මිනිසා සංසාරයේ ජීවත් වූ විවිධ ආත්ම භවයන්හි සිදු කළ කුසල කර්මයන්ගේ කුසල විපාක හේතුවෙන් නැවත මේ මිනිස් භවයේ ඉපිද සැප විඳිති. එසේ ම එම භවයන්හි දී සිදු කරන ලද බලවත් අකුසල කර්මයන්හි විපාක කර්මානුරූපව මතුවීම නිසා, සැප විඳීම යටපත් කොට විවිධ වූ ලෙඩ දුක් හා විවිධ වූ කරදර කම්කටොලු වලට ද භාජනය වී අනේක විධ දුක් විඳිති. එසේ සිදුවන්නේ විෂම ලෝභයත්, අනුන්ගේ සැප සම්පත් දැක උහුලාගනු බැරි ඊර්ෂ්‍යාවෙන් මතු වන ද්වේෂයත් නිසා, මෙතෙක් පූර්ව කුසල ශක්තීන් හේතු කොට සැප විඳිමින් සිටි සිත කිළුටු කැර ගැනීමෙන් ඒ පූර්ව කුසල විපාක ශක්තිය යටපත් වී පූර්ව අකුසල විපාක ශක්තීන් මතුවීම නිසා ය. මේ කාමාවචර වූ ලෝකයේ මිනිස් සිත පිනට දහමට යොමු කිරීම ගලන ගඟක ඉහළට පිහිනීම වැනි බාධා සහිත මහත් අපහසුතා මධ්‍යයේ බොහෝ වීර්යයෙන් කළ යුතු දෙයකි. ථීනමිද්ධය නම් වූ තීවරණ ධර්මතාවය නිසා පිනට දහමට යොමු වීම “අද බෑ හෙට කරනවා - අද වහින්න වගෙයි හෙට කරනවා - අපි තවමත් තරුණයි අද සැප විඳල වයසට ගියාම විශ්‍රාම ගියා ම දනට පිනට යොමු වෙනවා” යැයි කල් දමති. මාරයා සිනා සෙමින් මේ මී හරකා මඩට ම හැලට ම තල්ලු කරයි. මෝහය නමැති මුළාව, මෝඩකම හෙවත් නොදැනීම නමැති මිත්‍යා දෘෂ්ටියෙන් අන්ධ වීම නිසා විෂම ලෝභය හා ද්වේෂය මූලික වූ අකුසල් සිත් පහළ කැර ගැනීමෙන් මේ සුගතියක් වූ මිනිස් ජීවිතය අඳුරටම, දුකට ම පත් කැර ගනිති.
අනුන්ට ඊර්ෂ්‍යා කරන්නට ගොස් තරහව ද්වේෂය බලවත් වී අනුන්ට පාඩු කරන්නට, අපහාස කරන්නට පළි ගන්නට සිත - කය දෙක ම යොමු කිරීමෙන්, භාවිත කිරීමෙන්, නිරන්තර ගින්නකින් සිත දැවි දැවී දුක් විඳියි. එසේ සිත කිළුටුවීම නිසා කායිකව හෘදය වස්තුවේ පවතින අඩ පතක් පමණ වූ රුධිරය හෙවත් ලේ ධාතුව දුර්වර්ණ කැර ගැනීමෙන් ශාරීරික රෝගා බාධයන් වැළඳී දුක් විඳියි. ලෝභය හා ද්වේෂය යන අකුසල හේතු දෙක පිළිබඳව ධර්ම දේශකයන්ගෙත් හා ගුරු වරුන්ගෙත් ඇසීමෙන් ද, ධර්ම ග්‍රන්ථ හා ලිපි කියැවීමෙන් ද මෝහය යටපත් කැර සිත ඒ යහපත් ධර්මයන්ට යොමු කොට “කල්පනා කරන” නුවණ ඇත්තා හොඳ නරක හඳුනා ගනී.
ඔහු තමන්ට හැකි ප්‍රමාණයෙන් දන් දෙමින් තණ්හාව අඩු කැර ගනී. ද්වේෂය තමන්ගේ දැවීමට ම හේතු වන බව දැන අනුන් ගැන සිතීම අතහැර තමන්ගේ සුබසිද්ධිය ගැන සිතමින් කටයුතු කරයි. මේ ලෝභ - ද්වේෂ - මෝහ යන කෙලෙස් මුල් වලින් නැගෙන සිත දවන සිතුවිලි යටපත් කරන උපාය මාර්ගය වශයෙන් සිතට බාහිර අරමුණු මතු වන්නට ඉඩ නොදෙන, සිත එක අරමුණක රඳවා ගෙන මෙතෙක් සිතට පුරුදුව, ඇබ්බැහි වී තිබුණු අකුසල සිතුවිලි උත්සාහයෙන්, වීර්යයෙන් යටපත් කොට සිත සමාධි සුවයට පත් කරන භාවනාවෙන් ශාන්ත වූ පරම සුවයක් විඳියි.