Every Child Matters - We were Children!

U.N.C.L.E

Well-known member
  • Jul 21, 2021
    1,097
    1,826
    113
    එදා තමයි Phyllis Webstad මුලින්ම ඉස්කෝලේ ගිය දවස. වයස අවුරුදු හයයි. කැනඩාවේ මුල් පදිංචිකරුවන්ගේ පරපුරට (First Nation) අයත් දැරියක්. මුලින්ම ඉස්කෝලේ යන්න එයා ඇන්දේ තැඹිලි පාට අලුත්ම අලුත් ඇඳුමක්. ඇත්තටම ඒක එයාගේ ආච්චි බෙහොම ආදරයෙන් එයාට දුන්නු තෑග්ගක්.

    එයා ගියේ කතෝලික පල්ලියෙන් ක්‍රියාත්මක වුණු St. Joseph’s Mission නේවාසික පාසලට. ඒත් ඉස්කෝලෙට ගිය ගමන්ම ඉස්කෝලේ හිටපු කන්‍යා සොහොයුරියන් මේ තැඹිලි පාට ලස්සන අලුත්ම අලුත් ඇඳුම පුංචි Phyllis ගෙන් ගලවලා වීසි කරලා දැම්මා. මේ පුංචි දැරියට ඒක දරා ගන්න බැරි තරම් දුකක් වුණා.

    පල්ලියේ ඉස්කෝලේ දී එදා ඒ ගලවා වීසි කර දැමුවේ Phyllis ගේ ඇඳුම විතරක් නෙමෙයි. කැනඩාවේ මුල් පදිංචිකරුවෙක් විදියට එයාට තිබුණු ආත්ම ගරුත්වය, අභිමානය, සංස්කෘතික සාරධර්ම, මව් පිය සෙනෙහස, භාෂාව, ආගම.. මේ හැම දෙයක්ම ඒ ඇඳුමත් එක්කම ගුලි කරලා එළියට වීසිවෙලා ගියා. (ඇයි එහෙම කළේ කියලා මේ කතාව කියවා ගෙන යද්දී තේරුම් ගන්න පුළුවන්)

    මේක ඒ පුංචි Phyllis ගේ කතාව විතරක් නෙමෙයි. කැනඩාවේ හිටපු සහ ඉන්න මුල් පුරවැසියන්ගේ දරුවන් දස දහස් ගණනකගේ අමිහිරි සහ‌ අතිශයින්ම වේදනාබර කතාව තමයි ඒ.

    පල්ලියෙන් ක්‍රියාත්මක වුණු මේ නේවාසික පාසල්වලට ගිය බොහොමයක් දරුවන් ආපහු කවදාවත් තමන්ගේ අම්මා තාත්තා දැක්කේ නැහැ. තමන් පුංචි කාලයේ සෙල්ලම් කළ වන වදුළු, ගංගා, ඇළ දොළ ආපහු කිසිම දවසක දැක්කේ නැහැ. තමන්ගේ භාෂාව ආපහු කිසිම දවසක එයාලගේ කන්වලට ඇහුණේ නැහැ. බොහොමයක් දරුවන්ට ඉතාම දරුණු විදියට තමන්ගේ ජීවිතය පවා අහිමි වුණා. ජීවිතය ගලවා ගන්න පුළුවන් වේචච දරුවන්ටත් අවසානයේ දී ඉතිරි වුණේ පරම්පරාවෙන් පරම්පරාවට ගලා ගෙන ගිය වේදනාබර අතිශය අමිහිරි මානසික පීඩනයක් විතරයි.

    යුරෝපීයන් කැනඩාවට ගොඩ බහින්න කලින් ඉඳන් කැනඩා භූමියේ පදිංචි වෙලා හිටියේ ඒ භූමියේ සැබෑ හිමිකරුවන් වෙච්ච මුල් පුරවැසියන්. ඒ විදියේ මුල් පුරවැසියන්ගේ කණ්ඩායම් (First Nations) සංඛ්‍යාව 50 කටත් වඩා වැඩියි. ඒ හැම කණ්ඩායමකටම එකිනෙකට අනන්‍ය වූ භාෂා ව්‍යවහාරයන් 50 කට වැඩි සංඛ්‍යාවක් තියෙනවා. (අපි පුංචි කාලේ ඉස්කෝලේ ඉගෙන ගත්ත ඇස්කිමෝවරුත් (“Eskimos”) ඒ විදියේ එක කණ්ඩායමක්. ඒත් දැන් ඒ වචනය සළකන්නේ කිසියම් ආකාරයක අපහාසාත්මක වදනක් විදියට. ඒ නිසා ඇස්කිමෝවරුන් දැන් හදුන්වන්නේ ‘Inuit’ කියලයි)

    කැනඩාවේ පාලනය යුරෝපීයන් අතට පත් වුණාට පස්සේ 1880 ඉඳන් 1996 තරම් මෑතක් වෙනකල්ම ඔය කිව්ව මුල් පුරවැසියන්ගේ දරුවන් 150,000 කට වඩා වැඩි පිරිසක් බලහත්කාරයෙන් තමන්ගේ දෙමව්පියන්ගෙන් වෙන් කරලා අර පුංචි Phyllis ට වුණා වගේ පල්ලියෙන් පවත්වාගෙන යන නේවාසික පාසල්වල ගාල් කෙරුණා. වයස අවුරුදු තුනේ ඉඳන් පහ වෙනකල් හිටපු කිරි දරුවනුත් මව්වරුන් හඬා වැටෙද්දී මව් ඇකයෙන් බලහත්කාරයෙන් උදුරා ගෙන ගියා. මේ හැම දෙයක්ම සිද්ධ වුණේ ‘අශිෂ්ට මිත්‍යා දෘෂ්ටිකයන්’; ‘දෙවියන් වහන්සේ අදහන ශිෂ්ට සම්පන්න’ මිනිසුන් බවට පත් කිරීම කියන සංකල්පය යටතේ.

    පල්ලියේ පාසල් ක්‍රියාත්මක වුණේ ඒ සංකල්පය පෙරදැරිව. ඒ හින්දා පල්ලියේ ඉස්කෝලෙදි මේ දරුවන්ට තමන්ගේ භාෂාව කතා කරන්න තහනම් වුණා. තමන්ගේ අම්මා, තාත්තා ඇතුළු පවුලේ සාමාජිකයන් එක්ක සම්බන්ධකම් තියාගන්නත් තහනම් කෙරුණා. එයාලගේ සංස්කෘතියට අයිති කිසිම දෙයක් කරන්න දුන්නේ නැහැ. කොටින්ම කිව්වොත් පල්ලියෙන් දුන්නු අලුත් නම මිසක් තමන්ගේ නියම නම පවා භාවිත කරන්න තහනම් වුණා.

    සියවස් ගණනාවක් ප්‍රෞඩ විදියට කැනඩා භූමියේ ජීවත් වුණු මේ මුල් පුරවැසියන්ගේ සංස්කෘතිය, ආගම, භාෂාව මහා භයානක, පිළිකුල් කටයුතු, දරුණු දෙයක් විදියට තමයි මේ පාසල්වල ඉගැන්නුවේ. පල්ලියේ නීති රීති කැඩුවොත් දුන්නු දඬුවම් හරිම බරපතළයි. පල්ලියේ පාසල්වල ගුරුවරුන් විදියට කටයුතු කළ දේවගැතිවරුන් සහ කන්‍යා සොහොයුරියන් ඒ දරුවන්ට කිසිම ආදරයක්, කරුණාවක් දැක්වුවේ නැහැ. (මේ තත්ත්වය 17, 18 සහ 19 සියවස්වල ලෝකය පුරා යටත්විජිත බොහොමයක සිද්ධ වුණා. ලංකාවේත් මිෂනාරි අධ්‍යාපනය තුළ මේ විදියේම බරපතළ තත්ත්වයන් සිද්ධ වුණා).

    තමන්ගේ පවුලෙන් සහ සංස්කෘතියෙන් සාහසික ලෙස වෙන් කරලා නේවාසික පාසල්වල බලහත්කාරයෙන් ගාල් කරපු දරුවන්ට දේවගැතිවරුන්, කන්‍යා සොහොයුරියන් සහ පල්ලියේ සේවය කළ අයගෙන් සිදුවුණු දරුණු වධ හිංසාවන්, අමානුෂික ලිංගික හිංසනයන් සහ බරපතළ දූෂණයන් මේ විදියේ සටහනකින් ලියන්න බැරි තරම් සාහසිකයි, අසෝබනයි, ම්ලේච්ඡයි. අන්තිමේ දී ඒ දරුවන් බොහොම දෙනෙකුට ජීවිතය අහිමි වුණා. සමහරු වධ හිංසාවන්ගෙන්. සමහරු කුසගින්නෙන්. අඩුම තරමින් සොහොන් කොතක්වත් ඒ දරුවන් වෙනුවෙන් ඉදි වුණේ නැහැ.

    මේ පාසල්වලට ඉගෙනුම ලබලා තවමත් ජීවතුන් අතර ඉන්න වාසනාව හිමිවුණු පළමු පුරවැසියන් දැන් වයෝවෘද්ධයි. ඒ අය හෙළි කරන තොරතුරුවලින් නිර්මාණය වුණු රූපවාහිනී වාර්තා වැඩ සටහන් සෑහෙන ප්‍රමාණයක් අන්තර්ජාලයෙන් අහන්නට දකින්නට පුළුවන්. ඒ අය ලියපු පොත්පත් බොහෝ සේ තියෙනවා.

    St. Anne’s නේවාසික පාසලේ බාල මට්ටමින් නිෂ්පාදනය කරපු අති අමානුෂික විදුලි පුටුවක් පවා තිබූ බව දිවි ගලවාගත් එක් වයෝවෘද්ධ වැඩිහිටියෙක් හෙළිදරව් කළා. එවැනි විදුලි පුටු තිබූ නේවාසික පාසල් කිහිපයක්ම තිබූ බව පසුව කළ විමර්ශනවලින් හෙළිදරවු වුණා. ඇතැම් පාසල්වල බොහෝ පූජකවරුන් සහ කන්‍යා සොහොයුරියන් හැම දිනකම දරු දැරියන් බරපතළ ලිංගික අපයෝජනයට ලක් කළා. ඒවාට මුහුණ දී තවමත් ජීවතුන් අතර සිටින වැඩිහිටියන් හෙළිදරව් කරන කරුණු කාරණා අසා සිටින්නට බැරි තරම්ම කටුකයි. (මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැනගන්නට ඔබත් කැමැති නම් Canadian residential schools the survivors and their descendants නමින් YouTube මාධ්‍යයෙන් සොයා බැලුවොත් ඉතා උසස් මට්ටමින් කළ වාර්තා වැඩසටහන් බොහෝ ප්‍රමාණයක් පහසුවෙන් සොයා ගන්නට පුළුවන්. ඒත් ඒවා බොහොමයක් අතිශය සංවේදී සහ අනුවේදනීය බවත් කියන්නට අවශ්‍යයි).

    මේ විදියට තමන්ගෙන් උදුරා ගෙන ගිය දරුවන් ආපහු කිසිමදාක ගෙදර ආපු නැති බවත්, ඒ දරුවන් අතුරුදන්ව ඇති බවත් කැනඩාවේ මුල් පුරවැසියන් අවුරුදු ගණනාවක් තිස්සේ දිගින් දිගටම කියා සිටියත්, ඒවා බොහොම දෙනෙක් විශ්වාස කළේ නැහැ. ඒවා තනි තනි සිද්ධි හැටියට සැලකුවා මිසක් අඩුම තරමින් ඒ ගැන පුළුල් පරීක්ෂණයක්වත් කෙරුණේ නැහැ.

    අන්න ඒ වගේ පසුබිමක කැනඩාවේ බ්‍රිටිෂ් කොළොම්බියා ප්‍රාන්තයේ Kamloops කියන සුන්දර නගරයෙන් බොහොම අසුන්දර ආරංචියක් හිටි හැටියේම මතු වුණා.

    ඒ 2021 මැයි මාසයේ දවසක්. Kamloops නගරය වාසභූමිය කරගත්ත පළමු පුරවැසියන් කණ්ඩායමකට සොහොන් කොත් නැති නන්නාඳුනන සොහොන් බිමක් ගැන මුල්ම ඉව වැටුණේ රේඩාර් තාක්ෂණය සහිත යන්ත්‍රයකින් භූමියක් පරීක්ෂා කරද්දී. ඒ භූමියේ කතෝලික පල්ලිය 1890 – 1969 දක්වා කාලයේ නේවාසික පාසලක් පවත්වාගෙන ගොස් තිබුණා. මේ සොහොන් භූමි මොනවා ද කියලා හොයලා බලන්න කියලා මුල් පුරවැසියන් බලධාරීන්ට තරයේම කියා හිටියා.

    ඒ අනුව පරීක්ෂණයක් ආරම්භ වුණා. අන්න එතකොට තමයි නන්නාඳුනන සොහොන් 215 ක් මේ බිමෙන් හොයා ගත්තේ. ඒ හැම දෙනාම පල්ලියේ ඉස්කෝලවලට ගිය මුල් පුරවැසියන්ගේ දරුවන්. මේ විදියට වළ දාලා තිබුණු ඇතැම් දරුවන්ගේ වයස අවුරුදු තුනයි. කැනඩාවේ මුල් පුරවැසියන් හැමදාමත් වේදනාවෙන් හඬ නගපු තමන්ගේ දරුවන්ගේ ශෝඛාන්තය සාක්ෂි සහිතව මුලින්ම හෙළිදරව් වුණේ මේ සොයා ගැනීමත් එක්කයි.

    ඊට පස්සේ කැනඩාවේ හතර අතින්ම මේ විදියේ සොහොන් කොත් ඉදි නොවුණු මහා පරිමාණ සොහොන් භූමි ගැන තොරතුරු හෙළිදරව් වෙන්නට පටන් ගත්තා. Saskatchewan ප්‍රදේශයෙන් සොයා ගත්ත එක් භූමියක තිබුණු සොහොන් ගණන 750 ක් තරම් අති විශාලයි. ඒ හැම දෙනාම පාසල් ගිය දරුවෝ.

    මේ වෙනකොට ඒ විදියට 2500 කට ආසන්න සොහොන් ප්‍රමාණයක් කැනඩා භූමියෙන් සොයා ගෙන තියෙනවා. මේ හැම සොහොනක්ම හමුවන්නේ එදා කතෝලික පල්ලිය තමන්ගේ නේවාසික පාසල් පවත්වාගෙන ගිය පාසල් භූමි වලින්. මේ විදියේ සුසාන භූමි තාමත් අලුතින් හමුවෙනවා. පහුගිය අගෝස්තු 15 වැනිදාත් බ්‍රිටිෂ් කොළොම්බියා ප්‍රාන්තයේ St. Augustine’s Residential School භූමියෙන් මේ විදියට වළ දැමූ දරුවන් 81 දෙනෙකුගේ සොහොන් සොයා ගත්තා. සැප්තැම්බර් 16 වැනිදා ඒ කියන්නේ සති දෙක තුනකට කලින් ක්විබෙක් ප්‍රාන්තයෙන් තවත් ඒ විදියේ සුසාන භූමියක් සොයා ගත්තා. ඒ රෝමානු කතෝලික පල්ලියෙන් පාලනය වුණු නේවාසික පාසල් (Sainte Thérèse de l’Enfant Jésus school) භූමියකින්.

    මේ නේවාසික පාසල්වලින් සිදු වූ දරු සංහාරය ගැන සොයා බලන්නට කැනඩා රජය විසින් පත් කරනු ලැබූ කොමිසමේ හිටපු ප්‍රධානියා වන විනිසුරු සින්ක්ලෙයාර් (Justice Murray Sinclair – former Chair of the TRC) කියන විදියට දරුවන් 3,201 කගේ මරණ නිල වශයෙන් වාර්තාවී තිබුණත් නිල නොවන මට්ටමින් ඒ සංඛ්‍යාව 6,000 ක් තරම් විශාලයි. ජීවත් වන්නට වාසනාව උරුම වුණු පිරිසට පවා අවසානයේ දී ඉතිරි වුණේ මරණය තෙක්ම අත නොහැරෙන වේදනාත්මක මතකයක්. ඒක හරියට බියකරු සිහිනයක් වගේ.
    ------ Post added on Jul 21, 2026 at 3:23 AM
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,097
    1,826
    113
    මේ දරුවන්ගේ මරණවලට වගකිව යුත්තේ කවුරුන් ද..?

    කැනඩාවේ රජයට මේ වගකීමෙන් කොහෙත්ම ගැලවෙන්න බැහැ. ඒකට හේතුව මුල් පුරවැසියන්ගේ දරුවන් ‘ශිෂ්ටත්වයට’ පත් කරලා ‘ශිෂ්ට සමාජයට අනුගත කරන්නට’ නේවාසික පාසල් පද්ධතියක් නිර්මාණය කළේ කැනේඩියානු රජයයි. එතැනදී කැනේඩියානු රජයේ ඉලක්කය වුණේ “kill the Indian in the child” එහෙත් නැතිනම් ‘දරුවා තුළ සිටින අශිෂ්ටයා තුරන් කරමු’ කියන තේමාව. මුල් පුවැසියන්ගේ සංස්කෘතික අනන්‍යතා මුළුමනින්ම මකා දමලා ‘කැනේඩියානු සාරධර්මයන්ට’ හුරු කරවීම තමයි ආණ්ඩුවේ අරමුණ වුණ්. 1996 අවුරුද්ද වෙනකල්ම මේ විදියේ නේවාසික පාසල් 139 ක් නිල වශයෙන් කැනඩාවේ ක්‍රියාත්මක වුණා. මේ හැම පාසලක්ම පවත්වාගෙන ගියේ කැනේඩියානු රජයේ මුදලින්. නිල නොවන වශයෙන් තවත් පාසල් ජාලයක් ක්‍රියාත්මක වුණා.

    ඔය කිව්ව අරමුණෙන් මේ පාසල් පවත්වාගෙන යාමේ වගකීම කැනේඩියානු රජය මුළුමනින්ම පැවරු‌වේ පල්ලියට. හරියටම බ්‍රිතාන්‍ය පාලනය යටතේ ලංකාවේ සිද්ධ වුණා වගේ. මේ පාසල්වලින් සියයට 60 කම පාලනය තිබුණේ කතෝලික පල්ලියට. ඉතිරි ඒවා පාලනය කළේ ඇන්ග්ලිකානු, යුනයිටඩ් සහ ප්‍රෙස්බටීරියන් කියන පල්ලි. ඒ අය තමයි මේ දරුවන් ගාල් කරලා කුරිරු වධ හිංසාවන්ට සහ ලිංගික අඩන්තේට්ටම්වලට ලක් කිරීම ගැනත් දරුවන් මරණයන්ට පත් වීම ගැනත් වගකීම භාර ගත යුත්තේ.

    පල්ලියෙන් පවත්වාගෙන ගිය නේවාසික පාසල්වල දරුවන්ට අත් වූ මේ ඉරණම සාක්ෂි සහිතව හෙළිදරව් වීමත් එක්කම මේ අතීතය නොදැන සිටි කැනේඩියානුවන් කම්පාවට පත් වුණා. රට පුරාම තැනින් තැන මිය ගිය දරුවන් වෙනුවෙන් පහන් දැල්වුණා. විරෝධතා පැවැත්වුණා. ඇතැම් කතෝලික දේවස්ථානවලට එරෙහිව ප්‍රචණ්ඩ ක්‍රියා පැතිර ගියා. කතෝලික දේවස්ථාන 60කට වැඩි සංඛ්‍යාවක් ගිනි තබා විනාශ කිරීම හෝ දැඩි අලාභහානි කිරීම සිද්ධ වුණා. ඇතැම් දේවස්ථාන මුළුමනින්ම පොළොවට සමතලා වුණා. බොහෝ දෙවස්ථානවල බිත්ති පුරා පහත විදියේ සටහන් විශාල කළු අකුරින් සටහන් වුණා :”We were children” (එදා අපි දරුවෝ) “No pride in genocide.” (සංහාරය ආඩම්බරයක් නොවේ)

    දීර්ඝ කාලයක් පුරා කැනේඩියානු සමාජයේ කිසියම් ආකාරයක ගෞරවයට සහ සම්භාවනාවට පාත්‍ර වූ පුද්ගලයන්ගේ ප්‍රතිමා කඩා බිඳ දැමුණා. මෙසේ කඩා බිඳ දැමුණු ප්‍රතිමා අතර මුල් තැනක් ගත්තේ කැනඩාවේ ප්‍රථම අගමැති ජෝන් ඒ. මැක්ඩොනල්ඩ්ගේ (Sir John A. Macdonald) ප්‍රතිමා. ඒකට හේතුව මේ නේවාසික පාසල් පද්ධතිය හඳුන්වා දීමේ පුරෝගාමියා විදියට ඔහු කටයුතු කළ නිසා. වික්ටෝරියා සහ දෙවැනි එළිසබෙත් රැජිනගේ ප්‍රතිමාවන් ද කඩා බිඳ දැමුණා. අධිරාජ්‍යවාදී පාලනය යටතේ අත්තනෝමතික බලයක් පල්ලියට ලබා දීලා මේ විදියේ ළමා සංහාරයක් කරන්නට ඉඩකඩ සලසා දීම නිසා තමයි ඒ. ඔවුන්ගේ ප්‍රතිමා රතු තීන්තවලින් නැහැවුණා. ඒ මියගිය (‘මරාදැමූ’) දරුවන්ගේ රුධිරය සංකේතවක් කරමින්.

    මේ සිදුවීම් වලට සම්බන්ධ පුද්ගලයන් “ප්‍රභූන්” ලෙස සැලකීම වහාම ක්‍රියාත්මක වන පරිදි නතර විය යුතු බවට ප්‍රබල මහජන මතයක් ගොඩ නැගුණා. ඒ අනුව දශක ගණනාවක් පුරා භාවිතයේ තිබුණු සරසවි ගොඩනැගිලිවල නම් ඉවත් කෙරුණා. තම සරසවියෙන් ලබා දුන්නු ගෞරව උපාධි අවලංගු කළා. එක උදාහරණයක් තමයි John Fergus O’Grady බිෂොප්වරයාට ලබා දුන්නු සම්මාන ආචාර්ය උපාධිය. මේ බිෂොප්වරයා 1939 ඉදන් 1952 දක්වා කාලයේ දී මේ විදියේ මිෂනාරි පාසල් ගණනාවක විදුහල්පතිවරයා ලෙස කටයුතු කරලා තිබුණා. ඔහුගේ පාලනය යටතේත් මේ පාසල්වල දරුවන් මරණයට පත්ව තිබුණා. ඒකට හේතු වුණේ දරුවන් නොසලකා හැරීමත්, දරුවන්ට ආරක්ෂාව ලබා දෙන්නට කටයුතු නොකිරීමත් නිසා.

    2008 වසරේ දී කැනේඩියානු රජය නිල වශයෙන් මේ සාහසික ක්‍රියාව ගැන මුළු රටේම ඉන්න පළමු පුරවැසියන්ගෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලුවා. ප්‍රොතෙස්තන්ත්‍ර පල්ලියත් සමාව ඉල්ලුවා. ඒත් කතෝලික පල්ලිය සමාව ඉල්ලන්නවත්, තමන්ගෙන් සිද්ධ වෙච්ච ඒ ඓතිහාසික වැරැද්ද හෙළා දකින්නවත් සූදානම් වුණේ නැහැ. කතෝලික පල්ලිය දිගින් දිගටම බොහොම මුරණ්ඩු විදියට තමන්ගේ ඒ වගකීම පැහැර හැරියා.

    ඒ නිසා ලෝකයේ ඕනෑම රටකට සැප්තැම්බර් 30 කියන්නේ තවත් එක් සාමාන්‍ය දවසක් වෙන්න පුළුවන් වුණත් කැනඩාවට ඒක එහෙම නෙමෙයි.

    කැනඩාවේ‌ මුල්පදිංචිකරුවන්ගේ දරුවන් බලහත්කාරයෙන් තමන්ගේ දෙමව්පියන්ගෙන් උදුරා ගෙන පල්ලියෙන් ක්‍රියාත්මක වුණු පාසල්වලට ගාල් කරලා, ආදිවාසීන්ගේ සංස්කෘතිය, භාෂාව, ආගමික හා සංස්කෘතික සාරධර්ම, පොදුවේ ගත්තම එයාලගේ අනන්‍යතාව මුළුමනින්ම විනාශ කර මකා දමන්නට ගත් ඒ පිළිකුල් ක්‍රියාව වේදනාවෙන් සමරන්නට තමයි මේ දවස වෙන් කරලා තියෙන්නේ.

    අධිරාජ්‍යවාදී පාලනයන් යටතේ පල්ලියේ මෙහෙයවීම මත මේ විදියේ නේවාසික පාසල් ලෝකය පුරා බොහෝ රටවල තිබුණා. 19 වැනි සහ 20 වැනි සියවස්වලදී ඇමරිකාව, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, නෝර්වේ, ස්වීඩන්, ෆින්ලන්තය, ග්‍රීන්ලන්තය, ජපානය, ලතින් ඇමරිකානු රටවල්වල මේ විදියේ නේවාසික පාසල් දහස් ගණනින් ක්‍රියාත්මක වුණා.

    ලංකාව, ඉන්දියාව වගේ රටවලත් අධිරාජ්‍යවාදී පාලනය යටතේ මේ විදියේ මිෂනාරි පාසල් පද්ධතියක් පවත්වාගෙන ගියා. ඒවායේත් මේ විදියේම අතිශය අමිහිරි සිදුවීම් සිදුවුණා. තමන්ගේ දෙමව්පියන්ට, තමන්ගේ ආගමට සහ සංස්කෘතියට වෛර කරන්නට ඒ මිෂනාරි පාසල් ජාලය දරුවන්ට බල කරපු ආකාරය පැරණි වාර්තාවල සාධක සහිතව දකින්න පුළුවන්. ඒ පාසල්වල දරුවන්ගේ ජීවිත බොහොමයක් කෙළවර වුණේත් මේ විදියේ ඛේදවාචකවලින්.