CEPA Epa

amjad18

Well-known member
  • Feb 16, 2012
    1,815
    893
    113
    ඉන්දියානු සියවස අප පසුකර යද්දී අපට හිටගෙන බලාසිටිය නොහැක..!
    ඉන්දියානු විරෝධී නූතන ෆැසිස්ට්වාදී මැරයන්ගේ විලාසිතාවක් බවට පත්ව ඇති කොඩිය ඉන්දියානු නායක්කර් පෙළපතෙහි ශ්‍රි වික්‍රම රාජසිංහ රජුගේ කොඩිය යැයි පැවසූ විදේශ ඇමැති මංගල සමරවීර මහතා ඉන්දියානු සියවස අප පසුකර යද්දී අපට සිට ගෙන බලාසිටිය නොහැකි බවත් අප ඉන්දියාවට සහ එම උපමහාද්වීපයට පිවිසෙන දොරටුව බවට පත්විය යුතු බවත් එවිට ඉන්දියාව සමෘද්ධිමත් වන විට ඊටත් වඩා අප සමෘද්ධිමත් වන බවත් පැවසීය.

    ඔහු මෙසේ පැවසුවේ ඉන්දු - ලංකා ඒකාබද්ධ කොමිසමේ 09 වන සැසිවාරය වෙනුවෙන් පැවැත්වූ දේශනයේදී ය. මෙම අවස්ථාවට ඉන්දීය විදේශ ඇමැතිනී සුෂ්මා ස්වරාජ් මහත්මියද සහභාගී වූවා ය. සමරවීර මහතා විසින් කරන ලද ඇස් අරවන සම්පූර්ණ දේශනය පහත දැක්වේ.

    සභාපතිතුමනි

    ඉන්දු ශ්‍රී ලංකා සබඳතාවන්හි ඉතාමත් සුබවාදි තත්ත්වයක් පවතින කාලයක මෙම දේශනය පැවැත්විම සඳහා ආරාධනය කිරිම සම්බන්ධයෙන් මා ඔබට මගේ කෘතඥතාව පළ කරන්නේ සතුටිනි. ඇත්ත වශයෙන්ම පසුගිය වසර අපගේ මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කළ විශිෂ්ට වසරක් ලෙස සඳහන් කළ හැකියි. මට කලින් කතා කළ කථිකයා ප්‍රකාශ කළ පරිදි මෙම වසර සබඳතාවන්හි විශිෂ්ට තත්ත්වයකට ළඟාවූ වසරකි. පසුගිය වසරේ දි ඉන්දිය අග්‍රාමාත්‍යතුමා ශ්‍රි ලංකාවේදි මහත් හරසරින් පිලිගැනීමට අපට අවස්ථාව ලැබුනු අතර අපගේ ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යතුමා ද නවදිල්ලි නුවරදි පිළිගනු ලැබුවා. මගේ මිත්‍ර ඉන්දිය විදේශ කටයුතු ඇමතිනි සුෂ්මා ස්වරාජ් මහත්මිය වසරක් තුළ තුන්වැනි වරටත් ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදෙන අතර මීට සති දෙකකට පමණ පෙර ඉන්දිය විදේශ ලේකම් වරයා ශ්‍රි ලංකාවේ සංචාරයක නිරත වුවා

    ඉන්දියාව විසිඑක්වන ශතවර්ෂයේදි සුපිරි බලවතෙකුවිම සඳහා ගමන් අරඹා තිබෙන රටක් ශ්‍රී ලංකාවද මෙම විශේෂ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා අතර එය ශ්‍රී ලංකාවේ පුනර්ජීවනය සහ සංවර්ධනය සඳහා උත්ප්‍රේරකයක් වනු ඇති බවට කිසිම සැකයක් නැහැ

    නෝනාවරුනි, මහත්වරුනි,

    මා මෙය සලකන්නනේ අහඹු සිදුවිමක් ලෙස නොවේ බොහෝ ඈත අතීතයේ සිට ශ්‍රි ලංකාවේ ඉරණම එහි සහෝදර ඉන්දියාවේ ඉරණම සමග එකට වෙලි පැවතියා. ඉන්දියන් සාගරය මැද පිහිටා ඇති අප වාසය කරන දිවයින පෝෂණය වී වර්ධනය වී ඇත්තේ එයට සමිපව පිහිටි අසල්වැසි ඉන්දියාවේ ඉතිහාසයේ වැදගත් සිදුවිම් සමග මිස අග්නිදිග ආසියාවේ, බටහිර ආසියාවේ හෝ අප්‍රිකාවේ එවැනි දේ සමග නොවේ. ඇතැම් විට අප රටෙහි ආදි වාසින්ගේ හැරුණු විට අපගේ නහරවැල් පුරා දිවයන රුධිරයේ මූලාරම්භය සිදුවී ඇත්තේ ඉන්දියාවෙනි

    ඇත්ත වශයෙන්ම මහාචාර්ය කේ. එම්. ද සිල්වා මහතා පෙන්වා දි ඇති පරිදි, බොහෝ ශ්‍රී ලාංකිකයන් ගේ විශේෂයෙන් පහතරට සිංහල ජනතාවගේ ඉන්දීය සම්භවයන් 18 වැනි ශතවර්ෂය දක්වා දිගටම පැවති ආගමන රැල්ලක් සමග සාපේක්ෂ වශයෙන් මෑතකාලීන වෙයි. ශ්‍රි ලංකාවේ රාජකීය පවුල්වලද එහි වෙනසක් දක්නට නැහැ. ඔබ දන්නා පරිදි බොහෝ රජවරුන්ගේ අග මෙහෙසියන් වුයේ ඉන්දියාවෙන් සරණපාවා ගත් කුමාරිකාවන්ය.

    සිංහල රාජවංශ නිමා වූ විට අපේ මුතුන් මුත්තන් ඉන්දියාවෙන් රජවරුන් ගෙන්වා ගැනීමට පසුබට වූයේ නැහැ. කන්නසාමි කුමරු, ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ලෙසින් ඔටුනු පැළැඳි අතර එම රජතුමා මහනුවර අවසාන රජතුමාය. එතුමාට පෙර මහනුවර රජවරුන් පරම්පරා ගණනාවක් දකුණු ඉන්දියාවේ නායක්කාර් වංශයට අයත්වූවා. උඩරට බොහෝ රදල පැලැන්තියෙන් පැවත එන බොහෝ දෙනාද එසේමයි. උඩරට උසාවියේ භාෂාව වූයේ දමිළය. එසේම 1815 උඩරට ගිවිසුම අත්සන් කළ 11 දෙනාගෙන් එක් අයෙකු හැර අනෙක් සියලු දෙනා ඔවුන් ගේ නම් අත්සන් කරන ලද්දේ ලස්සන දමිළ, සිංහල, සහ මලයාලම් යන බහු භාෂාවල අකුරුවලිනි. නව පැසිස්ට්වාදි මැරයන්ගේ විලාසිතාවක් බවට පත්ව ඇති කොඩිය නායක්කාර පෙළපතෙහි ශ්‍රි වික්‍රම රාජසිංහ රජුගේ කොඩියයි

    අපගේ ශතවර්ෂ ගණනාවක ඉතිහාසය සමීක්ෂණය කරන විට එක් ඉතාමත් වැදගත් හැරවුම් ලක්ෂයක් වූයේ ඉන්දියාවෙන් ශ්‍රි ලංකාවට බෞද්ධ ශිෂ්ටාචාරය හඳුන්වාදීමයි. මිහිඳු මහ රහතන් වහන්සේ හා සංඝමිත්තා තෙරණිය පැමිණි මෞර්ය නෞකාවෙන් භික්ෂුන් වහන්සේ භික්ෂුනි වහන්සේ පමණක් නොව වංශවතුන් සහ කම්මල්කරුවන්, මැටි භාණ්ඩ නිෂ්පාදන ශිල්පින්, රෙදි වියන ශිල්පින් ඇතුළු විවිධ කොටස් පැමිණ තිබෙනවා.

    බෞද්ධාගම සහ අශෝක යුගයේ නිපුන ශිල්පීන් නිසා මෙරට ජනතාවගේ විශ්වාස, ඇවතුම් පැවතුම්, චාරිත්‍ර සහ මිනිසුන්ගේ චරිත ලක්ෂණවල දැඩි විපර්යාසයක් ඇති වූවා. ලංකාවේ සමාජ ව්‍යුහයේ පමණක් නොවෙයි සාහිත්‍ය කලා, සංස්කෘතික ආදි අංශවල දැඩි මූලික වෙනසක් එමගින් සිදුවූවා. එය දෛනික ජිවිතයේ සෑම අංශයකම පෙන්නුම් කෙරුණු දෙයක්. ශතවර්ෂයෙන් ශතවර්ෂය ගෙවි යද්දී දෙරට අතර භික්ෂුන් වහන්සේලා, විද්වතුන් කලාකරුවන් ගමන් කර ඇති අතර නූතන යුගය දක්වා එම සබඳතා වර්ධනය වූවා. මෙම සංස්කෘතීන්වල ඉතා ප්‍රබල සංයෝගය නිර්මාණශිලිත්වයේ සහ සංස්කෘතික කටයුතුවල දැඩි ප්‍රගමනයකට මුල්වූ දෙයක්. එමෙන්ම අරාබි රටවලින් සහ ඉන්දියාවෙන් පැමිණි මරක්කල මුහුදු වෙළෙඳුන් නිසා මෙම සංස්කෘතික හැඩගැස්ම තවදුරටත් පෝෂණය වූවා.

    ශ්‍රී ලංකාව ඉන්දියාවට ගෙවිමට ඇති ඵෙතිහාසික ණය ඉතා සුළුවෙන් හෝ ආපසු ගෙවිමට ශ්‍රී ලංකාවට හැකි වී ඇති බව විශේෂයෙන් ප්‍රකාශ කිරීම සුදුසු යැයි මම සිතමි. ශ්‍රී ලංකාවේ පෙරටුගාමී දමිල අධ්‍යාපනඥයෙකු වූ ආරුමුගර් ශ්‍රී නාවලර් තුමා නූතන දෙමළ ප්‍රකාශන කර්මාන්තය නිර්මාණය කිරිමට උදව් කළ පුද්ගලයෙක්. තවත් ශ්‍රි ලාංකිකයෙකු වන සී. ඩබ්ලිව්. තමෝදරම්පිල්ලෙයි මහතා මදුරාසිය විශ්ව විද්‍යාලයේ ප්‍රථම උපාධිධරයාය. ඔහු ශාස්ත්‍රීය දෙමළ කවි සහ ව්‍යාකරණ කෘති සංස්කරණය කිරීමේ සහ පළ කිරිමේ පුනර්ජීවනය සඳහා උපකාරක කාර්යභාරයක් ඉටු කර තිබෙනවා.

    මේ සියල්ල හැරුණු විට ඉතාමත් සිත්ගන්නා සුළු එක් කතාවක් ඔබට පැවසීමට මා කැමතියි. එය පණ්ඩිත් නේරු තුමාගේ ස්වයං චරිතාපදානයේ සඳහන්. එදා ලංකාව ලෙස හැඳින්වුන අප රටෙහි නිවාඩු දිනක් ගතකිරීමක් එහි විස්තර කෙරෙනව.

    එහි සඳහන්වන්නේ මෙසේය. “අනුරාධපුරයේදි මම වඩාත්ම ප්‍රිය කළේ පැරණි ඉඳි බුදු පිළිමයටයි. වසරකට පසුව මම ඩෙරා ඩුන් ගෝල් හි සිටින විට ශ්‍රී ලංකාවේ මිතුරෙකු මට මෙම බුද්ධ ප්‍රතිමාවේ පින්තුරයක් එවා තිබිණි. මගේ කාමරයේ කුඩා මේසය මත මම එය තැබුවෙමි. එය මට අගනා සහකරුවෙක් විය. ඉතා ප්‍රබල නිසසල ලක්ෂණවලින් යුත් බුද්ධ ප්‍රතිමාව මට සැනසිල්ල ගෙන දුන් අතර ආතතියෙන් පෙළෙන බොහෝ අවස්ථාවලදී එයින් මිදීමට මට එම බුද්ධ රූපය ශක්තියක් හා උපකාරයක් විය“

    පණ්ඩිත් නේරුතුමාට සැනසිල්ල අවශ්‍ය මොහොතේ අනුරාධපුරයේ සමාධි බුද්ධ ප්‍රතිමාවෙන් එය ලැබුණු ලෙසින් දකුණු ආසියානුවන් වන අප අපව දැකීමට ප්‍රිය කරන්නේ ද පීඩිත සහ අසාධාරණ සැලකිල්ලට ලක්වන්නන්ට ශක්තියක්, සැනසිල්ලක්, පරාවර්තක සහ දයාවේ සහ සැනසුමෙහි මූලාශ්‍රයක් ලෙසමයි.

    නේරුතුමා ගැන කතා කරන විට අප එකිනෙක රටවල දේශපාලන විඥානය එකිනෙක රටවලින් පෝෂණය වී ඇත්තේ කෙසේදැයි කතා නොකිරීම අනුචිතයි. යටත්විජිතවාදයේ අධිරාජ්‍යවාදී බන්ධනයට එරෙහිව අපි සාමූහිකව අරගල කළෙමු. මේ වෙනුවෙන් සටන් කළ ඉන්දියාවේ නායකයන්ද ලංකාවේ නායකයන්ද සිරගතවූ කෙරුණු අවස්ථා තිබෙනව. ලංකා ජාතික සංගමය සහ යාපනයේ තරුණ කොංග්‍රසය ඉන්දියාවේ ජාතික කොංග්‍රසය සමග සමීප සබඳතා පවත්වාගෙන ගිය අතර එම සංවිධානවල නියෝජිත පිරිස් එකිනෙකා ගේ සමුළුවලට පැමිණියා. ගාන්ධිතුමා නේරු මහතා ලංකාවට පැමිණි විට අපගේ දේශපාලන නායකයන් ඉන්දියාවේ චාරිකාවල යෙදුණා.

    එන්. එම්. පෙරේරා, කොල්වින් ආර් ද සිල්වා, පිලිප් ගුණවර්ධන, ලෙස්ලි ගුණවර්ධන වැනි අපගේ බොහෝ වාමාංශික නායකයින්ට අධිරාජ්‍යවාදීන්ගෙන් දඬුවම් වලින් වැලකීම සඳහා පලායාමේ දි ඉන්දියාව රැකවරණ සලසා තිබෙනව. ඔවුන් ලංකා සමසමාජ පක‍ෂයේ සහ ඉන්දියාවේ කොමියුනිස්ට් පක්ෂ දෙකක් මගින් ඇතිකරන ලද ඉන්දියාවේ ලංකාවේ සහ බුරුමයේ බෝල්ෂේවික් ලෙනින්වාදි පක්ෂයේ කොටසක් ලෙස ඉන්දියාවේ සහ ලංකාවේ නිදහස් අරගලයේදි සාමුහිකව වැඩ කළා

    ඉතිහාසයේ එකම අවස්ථාවකදි අප අපගේ නිදහස දිනාගැනිමෙන් පෙන්නුම් කෙරෙන්නේ අප දෙරට අතර සහ අපගේ නායකයන් අතර පැවති සමීප සබඳතා සහ පුද්ගලික සබඳතා මගින් අපගේ ඉරණම කෙරෙහි පැවති නොබෙදිය හැකි එකමුතුවයි.

    අප රටේ ජනතාවගෙන් මහා බහුතරයකගේ ආගම වන බුදුදහම අපට ලබාදුන් රට ඉන්දියාවයි. ඉන්දියාවට මහත් සේ කෘතඥතාව පළ කළ යුතුම පුද්ගලයන්, ජනවර්ගය ආගම එල්ලාගෙන සිටින මේ රටේ නොමගට යොමු කෙරුණු සිංහල බෞද්ධයන් සහ සිංහල මිනිසුන්ගේ ඉතිහාස වෘත්තාන්තය මහාවංශයේ සඳහන් පරිදි සිංහයෙකුට ඇති ලේ නෑදෑකමක් ගැන බව පවසන එම පුද්ගලයන්ම ඉන්දියාවට වඩාත් බියක් දැක්වීම විමතියට කරුණකි.

    බොහෝ ජාතීන්ට ඔවුන් ගේ ජාතියේ සම්භවයන් ගැන විස්තර කියන මිථ්‍යා ප්‍රබන්ධ තිබෙනවා. එම මිථ්‍යා ප්‍රබන්ධ සැකසී ඇත්තේ ප්‍රබෝධයක් ඇති කිරීමට මිස ඒවා වචනයේ පරිසමාප්ත අයුරින් බාර ගැනීමට නොවේ. අද දේශපාලන පරිසරයේ නව පැසිස්ට්වාදීන් ඉන්දියානු සිංහයෙකුට ලේ නෑමක් ඇති බව කියනවා (ශ්‍රී ලංකාවේ සිංහයන් නොසිටි අතර දැන්ද නැත) එහෙත් මහාවංශයේ එය වචනයේ පරිසමාප්ත අයුරින් පිළිගැනීමේ අනතුර වන්නේ එය එසේ වන විට අප සිංහල ජාතිය සතෙකුගෙන් ඇතිවූ පීතෘඝාතක සහ කිට්ටු ඥාතීන් සමග අඹු සැමි සම්බන්ධයෙහි යෙදෙන ජාතියක් ලෙස අපම විශ්වාස කළ යුතුවීමයි

    මෙම නව පැසිස්ට්වාදීන් සෑම කටයුත්තකදීම ඉන්දියානුවකු දකින බවක් සහ ඉන්දියානුවන් රොද බැඳගෙන ශ්‍රී ලංකාවට පැමිණීමේ සදාතනික බියකින් පසුවන බවක් දක්නට තිබෙනවා. අප රටවල් සම්බන්ධ කෙරෙන පාලමක් පෝක් සමුද්‍රසන්ධිය හරහා ඉදිකිරීමට යෝජනා කරන අවස්ථාවලදී සමස්ත ඉන්දියාවම එම පාලම ඔස්සේ පැමිණ ශ්‍රී ලංකාව ඔවුන් ගේ සියරට කරගනු ඇතැයිද, වෙළඳ ගිවිසුම් ගැන සාකච්ඡා කරන විට ඉන්දියානු වෛද්‍යවරුන් සහ කරනවෑමියන් බුරුතුපිටින් ශ්‍රීලංකාවේ වෙළඳපලට ගලා එනු ඇතැයි ද සිතීමේ මානසික උන්මාදයකින් ඔවුන් පසුවෙනවා. දැන් ඔවුන් පවසන්නේ එරට සියලුම තොරතුරු තාක‍්ෂණ විශේෂඥයන් ශ්‍රී ලංකාවට පැමිණ ශ්‍රී ලාංකික ඉංජිනේරුවරුන්ගේ රැකියා ඩැහැගැනීමට සූදානමින් සිටින බවයි. මෙවන් ප්‍රකාශ පවතින්නේ සංවර්ධනය වන ලෝකය ඉන්දියානු තොරතුරු තාක‍්ෂණ ඉංජිනේරුවරුන්ගේ සේවය ලබා ගැනීමට පුල පුලා බලාසිටින මොහොතකයි.

    මෙම අනාරක‍්ෂිත, ප්‍රතිගාමී සහ අවුල් ඇතිකරන චින්තනයෙන් සිංහල ජාතියේ දීර්ඝකාලීන උත්කෘෂ්ට ඉතිහාසයට සාධාරණයක් ඉටු නොකරනවා මෙන්ම මහත්මා ගතිගුණවලින් සපිරි කරුණාවන්ත සහ මධ්‍යස්ථ එමෙන්ම සමස්ත ලෝකයටම ආදර්ශයක් වන අයුරින් පන්සිල් සුරකින සහ බෞද්ධ වටිනාකම් සිය දෛනික දිවිපෙවතෙහිදී පිළිපදින මෙරට බහුතර ජනතාවටද සාධාරණයක් සිදුවන්නෙ නැහැ. සිංහල ජනතාවට වසර ගණනාවක් මුළුල්ලේ ‘කාලය සමග වෙනස්වීමට සහ සමස්තයක් ලෙස වෙනත් ආගමික සහ සංස්කෘතික ආභාසයන් උකහා ගැනීමට හා එමගින් අපගේ දිවයිනෙහි උද්දීප්ත වූ සංස්කෘතික විවිධත්වය නිර්මාණය කිරීමට ප්‍රඥාව සහ නම්‍යශීලීභාවය තිබින’. එයින් බෞද්ධ ඉගැන්වීම් උසස්ම තත්වයෙන් නොකිලිටි අයුරින් රැකගැනීමට ධෛර්ය සහ ඔරොත්තුදීමේ හැකියාවද ඔවුන් සතුවූවා. නව පැසිස්ට්වාදීන්ට අවශ්‍ය ඇත්තේ ශ්‍රී ලංකාව වෛරයේ, අඥානකමෙහි සහ ප්‍රචණ්ඩත්වයේ ආදර්ශයක් කිරීමටයි. ඒ වෙනුවට අප මහත් අසාධාරණයක් පවතින ප්‍රචණ්ඩ ලෝකයක අටවැදෑරුම් මාවතෙහි දිලෙන ආදර්ශයක් මෙන්ම වාර්ගික භාෂාමය සහ ආගමික විවිධත්වයේ මහා ප්‍රීතිප්‍රබෝධයක් විය යුතුය.

    දිගුකාලීන වශයෙන් බලන විට පුරාණ කාලයේ සිට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සමීප සංස්කෘතික සහ දේශපාලන සබඳතා පැවත තිබුණා. මෙම සම්බන්ධතා තවමත් ශක්ති සම්පන්නයි ඉන්දියාව සමෘද්ධිමත් වන විට විට ලංකාවත් සමෘද්ධිමත් වුනා. ඉන්දියාව යටපත් කෙරුණු විට ලංකාවටත් එයම වුනා. ඉන්දියාවට නිදහස උදාවන විට ලංකාවටත් නිදහස උදාවුනා. ඒ හා සමානව ඉන්දියාව සමෘද්ධිමත් වන විට ලංකාවත් සමෘද්ධිමත් වෙනවා.

    එහෙයින් අද අපගේ අන්‍යොන්‍ය යහපතට විශාල සම්භාවිතාවක් පවතින එමෙන්ම අපට එකට එක්ව කටයුතු කළ හැකි ක්ෂේත්‍රයක් ගැන සමීක‍්ෂණය කිරීම උචිත බව මා සිතනව. එය තවමත් ඉතාමත් නොදියුණු තත්වයේ ඇති අපගේ ආර්ථික සහයෝගිතාව ලෙස නම්‍ කළ හැක.

    දැනට වසරකට සියයට හතකට වඩා වර්ධනයක් ඇති ඉන්දියාව 2030 වන විට ජගත් ආර්ථිකයේ ඉහලම ස්ථානයේ පසුවන රටවල් තුන අතර සිය ඓතිහාසික ස්ථානයට ආපසු ලඟාවීමට සූදානම්ව සිටින රටක්. ඉදිරි 25 වසර තුළදී බිලියන 1.6 ක ජනගහනයකින් යුත් ඉන්දියාවේ දැනට සියයට 10 ක් වන මධ්‍ය පංතිය සියයට 90 ක් වනු ඇතැයි පුරෝකථනය කර තිබෙන දෙයක්.

    නෝනාවරුනි, මහත්වරුනි,

    ඉන්දියාව සුපිරි බලවතෙකු ලෙස තමන්ට ඇති නීත්‍යානූලකූල ස්ථානය යළි ලබාගැනීම කරා ඉදිරියට ගමන් කරමින් සිටින අවස්ථාවේ ශ්‍රී ලංකාවට ද මෙම ඉන්දියානු ශතවර්ෂයෙන් ප්‍රතිලාභ අත්කර ගැනීමට නම් අප ඉන්දියාව දෙස බැලිය යුත්තේ තර්ජනයක් වශයෙන් නොව සමෘද්ධිය සහ සංවර්ධනය සඳහා ඇති මහඟු අවස්ථාවක් ලෙසයි. කැනඩාව, හොංකොං හෝ වියට්නාමය මෙන් ශ්‍රී ලංකාවද ලෝකයේ විශාලතම සහ ශීඝ්‍රයෙන් වර්ධනය වන සහ අප රටේ ආර්ථිකය මෙන් තිස් ගුණයක ආර්ථිකයක් ඇති රටක් ආසන්නයේ පිහිටීමෙන් අපට ඓතිහාසික අවස්ථාවක ආශිර්වාදය ඇති බව අප අවබෝධ කරගත යුතුය. එමෙන්ම අප රටට කුඩා ආර්ථිකයක් ඇතත් ඉන්දියාවට පිවිසුම් මාර්ගයක් ලෙස අප රට පිහිටා තිබීම ලෝකයේ නෙත අප කෙරෙහි යොමුවීමට බලපා ඇති ප්‍රධානම හේතුවක් බවද අප අවබෝධ කරගත යුතුය.

    ඉන්දියාවේ නැගී එන ආර්ථික වර්ධනය නිසා දැවැන්ත ඍජු විදේශ ආයෝජන සහ අපනයන අවස්ථා නිර්මාණය වී තිබෙනවා. ඉන්දියාවේ සමාගම් වෙනත් රටවල සිදු කරන ආයෝජන ප්‍රමාණය 1990 දී ඇමරිකානු ඩොලර් මිලියන 6 කි. එය 2014 වන විට ඇමරිකානු ඩොලර් බිලියන 9.8 ක් දක්වා ශීඝ්‍ර ඉහලයාමක් පෙන්වයි. ශ්‍රී ලංකාවේ ඍජු ඉන්දීය විදේශ ආයෝජනවල ද දැවැන්ත වර්ධනයක් පෙන්වයි. එම ප්‍රමාණය 2000 වසරේදී ඇමරිකානු ඩොලර් මිලියන 100 ට මදක් වැඩිව තිබුණත් 2014 වන විට ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ක් දක්වා ඉහල ගොස් ඇති බව අප අමතක කළ යුතු නැහැ.

    ඉන්දියානු තෙල් සමාගම, ටාජ් සමූහ ව්‍යාපාරය, අශෝක් ලේලන්ඩ්, වැනි සමාගම් මෙරට ආයෝජනය කර ඇති ඉන්දීය සමාගම් කිහිපයක්. ඉන්දියාව ශ්‍රී ලංකාවට ඍජු විදේශ ආයෝජන ලැබෙන මූලාශ්‍රයක්. එපමණක් නොවෙයි ශ්‍රී ලංකාව ඉන්දියාවට පිවිසීමේ දොරටුවක්ව පිහිටීමද අපට ඍජු විදේශ ආයෝජන ලබාගැනීමට සහ ආර්ථික සංවර්ධනය සහතික කිරීමට ඇති මාර්ග කිහිපයකින් එකක්ද වෙයි. ඉන්දියානු වෙළඳපොළට පිවිසීමේ අපේක‍්ෂාවෙන් සිටින බොහෝ අන්තර්ජාතික ආයෝජකයන් ආයෝජනයට සුදුසු රටක් ලෙස ශ්‍රී ලංකාව කෙරෙහි සැලකිල්ල දක්වනවා. වරාය ගැන බලන විට අපට ඍජු විදේශ ආයෝජන විශාල ප්‍රමාණයක් ලබා ගැනීමට හැකිවී ඇත්තේ කොළඹ වරායේ සමස්ත බහාලුම් මෙහෙයවීම් වලින් සියයට 70 ක්ම ඉන්දියාවට කෙරෙන ප්‍රති අපනයනයන් වීම නිසායි. අපගේ මූල්‍ය සේවා, තොරතුරු තාක‍ෂණ සේවා සැපයුම් සහ නිෂ්පාදන යන අංශවල මහා ශක්‍යතාවක් පවතිනවා. ඊට හේතුව ඉන්දියානු වෙළඳපොළ අල්ලා ගැනීමට ඒවා භූගෝලීය වශයෙන් මනාව ස්ථානගතව තිබීමයි.

    ඉන්දියාවට සහ උප මහාද්වීයට පිවිසීමේ දොරටුව ලෙස අප රට පිහිටා තිබීමේ ප්‍රතිඵලයක් ලෙස ඉන්දියාවෙන් සහ වෙනත් රටවලින් කෙලින්ම ආයෝජන ලබාගැනීමට ද හැකිවීම ශ්‍රී ලංකාවේ ව්‍යාපාරවලට සහ පුරවැසියන්ට අතිවිශාල ඉන්දියානු වෙළඳ පොලෙන් ප්‍රතිලාභ අත්වන එකම මාර්ගය නොවෙයි. ශ්‍රී ලංකාවේ සමාගම්ද ඉන්දියාවේ පවතින ආයෝජන අවස්ථාවලින් ප්‍රයෝජන ගැනීම වැඩිවෙමින් පවතන බව පැවසිය හැකියි. උදාහරණ කිහිපයක් දක්වන්නේ නම් අක්කර දහසක ඇගලුම් නිෂ්පාදන කලාපයක් වන බ්‍රැන්ඩික්ස් ඉන්ඩියා ඇපරල් සිටි, මාස් සමාගමේ විවිධ කර්මාන්ත ශාලා සහ ෆැබ්රික් පාක්ස්, චෙන්නායිහි පිහිටි කාමර 143 කින් සමන්විත ඒට්කන් ස්පෙන්ස් සමාගමේ හෝටලය පෙන්විය හැකියි.

    වෙළඳාම කෙරෙහි බලන විට ශ්‍රී ලංකාවේ පාරිභෝගික සමාගම් අතිවිශාල ඉන්දියානු වෙළඳ පොලට පිවිසෙමින් සිටිනවා. ඉන්දු ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම ක්‍රීයාත්මකවීමත් සමගම ඉන්දියාවට කෙරෙන ශ්‍රී ලංකා අපනයන දස ගුණයකින් වැඩිවී ඇති බව පෙන්විය හැකියි. අමන්ටේ, ඇවිටේ, මන්චි සහ දම්රෝ වැනි ශ්‍රී ලංකා පාරිභෝගික වෙළඳ නාම ශීඝ්‍රයෙන් ඉන්දියාවේ ව්‍යාප්ත වෙමින් පවතී. කර්මාන්ත අංශයෙන් බලන විට ඉන්දියාවේ සමාගම් වෙනුවෙන් නැව් තැනීම පිණිස කොළඹ ඩොක්යාඩ් සමාගමට ඇමරිකානු ඩොලර් මිලියන 250 කට වඩා වැඩි ඇණවුම් ලැබී තියෙනවා. මෙවැනි සාර්ථක තත්වයන් නිසා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආනයන අපනයන අනුපාතය මෙම වෙළඳ ගිවිසුම අත්සන් කර දස වසර තුළ 10:1 සිට 6:1 දක්වා පහල බැස ඇත.

    යෝජිත ආර්ථික සහ තාක‍්ෂණික සහයෝගිතා ගිවිසුමෙන් අප මෙම නිදහස් වෙළඳ ගිවිසුම මතින් සේවා වෙළඳාම සඳහා රීති පදනම් කොට ගත් රාමුවක් ඇති කිරීමට ක්‍රියා කරනවා. එමගින් අපගේ ආර්ථිකයේ සියයට 60 ක් වන පුද්ගලික අංශයට එම වෙළෙඳපොලට පිවිසීමෙන් සහ වෙනත් අංශවල ගතිකත්වයෙන් ඉන්දු ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම යටතේ බුක්ති විඳින ප්‍රතිලාභ ලැබීමට හැකිවෙනවා.

    21 වන සියවසේදී ලෝකයේ වැදගත් ආර්ථික කේන්ද්‍රය බවට පෙරදිග පත්වන විට අපට ඉන්දියාව තර්ජනයක් ලෙස සිතිය නොහැකියි. අප ඉන්දියාව ගැන සිතිය යුත්තේ අපට ඇති විශාලතම අවකාශයක් ලෙසයි. ඉන්දියාව ගැන වර්තමානයේ අප තුළ පවතින සියලු අන්ධ විශ්වාසයන් ගෙන් සහ අවිචාරක හැගීම්වලින් අපගේ චින්තනය ආලෝකමත් නොකළ යුතුය. සමස්ත ශ්‍රී ලංකාව බොහෝ සෙයින් මෙම සුළුතරය යන සංකීර්ණ මනෝභාවයෙන් මිදිය යුතුයි. එම සංකීර්ණ මනෝභාවය නතුකරගෙන ඇත්තේ ඉන්දියාව අපට තර්ජනයක් වන හා එදිරිවාදී අසල්වැසියෙකු මෙන්ම අපේ රටේ අභිලාෂයන්ට සතුරුවන රටක් ලෙස සිතා බැලීමෙන් බව පෙනීයනවා.

    අනික් අතට ඉන්දියාව ද සාමාන්‍ය ශ්‍රී ලංකිකයන් ගේ අවශ්‍යතා අපේක‍්ෂා සහ අභිලාෂයන් කෙරෙහි විමසිලිවත්ව කටයුතු කිරීමටද අවශ්‍යයි. ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ යළි යළිත් උද්ගත වන බොටම් ට්‍රෝලර් අර්බුදය වැනි ප්‍රශ්න විසඳා ගත යුතුයි. එමගින් ඉන්දියානු විරෝධී හැගීම්වලට ඉඩ නොදිය යුතුයි. මෙම අර්බුදය දහස් ගණනක් දිළිඳු පවුල්වල ජීවනෝපායන්ට හානිකර වනවා පමණක් නොවෙයි පෝක් සමුද්‍ර සන්ධියේ මුහුදු පතුළෙහි උසස් පරිසරයටද හානි ගෙන දෙන එකක්.

    ඉන්දියානු සියවස අප පසුකර යද්දී අපට සිට ගෙන බලාසිටිය නොහැකි බව පවසමින් මා මගේ කතාව අවසන් කරන්න කැමතියි. ඉන්දීය ආර්ථිකයට ඇති අපගේ සමීප බව අපට මහත් ආශිර්වාදයක්. එම තත්වයෙන් අප ඉන්දියාවට සහ උපමහාද්වීපයට පිවිසෙන දොරටුව බවට පත්විය යුතුය. එවිට ඉන්දියාව සමෘද්ධිමත් වන විට ඊටත් වඩා අප සමෘද්ධිමත් වනවා. අපි දැනටමත් මෙම අරමුණ සපුරා ගැනීම පිණිස එම මාවතෙහි ඉදිරියට යමින් සිටිමු. එය යථාර්තයක් බවට පත් කිරීමට කාලය පැමිණ ඇති බව පැවසිය හැකියි
    ස්තූතියි.