On line අධ්‍යාපනය ප්‍රායෝගිකද? (පළමු කොටස)

dhananjaya1985

Active member
  • Jun 18, 2016
    245
    147
    43
    Colombo, Sri Lanka
    On line අධ්‍යාපනය ප්‍රායෝගිකද? (පළමු කොටස)
    -උපුටා ගැනීමක්

    කොවිඞ් 19 ගෝලීය වසංගතයේ පැතිරීම සමග ලොව පුරා පාසල් හා විශ්වවිද්‍යාල වසා දැමීම සමග ලොව පුරා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපන කටයුතු ද සුපුරුදු ලෙස නොකඩවා කරගෙන යාමේ අර්බුදයක් නිර්මාණය විය. එහෙත් දියුණු ආර්ථිකයන් සහිත තාක්ෂණික පහසුකම් සහිත රටවල් ඉතා ඉක්මනින් එම තත්ත්වයට අන්තර්ජාල හරහා විසඳුම් සොයා ගනිද්දී මෙරට ද අධ්‍යාපන බලධාරීන් එම ක්‍රමවේදයන් හරහාම මෙරට දරුවන්ටද අධ්‍යාපනය ලබාදීමට පෙළඹවීමේ වැඩපිළිවෙළක් දියත් කර තිබෙන්නේය. නව අධ්‍යාපන ක්‍රමවේද සම්බන්ධයෙන් පසුගාමී ස්ථානයක සිටින අප රට තුළ ද එවැනි නව තාක්ෂණික ක්‍රම හරහා අධ්‍යාපනයකට දරුවන් හා ගුරුවරු යොමු කිරීම ඉදිරිගාමී කටයුත්තක් ලෙස බැලූ බැල්මට පෙනුණත් ගැටලුව තිබෙන්නේ එවන් වැඩපිළිවෙළක් සඳහා එක්වර යොමු කිරීමට තරම් පහසුකම් හෝ පසුබිමක් මෙරට තුළ සෑම ප්‍රදේශයකම පාසල් තුළ නිර්මාණය වී තිබුණේ ද යන්න ය.

    මෙරට තුළ බොහෝ රාජ්‍ය අංශ ක්‍රියාත්මක වන්නේ අනෙක් රටවලට සාපේක්ෂව ඉතා පසුගාමී ස්ථානයක සිට ය. අධ්‍යාපන ක්‍රමවේද සම්බන්ධයෙන් ඉදිරිගාමී පියවරයන් ගැනීමේ අවශ්‍යතාව තිබුණ ද දශක ගණනාවක් පුරා එය ද තිබෙන්නේ එකම තැන පල්වෙමින් සාම්ප්‍රදායික ක්‍රමවේදයන් හරහා ම ක්‍රියාත්මක වූ තත්ත්වයක ය. කෙසේ හෝ මෙම වසංගත තත්ත්වය හමුවේ හෝ නව අධ්‍යාපනික ක්‍රමවේද ගැන සිතීමට පෙළඹීම ම යහපත් ලෙස පෙනෙන්නේ ය. එහෙත් එවන් ක්‍රමවේද ක්‍රියාත්මක කිරීමට සරිලන පසුබිමක් හෝ පහසුකමක් අධ්‍යාපන ක්ෂේත්‍රය පුරා ගොඩනැගී නොතිබීමත් එවන් තත්ත්වයක් මත මේ නව ක්‍රමවේද ක්‍රියාත්මක කිරීමට යාමත් හරහා ගැටලු රාශියක් ද නිර්මාණය වී තිබෙන්නේ ය.

    දුෂ්කර ප්‍රදේශවල අධ්‍යාපනය

    ගල්ගමුව ප්‍රදේශයේ අති දුෂ්කර පාසලක විදුහල්පතිවරයෙකු මේ සම්බන්ධයෙන් අප සමග අදහස් දක්වන්නේ මෙලෙස ය. “ඔන්ලයින් උගන්නන්න නම් ඒ පහසුකම් තියෙන්න ඕනෑ නේ. අපේ ඉස්කෝලේ සමහර ළමයින්ගේ දෙමව්පියන්ට ෆෝන් එකක්වත් නෑ. එහෙම දේකට දරුවන්ට කොම්පියුටර්, ලැප්ටොප් හරි අඩුම වශයෙන් ෆෝන් හරි තියෙන්න ඕනෑ. එහෙම කිසිම පහසුකමක් මෙහේ නෑ. සමහර වෙලාවට ෆෝන්වලටත් මෙහේ සිග්නල් නෑ. ඔන්ලයින් උගන්නන්න කිව්වාට මේ පසුබිමේ නම් ඒක සීයට අනූවකට වඩා අසාර්ථකයි. මෙහේ දරුවෝ ඉගෙන ගන්න එන්නේත් ප්‍රශ්න ගොඩකට මැදිවෙලා. පහුගිය දවස්වල ඉස්කෝලේ එද්දී ගුරුවරියකගේ පස්සෙන් වල්අලි පැන්නුවා. ජීවිතය බේරගෙන තිබුණේ බොහොම අමාරුවෙන්. මේවායේ තියන ප්‍රශ්න කතා කරන්න ගියාම අපි තනි වෙනවා. නිලධාරීන් නිදහසට කරුණු විමසනවා. අපි මේවායෙන් හොඳට බැට කාලා ඉන්නේ. එහෙම දේ කොළඹ දිහාවේ සමහර වෙලාවට ක්‍රියාත්මක වෙන්නේ නෑ. නමුත් මේ පැතිවල නිලධාරීන් කරන්නේ එහෙමයි. ඔන්ලයින් උගන්වන්න එහේ කතා වුණාට මෙහේ තියෙන්නේ ඉතාම දුක්ඛිත තත්ත්වයක්.” අති දුෂ්කර එවන් පාසල් තුළ තත්ත්වය එසේ ය. එම පාසල්වල ගුරුවරු හෝ විදුහල්පතිවරු මේවා සම්බන්ධව ඇතැම්විට විවෘතව මාධ්‍යට අදහස් පළකිරීමට ද බියවන්නේ ඉන්පසු බලධාරීන්ගෙන් ඔවුන්ට මුහුණ දෙන්නට සිදුවන ගැටලු සම්බන්න්ධයෙන් අත්දැකීම් ද ඇති බැවිනි. කෙසේ වෙතත් ඔන්ලයින් අධ්‍යාපනයක් යනු එවන් දුෂ්කර පාසල්වල දරුවන්ට හා ගුරුවරුන්ට තවමත් ඈතින් පෙනෙන සිහිනයක් මෙනි.

    ප්‍රධාන වශයෙන් ඔන්ලයින් අධ්‍යාපනයකට අවශ්‍ය අන්තර්ජාල සම්බන්ධතා, ඒවායේ තිබිය යුතු වේගවත්භාවය, ඒවාට අවශ්‍ය උපකරණ වන පරිගණක හෝ ස්මාට් ජංගම දුරකථන දරුවන්ට පමණක් නොව ඇතැම් ගුරුවරුන්ට ද තිබේ ද යන්න ගැටලුවකි. එවන් උපකරණ තිබුණ ද අන්තර්ජාල පහසුකම් තබා දුරකථන සබඳතා නිසි ලෙස පවත්වාගත හැකි මට්ටමක් ඇතැම් ප්‍රදේශවලට නැත. මෙරට ග්‍රාමීය ප්‍රදේශවල විවිධ අවස්ථාවල ඇවිද යන අප දකින්නේ එදිනෙදා ජල අවශ්‍යතාවත් සපුරා ගැනීමට ක්‍රමයක් නැති පාසල් වෙත උදෑසන වතුර කෑන් ඔසවාගෙන එන දරුවන් ය. පාසල ඇරුණු සැණින් කුඹුරට හෝ හේනට දිවගොස් දෙමාපියන්ගේ කටයුතුවලට සහාය දෙන දරුවන්ය. එවන් ප්‍රදේශවල දරුවන්ට එදා වේල සපයා දීම පවා දෙමාපියන්ට විශාල අරගලයක් වෙද්දී අන්තර්ජාලය හරහා ඔන්ලයින් අධ්‍යාපනයක් කරන ලෙස ඉල්ලා සිටීම නාගරික පාසල්වල දරුවන්ට බොහෝ විට ගැටලුවක් නොවුවත් මෙවැනි ග්‍රාමීය දරුවන්, ගුරුවරු මෙන්ම දෙමාපියන්ටද එය දැනෙන්නේ කෙළෙස විය හැකි ද?

    “තාක්ෂණය හරහා ළමයි අධ්‍යාපනයට යොමු කරන්න තියනවා නම් හොඳයි. නමුත් ප්‍රශ්නය තියෙන්නේ අපේ රටේ හැම තැනම එහෙම පහසුකම් නෑ. සමහර වෙලාවට මේ ෆෝන්වලට සිග්නල්වත් නෑ. නාගරික ප්‍රදේශවලින් බැහැර ප්‍රදේශවල ඒ තාක්ෂණය තවම භාවිත කරන්න බැහැ. අනෙක් දේ ඒවා භාවිත කරන්න දන්න ගුරුවරු නාගරික ප්‍රදේශවල හිටියත් ග්‍රාමීය ප්‍රදේශවල නැහැ. ලැප්ටොප් එකක් තියන ගුරුවරුත් නෑ. කොළඹ වැනි නාගරික ප්‍රදේශවලින් බැහැරව ග්‍රාමීය ප්‍රදේශයක පොඩි ඉස්කෝලෙකට යන්න ඒවායේ ඉන්න ගුරුවරුත් කැමති නැහැ. මාරුවීමක් දුන්නත් දේශපාලනඥයෝ ළගට ගිහින් කලින් පාසලටම යන්න බලනවා. ඒ අය ගොඩනගා ගත් ටියුෂන් ව්‍යාපාර වගේම ඒ පාසල්වල ඉගැන්වීම නිසාම ලොකු සමාජභාවයක් ඇති කරගෙන ඉන්නවා. ඒ තත්ත්වය රැක ගන්න මිසක් මේකත් මේ රටේ ළමයි ගැන හිතලා කරන්න පටන් ගත්ත වැඩක් විධියට පේන්නේ නැහැ. අද තියන තත්ත්වය නිසා ග්‍රාමීය ළමයි පුදුම අසරණ තත්ත්වයකට පත්වෙලා ඉන්නවා. ඒ ළමයින්ට අඩුම තරමින් පුවත්පතක්වත් ගම්වලට යන්නේ නැහැ. තොරතුරු සන්නිවේදනය කරගන්න විධියක් නෑ, පහසුකම් නෑ. ඒවා තුළ විභාගවලදී ළමයින්ට මුහුණපාන්න වෙන ගැටලු තවත් වැඩිවෙලා තියනවා.” වයඹ රාජකීය විද්‍යාලයේ ගුරුවරයෙකු වන ආර්.එම්. රත්නායක මහතා එම ප්‍රදේශයේ තිබෙන දුෂ්කර පාසල්වල තත්ත්වය සම්බන්ධයෙන් පැවසුවේ එලෙසය. ඔවුන්ගේ අදහස වූයේ ග්‍රාමීය දරුවන්ට මේ කිසිදු පහසුකමක් නොමැති වීම නිසා මේවා හරහා අධ්‍යාපනය තුළ තවත් පරතරයක් නිර්මාණයවෙමින් තිබෙන බව ය. එමෙන්ම තම දරුවන්ට මෙම පහසුකම් කිසිවක් නොමැතිවීමත් තවත් දරුවන් පිරිසක් මෙම නව තාක්ෂණය හරහා අධ්‍යාපන කටයුතු කරගෙන යාමත් පිළිබද දරුවන්ට මෙන්ම දෙමාපියන් තුළ ද යම් කලකිරීමක් ඇතිවී තිබෙන බව ද ඔවුන්ගේ අදහස වූයේ ය.

    “මුලින්ම මේවා පටන් ගත්තේ ටියුෂන් මාස්ටර්ලායි. ඊළඟට නාගරික පාසල් පටන් ගත්තා. ටියුෂන් කරන අයට අධ්‍යාපනය ගැන නෙමෙයි, ණය වාරික ගෙවීම් වැනි දේ තියන නිසා මෙතැන හිරවුණොත් ඒ අය අපහසුතාවට පත්වෙන නිසා ඒ අය මේවා පටන් ගත්තා. හැබැයි මේ වෙද්දී ග්‍රාමීය පාසල්වල දරුවෝ ටික කරන්නේ මොකක්ද? ඒකට රජය, විභාග කොමසාරිස්වරයා මේවාට දෙන උත්තරේ මොකක් ද? දුරකථනවත් හරියට වැඩ කරන්නේ නැති යටිතල පහසුකම්වත් හරියට නැති දුෂ්කර ප්‍රදේශවල තාක්ෂණයෙන් උගන්වනවා කියන්නේ කොහොම ද? පාසල් පද්ධතිය තුළ විශාල විසමතාවක් තියනවා. මම නම් මේ කාලය ගැන සතුටු වුණා. මොකද දැන් ඉස්කෝලේ යන ළමයි ඉපදුණාට පස්සේම මුළු ජීවිත කාලේම ඒ ළමයින්ට නිවාඩුවක් ලැබුණේ මේකෙන්. ඒ අයට අමුතුවෙන් හිතන්න, කල්පනා කරලා වැඩ කරන්න කාලයක් ලැබුණා. නැත්නම් ඉස්කෝලේ යනවා, ටියුෂන් යනවා, රෑ වෙලා ගෙදර එනවා, ඉස්කෝලේ වැඩ ටික කරනවා. යාන්ත්‍රික ළමයි ටිකක් හිටියේ. ඒ අයට නිදහසේ හිතන්න මේ හරහා අවකාශයක් ලැබුණා. ඒකත් ටියුෂන් මාෆියාව විසින් ගිල ගත්තා. පස්සේ තමයි මේක පාසල් වලට ආවේ. ඒ නිසා රජය එක්කෝ නොකෙරුණු ටැබ් භාවිතය ඇති කරලා තිබුණා නම් මේවා ඇති කළාට කමක් නෑ. ඒ හරහා පාඩමක් කරන්න පුළුවන් සාක්ෂරතාව තියෙන්නේ ගුරුවරු කී දෙනාට ද. තාක්ෂණයට පිටුපානවා නෙමෙයි, එහෙම තාක්ෂණය හරහා කරන්න පුළුවන් නම් හොඳයි. හැබැයි අපේ රටේ ඒකට සුදුසු යටිතල පහසුකම් නැති නිසා අහිංසක ළමයි මේකෙන් තවත් කබලෙන් ළිපට වැටෙනවා. ඒ නිසා මේ පහසුකම රටේ හැම ළමයාටම ලැබෙන විධියේ වැඩපිළිවෙළක් ආණ්ඩුව හැදිය යුතුයි. මොකද පෞද්ගලිකව කෙනෙකුට ණය වෙලාවත් දුරකථන කණු හදන්න බෑ. ළමයෙක්ට පරිගණක නැත්නම් දෙමාපියෝ ණයවෙලා හරි දුරකථනයක් අරගෙන දුන්නත් දුරකථන ටවර් ගහන්න බැහැ. අඩුම වශයෙන් රජය මැදිහත් වෙලා ඒවා කරන්න ඕනෑ. ඒ නිසා මේවා එක පන්තියකට විතරක් හොඳයි. සමස්ත දරුවන්ට මේකෙන් සාධාරණයක් වුණේ නැහැ.” ඒ.ආර්.එම්. රත්නායක මහතා ය.

    මේ බොහෝ පාසල්වල ගුරුවරු හා විදුහල්පතිවරු අපට පැවසුවේ පාසල් වසා දැමීමට ගත් තීරණය ද තමන්ට දැනගැනීමට ලැබුණේ මාධ්‍යවලින් බවය. එවන් පසුබිමක් මත ළමයින්ගේ අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් කිසිදු සූදානමක් වීමට අවස්ථාවක් ද ඒ මොහොතේ හෝ නොලැබුණු බවය. “මාධ්‍යවල ගියාට පස්සේ කලාප අධ්‍යාපන කාර්යාලවලින් විමසද්දී ඒ අය දන්නෙත් නැහැ. මේ විධියට පාසල් වහන්න වෙන බව දැන හිටියා නම් යම් සැලසුමක් හදාගන්න තිබුණා. ඉස්කෝල වැහුණු බව ඉස්කෝල දන්නේ නැහැ, ගෙවල්වලට ගියාම තමයි දන්නේ මාධ්‍යවලින් කිව්වා කියලා.” ඒ එක් විදුහල්පතිවරයෙකු අපට පැවසූවකි.
     
    Last edited:
    • Like
    Reactions: Dishta Didin