විශිෂ්ට ඥානය = අයින්ස්ටයින් කියන තරමට ඇල්බර්ට් අයින්ස්ටයින් මානව බුද්ධියේ සහ ඥානයේ සංකේතයක් වෙලා හමාරයි. මේ නිසාම 1999 දෙසැම්බර් 31 වැනිදා 20 වැනි සියවස අවසන් කරමින් නිකුත් කරන ටයිම්ස් සඟරාව ඇල්බර්ට් අයින්ස්ටයින් 20 වැනි සියවසේ මිනිසා ලෙස නම් කරනවා. අයින්ස්ටයින්ගේ බලපෑම අතීත සියවසක් වෙනස් කළා පමණක් නොව මතු සියවස් ගණනක් යනතුරුම පවතින බව කිසිදු සැකයක් නැහැ. ජීවිතය ගණිතමය ආකාරයට නිර්වචනය කරන්න උත්සාහ දැරූ අයින්ස්ටයින් එක්තරා විදියට විශ්වයේ රහස් සෙවූ අපූරු කවියෙක්. ෂෙලී පවසන ආකාරයට කවිය යනු ඥානයේ කේන්ද්‍රය මෙන්ම පරිධියයි.
අයින්ස්ටයින්ගේ ඥාන ගවේෂණය කළ කවියත් අන් කිසිවක් නොව ගණිතමය සමීකරණය කියලා මම කිව්වොත් ඔබ එකඟ වෙයි. ඔහුගේ ලෝක ප්‍රකට සමීකරණය වන E=mc2 ශක්තියේ රහස ලෝකයට හෙළි කළ අපූරු කවියක් වන්නේ ඒ නිසයි. 'මට අවශ්‍යයි දෙවියන්ගේ සිතිවිලි ගණිතමය ආකාරයකට නිර්වචනය කරගන්නම ' අයින්ස්ටයින් එහෙම කියලා තියෙනවා. අයින්ස්ටයින් සෑම විටම උත්සාහ කෙළේ විශ්වය යනු කුමක්ද කියලා හැකි උපරිමයෙන් තේරුම් ගන්න. විශ්වයම තේරුම් ගන්න උත්සාහ කළ මේ මහා මිනිසා ගැහැනියකගේ ආදරය තේරුම් ගත්තේ කොහොමද කියන කාරණයට විමසා බැලීම ඉතාම රසවත් වෙයි.
'මගේ කවියෙන් මා නොසොයන්... මගේ කවියෙන් ඔබ දකින්න ' කියලා මහගම සේකර කියනවා වගේ අයින්ස්ටයින්ගේ විස්මිත ඥානය අයින්ස්ටයින් තුළින් විශ්වය දකින්න මිනිස් වර්ගයාට ඉවහල් වුණා. මඳක් දිගු අපිළිවෙළ හිසකෙස් සහිත මඳක් පහත් කරගත් හිසින් යුතුව, නිතර දුම්වැටියක් උරමින් ගැඹුරු කල්පනාවක නිමග්නව ඉන්න අයින්ස්ටයින් බොහෝ වෙලාවට කාල වේලාවක් ගැන හිතන්නේ නැතිව දිගින් දිගට කල්පනා කෙළේ රාත්‍රි අහසේ තරු දිලෙන්නේ ඇයිද කියා මිසක, තරුවන් නෙත් යුගලක් සිය පෙම්වතියට හිමි වුණේ ඇයිද කියන කාරණය ගැන නෙවෙයි. කිසිදු කතාබහක් නැතිව කවුළුවක් අසල අසුනක හිඳ දුම්රියෙන් ගමන් කරන සැන්දෑවල ඔහුගේ අවධානය යොමු වුණේ කාලය සහ දුම්රිය ගමන් කරන වේගය අතර තිබෙන සහසම්බන්ධය දැනගන්න මිසක් ඔහු අසල හිටගෙන ඉන්න රූමතියගේ රිය සක වන් උකුල් පෙදෙසේ තිබෙන සුන්දරත්වයේ රහස දැනගන්න නෙවෙයි. මෙයින් කියවෙන්නේ නැහැ අයින්ස්ටයින් මලානික මිනිසෙක් කියලා. නමුත් මලානික දෑසින් යුතුව අයින්ස්ටයින් ගවේෂණය කළ ගැටලු ඉතා බරපතළයි. 'හාදුවට වැඩි අවධානයක් යොමු කරන්නේ නැත්නම් කොල්ලෙකුට ලස්සන කෙල්ලෙක්ට හාදු දෙන ගමන් වාහනයක් පදවන්න පුළුවන්. අයින්ස්ටයින්ගේ ඒ සරල කියමන ඔහු පිළිබඳ යමක් ගැඹුරින් අනාවරණය කරනවා. ඔහු ගැහැනුන්ට ආදරය කරමින් ආදරයට වැඩි අවධානයක් යොමු නොකරමින් සෙව්වේ සාමාන්‍ය මිනිසුන් සොයන්නේ නැති විශ්වීය ගනුදෙනු තුළ සැඟවී ඇති ගණිතමය අරුත. ග්‍රහලෝක බිහිවීම, පැවැත්ම සහ විනාශය සේම සමස්ත විශ්වයේ දෛනික පැවැත්ම ගණිතමය ආකාරයට නිර්වචනය කරන්න පුළුවන් කියලා ඔහු දැඩිව විශ්වාස කළා. සරල සමීකරණයකට හකුළුවන්න පුළුවන් සරල රහසක් විශ්වයේ තිබෙන බව ඔහුට දැනුණා. කෙනෙක් ඇහුවොත් වඩා වැදගත් වෙන්නේ ආදරය කුමක්ද කියන කාරණය තේරුම් ගැනීමද විශ්වය යනු කුමක්ද කියන කාරණය තේරුම් ගැනීමද කියලා තුරුණු වියේ සිටින පෙම්වතෙක් ආදරය යනු කුමක්ද යන්න තේරුම් ගැනීම වඩා වැදගත් යැයි කියන්න පුළුවන්. නමුත් අයින්ස්ටයින්ගේ සදාකාලික තේරීම විශ්වය යනු කුමක්ද කියන ගැටලුවට පිළිතුරු සෙවීම වෙනවා නියතයි. ඔහු නිතරම හිතුවේ විශ්වය යනු කුමක්ද කියලා හරියටම තේරුම් ගත්තොත් විශ්වය තුළ තියෙන ආදරය තේරුම් ගැනීම අපහසු නැහැ කියලා.
විශ්වීය රහස් සෙවූ අයින්ස්ටයින් තුළින් ආදරය කියවීම ලෙහෙසි පහසු වැඩක් නෙවෙයි. වැඩේ ලෙහෙසි නැති හින්දා සියල්ල පටන් ගනිමු අයින්ස්ටයින් ගැන හැමෝම දන්න වත ගොත ගැන සරල කතාබහකින්. අයින්ස්ටයින් ඉපදුණේ 1879 මාර්තු 14 වැනිදා ජර්මනියේදී. අයින්ස්ටයින්ගේ පියා ඉන්ජිනේරුවෙක් වගේම විකුණුම්කරුවෙක්. කුඩා කාලයේදී පියා තිළිණ කරන මාලිමාව අයින්ස්ටයින් තුළ විශ්වය ගැන රහස් සෙවීමේ කුතුහලය ජනිත කළ ප්‍රථම විද්‍යාත්මත උපකරණයක් වෙනවා. ඔහු මාලිමාව අතේ තියාගෙන නිතරම කල්පනා කෙළේ මාලිමාව තුළ වූ දිශානතිය පෙන්වන කටුව කැරකෙන්න බලපාන හේතුව කුමක්ද කියලා. ඔහුට වයස අවුරුදු හතක් අටක් වෙනකල්ම හරියට වචන කතා කරන්න බැරි ගැටලුවක්ද තිබුණා. අයින්ස්ටයින් වයස අවුරුදු 16දී මුහුණ දෙන ස්විස් පෙඩරල් ටෙක්නික් විභාගයෙන් ඔහු අසමත් වෙනවා. එම විභාගයේ භෞතික විද්‍යාවට සහ ගණිතයට ඔහු වැඩි ලකුණු ලබාගෙන තිබුණත් අනෙක් ප්‍රශ්න පත්‍ර වන භාෂාවට සහ ඉතිහාසයට නිසි ලකුණු ලබාගන්න ඔහු අසමත් වෙනවා. කෙසේ වෙතත් ඉන්පසු වතාවකදී ඔහු සරසවියට ඇතුළු වෙලා උපාධිය ලබාගත්තත් සරසවිය තුළ දීප්තිමත් ශිෂ්‍යයෙක් බවට පත්වෙන්න ඔහුට හැකියාව ලැබෙන්නේ නැහැ. එම නිසාම ඒ කාලයේදී ඔහු මවුපියන්ට යවන ලිපියක 'මම ඉපදෙන්නේ නැතිව මැරුණා නම් හොඳයි ' කියලා ලියන්නේ උපාධියෙන් පස්සේ උගත්කමට ගැළපෙන රස්සාවක්ද හොයාගන්න බැරි වුණ නිසා. නමුත් පසු කාලයේදී අයින්ස්ටයින් බුද්ධිමය දේපළ දෙපාර්තමේන්තුවට සම්බන්ධ වෙලා එහි පේටන්ට් ඉල්ලුම් පත්‍ර පරීක්‍ෂා කරන්නකු විදියට වැඩ කරනවා. නමුත් එහි වැඩ කරමින් අයින්ස්ටයින් ඉඩක් ලද සෑම මොහොතකම කල්පනා කළේ කාලය, වේගය සහ ආලෝකය තුළ වූ විද්‍යාත්මක රස රහස.
අයින්ස්ටයින්ගේ ජීවිතයට මූලිකව ගැහැනු හතර දෙනෙක් බලපානවා. ඒ ඔහුගේ බාල නැඟණිය මාජා අයින්ස්ටයින්, පළමු බිරිය මිලීවා මරික්, දෙවැනි බිරිය සේම ඥාති සොහොයුරියක් වන එලීසා ලොවෙන්තල් සහ කෙටි කාලීන පෙම්වතියක් වුණ බෙටි නවුමන්. අයින්ස්ටයින් කුඩා කල සිට ළෙන්ගතුව ආශ්‍රය කළේ ඔහුගේම බාල සොයුරිය වන මාජා හෙවත් මරීයා. ඔවුන් දෙදෙනා දැඩි සහෝදර ප්‍රේමයකින් කාලය ගත කරපු බව පැවැසෙනවා. අයින්ස්ටයින් නිශ්ශබ්ද චරිතයක් වුණත් මාජාට සියලු දේ කිව්වා. වරක් සරසවියේ සිට 1889දී අයින්ස්ටයින් මාජාට යවන ලියමනක මෙහෙම කියනවා. 'හැම කෙනෙක්ම මම වගේ ජීවත් වෙනවා නම් කාටවත් නවකතා අවශ්‍ය වන්නේ නැහැ ' අයින්ස්ටයින් දැනගෙන හිටියා හැලහැප්පීම් සහිත ඔහුගේ අමුතු දිවිය නවකතාවක් කියලා.
අයින්ස්ටයින් විද්‍යාවට අමතරව ආදරය කළ ප්‍රධානම දෙය වුණේ සංගීතය. ඔහු වයලීන් වාදනයට දැක්වූවේ අසීමිත කැමැත්තක්. මොසාට් සහ බීතෝවන් යන සංගීතඥයන් අයින්ස්ටයින්ගේ සංගීත ලෝකයේ වීරයන් වුණා. වයලීන් වාදනයට කැමැති මෙම අපූරු මිනිසාගේ මුල්ම ආදරය පටන්ගන්නේ විශ්වවිද්‍යාලයේදී. අනාගත ලොව බුද්ධිමත්ම මිනිසා කියලා කවුරුත් නොහිතපු අයින්ස්ටයින්ගේ තුරුණු නෙත් මිලීවා මරික් Miliva Maric වෙත යොමු වෙනවා. ඔවුන් එක කණ්ඩායමේ හිටියත් මිලීවා අයින්ස්ටයින්ට වඩා අවුරුදු හතරක් වැඩිමහල්. ධනවත් හංගේරියානු ඉඩම් හිමියකුගේ දියණියක් වුණ මිලීවා ධනවත්, රූමත් සේම බුද්ධිමත්. ගණිතය සහ භෞතික විද්‍යාව හදාරන කණ්ඩායමේ හිටිය එකම ගැහැනිය වුණේ මිලීවා විතරයි. ඔවුන් අයත් වුණේ ජාතීන් දෙකකට. තරුණ අයින්ස්ටයින්ට එය ගැටලුවක් වුණේ නැහැ.
ඩෙනිස් ඕවර්බායි (Dennis Overbye)) විසින් 1999දී ප්‍රකාශයට පත් කරන අයින්ස්ටයින් ආදරයේ (Einstein in Love) කියන කෘතිය අපේ කතා බහ ඉදිරියට ගෙනයන්න වඩා වැදගත් තොරතුරු රැසක් සපයනවා. පොලිටෙක්නික් සරසවියේ ගත කළ පළමු වසරේදී අයින්ස්ටයින් සහ මිලීවා දුරින් හිඳ ආදරය කළා. අයින්ස්ටයින් ගණිත දේශනය පැවැත් වූ මහාචාර්යවරයාට ඇති අකැමැත්ත නිසා දිගින් දිගටම දේශන මඟහැරිය අතර ඔහු ඒ දැනුම මිතුරෙක් වූ මාර්ෂල්ගෙන් සහ මිලීවාගෙන් අසා ගත්තා. එවැනි සිදුවීම් ඔස්සේ අයින්ස්ටයින් මිලීවාට සමීප වුණා. මිලීවා අයින්ස්ටයින් ආදර අන්දරය එක්වරම මතුවුණ එකක් නෙවෙයි. කාලයක් මිලීවා ගෙදර නැවතිලා හිටියා. විවිධ හැලහැප්පීම් ඔස්සේ මිලීවාගේ හිත දිනාගන්න අයින්ස්ටයින් ලියුම් රැසක් ඇය දුරින් සිටිය සමයේදී යැව්වා.
ආදරය දලුලද්දී ඔවුන් එකනෙකා හඳුනා ගන්න සුරතල් නාමයන්ද භාවිත කළා. අයින්ස්ටයින් මිලීවා හැඳින්වූයේ ඩොලී කියන සුරතල් නමින්. ඒ වගේම මිලීවා ඇල්බර්ට් අයින්ස්ටයින් හැඳින්වූවේ ජොනී කියන සුරතල් නමින්. වරක් ඩොලී විසින් ජොනීට ඔවුන් අෑත්ව ඉන්න කාලේදී මෙහෙම කෙටි ලියුමක් යවනවා.
ආදරණීය ජොනී,
ඔයා මට ගොඩක් දුරින් ඉන්න නිසා මට ඔයාට හාදුවක් දෙන්න බැරිවුණා. මම මේ ලිපිය ලියන්නේ ඔයා මට කැමැති නම් මම ඔයාට කැමැතියි කියන කාරණය දන්වන්න. ඉක්මනින් පිළිතුරක් ඔබගෙන් බලාපොරොත්තු වෙනවා.
මීට
හාදු දහසක් සමඟ ඔයාගේ ඩොලී
ජොනීගේ සහ ඩොලීගේ ආදර අන්දරයට අයින්ස්ටයින්ගේ යුදෙව් ජාතික මව නම් දැඩිව විරුද්ධ වෙනවා. අනිත් පාර්ශ්වයෙන් මිලීවාගේ ධනපති පියාත් පහළ මධ්‍යම පාන්තික අයින්ස්ටයින්ට දැඩිව විරුද්ධ වෙනවා.
1900දී ඔවුන් දෙදෙනා හැදෑරූ විභාගයේ ප්‍රතිඵල නිකුත් වන අතර ඇල්බර්ට් ලකුණු ලැයිස්තුවේ හතරවැනි තැන හිමිකරගත් අතර මිලීවා අවසන් තැන හිමිකර ගනිමින් තවත් වසරක් යනතුරු පොලිටෙක්නික් සරසවියෙ ඉගෙන ගන්නවා. කෙසේ වෙතත් උපාධි ප්‍රදානයෙන් දින දෙකකට පසුව ඇල්බර්ට් සහ මිලීවා නවාතැන්පොළක ඉඳලා අයින්ස්ටයින්ගේ නැඟණියගේ අතටම අහුවෙනවා. අම්මාට මේ ගැන කියන්න එපා කියලා අයින්ස්ටයින් නැඟණියට ආයාචනා කළත් මව සියල්ල දැනගන්නවා. ඉන් පසුව මවගේ සුසුමින් නිවෙස තෙත් වෙනවා.
'ඒකි ප්‍රෙග්නන්ට් වුණොත් උඹ වැටෙන්නේ ලොකු අමාරුවක ' අම්මා ඉකිගසා හඬමින් කිව්වා.
1900දී ඔවුන් දෙදෙනා හැදෑරූ විභාගයේ ප්‍රතිඵල නිකුත් වන අතර ඇල්බර්ට් ලකුණු ලැයිස්තුවේ හතරවැනි තැන හිමිකරගත් අතර මිලීවා අවසන් තැන හිමිකර ගනිමින් තවත් වසරක් යනතුරු පොලිටෙක්නික් සරසවියෙ ඉගෙන ගන්නවා. කෙසේ වෙතත් උපාධි ප්‍රදානයෙන් දින දෙකකට පසුව ඇල්බර්ට් සහ මිලීවා නවාතැන්පොළක ඉඳලා අයින්ස්ටයින්ගේ නැඟණියගේ අතටම අහුවෙනවා. අම්මාට මේ ගැන කියන්න එපා කියලා අයින්ස්ටයින් නැඟණියට ආයාචනා කළත් මව සියල්ල දැනගන්නවා. ඉන් පසුව මවගේ සුසුමින් නිවෙස තෙත් වෙනවා.
'ඒකි ප්‍රෙග්නන්ට් වුණොත් උඹ වැටෙන්නේ ලොකු අමාරුවක ' අම්මා ඉකිගසා හඬමින් කිව්වා.
"අම්මාට තියෙන්නේ පටු මනසක් " අයින්ස්ටයින් ඒ වෙලාවේ තරහින් කිව්වා.
"උඹට වයස තිහක් වෙද්දි ඒකි නාකි ගෑනියක්. ඒකිත් උඹ වගේම පොත් ගුල්ලියක්. උඹට ජීවිතයක් තියෙන්න ඕන. ඒක නිසා උඹට ඕනී හරි බිරියක්. පුතා ගේ හැටි දන්න මව තරහින් පැවැසුවා.
අයින්ස්ටයින් සහ මිලීවා ප්‍රේමයේ ගැටලු විසඳෙන කල් යළිත් වරක් තරමක් අෑත් වෙලා කාලය ගත කරන්න තීරණය කරනවා. ඇය නගරයෙන් අෑත්ව ඇගේ උපන් ගමට යනවා. අයින්ස්ටයින්ද යළිත් වරක් දුක නැති කරගන්න වයලීනය අතට ගන්නවා. වරින් වර ඔවුන් හමුවෙන අතර ලිපි මඟින් සහ පුංචි පුංචි කවි හුවමාරු කරගනිමින් ආදරය පවත්වාගෙන යන්න ඔවුන්ට හැකි වෙනවා. කලෙකට පස්සේ මුණ ගැසුණු ඉරිදා දිනයක මිලීවා ඇය ගැබිනි මවක් වූ පුවත අයින්ස්ටයින්ට දුකින් කියනවා. නමුත් අයින්ස්ටයින් කලබල වෙන්නේ නැහැ. ඒ වගේම ඔහු පිය පදවිය ලබන්න සූදානම් බව පවසනවා. මේ කාලය යුරෝපයේ එක් දරු පවුල් ක්‍රමය සුදුසු බව පවසමින් උපත් පාලනය ගැන දැඩි කතාබහක් ඇති වුණ කාලයක් වීමත් සුවිශේෂී කාරණයක්. මේ සිදුවීම සිදුවන සමයේදී අයින්ස්ටයින් රැකියාවක් සොයමින් ආචාර්ය උපාධියට සූදානම් වෙන අතර මිලීවාත් කෙසේ හේ විද්‍යාඥවරියක් වීමේ සිහිනයක හිටියා. එම නිසා ඔවුන් දෙන්නාටම ආසාව නිසා සිදු වූ අත්වැරැද්දක් නිසා ලැබෙන්න යන දරුවා ලොකු ප්‍රශ්නයක් වුණා.
කාලය පියඹා යද්දි විවාහ නොවූ හිතුවක්කාර පෙම් යුවළට 1902දී පුංචි දියණියක් ලැබෙනවා. ඇය ලිසරල් අයින්ස්ටයින් ලිසරල් ගැන අයින්ස්ටයින් පසුකාලීනව කිසිවක් හෙළි නොකළ අතර, ඇය උණ වැලඳීමෙන් 1903දී මිය යන්නට ඇති බව විශ්වාස කරනවා. තවත් ප්‍රබල කට කතාවක ඇය කිසියම් කෙනකුට හදාගන්න දුන් බවත් කියැවෙනවා. නමුත් අදටත් ලිසරල්ගේ පැවැත්ම නොවිසඳුණු ගැටලුවක්. ස්ථීර රැකියාවක් නැති නිසා ඇති වුණ මූල්‍ය ගැටලුවලට පිළිතුරක් ලෙස 1902දී අයින්ස්ටයින් ටියුෂන් කරන්න පටන් ගන්නවා. මේ කාලය ගෙවිලා යත්ම පේටන්ට් පරීක්‍ෂා කරන්නෙක් ලෙස රැකියාවක් ඔහුට ලැබෙනවා. කවුරුත් හීනෙන්වත් නොසිතූ අනාගත මහා බුද්ධිමතාට එය ප්‍රමාණවත් රැකියාවක් නොවුණත් ඔහුගේ විද්‍යාත්මක අධ්‍යයනයන් කරගෙන යන්න අවශ්‍ය කාලය සහ නිදහස එම රැකියාව තුළ තියෙන නිසා අයින්ස්ටයින් ඊට කැමැති වෙනවා.
1903 ජනවාරි මාසයේදී සියලු දෙනාගේ විරෝධය මැද අයින්ස්ටයින් මිලීවාමරික් සමඟ විවාහ වෙනවා. 1904දී ඔවුන්ගේ පුතා හාන්ස් ඇල්බර්ට් අයින්ස්ටයින් බිහි වෙනවා. අයින්ස්ටයින් මේ වන විට තම විද්‍යාත්මක මතවාදය විද්‍යාත්මක පර්යේෂණ ලිපි ඔස්සේ ගොඩනඟා ගනිමින් හිටිය කාලයක්. ඇල්බර්ට් අයින්ස්ටයින් යන කවුරුත් නොදන්නා නාමයකින් කරළියට එන නවමු විද්‍යාත්මක පර්යේෂණ ලිපි ගැන එකල සිටි මහා භෞතික විද්‍යාඥයන් කතා කරන්න පටන් ගන්නවා. නමුත් ඔවුන් කවුරුත් දැනගෙන සිටියේ නැහැ ඒ වන විට වයස අවුරුදු 26ක් පමණ වන තරුණයෙක් නිශ්ශබ්ද පෙරැළියකට සූදානම් වෙන බව. අයින්ස්ටයින්ගේ ඒ සාර්ථකත්වයේ ගමන මිලීවාගේ සිහින බිඳ වට්ටනවා. බුද්ධිමත් මිලීවාගේ සිහිනය වුණෙත් යමක් කමක් කරන්න පුළුවන් විද්‍යාඥවරියක් වෙන එක. මෙම නිසා කාලය ගත වෙද්දි විවාහ දිවියේ ගැටලු රැසක් පැන නඟිනවා.
"පිරිමි අමතක කරන දේවල් ගැන ගැහැනු දුක් වෙන අතර ගැහැනු මතක තියාගන්න දේවල් ගැන පිරිමි දුක් වෙනවා. " අයින්ස්ටයින් ගැහැනු පිරිමි ගැන එහෙම කියනවා. නමුත් සමස්තයක් ලෙස ගත්තොත් අයින්ස්ටයින් ගැහැනුන්ට හොඳ පිරිමියෙක් නොවූ බව සඳහන් වෙනවා. 1912 පමණ වන විට අයින්ස්ටයින් භෞතික විද්‍යා ලෝකයේ දිදුලන තාරකාවක් වෙනවා. නමුත් ඔහුගේ විවාහ දිවියේ පහන නිවෙමින් පවතින කාලයක්. අයින්ස්ටයින් සැමියාගේ වගකීම් සේම දරුවන්ගේ වගකීම්ද පැහැර හරිමින් විශ්වීය රහස් ගවේෂණයට සෑම මිනිත්තුවක්ම යොදවනවා. ඒ වගේම අයින්ස්ටයින්ගේ දිවියට ඇතුළු වෙන එල්සා නම් ගැහැනිය අයින්ස්ටයින් පවුලේ ප්‍රශ්න උග්‍ර කරන්න දායක වෙනවා. එම කාලයේදී අයින්ස්ටයින් ඔහුගේ බිරියට තමා සමඟ ඉදිරියටත් ජීවත් වෙන්න අවශ්‍ය නම් කොන්දේසි මාලාවක් ලියලම ඉදිරිපත් කරනවා.
කොන්දේසි
a) ඔබ පහත දේවල් තහවුරු කළ යුතුයි
1. මගේ ඇඳුම් පැලඳුම් පිළිවෙළට සහ පිරිසුදුව තැබිය යුතුයි.
2. මම මගේ ආහාර වේල් තුනම මගේ කාමරයේ සිට ගනිමි.
3. ඔබ මගේ නිදන කාමරය සහ අධ්‍යයනය කරන ස්ථානය පිළිවෙළට තැබිය යුතුයි. මගේ මේසය මගේ භාවිතයට පමණයි.
b) ඔබ ඔබගේ සියලුම සමාජ සම්බන්ධතා මට පැවැසිය යුතුයි. එසේම පහත දෑවලදී ඔබ මා කලින් දැනුම්වත් කළ යුතුයි.
1. මම ඔබ සමඟ නිවෙසේ වාඩි වී සිටිය යුතු අවස්ථා.
2. ඔබට මා සමඟ ඇවිදින්න අවශ්‍ය අවස්ථා
c) ඔබ පහත දේවල් සම්බන්ධව මට කීකරු විය යුතුයි.
1. ඔබ මගෙන් කිසිදු කුලුපගතාවක් බලාපොරොත්තු නොවිය යුතු අතර, ඊට දෝෂාරෝපණයද නොකළ යුතුයි.
2. මම ඉල්ලීම් කළ විටදී ඔබ කතා කිරීම නතර කළ යුතුයි.
3. මම ඉල්ලීමක් කළහොත් විරුද්ධ නොවී ඔබ මගේ නිදන කාමරයෙන් පිටවිය යුතුයි.
අයින්සටයින්ගේ එම දැඩි කොන්දේසි පවත්වගෙන යන විවාහයට දැක්වූ දැඩි කැමැත්ත මනාව පෙන්වනවා "පිරිමි බඳින්නෙ ගැහැනු වෙනස් නොවෙයි කියල හිතාගෙන. නමුත් ගැහැනු බඳින්නෙ පිරිමි වෙනස් වෙයි කියල හිතාගෙන. අන්තිමේට දෙන්නම දුක් වෙනවා" අයින්ස්ටයින් පසුකාලීනව එහෙම කියනවා. 1914 පමණ කාලය වන විට ඔවුන් තවත් ඈත් වී වෙන්ව ජීවත් වෙනවා. මේ වන විට මිලීවාට අයින්ස්ටයින්ට දාව තවත් දරුවෙක් ලැබී අවසානයි. සියල්ල හොඳින් නොවිසඳෙන තැන 1919 වසරේදි ඔවුන් නීතියෙන්ම දික්කසාද වෙනවා. නමුත් අයින්ස්ටයින් එම වසරේම ඔහුගේ රහසිගත පෙම්වතිය සේම මවගේ පර්ශවයෙන් ඥාති සොහොයුරියක් වන එල්සා විවාහ කර ගන්නවා. එල්සා ඒ වන විටත් වැන්දඹු දෙදරු මවක්. මිලීවා තරම් උගත් නොවුණත් ඇය අයින්ස්ටයින්ගේ විදිය දැනගෙන ඊට සහය දක්වමින් ජීවත් වෙන්න හැකියාව දක්වනවා. එල්සා සහ අයින්ස්ටයින් අතර කුඩා කල සිටම අමුතු ප්‍රේමයක් තිබුණා. මේ කතා අස්සේම ඒ කියන්නෙ 1923දී වියිර අයින්ස්ටයින් ඔහුට වඩා වයස අවුරුදු 25ක් බාල උපාධිධාරී උගත් සාත්තු සේවිකාවක් වන බෙට් නියුමන් (Bett Neumann) සමඟත් ප්‍රේම සම්බන්ධයක් ඇතිකර ගන්නවා. එල්සා ඒ ගැන දැනගෙන හිටියත්, ඔහුගෙන් ඒ පිළිබද තතු විමසන්නේ නැහැ. නමුත් එම ප්‍රේම සම්බන්ධය වසර දෙකක් පමන කාලයක් පමණයි පවතින්නේ. කෙසේ වෙතත් දෙවැනි විවාහය මරණය දක්වාම ගෙනියන්න ඔහු සමත් වෙනවා. අයින්ස්ටයින් මියයන්න වසර කිහිපයකට පෙර එල්සා වයසට ගිහින් මියයනවා.
අයින්ස්ටයින් තුරුණු වියේදී පුංචි පුංචි නිසඳැස් මිලීවාට මෙන්ම එල්සා වෙනුවෙන්ද ලිව්වා. අයින්ස්ටයින් තුළ සංගීතයට ළැදි කවියෙක්ගේ අංකූර පැහැදිලිවම තිබුණා. මහා විද්‍යාඤයෙක් වුණත් විටෙක ෂේක්ස්පියර් හා සමවන ආදරණිය රොමාන්තික බවක් ඔහු තුල තිබුනු බව මනාව පැහැදිලි වෙනවා. තවත් විටෙක හිට්ලර්ගේ දරුණුකමද, ලින්කන්ගේ අසීමිත ඉවසීමද, චාලි චැප්ලින්ගේ හාස්‍යද ඔහු තුලින් මතු වුණා. ඇත්තෙන්ම ඔහුට තිබුණේ වෙන්කල නොහැකි වර්ණ සංකලනයකින් සැකසුණු සංකීර්ණ චරිතයක්. ඒ නිසාම ඔහුගේ ජීවන සිතුවම මතුපිටින් නිරීක්ෂණය කරන්නකුට අයින්ස්ටයින්ගේ ආදරය ගැටලු රැසක් මතු කරනවා. නමුත් අයින්ස්ටයින් එසේ හැසිරීමටත් එවැනි තීරණ ගැනීමටත් ඇත්තටම හේතු වුනු කරුනු අපි කාටවත් හරියටම කියන්න බැහැ. අයින්ස්ටයින්ට කුටුම්බයට වඩා කිහිප ගුණයකින් ගුනාකාර වුණ විශාල ලෝකයක් තිබීම මීට ප්‍රධාන හේතුව වෙන්න ඇති කියලා විශ්වාස කරන්න පුළුවන්.
"ඔබට සතුටින් ජීවත් වෙන්න අවශ්‍ය නම් ඔබේ ජීවිතය පුද්ගලයකු හෝ දෙයක් වටා ගැට ගහන්නෙ නැතුව කිසියම් අරමුණක් වටා ගැටගහන්න" අයින්ස්ටයින් ඒ කියන කියමනේ සඳහන් ආකාරයම ඔහු මියයන තුරුම පුළුල් අරමුණක් ඔස්සේ ජීවිතය දැඩි උනන්දුවකින් ගත කරපු බව කියන්න පුළුවන්. මන්ද යත් ඔහුගේ පෞද්ගලික ජීවිතයේ කිසිදු හැල හැප්පීමක් ඔහුගේ විශ්වීය ගවේෂණ චාරිකාව නවත්වන්න බලපෑවෙ නැහැ.
අයින්ස්ටයින්ගේ වීරයා වන අයිසෙක් නිව්ටන් කියන විදියට නම් ඇපල් ගෙඩි බිමට වැටෙන්නේ ගුරුත්වාකර්ෂණය නිසා. නමුත් පුද්ගලයෙක් ආදරයෙන් වෙළෙන්නේ එහෙම නැත්නම් ආදරයට වැටෙන්නේ ගුරුත්වාකර්ණෂය නිසාද? "ගුරුත්වාකර්ෂණය පුද්ගලයන් ආදරයට වැටෙනවාට වග කියන්න ඕන නැහැ" මහ හයියෙන් සිනහ වෙවී අයින්ස්ටයින් ඒ කතාවට එහෙම පිළීතුරක් දෙනවා. එහෙනම් පුද්ගලයන් ආදරයට වැටේනනේ ඇයි? ඒ අයින්ස්ටයින් හරියටම පිළීතුරු සෙව්වේ නැති ප්‍රශ්නයක්. ඒ නිසාම දෝ 1938 ඉහ නිකට පැහුණු අයින්ස්ටයින් විවාහය ගැන මෙහෙම කතාවක් කියනවා.
"විවාහය යනු යම් සිද්ධියකින් ඇතිවෙන දෙයක් සදාකල් පවත්වා ගෙන යන්න දරන අසාර්ථක උත්සාහයක්" (Marriage is the Unsuccessful Attempt to Make Something Lasting Out of an Incedent)
සොයන්නට ඇත මට යමක්
සොඳුරියේ ඔබේ රෝස තොල් මත නොව
විශ්වයේ හදගැස්ම ගැන
ඒ හින්දා මේ සීත රැයේ
තරු සමඟ දොඩමලු වෙන්න තුටින්
අමනාප නොවී ඉසිඹුවක් ඉඩ දෙන්න
ඉන්පසුව ඔබට කොඳුරා කියන්නම්
සමීකරණ වලින් ගෙතූ
අගනාම රස රසක් කවක්
>>රජිත බස්නායක<<
Last edited:




