Good Job

kosi

Junior member
  • Dec 1, 2006
    239
    8
    18
    පෙර සිරිතට වගාකර
    අක්‌කරයට බුසල් 105 ක අස්‌වැන්නක්‌

    අනුරාධපුර පිළිකා රෝහලේ මේ වනවිට ඉඩකඩ නැති තරමට රෝගීන් පිරී ඇත. මේ රෝගීන්ගේ හිත සුව පිණිස. ඔවුන්ගේ හිත් පිත් නොතලා ආගිය තොරතුරු ඔවුන් සමඟ කතාබහ කිරීම ඔවුන්ට මානසික සුවයක්‌ බව වාට්‌ටු භාර පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය තුෂාරි හපුආරච්චි මහත්මියගෙන් දැන ගන්න ලැබිණ. ඒ අනුව විශ්‍රාමික ගොවිජන සේවා සහකාර කොමසාරිස්‌ පහළ ගිරිබාව විශ්‍රාමික කාර්මික නිලධාරී එල්ලාවල යන දෙදෙනා සමඟ පිළිකා රෝගීන් එක්‌ක සැනසිල්ලේ වරින්වර තොරතුරු කතා කරන්න අපට අවස්‌ථාව ලැබිණ. ඔවුන්ගෙන් ලත් තොරතුරු අනුව මේ සඳහා ජාතික මට්‌ටමේ වැඩසටහනකට යැම සඳහා විශ්‍රාමික නිලධාරීන් විසි දෙනකුගේ දායකත්වයෙන් "එක්‌සත් කෘෂිකර්ම සංසදය" නමින් සංවිධානයක්‌ අනුරාධපුරයේදී පිහිටුවා ගත්තා. හිටපු පළාත් කෘෂි අධ්‍යක්‍ෂ ආචාර්ය ජයසේන මහතා සංවිධානයේ උපදේශක ලෙස කටයුතු කළා.

    පිළිකා රෝග පැතිරීමේ සැබෑ හේතු සාධකය කුමක්‌ දැයි සොයා ගැනීමට අපි උනන්දු වුණා. අපේ සමීක්‍ෂණවලදී මීට මූලික හේතුව අප ගන්නා ආහාරපානවලට වස විස ඇතුළුවී තිබීම බව අපි ප්‍රත්‍යක්‍ෂ කළා. රසායනික පොහොර, කෘමිනාශක, වල්නාශක ආහාර බෝගවලට යෙදීම නිසා ඒවායේ විෂකාරකයන් ආහාරපාන සමඟ ශරීරගත වී කල්යැමේදී ශරීරය තුළ පිළිකා, වකුගඩු, රුධිර රෝග වැනි බෝ නොවන රෝග ඇතිවන බව අපට අවබෝධ කර ගැනීමට හැකි වුණා.

    විශේෂයෙන් අපේ දෛනික ප්‍රධාන ආහාරය වූ බත සකස්‌ කර ගන්නා වී නිපදවීමේදී වැඩි අස්‌වනු පතා රසායනික පොහොර යෙදීමට අපේ ගොවියන් පෙළැඹුණා. පොහොර දැමීමෙන් ගොයම් ගසේ මාංසල ගතිය වැඩි වෙනවා. ඒ නිසා ගොයමට කෘමි සතුන් බෝ වෙනවා. කෘමීන් පාලනය කරන්න කෘමිනාශක යොදන්න සිද්ධ වුණා. ගොවිබිමේ කැලෑව නැති කරන්න වල්නාශක යොදන්න පුරුදු වුණා. මේ සියලු කෘෂි රසායනවල කැඩ්මියම්, ආසනික්‌ වැනි විෂකාරක පවතිනවා. මේවා පොළොවට, ජලයට මුසු වී ආහාර බෝගවලට ඇතුළු වී අස්‌වනුවල පැලපදියන් වෙනවා. ඒවා නිතිපතා ආහාරයට ගැනීමෙන් කල්යැමේදී පිළිකා, වකුගඩු ආබාධ වැනි බෝ නොවන රෝග ඇති වෙනවා. අප විසින් කරන ලද පර්යේෂණවලදී මේ සත්‍යතාවන් අනාවරණය වුණා.

    ජනපදවල පවත්නා වී වගා රටාව අනුව ඉක්‌මනින් කුඹුරු ගොවිතැන් කළ යුතුයි. හරකාගෙන් සී සෑම කල් ගතවන යල් පැනගිය ක්‍රමයක්‌ හැටියට ගොවීන්ට අවබෝධ කරමින් ඔවුන් අත්ට්‍රැක්‌ටර් හීයට කෘෂිකර්ම නිලධාරීන් විසින් පෙළැඹවීමක්‌ කළා. 1950 දී සේනපුර වෙල්යායේ ප්‍රථමවරට අත්ට්‍රැක්‌ටර්වලින් ප්‍රදර්ශන හීයක්‌ පැවැත්වූවා. මෙහි ප්‍රධාන ආරාධිතයා වූයේ අග්‍රාමාත්‍ය ඩී. එස්‌. සේනානායක මැතිතුමා. "කොහොමද සර් හීය. .... අපූරුයි නේද?" ට්‍රැක්‌ටර් ගෙනා බහු ජාතික සමාගමේ අධ්‍යක්‍ෂවරයා අග්‍රාමාත්‍යතුමාගෙන් විමසුවා." හීය නම් අපූරු තමා. "ඒත් හරකට වගේ ට්‍රැක්‌ටරයට ගොම දාන්න බැහැනේ" අග්‍රාමාත්‍යතුමා ට්‍රැක්‌ටර් හීය ප්‍රතික්‍ෂේප කළේය. නමුත් පසුකාලීනව ශිෂ්‍යත්ව ලබාගෙන පිටරටවලට ගිය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරින් අපේ වී ගොවිතැනට ට්‍රැක්‌ටර් හීය සහ කෘෂි රසායන භාවිතය බලහත්කාරයෙන් ගොවීන්ට ප්‍රගුණ කළා. ට්‍රැක්‌ටරයෙන් සීසාන, කෘෂි රසායන භාවිත කරන ගොවීන්ට වී වගාවට ණය මුදල් දුන්නා. ඒවා භාවිත නොකළ අයට ණය මුදල් දුන්නේ නෑ. ක්‍ෂේත්‍රයේ කටයුතු කරන නිලධාරීන්ට වැටුප් වර්ධක ලබා දුන්නේ ඔහු විසින් ඔහුගේ ක්‍ෂේත්‍රයේ ගොවීන් අත්ට්‍රැක්‌ටර් හීයට සහ කෘෂි රසායන භාවිතයට නැඹුරු කළ තරමටයි. මෙබඳු පෙළඹවීම් නිසාත් දේශීය වී වගාවට වඩා ටිකක්‌ වැඩියෙන් අස්‌වනු ලැබීම නිසාත්. වගාවට ණය මුදල් ලැබුණු නිසාත් කල් යැමේදී ගොවීන් මෙම කෘත්‍රිම වී ගොවිතැනට ඇබ්බැහි වුණා.

    රසායනික පොහොර, කෘමිනාශක, වල්නාශක වලින් මිදී ආපසු අපේ රටේ හුරු පුරුදු ගොවිතැනට යැමෙන් පිළිකා, වකුගඩු, හෘද රෝග වැනි බෝ නොවන රෝගවලින් ජනතාවට ආරක්‍ෂා වියහැකි බව අප සංගමයේ පර්යේෂණවලින් අපට පෙනී ගියා. මේ නිසා මේ රටේ ගොවි ජනතාව යළිත් කෘෂි රසායනවලින් තොර දේශීය වී ගොවිතැනට පෙළැඹවීම සඳහා අපේ සංවිධානය මගින් පසුගිය මාස්‌ කන්නයේදී මහවැලි එච්. කලාපයේ - ගල්කිරියාගම කොට්‌ඨාසයේ උදුරව ගම්මානයේ "ඩී01ඊ02" ඇලේ අක්‌කර 18 ක දේශීය වී ගොවිතැන ආරම්භ කළා. අපි වගාවට තෝරා ගත්තෙ බී ජී 366 වී වර්ගයයි.

    වල්නාශක ඉහිනවා වෙනුවට පළමුවෙන් වනාත කෙටුවා. කුඹුර ශුද්ධ කළා. වතුර බැන්දා. ඊළඟට හරකුන්ගෙන් සී සෑවා. මෙහිදී නගුල් සොයාගැනීම. පෝරු සොයා ගැනීම. හීයට පළපුරුදු ගොවීන් සහ මී හරකුන් සොයා ගැනීම. අපට අභියෝග වුණා. පළපුරුදු කම්මල්කරුවකුට කියල දේශීය නගුල් විස්‌සක්‌ විතර හදවා ගත්තා. උදුරාව පැත්තෙ හීයට පුරුදු මීහරක්‌ එකා දෙන්නා ඉන්නවා. ඒවගේම නගුලෙන් සීසෑමට පුරුදු පැරණි ගොවියන් කීපදෙනකුත් අපි හොයා ගත්තා. හරක්‌ බාන් හතඅටක්‌ බැඳල අක්‌කර දහඅටක වපසරිය ඇති කඹුරු යාය දින තුනකදී පමණ හාලා ඉවර කර ගත්තා. ඊළඟට වල් කුණුවෙන්න වතුර බැන්දා. ඒත් එක්‌කම නියරවල් ශුද්ධ කරල ඒ කැලයත් කුඹුරට දැම්මා. මේ කටයුතු නිම කරල දින 30 ක්‌ පමණ වතුර බැඳල කුඹුරු කුණු වෙන්න ඇරියා. ඊට පස්‌සෙ හරක්‌ බාන් දහයක්‌ දොළහක්‌ දාල කුඹුරු මැඩෙව්වා. කුඹුරුවල එක වල්ගහක්‌ ඉතුරු වුණේ නෑ. අපූරුවට මඩ කුණුවෙලා.

    ඊළඟට පෝරු ගාල, ඇළ මං කොටල වපුරල, වී ඉස්‌සා ගොයම පැළ වුණා. එකම වල්ගහක්‌වත් නෑ. ගොයම අපූරුවට නැගිට්‌ටා. කිසිම පොහොරක්‌ දැම්මෙ නෑ. කුඹුර හොඳට මඩ කළා. නියම කන්නට ගොවිතැන් කළා. කෘමිනාශක වුවමනා වුණේ නෑ. යායේ යාබද කුඹුරුවලට කීඩෑ උවදුර ආවා. අපේ කුඹුරු යායට ආවෙ නෑ. මේ දේශීය වගා රටාව යටතේ වගා කළ කුඹුරු අක්‌කර දහඅටේ වී අස්‌වැන්න වී බුසල් 1890 ක්‌ තිබුණා. ඒ කියන්නෙ අක්‌කරයට බුසල් 105 ක්‌ තෙල් පොහොර නෑ. ට්‍රැක්‌ටර් කුලී නෑ. වියදම හරිම අඩුයි. ඉතිං මේ අස්‌වැන්න මදිද?

    2017 - 2018 මහ කන්නයේදී මේ යායේ කුඹුරු අක්‌කර 200 ක්‌ මෙම දේශිය වගා රටාවට ගොවිතැන් කරන්න සැලසුම් කරල තියෙනවා. මේ උදුරව ගම්මානයේ වෙල්යාය ආදර්ශ වෙල්යායක්‌ බවට පත් කරන්න මහවැලිය තීරණය කරල තියෙනවා. ඒවගේම කෘෂිකර්ම අමාත්‍යාංශය හා උතුරු මැද කෘෂිකර්ම අමාත්‍යාංශය මේ වැඩපිළිවෙළට උදව් උපකාර කිරීමට ඉදිරිපත්ව සිටිනවා. මෙම වගා රටාවට ඉදිරිපත් වන ගොවීන්ට බිත්තර වී සහ වෙනත් ගොවි ආම්පන්න ලබාදීමට රජයෙන් කටයුතු කරනවා.

    මේ ආදර්ශන යායට මහවැලියෙන් ඇති තරමට වතුර දෙනවා. නගුල්, වියගස්‌, පෝරු ආදිය සපයා දීමට ප්‍රදේශයේ ගොවි සංවිධාන 42 ක්‌ ඉදිරිපත්ව සිටිනවා. හීයට හරක්‌ සහ ගොවියන් පුරුදු පුහුණු කර දීමට මේ ගොවි සංවිධාන වැඩපිළිවෙළක්‌ යොදා තිබෙනවා.

    මේ අපේ ආරම්භයයි. 2018-2019 මහ කන්නයේදී කඹුරු අක්‌කර 1000 ක්‌ දේශීය වී වගා රටාවට ගොවිතැන් කිරීමයි අපේ සංවිධානයේ අධිෂ්ඨානය. මෙහි යහගුණ දුටුවිට මුළු රටම යළිත් වරක්‌ රසායනික තෙල් පොහොර භාවිතයෙන් මිදී අපට හුරුපුරුදු අපේ උරුමයක්‌ වූ දේශිය වී වගා රටාවට පෙළැඹෙනු ඇතැයි අපි විශ්වාස කරනවා.

    අනුරාධපුර මහ රෝහලේ පිළිකා වාට්‌ටුවල අපා දුක්‌ විඳින පිළිකා රෝගය...... අනුරාධපුර වකුගඩු රෝහලේ අනන්ත දුක්‌ විඳවන වකුගඩු රෝගය ... නිට්‌ටාවට රටින් පලවා හැර අපේ දුවා දරුවන් ටික මේ මාරාන්තික රෝග වලින් බේරා ගැනීමට නම් අපි යළිත් අපට උරුම දේශීය වී වගා රටාවට යා යුතුමයි.

    සාකච්ඡා සටහන -
    එප්පාවල රත්න බී. ඒකනායක
     
    • Like
    Reactions: DangerMan119

    dzero

    Active member
  • Nov 2, 2009
    432
    187
    43
    BUMP.
    සතුටු හිතෙනවා මෙහෙම මිනුස්සු ගැන ඇහෙද්දී . අද කලේ ඉන්නේ සල්ලි මත ජීවත් වෙන අය . මෙහෙම මිනුස්සු කීප දෙනෙක් හෙටියොත් මේ රට ගොඩක් ලස්සන වේවි අපහු සැරයක් . මේ අය තමා රටේ ජනාදිපති වෙන්න ඕන. බොහොම පින්