ඒ 1981 වසරේ කිසියම් දිනයකි. කාලගුණය පැහැබරය. එවකට මා ඉගෙනුම ලබමින් සිටියේ පාසැලේ කනිෂ්ඨ ද්වීතියික පන්තියකය. එදින උදේ මා පාසැලට පැමිණෙන විට පාසැලේ වෙනදා නොතිබෙන කිසිදු කලබලකාරී කමක් පෙනෙන්නට නොතිබුණේය. මම කෙළින්ම අපේ පන්තියට ගියෙමි.
පළමු කාල පරිච්ඡේදය සාමාන්‍ය පරිදි අවසන් විය. ඉන් පසුව ඇත්තේ දෙවන කාල පරිච්ඡේදය ආරම්භ වීමට පෙර පන්තිභාර ගුරුවරයා පැමිණ නම් ලකුණු කිරීම සඳහා වෙන්වූ විනාඩි පහක කාලයයි. කිසියම් හේතුවකින් ඔහුගේ පැමිණීම ප්‍රමාද වෙමින් පැවතුණේය. අපේ පන්තිය ඉදිරියෙන් උසස්පෙළ පන්ති වල උගත් සිසුන් සැලකිය යුතු පිරිසක් ඇවිදගෙන යති. ඔවුන් යන්නේ පාසැල් පිට්ටනිය දිශාවටය. මෙය තරමක් අසාමාන්‍ය දසුනකි.
"ස්ට්‍රයික් කරන්න යන්නේ..."
ඒ මගේ පන්ති සගයෙකි.
"අපිත් යමුද?"
මා මේ කාලයේදී පන්තියේ දීප්තිමත් සිසුවෙකු වුවද, නසරානි වැඩ වලදී පෙරමුණ ගැනීමට එය බාධාවක් කොට නොසැලකුවෙමි.
"ගිහිං බලමු!"
අපි වහවහා අපට ඉදිරියෙන් ගිය දෙතුන් සියයක වැඩිහිටි සිසු කණ්ඩායම හා එක් වූයෙමු. අපේ ගමනාන්තය වූයේ ප්‍රධාන මාර්ගයට මුහුණ ලා පිහිටි පාසැල් පිට්ටනියයි.
ටික වෙලාවකින් මේ කණ්ඩායම තවත් විශාල විය. එහෙත්, එහි එක්රැස්වී සිටි දික්කලිසං අයියලා අතර අප වැනි කොටකලිසං මල්ලිලා හිටියේ ඉතා සුළු පිරිසකි. මෙයින් වසර හත අටකට පසු සිදු වූ අයුරින් පහළ පන්තිවලට රතිඤ්ඤා විසිකර සිසුන් පන්ති වලින් එළියට ගැනීමක් සිදු නොවුණු නිසා අපට මෙන් ලොකු අමාරුවක් නොතිබුණු අනිත් කොටකලිසං මල්ලිලාට පිට්ටනියට පැමිණීමට අවශ්‍යතාවයක් තිබුණේ නැත.
මේ කරන්නට හදන්නේ අධ්‍යාපන ධවල පත්‍රිකාවට එරෙහි විරෝධතාවක් බව අපි වැඩි වෙලාවක් නොගොස් දැනගත්තෙමු. එහෙත්, මේ විරෝධතාව මෙහෙයවන නායකයෙකු හෝ නායක කණ්ඩායමක් පෙනෙන්නට නොසිටියේය. කිසියම් පත්‍රිකා වගයක් බෙදා හැරෙනු දැක මා වහාම එයින් එකක් ලබාගත්තේ තිබුණු පත්‍රිකා ප්‍රමාණය රැස්ව සිටි සිසුන් ගණනට වඩා අතිශයින්ම අඩු බව ක්ෂණිකව අවබෝධ වූ බැවිනි. "අම්මේ, තාත්තේ, අයියේ, අක්කේ" කියා පටන්ගෙන රතු අකුරින් කොළේ දෙපැත්තේම මුද්‍රණය කර තිබුණු විස්තරයට අනුව "ධවල පත්‍රිකාව" නම් වූ උගුලක් අටවා රජය විසින් අපේ නිදහස් අධ්‍යාපන අයිතිය උදුරා ගන්නට ලෑස්ති වේ. දැන් මේ අප පන්ති කට් කර පිට්ටනියට රැස් වී සිටින්නේ ඒ අයිතිය රැක ගන්නටය.
ඉතිං අපි කෑගසන්නට පටන් ගත්තෙමු.
"රනිල් කියන ගොනා ගොනා -ගොන් පණතක් ගෙනා ගෙනා"
ටික වේලාවක් යනතුරු වැඩේ නැගලා ගියේය. පාරේ බස්රථ වල යන මඟීහු කවුළු වලින් ඔළුව දමා මේ වෙන දෙය බලති. අපට හෙණ ආතල්ය.
කෙසේවුවද, වැඩේ කණපිට හැරීමේ පළමු සලකුණ දිස්වන්නට වැඩි වෙලාවක් ගත නොවීය. අපේ විදුහල්පතිවරයා පිට්ටනිය දෙසට සීරුවෙන් පිය මනී. කිසිදු කලබල ගතියක් මුහුණේ නැත. වේවැල රඳවාගත් දෑත පසුපසට බැඳගෙන, බඩ ඉස්සරහට දමාගෙන ඔහු සුපුරුදු ලැසි ගමණින් විදුහල්පති කාර්යාලයේ සිට පිට්ටනිය ලෙසට ඇති තාර පාර දිගේ ඇවිදගෙන එයි.
මම වටපිට බැළුවෙමි. සාමාන්‍යයෙන් මෙවැනි අවස්ථාවක කවුරුත් කරන්නේ විදුහල්පතිවරයාට මුහුණ නොපෙන්වා හැකි ඉක්මණින් පංතියට දිවීම හෝ වැසිකිළිය වැනි වෙනත් ආරක්ෂක ස්ථානයක සැඟවීමයි. එහෙත්, එදානම් කිසිවෙකු එසේ කරන පාටක් පෙනෙන්නට තිබුණේ නැත. අපි ස්ට්‍රයික්නේ...මොකට බය වෙනවද? අධ්‍යාපනය රැකගන්නනේ මේ හදන්නේ...
විදුහල්පතිවරයා සිසුකණ්ඩායම ඉදිරියට පැමිණ සෘජුව හිටගත්තේය. සටන්පාඨ මොහොතකට නැවතිණි. දැන් ඔහු සිසුන් පෝලිම් ගස්වා වේවැලෙන් පහර බැගින් දී පන්ති වලට පිටත් කරනු ඇති බව මගේ සිත කියයි. මම තරමක් පස්සට වුනෙමි. දැන් කොහොමත් පරක්කු වැඩිය. අනික් අතට විදුහල්පතිවරයාගෙන් වේවැල් පහරක් ලැබීම ටිකක් 'ලොකු' දෙයකි. හරියට දේශපාලනඥයෙකුට රක්ෂිත බන්ධනාගාරගත වීමේ අවස්ථාවක් ලැබෙනවා වැනි වීරයෙකු වීමට ලැබෙන මහඟු අවස්ථාවකි.
"දැන් මොකක්ද මේ ළමයි මෙතන කරන්නේ?"
ඔහු යම් සිසුවෙකුගේ මුහුණ බලා මේ ප්‍රශ්නය ඇසූ බැවින් ඒ සිසුවාට පිළිතුරක් නොදී සිටීමේ හැකියාවක් තිබුණේ නැත.