාහක කාන්තාවන් විසින් කරගනු ලබන ගබ්සාවන් සංඛ්‍යාව සාපේක්ෂව අඩු අගයකි. ස්ත්‍රී දූෂණයන් නිසා සිදු වන ගැබ් ගැනීම් නිසා සිදු කරන ගබ්සාවන් ගණන ඉතාමත් සුළු ගණනකි.
විවාහක කාන්තාවන් මේ කාර්යයට වැඩිපුර යොමු වන්නේ ඇයි? මොවුන්ට ගබ්සාවන් කර ගැනීම සඳහා බොහෝ විට සැමියාගේ හා පවුලේ අන් අයගේත් උදවු නොමදව ලැබෙයි. එනම් ඔවුන්ද මේ ක්‍රියාව අනුමත කරන බව පැහැදිලිය. පැනයට පිළිතුර සොයා ගැනීමට නම් අප පිළිතුරු සෙවිය යුත්තේ හදිසි ගැබ් ගැනීම් වලට හේතු සොයා ගැන්මයි. මේ සඳහා හේතු සිතා ගැන්ම එතරම් අපහසු නැත. එනම් උපත් පාලන ක්‍රම භාවිත නොකිරීම හෝ ඒවා වැරදි අන්දමින් භාවිත කිරීමයි.
මේ තත්වය සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවාව වෙත අනිවාර්යයෙන් ඇඟිල්ල දිගු කිරීමට සිදුවේ. උපත් පාලන ක්‍රම පිළිබඳ දැනුම ගමට ගෙන යාමට මෙයට වඩා ඔවුන් උත්සුක විය යුතු අතර එමගින් බොහෝ සාපරාධී ගබ්සාවන් නතර කර ගැන්මට හැකි වනු ඇත.
අප රට නීතියෙන් දැනට ඉඩ නොමැති මුත් යම් යම් මානුෂික හේතු මත ගබ්සාවන් සිදු කිරීමට සිදු විය හැකිය. උදාහරණයක් ලෙස විකෘත කළලයක් දැක්විය හැකිය. උච්ච සංඛ්‍යාත පරිලෝකනය (ultra sound scan) මගින් බොහෝ විට විකෘත කළල හඳුනා ගත හැකිය. මෙවන් කළලයක් ඇතම් විත මළ දරු උපතක් ලෙස බිහි වීම සිදු විය හැක. ඇතැම් විට ඉපදී පැය කීපයක් ඇතුලත මිය යා හැකිය. සමහ්ර විට ඉතා පහත් ජීවන තත්වයක් ගෙවීමට ඉඩ ඇත. මෙවැනි විටෙකදී ගබ්සාවක් මගින් හොඳ ප්‍රතිඵල ලැබිය හැකිය. දූෂණයට ලක් වූ කාන්තාවකටද, මහේස්ත්‍රාත් නියෝග පිට ගබ්සාවක් කර ගැන්මට ඉඩ දිය යුතුය. එය ඇගේ අනාගත සෞක්‍යයට හිතකර වනු ඇත.
නමුත් කරන්නන් වාලේ ගබ්සාවන් කිරීමට ඉඩ නොදිය යුතු බව මගේ හැඟිමයි. එවිට වඩාත් ලාබදායි හා ආරක්ෂිත උපත් පාලන ක්‍රම වෙනුවට ගබ්සාවන්ට යොමු වීම රටකට අහිතකර විය හැකිය. එමෙන්ම පවුල් සැලසුම් ක්‍රම වඩාත් ප්‍රචලිත කිරීම මගින් අනවශ්‍ය ගැබ් ගැනීම් වළක්වා ගත යුතුය.
මෙනයින් බලන විට ගබ්සාව සඳහා වූ නීති රීති ලිහිල් කල යුතු බව පැහැදිලිය. නමුත් ඒ නීති ඉවත් කර වල් බූරු නිදහසක් ඇති කිරීම නොවේ. එබැවින් පහත අවස්ථාවල දී ගබ්සාවකට ඉඩ දීම කල යුතු බව "පන්හිඳ" මතය වන්නේය.
1. ගර්භය නිසා මවගේ ජීවිතයට භෞතික හෝ මානසික හානියක් සිදු වීම - මෙහිදී වෛද්‍ය වරුන් විසින් ගබ්සාවක් නිර්දේශ කරන අතර ඒ නිර්දේශය පිළිගැනීම හෝ නොගැනීම අදාල කන්තාවහේ අයිතිය මෙන්ම වගකීමද වේ. නමුත් ඇගේ තීරණයේ අහිතකර ප්‍රතිඵල ඇතොත් ඒ විඳ දරා ගැනීමට ඇය සූදානම් විය යුතුය.
2. කළාලය විකෘති එකක් වීම හෝ වෙනත් දරුණු සංජානනීය ආබාධ සහිත වීම. මෙහිදීද ඉහත පරිදිම ගබ්සාව නිර්දෙශ කරන අතර එය කිරීමට හො නොකිරීමට ගන්න තීරණය කාන්තාව අතෙහි ඇත.
3. ස්ත්‍රී දූෂණයක් නිසා සිදු වන ගැබ් ගැනීමකදී ගබ්සා කිරීමට ඉඩ දිය යුතුය. මෙහිදී ගබ්සාවක් සඳහා කාන්තාවට ඉල්ලුම් කල හැකි අතර ඒ පිලිබඳ තීරණය දීම මහෙස්ත්‍රාත්තුමාට හිමි වේ.
සංවාදයට විවෘතයි