Parallel Hybrid පද්ධතිය

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113

    .Parallel Hybrid පද්ධතිය

    Parallel Hybrid පද්ධතියක අභ්‍යන්තර දහන එන්ජිමක් සහ විද්‍යුත් මෝටරයක් එකිනෙක සමාන්තරගතව යාන්ත්‍රික සම්ප්‍රේෂණ පද්ධතියකට සම්බන්ධ කර භාවිත වෙනවා. බොහොමයක් මේ වර්ගයේ මෝටර් රථ නිර්මාණ වල තරමක් විශාල විදුලි ජෙනරේටරයක් සහ මෝටරයක් එක් කර තනි ඒකකයක් ලෙස යොදාගැනෙන අතර එය බොහෝ විට දහන එන්ජිම සහ සම්ප්‍රේෂණ පද්ධතිය අතරින් ස්ථානගත කෙරෙනවා. මෝටරය සහ ජෙනරේටරය තනි ඒකකයක් ලෙස භාවිත වනවිට එය Motor-Generator(MG) ලෙස හඳුන්වන අතර මේ මගින් සාමාන්‍ය රථයක ස්ටාටර් මෝටරය සහ ඕල්ටනේටරය යන දෙකෙන්ම වන ක්‍රියාවන් ඉටුකර ගැනෙනවා. මෙහිදී බැටරිය ආරෝපණය වීම, Regenerative Breaking මගින් සහ රථය ධාවනයේදී එන්ජිමෙන් නිපදවෙන බලය මගින්(එන්ජිමෙන් නිපදවෙන බලය රථය ධාවනයට අවශ්‍ය බලයට වඩා වැඩි වන විට එම අමතර බලය බැටරි ආරෝපණයට යෙදවෙනවා ) කියන ආකාර දෙකෙන් සිදු වෙනවා. මෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ රෝද සහ මෝටරය අතර ස්ථිර යාන්ත්‍රික සම්බන්ධයක් ඇති නිසා රථය ධාවනය නොවන අවස්ථා වලදී බැටරිය ආරෝපණය නොවීමයි. කෙසේ නමුත් විද්‍යුත් ප්‍රකර්ෂණ බලය පමණක් භාවිතයෙන් රථය ධාවනය වන අවස්තාවලදී හෝ බ්‍රේක් කිරීමේදී Regenerative Breaking මගින් බැටරිය ආරෝපණය වන අවස්ථාවේදී දනහ එන්ජිම ක්‍රියාවිරහිත කිරීම හෝ ක්ලචයක් මගින් විසන්ධි කිරීම සිදු වෙනවා.

    Parallel Hybrid පද්ධතියක භාවිත වන Operating Modes
    (මේ සඳහා fig.1 බලන්න)

    (a) Electric Power Only :- මෙහිදී සාමාන්‍යයෙන් 40 km/h පමණ වේගයක් දක්වා බැටරියේ ශක්තියෙන් පමණක් ක්‍රියාත්මක වන විද්‍යුත් මෝටරය මගින් රථය ධාවනය කෙරෙනවා. මේ අවස්ථාවේදී දහන එන්ජිම ක්‍රියාත්මක නොවන නිසා එමගින් බැටරිය ආරෝපණය වීමක් සිදුවන්නේ නැහැ. සාමාන්‍යයෙන් නගරබද ධාවනයේදී සහ Reverse කිරීමේදී මේ mode එක ක්‍රියාත්මක කෙරෙනවා.

    (b) ICE Power Only :- 40km/h ට වඩා වැඩි වේග වලදී දහන එන්ජිම ක්‍රියාත්මක වී සාමාන්‍ය රථයක ආකාරයට ධාවනය වෙනවා.
    ICE + Electric Power :- ත්වරණය කිරීම් වලදී හෝ ඉහල වේගයන් ලබාගැනීමේදී වැඩි බලයක් අවශ්‍ය අවස්ථා වලදී දහන එන්ජිම සමග සමාන්තරගතව විදුලි මෝටරයද ක්‍රියාත්මක වී වඩා වැඩි බලයක් ලබා දෙනවා.

    (c) ICE + Battery Charging :- රථය ධාවනයට අඩු බලයක් ප්‍රමාණවත් වන අවස්ථා වලදී එන්ජිමෙන් නිපදවෙන අමතර බලය බැටරිය ආරෝපණයට යොදාගැනෙනවා.

    (d) Regenerative Breaking :- බ්‍රේක් කිරීමේදී හෝ මන්දනයේදී(වේගය අඩු කිරීමේදී ) විදුලි මෝටරය ජෙනරේටරයක් ලෙස ක්‍රියා කරමින් රථයෙන් හානි වන චාලක ශක්තිය විද්‍යුත් ශක්තිය බවට හරවා බැටරි ආරෝපණයට යොදාගැනෙනවා
    Parallel Hybrid පද්ධති වල සමහර අවස්ථා වලදී අමතර ජෙනරේටරයක් භාවිත වෙනවා(Fig.2) මෙම ක්‍රමයේදී රථය ගමන් නොකරන අවස්ථා වලදීත් දහන එන්ජිම ක්‍රියාත්මක වෙමින්(එන්ජිම, සම්ප්‍රේෂණ පද්ධතියෙන් වෙන් කර ) ජෙනරේටරය මගින් බැටරි ආරෝපණය කෙරෙනවා. කෙසේ නමුත් පද්ධතියේ බර තරමක් වැඩි වීමත් නිශ්පාදන වියදම වැඩි වීමත් මෙම ක්‍රමයේ අවාසි වෙනවා.

    Parallel Hybrid ක්‍රමයේ වාසි=>
    (*) වාහන තදබදය අඩු නගරබද ධාවනයේදී සහ දුර ධාවනයේදී ඉහල කාර්යක්ෂමතාවයක් සහිත වීම.
    (*) විද්‍යුත් මෝටරයේ සහ දහන එන්ජිමේ ක්‍රියාකාරිත්වයන් අතර හුවමාරු වීම ඉහල නම්‍යශීලීත්වයක් සහිතව කල හැකි වීම.
    (*) Series Hybrid ක්‍රමයට සාපේක්ෂව ගත් විට, දහන එන්ජිමට වඩා අඩු බලයක් නිපදවන මෝටරයක් යෙදියහැකි වීම(මෝටරය එන්ජිම සමග එක්ව අවශ්‍ය බලය ලබාදෙන නිසා ) බොහෝ විට මෙහිදී භාවිත වන්නේ එක motor-generator ඒකකයකි.

    Parallel Hybrid ක්‍රමයේ අවාසි=>
    (*) සාපේක්ෂව තරමක් ස්ංකීර්ණ පද්ධතියක් වීම.
    (*) දහන එන්ජිම අඩු/නියත RPM පරාසයක ක්‍රියාත්මක නොවන නිසා අඩු වේග වලදී කාර්යක්ෂමතාවය අඩු වීම.

    Parallel Hybrid ක්‍රමය භාවිත වන රථ සඳහා උදාහරණ =>

    මේ වර්ගයේ රථ සඳයා හොඳම උදාහරණයක් වන්නේ ලංකාවේත් ගොඩක් ජනප්‍රිය උණ Honda Insight රථයයි. මෙම රථයේ Honda - IMA (Integrated Motor Assist) තාක්ෂණය භාවිත වෙනවා (ඉදිරියේදී මේ ගැන වෙනම ලිපියකින් වැඩිදුර විස්තර කෙරෙනවා ) මෙහිදී සාමාන්‍ය අභ්‍යන්තර දහන එන්ජිමක් CVT වර්ගයේ ට්‍රාන්ස්මිෂන් පද්ධතියක් සමග භාවිත කර ඇති අතර ෆ්ලයි වීලය වෙනුවට මෙහි Motor-Generator එක යොදාගෙන තිබෙනවා.
    මීට අමතරව Parallel Hybrid ක්‍රමය භාවිත වන රථ වලට තවත් උදාහරණ කිහිපයක් පහත දැක්වෙනවා.
    Honda Civic Hybrid (IMA)
    Honda Accord Hybrid (IMA)
    Honda FIt Hybrid (IMA)
    Chevrolet Malibu Hybrid
    General Motors Parallel Hybrid Truck (PHT)
    Aura Greenline


    © Anjana Ishan
    (14.02.2017)
     
    • Like
    Reactions: jeewantha05