My Best Friend - S L FUNNIES - මගේ හොඳම යාළුවා

cat123

Well-known member
  • Sep 25, 2007
    2,698
    4,436
    113
    මගේ හොඳම යාළුවා
    ≠==================
    පංතියේ මං හිටපු පේලියෙ පලවෙනියා ජනකයා ය. ඌ පේලියේ පලවෙනියා උනාට පන්තියේ පළවෙනියා උනේ නැති ය. හැමදාම පන්තියේ අන්තිමයාය. ජනක කිව්වට ඌ ඉස්කෝලෙ හැමෝම දන්නෙ විජේකෝන් කියලාය. ජනකයා දැන් මේ පංතියේ ඉන්න තුන්වෙනි අවුරුද්ද වෙන්ට ඕනෑ ය. ඌට උගන්වන මෙලෝ මල දානයක් මතක හිටින්නෙ නෑය. ඊළඟට අසේලයා ය. අසේලයා කිව්වට උගෙ නම අසේල ය. ඊ ළඟට මමය. උං දෙන්නාම මගේ හොඳම යාළුවන් ය. හොඳම යාළුවා වෙන්න දෙන්නෙක් ට බැරිය. මං අසේලයා හොඳම යාළුවා කර ගත්තේ අනාගතය ගැන හිතලාය. ඒ මෙදා සැරෙත් ජනකයා මේ පංතියේම නතර වෙන සතර පෙරනිමිති පෙන්නුම් කල නිසාය. එහෙම උනොත් මට හොඳම යාළුවා නැති වෙනවාය. ඒ බව මං ඌට කලිං දවසක කිව්වාය. දැන් නං ඌට ඒකවත් මතක නැති ය. ඌ දැන් මගේ හොඳම යාළුවා නෙවෙන හින්දා ඒකට කමක් නැත. මං මගේ හොඳම යාළුවා රචනාව ලිව්වේත් අසේලයා ගැනය. රචනාව හොඳ බව ලොකු ඉස්කෝලේ මහත්තයා කීවෝය. හැබැයි ලකුණු බින්දුවක් දුන්නේ මං රචනාව ලියලා තිබුණේ පද්‍ය රචනා පාඩමට නිසා කියලා එතුමා මට කීවෝය.

    අපිට සිංහල ඉගැන්නුවේ ලොකු ඉස්කෝලේ මහත්තයා මය. ලොකු ඉස්කෝලේ මහත්තයා පොඩිය. ලොකු කියා කියන්නේ ප්‍රින්සිපල් නිසා ය. නැත්තං වෙන ඇති ලොකු දෙයක් නෑය. හැබැයි එතුමා ට ලොකු කැසිල්ලක් තිබුණා ය. නිතරම කලිසං සාක්කුවේ අත දාගෙන කසන්න උවමනාය.

    අසේලයාට සමහර වචන උච්චාරණය කිරීමට අමාරුය. ඒක ඌට පොඩි කාලේ ඉඳලම බැරිය. ඒ උනාට ඌ හැමෝටම දැන් කියන්නේ ගිය අවුරුද්දේ උගෙ කටට මැහුම් දැම්මා ට පස්සෙ එහෙම උනා කියලා ය. මැහුම් දාන්ට උනේ උට ඉංග්‍රීසි හරියට බැරි නිසාත් උගෙ අක්කා කුකරි ක්ලාස් ගිය නිසාත්, උගෙ ආච්චිට ඇස් පේන්නේ නැති නිසාත් ය. දවසක් උගේ අක්කා කෑමක් හදන ගමන් උට කටිං නයිෆ් එක ගෙනෙන්න කීවාය. පිහියට නයිෆ් කියන බව අපිට පංතියේ ඉංග්‍රීසි මිස් කියාදී තිබුණාය. ඌ පිහිය කටිං අරගෙන එනකොට කරුමෙට උගෙ ආච්චි පාර පැනලා ඇගේ හැප්පුන නිසා උගෙ කට කැපුනාය.

    ලොකු ඉස්කෝලේ මහත්තයා ට තිබුණ ලොකුම කරදරේ ජනකයායි, අසේලයායි දෙන්නාය. ජනයාගෙන් ප්‍රශ්නයක් වත් අහන්න බැරිය. ඌට මොකුත් මතක නැතිය. සිංහල පන්තියේ ඌ හැමදාම හිටගෙනය. අසේලයා හිටවන්නේ වචන උච්චාරණය බැරි හින්දා ය. උන් දෙන්නා මගේ යාළුවෝ හින්දා මටත් ඔය ලෙඩ දෙකම වෙලාවකට බෝ වෙනවා ය.

    එදා එළාර දුටුගැමුණු යුද්ධය සිංහල පාඩමට තිබුණ දවසක් ය. ලොකු ඉස්කෝලේ මහත්තයා යමරෙට යුද්ධෙ කරගෙන යනවාය. වෙලාවකට දුටුගැමුණු වෙලාය, වෙලාවක එළාර වෙනවාය. ඊළඟට දසමහා යෝධයෙක් වෙලාය. මොන ජගතා උනත් සැරින් සැරේ කසන්නද උවමනා ය. ඒ විදියට ඇත්තටම යුද්ධ කලා නං යුද්දෙං බාගයක් වෙලාව යන්නේ කසන්නටය. සමහරවිට කසන අතරේ එළාර දුටුගැමුණු රජතුමා මරන්නටත් ඉඩ තිබුණා යැයි හිතෙනවා ය. දැන් ජනකයා නන්නත්තාර වෙලා ය. ඌ දුටුගැමුණු වත්, එලාර වත්, දසමහා යෝධයෝ වත් දන්නේ නැති ය. ඌ අත දමා අසේලයාට මගේ පැත්තෙන් ඔළුවට ඇන්නාය. අසේලයා මට පැන්සලෙං ඇන්නාය. මොනවා උනත් අසේලයා මගේ හොඳම යාළුවා ය. මම කකුලක් දමා ජනකයාගේ පුටුවට පයින් ගැහුවා ය. දඩබඩං ගාගෙන ජනකයා බිමට වැටුණා ය. දසමහා යෝධයා ආපහු ලොකු ඉස්කෝලේ මහත්තයා බවට පත් උනාය.
    "විජේකෝන්, තමුසේ මොකද කරන්නේ? නැගිටිනවා. කියනවා බලන්න දුටුගැමුණු රජතුමා යුද්ධ කරලා මැරුවෙ කවුද කියලා?" ඇසුවාය.

    ජනකයාට නෙවෙයි මොන ජගතාටවත් ඒ පුරස්නෙට උත්තර දෙන්න බැරිය. දුටුගැමුණු රජතුමා කවුරුත් මැරුවේ නැතිය. නිකංම මැරුණාය. මැරුවේ එළාරය. හැබැයි ජනකයා උඩ බලාගෙන හිටියේ ඒ හින්දා නෙමේය. ඌට උගන්නපු කිසිම දෙයක් මතක නැති ය. ලොකු ඉස්කෝලේ මහත්තයා ට ව්‍යාකරණ පටලැවිල්ලක් වී ඇති බව අපට නං තේරුණා ය. එතුමා ට නිතරම එහෙම වෙනවාය. ලොකු ඉස්කෝලේ මහත්තයා හන්දියේ කඩේ ඇන්ටිගෙන් කහ ගන්න පුළුවන් ද අහලා ගුටිකන්න ගිය බව අම්මා තාත්තා එක්ක කියනවා මම අහගෙනය. ඒක මට ඇහුන නිසා අම්මා ඒ ලොකු ඉස්කෝලේ මහත්තයා අහපු ප්‍රශ්නෙ ව්‍යාකරණ දෝෂයක් ඇති බව පැහැදිලි කලාය. ලොකු ඉස්කෝලේ මහත්තයා ජනකයාට "තෝව කන් කෙටි දෙකෙන් අල්ලලා එල්ලන්න ඕන අර බාල්කෙ" කීව්වේ උඩ බලාගෙන ය. ජනකයා ඒකට නං බය වෙන්න ඇති ය. ඌ තියා රිලවෙක් එල්ලුනත් ඒ බාල්කෙ කැඩෙන එක ෂුවර් ය. එතනින් වැටුනොත් එදා සේතං මාමාගේ පොල් ගහෙන් වැටුනාට වඩා අමාරු වෙනවා ය. එක අතකින් එදා ඌ වැටුනා නෙවෙයි ය. පැන්නාය. මළගෙදර නිදාගෙන හිටපු ජනකයා ඇහැරවාගෙන පාන්දර කළුවරේ සේතං මාමාගෙ ඇල ඉවුරෙ ගහේ කුරුම්බා බොන්න ඌ එක්කරගෙන ගියේ මමයි අසේලයායි ය. කට්ට කරුවලේ අඩි හැට හැත්තෑවක් උස ගහේ නැංගේ ජනකයාය. ගෙඩි තුන හතරක් කඩලා ඊට පස්සේ සෑහෙන වෙලාවකින් ඌ සද්දයක් කලේ නෑය. මන්ද පමා බැලුව අසේලයාගේ මතය උනේ ඌ ගහ උඩ නිඳි බවය. ඒ හින්දා මමද ගහේ නැංගෙමු. සෑහෙන දුරක් නැග්ගාට පස්සේ කළුවරේම ආපහු බහින ජනකයාගේ සද්දෙ ඇහුනෙමු. "මොකක්ද බං මෙච්චර වෙලා කරේ" කියා මං ඇසුවෙමු. "අඩේ, උඩට යනකොට වඩා විගහට පහලට ආවනෙ" කියපු ජනකයා එතනින් බිමට පැන්නාය. ජබොග් ගාලා ඌ ඇලට වැටුනාය. මම ගහේ බාගයක් නැගපු බව දන්නෙ නැති හින්දා ජනකයා හිතලා තිබුණේ මම ගහ මුල ඉන්නවා කියලා ය. ඌ ගහ උඩ පමා උනේ ගහ උඩදී චූ බරක් හැදුන හින්දා බව ඌ කිව්වේ වැටෙන අතරේමය. එදා ඇලට වැටුණු හින්දා බේරුණාට බාල්කෙං වැටුනොත් නං කොන්ද කැඩෙනවාය. කොහොම හරි ජනකයාට සුපුරුදු විදියට හිටං ඉන්න ලැබුණාය.

    ඊළඟ වාරෙ තමන්ගේ කියලා දන්න අසේලයා උත්තරේ කටපාඩම් කලාය.
    "එරාළ, එරාළ, එරාළ, එරාළ....." පොඩි අමුත්තක් දැනුනට උත්තරේ හරිය. කිව්වත් වගේ ලොකු ඉස්කෝලේ මහත්තයා ගෙ ඊළඟ ගොදුර අසේලයා වූවාය. "හ්ම්..... තමුසේ කියනවා බලන්න" ලොකු ඉස්කෝලේ මහත්තයා අණ කලාය.
    අසේලයා "එරාළ" කිව්වා ය. එතුමා ඇස් දෙක උඩ තියාගෙන "ඈ.... ඒ මොකාද යකෝ? කියපිය ආයෙමත්" කිව්වා ය. ඌ ආයෙමත් "එරාළ" කීවාය. දැන් නං ලොකු ඉස්කෝලේ මහත්තයා යකා වගේ ය. හැබැයි යකෙක් ගැන එළාර දුටුගැමුණු කතාවේ කියාපු බවක් මතක නැති ය. අසේලයාටත් ඔයිට එහා උච්චාරණයක් නැති බව මම දන්නවා ය. අසේලයාටත් හිටගෙන ඉන්න ලැබුණේ ඌ තමන්ට කෝචෝක් කලා යැයි ඉස්කෝල මහත්තයා හිතපු නිසාය.

    "හා දැන් තමුසේ කියනවා බලන්න" එතුමා මට අණ කලාය. මම එළාර කියන්න ෆුල් ට්‍රයි කරත් අසේලයා කියපු එක අහලා කියවෙන්ට යන්නෙම එරාළ කියාය. මම අමාරුවෙන් "එර්..ලාළ" කිව්වා ය. "ඈ... මොකක්ද කිව්වේ?" ලොකු ඉස්කෝලේ මහත්තයා ඇහුවාය. මං ආයෙමත් "එල් රාළ" කිව්වා ය. "කවුද යකෝ එල් බෝඩ් දාන්න කිව්වේ?" කියාගෙන එතුමා ළඟට එනකොට බයටම "එළාර" කියා කියවුනාය. ඉස්කෝලේ මහත්තයා එතනම නතර වෙලා කල්පනා කරන්න ගත්තා ය. හරි "එරාළ" තමයි ලොකු ඉස්කෝලේ මහත්තයා කීවෝය. "ඒකනෙ සර් මං කිව්වේ" අසේලයා කීවාය. ලොකු ඉස්කෝලේ මහත්තයා ආපහු ගිහින් පොත බැලුවේ හරි නම මොකක්ද කියලා එතුමා ට ද ෂුවර් නැති හින්දා වෙන්න ඕනෑය. එතුමා එතනින් පාඩම ඉවර කලාය.