Giant's Causeway - ගිනි කඳු පිපිරීමකින් බිහි වූ අපූරු නිර්මාණය

sameira

Well-known member
  • Mar 17, 2008
    590
    193
    83
    CMB, LK
    gk2bymPcU6RmwLVg_%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A-%E0%B6%B4%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%96%E0%B6%BB%E0%B6%BA%20(Newmarket%20Holidays).jpg



    ගිනි කන්දක් යන නම ඇසූ පමණින් ඔබට දැනෙන්නේ දාහයකි. දැන් ඔබට සිහිපත් වන්නේ මෙකී දාහයෙන් මිදීමට නම් ඔබ සුවදායී පරිසරයක් කරා ගමන් කළ යුතු බවකි. එසැණින්ම ඔබේ සිහියට නැගෙන්නේ කවුරුත් දන්නා, හිමෙන් වැසී නිද්‍රාවට පත් වී සිටින ෆූජියේ සුන්දරත්වයයි. සෑම ගිනි කන්දක්ම අභ්‍යන්තරයෙන් පැසුණු ලෝදියෙන් සන්නද්ධ භයංකර කුහරයක් බව සැබෑවකි. එහෙත් ඔබ පය තබන පස් පිඩක් පාසා සිහිපත් කරගත යුතු කරුණක් වන්නේ එකී ලෝදිය නිවී ගිය ඉක්බිති ජීවය අස්වැද්දවිය හැකි ආකාරයේ පාංශු සම්පතක් නිර්මාණය වීමේ හැකියාවෙන් යුක්ත බවයි. එපමණක් නොව ඝනීභවනය වන ලෝදිය විවිධ වර්ගයේ ඛනිජ සංයුතීන් බිහි කිරීමට ද ඉවහල් වන්නේය. සොබාදහම අපූරු කලාකරුවෙකි. ඇතැම්විට ලෝදිය අපූරු රටාවකට ඝනීභවනය කිරීමට සොබාදහම සමත් වේ. Giant's Causeway යනු එවන් අපූරු ස්වභාවික නිර්මාණයකි. මෙය වර්ෂ 1692දී ඩෙරී නමැති බිෂොප්වරයා විසින් ගවේශනය කරන ලදී.

    පිහිටීම සහ නිර්මාණය වීමට හේතු
    UTGwo5HepgJJF3vt_1-%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B6%B8%E0%B7%8A%E0%B6%B7%20%28Mirror%29.jpg

    ස්ථම්භ (Mirror)
    මහා බ්‍රිතාන්‍යයට අයත් උතුරු අයර්ලන්තයේ උතුරු වෙරළ තීරය පිහිටා තිබෙන Antrim County හි මෙම අපූරු නිර්මාණය පිහිටා ඇත. එකිනෙක සම්බන්ධ වූ බැසෝල්ට් ගල් පේළි 40000ක් පමණ මෙහි පවතින අතර මෙකී ස්වභාවික නිර්මාණය බුෂ්මිල්ස් නගරයට ඊසාන දෙසට වන්නට කිලෝමීටර 4.8ක් පමණ තෙක් විහිද පවතී. පුරාවෘත්තයන්ට අනුව දැක්වෙන්නේ මෙම නිර්මාණය MacCool නමැති අයර්ලන්ත ජාතික යෝධයා විසින් සිදු කරන ලද බවයි. තමන් සමඟ සටනට පැමිණි ස්කොට්ලන්ත ජාතික ප්‍රතිවාදියාගේ ගමනට බාධකයක් ලෙස ඔහු විසින් එය ඉදිකළ බව පැවසේ.

    කෙසේ නමුත් පුරාවෘත්තයන්ගෙන් මිදුණු විද්‍යාඥයන් විසින් මෙම සයකොන් ස්ථම්භ සංකීර්ණයෙහි නිර්මාණය වීම පිළිබඳව වඩාත් විද්‍යාත්මක සහ තාර්කික හේතු දැක්වීමක් සිදු කර තිබේ. ජ්‍යාමිතිකව සමානත්වයක් පෙන්නුම් කරන හැඩතල සහිත පාෂාණ ස්ථර, ලොව පුරා ගිනි කඳු පිපිරීම්හි අවශේෂයන් අතර තිබී සොයාගෙන ඇත. ලෝදිය නිවී යාමත් සමඟ බහුකෝණික හැඩතල සහිත මෙවන් නිර්මාණයන් බිහි වීම ස්වභාවිකය. නමුත් මෙම ස්ථානයෙහි පවත්නා විශේෂත්වය වන්නේ එය අතිවිශාල භූමි ප්‍රදේශයක් පුරා ඒකාකාරී ස්වරූපයෙන් පැතිර තිබීමත්, ඒ හේතුවෙන් ඊට ලැබී ඇති විශේෂිත පෙනුමත් ය.

    මෙවන් ජ්‍යාමිතික හැඩතල බිහි වූයේ කෙසේ ද?
    MnKUbEer4vwxsUll_2-%E0%B6%88%E0%B6%AD%E0%B6%A7%20%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%B1%20%E0%B6%86%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%20%28GetYourGuide%29.jpg

    ඈතට දිස්වන ආකාරය (GetYourGuide)
    ලෝදිය නිවී ගොස් මැග්මා බවට පත්වන අතර මැග්මා කවර අවස්ථාවේදී මෙවන් ජ්‍යාමිතික හැඩයකට බිඳී යන්නේදැයි යන්න තවම භූ විද්‍යාඥයන් ඉදිරියේ ප්‍රශ්න සහගතය. ප්‍රවීණ ගත්කතුව‍රයෙකු වන ලිවර්පූල් සරසවියේ ගිනිකඳු විද්‍යාව පිළිබඳ මහාචාර්ය Yan Lavallée ට අනුව මෙවන් සැකසීම් සිදුවන්නේ කෙසේද යන්න දීර්ඝ කාලයක සිට පවතින පැනයක් වන අතර ලෝදිය මෙසේ බිඳී යන්නේ අධික උෂ්ණත්වයේදීද, සාමාන්‍ය උෂ්ණත්වයේදී ද නොඑසේ නම් සිසිල් වන විටදැයි යන්න දැන ගැනීමට දීර්ඝ කාලයක සිට ඔවුන් විසින් උත්සාහ දරන බව ද ඔහු පවසා තිබේ.

    මෙම පැනයට පිළිතුරු සෙවීම සඳහා අයිස්ලන්තයේ ගිනි කන්දකින් බැසෝල්ට් සාම්පලයක් රැගෙන විද්‍යාගාරයක් තුළ ඔවුන් විසින් පර්යේෂණයන් සිදු කරන ලදී. ඒ අනුව සෙන්ටිමීටර 20ක් දිගැති සිලින්ඩරාකාර පාෂාණ අදාළ ගිනි කන්දේ සෑම කොනකින්ම ගලවා ගෙනැවුත් සෙල්සියස් අංශක 1000ක් පමණ දක්වා උෂ්ණත්වයට භාජනය කර ලාවා බවට පත් කර යළි සිසිල් කරන ලදී. ඒ අනුව බැසෝල්ට් මැග්මා සෙල්සියස් අංශක 840ත් 890ත් අතරදී බිඳීයාම සිදු විය. ඒ අනුව විද්‍යාඥයන් විසින් නිගමනය කරනු ලැබුවේ Giant's Causeway නිර්මාණය වූයේද එවන් උෂ්ණත්වයක් අතරතුරදී මැග්මා බවට පත්වෙමින් පැවති ලාවා බිඳීයාමෙන් බවයි.

    srdZw38Tzn1r3aFZ_3-%E0%B6%B4%E0%B7%8F%E0%B7%82%E0%B7%8F%E0%B6%AB%E0%B7%80%E0%B6%BD%20%E0%B7%84%E0%B7%90%E0%B6%A9%E0%B6%BA%20%28dottech.org%29.jpg

    පාෂාණවල හැඩය (dottech.org)
    ඒ අනුව මහාචාර්ය Yan Lavallée අවසානාත්මක වශයෙන් දක්වන්නේ ලාවා ඝන වෙමින් පවතින උෂ්ණත්වයේදී මෙවන් ජ්‍යාමිතික හැඩතලවලට බිඳීයාමක් සිදුවන බවයි. ඔහු පවසන්නේ තමන් නුදුරු අනාගතයේදී තරමක් විශාල මැග්මා සාම්පලයක් යොදාගනිමින් Giant's Causeway නිර්මාණය වූ ආකාරයෙන් නිර්මාණාත්මක පර්යේෂණයක නිරත වීමට සූදානම් වන බවයි. එකී පර්යේෂණය සාර්ථක කරගැනීම සඳහා බාහිර සාධක විෂයෙහි මනා පාලනයක් පවත්වා ගත යුතු බවත්, එමෙන්ම එම පර්යේෂණය කිසිදු අයුරකින් අසාර්ථක නොවන ලෙසින්, අතිශය ප්‍රවේශම් සහගතව සිදු කළ යුතු බවත් ඔහු තවදුරටත් අවධාරණය කරයි.

    භූ විද්‍යාත්මක පදනම හා වර්තමාන තත්ත්වය
    කාල නිර්ණයට අනුව Giant's Causeway නිර්මාණය වී තිබෙන්නේ මීට වසර මිලියන 50කට හෝ 60කට පෙරාතුවය. එම යුගයෙහිදී ඇන්ට්‍රිම් වෙරළ තීරයෙහි ගිනිකඳු ක්‍රියාකාරීත්වය ඉතා ඉහළ මට්ටමක පැවතී ඇත. ගිනි කඳු ක්‍රියාකාරීත්වය හේතුවෙන් හුනුගල් තට්ටු අතරින් පිටතට පිටාර ගලන ලද ද්‍රව බැසෝල්ට්, ලාවා විලක් නිර්මාණය කළ අතර එය ක්‍රමයෙන් උෂ්ණත්වය අඩු වෙමින් සිසිල් වීමේදී ඝනත්වයට පත්වීම ආරම්භ විය. එසේ ඝනීභවනය වන අවස්ථාවේදී ලාවා මතුපිට සමස්ත ප්‍රදේශයම පුපුරා යෑම ආරම්භ වූ අතර සානුව පුරාම එකක් කොන් සයකින් යුත් ස්ථම්භ ලෙසින් වෙනස්වීම සිදු විය. එකී විපර්යාසයෙහි අවසාන ප්‍රතිඵලය වූයේ Giant's Causeway නමැති අපූර්වතම ‍ස්වභාවික නිර්මාණයයි.

    මෙහි බොහෝ ස්ථම්භ කොන් සයකින් යුක්ත අතර ඇතැම් ඒවා පැති හතරකින්, පහකින්, හතකින් හෝ අටකින් යුක්තය. මෙහි උසම ස්ථම්භය මීටර් 12ක් පමණ වේ. Giant's Causeway හා සමාන තවත් ස්වභාවික නිර්මාණයන් ලොව පුරා ස්ථාන කිහිපයකින් හඳුනාගෙන තිබෙන අතර ඒ අතරින් ඇමරිකා එක්සත් ජනපදයේ Devils Postpile නමැති ස්ථානය ද සංචාරක ආකර්ෂණය දිනාගෙන ඇත.

    ලෝක උරුම සංචාරක පාරාදීසයක් ලෙස
    v9wMEg5qReT3wmXr_4-%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94%20%E0%B6%B6%E0%B7%90%E0%B7%83%20%E0%B6%BA%E0%B6%B1%20%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%20%E0%B6%85%E0%B7%83%E0%B6%B6%E0%B6%A9%20%E0%B6%B8%E0%B7%90%E0%B7%80%E0%B7%99%E0%B6%B1%20%E0%B7%84%E0%B7%90%E0%B6%A9%E0%B6%AD%E0%B6%BD%20%28iExplore%29.jpg

    හිරු බැස යන සමුදුර අසබඩ මැවෙන හැඩතල (iExplore)
    වර්ෂ 1986දී මේ වෙත පැමිණෙන සංචාරකයන් උදෙසා Giants Causeway Visitors Centre නම් වූ සංචාරක මධ්‍යස්ථානය විවෘත කරන ලදී. දැන් එම මධ්‍යස්ථානයෙහි සංචාරකයන් සඳහා තොරතුරු සපයන කාර්යාලයක් ද, මූල්‍ය කටයුතු සඳහා සහය දක්වන කාර්යාලයක් ද, නවාතැන් වෙන්කරවා ගැනීම් සඳහා පහසුකම් සපයන කාර්යාලයක් ද, අදාළ ස්ථානය පිළිබඳව දැනුවත් කිරීමේ විස්තර ඇතුළත් ශ්‍රව්‍ය සහ දෘශ්‍ය ආධාරකයන් ද, සිහිවටන මිලදී ගත හැකි ස්ථානයක් ද පවතී.

    Giant's Causewayහි භාරකාරත්වය The National Trust දරන්නේ ආයතනය විසිනි. UNESCO ආයතනය විසින් වර්ෂ 1986දී මෙම භූමිය ලෝක උරුම ලැයිස්තුවට එක් කරන ලදී. එමෙන්ම 1987දී උතුරු අයර්ලන්තයේ පරිසර දෙපාර්තමේන්තුව මගින් මෙය ජාතික පාරිසරික සංරක්ෂිත කලාපයක් ලෙස නම් කරන ලදී. එමෙන්ම Radio Times readers මගින් පවත්වන ලද මත විමසීමක් මගින් හඳුනා ගන්නා ලද්දේ මහා බ්‍රිතාන්‍යයේ පවත්නා සිව්වන උසස්ම ස්වභාවික පුදුමය මෙය බවයි.


    https://roar.media/sinhala/main/travel/giant-s-causeway-created-by-volcano/
     

    Attachments

    • Image0181.jpg
      Image0181.jpg
      120.3 KB · Views: 54

    Similar threads