What is an IP Address?
මේක තේරුම් ගන්න හරිම ලේසියි. හිතන්න ඔයාට යාළුවෙක්ට ලියුමක් යවන්න ඕන කියලා. ඔයා ලියුම ලිව්වා, කවරේ දැම්මා. හැබැයි ඒ කවරේ යාළුවාගේ නමයි, එයා ඉන්න ගෙදර ලිපිනයයි (Address) හරියට ලිව්වේ නැත්නම්, ඒ ලියුම කවදාවත් එයාට හම්බවෙන්නේ නෑ. තැපැල් සේවයට ඒක බෙදන්න විදියක් නෑ.
Networking වලදිත් වෙන්නේ ඒකමයි. Network එකකට සම්බන්ධ වෙන හැම computer එකකටම, හැම phone එකකටම, හැම device එකකටම අනන්‍ය වූ (Unique) අංකයක් තියෙන්න ඕන. අන්න ඒ අංකයට තමයි IP Address එකක් කියන්නේ. IP කියන්නේ Internet Protocol.
මේ IP Address එක හරියට ඔයාගේ phone number එක වගේ. කෙනෙක්ට ඔයාට කතා කරන්න නම්, එයා ඔයාගේ phone number එක දැනගෙන ඉන්න ඕන වගේම, Internet එකේ තියෙන server එකකට ඔයාගේ phone එකට website එකක් එවන්න නම්, ඒ server එක ඔයාගේ phone එකේ IP Address එක දැනගෙන ඉන්න ඕන.
සාමාන්‍යයෙන් අපි දකින IP Address එකක් ඉලක්කම් හතරේ කෑලි වලින් තමයි හැදිලා තියෙන්නේ. උදාහරණයක් විදියට 192.168.1.1 වගේ. මේ ඉලක්කම් වලින් network එකට කියනවා මේ device එක කවුද, සහ ඒක පිහිටලා තියෙන්නේ network එකේ කොතනද කියලා.
සරලවම කිව්වොත්, IP Address එකක් නැතුව කිසිම device එකකට network එකක් ඇතුළේ වැඩ කරන්න බෑ. මොකද IP Address එක නැතුව Data වලට යන්න එන්න පාරක් නෑ. ඔයා අන්තර්ජාලයට සම්බන්ධ වෙන හැම වෙලාවකම, ඔයාගේ service provider (Dialog/SLT) ඔයාට තාවකාලික IP Address එකක් ලබා දෙනවා.
හරි, අද අපි IP Address කියන්නේ මොකක්ද කියන මූලික දේ කතා කලා. හැබැයි මේ IP Address වල ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා. Private IP සහ Public IP කියලා. ගොඩක් අය මේ දෙක පටලවා ගන්නවා. ඊළඟ දවසේ අපි බලමු ඇත්තටම මොකක්ද මේ Private සහ Public IP වල වෙනස කියලා.
What is a Private IP Address?
කලින් දවසේ අපි IP Address කියන්නේ මොකක්ද කියලා කතා කලානේ. අද අපි ඒකේ ඇතුළට බැහැලා, අපි ගෙදරදි හරි ඔෆිස් එකේදි හරි හැම වෙලේම පාවිච්චි වෙන Private IP Address ගැන කතා කරමු.
සරලවම කිව්වොත්, Private IP එකක් කියන්නේ ඔයාගේ ගෙදර හරි, ඔෆිස් එකේ හරි තියෙන Network එක (LAN) ඇතුළේ විතරක් වලංගු වෙන, ඒ ඇතුළේ තියෙන ඩිවයිස් අඳුරගන්න පාවිච්චි කරන අංකයක්.
මේක තේරුම් ගන්න ලේසිම විදිය තමයි ලොකු ඔෆිස් එකක තියෙන ටෙලිෆෝන් සිස්ටම් එක ගැන හිතන එක.
ලොකු ආයතනයක මේසයක් ගානේ ටෙලිෆෝන් තිබුණට, ඒ හැමෝටම වෙන වෙනම පිටරටින් කෝල් ගන්න පුළුවන් නම්බර්ස් නෑ. ඒ වෙනුවට එයාලට තියෙන්නේ Extension Number එකක්. උදාහරණයකට 101, 102 වගේ. ඔෆිස් එක ඇතුළේ ඉන්න මැනේජර්ට, එකවුන්ට්ස් එකේ ඉන්න කෙනාට කතා කරන්න ඕන නම්, එයා ගහන්නේ අර 102 කියන පොඩි නම්බර් එක විතරයි. අන්න ඒ Extension Number එක තමයි Network එකකදී නම් Private IP එක කියන්නේ.
මේ Private IP එකේ තියෙන විශේෂම දේ තමයි, මේක අන්තර්ජාලය (Internet) ඇතුළේ වැඩ කරන්නේ නෑ. ඔයාගේ යාළුවෙක්ට පිටරට ඉඳන් ඔයාගේ Private IP එකට (උදා: 192.168.1.5) කතා කරන්න හරි data එවන්න හරි බෑ. මොකද ඒ අංකය වලංගු ඔයාගේ ගෙදර තාප්ප වලින් ඇතුළේ විතරයි.
මේකේ තියෙන ලොකුම වාසිය තමයි, මේ අංක නැවත නැවත පාවිච්චි කරන්න පුළුවන් වීම. දැන් හිතන්න, ඔයාගේ ගෙදර Network එකේ ඔයාගේ Phone එකට තියෙන්නේ 192.168.1.5 කියන IP එක. මගේ ගෙදර Network එකේ මගේ Phone එකට තියෙන්නෙත් 192.168.1.5 වෙන්න පුළුවන්. ඒකෙන් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නෑ. මොකද අපි ඉන්නේ වෙන වෙන Network දෙකක. හරියට වෙන වෙන ඔෆිස් දෙකක එකම 101 Extension එක තියෙනවා වගේ වැඩක්.
ඔයා කවදාහරි ඔයාගේ Phone එකේ හරි Laptop එකේ හරි settings වලට ගිහින් බැලුවොත්, ගොඩක් වෙලාවට ඔයාට දකින්න ලැබෙන්නේ 192.168... න් පටන් ගන්න, එහෙමත් නැත්නම් 10.0... න් පටන් ගන්න අංකයක්. අන්න ඒක තමයි ඔයාගේ Private IP එක.
ඊළඟ දවසේ අපි බලමු, අපිව ලෝකෙට අඳුන්වලා දෙන, අන්තර්ජාලයේ පාවිච්චි කරන Public IP එක ගැන.
What is a Public IP Address?
අපි සරල උදාහරණයකින් පටන් ගමු. ඔයාට කාටහරි ලියුමක් යවන්න ඕන නම්, එයාගේ නම විතරක් ලියුම් කවරේ ලිව්වට මදි. තැපැල් සේවයට ඒ ලියුම ගෙනියන්න නම්, අනිවාර්යයෙන්ම එයාගේ ගෙදර ලිපිනය (Address) ඕන වෙනවා. අන්න ඒ ලිපිනය මුළු රටේම කාටවත් නැති, එයාටම වෙන් වුණු එකක් වෙන්නත් ඕන.
අන්න ඒ වගේ දෙයක් තමයි Public IP Address එක කියන්නේ.
සරලවම කිව්වොත්, Public IP Address කියන්නේ අන්තර්ජාලය (Internet) ඇතුළේ ඔයාව හඳුනාගන්න තියෙන, මුළු ලෝකෙටම Unique වෙච්ච ලිපිනය.
කලින් අපි කතා කරපු Private IP එක (උදා: 192.168.1.1) අපිට ඕන විදියට හදාගන්න පුළුවන් වුණාට, මේ Public IP එක එහෙම හිතෙන හිතෙන විදියට දාගන්න බෑ. මේ ලිපිනය අපිට ලබා දෙන්නේ අපේ Internet Service Provider (ISP). ඒ කියන්නේ Dialog, SLT, Mobitel වගේ අය. අපි ඉන්ටර්නෙට් ගන්න සල්ලි ගෙවන්නේ මෙන්න මේ Public IP එකට කිව්වොත් හරි.
දැන් ඔයාට ප්‍රශ්නයක් එන්න පුළුවන්, "මගේ ගෙදර ෆෝන්, ලැප්ටොප් පහක් හයක් තිබ්බට, අපිට ISP එකෙන් දෙන්නේ එක Public IP එකයිනේ. එතකොට කොහොමද මේ ඔක්කොම ඒකෙන් ඉන්ටර්නෙට් යන්නේ?" කියලා.
එතනදි තමයි ඔයාගේ ගෙදර තියෙන Router එකේ එක වැඩ කරන්නේ.
ඒ කියන්නේ, ඔයාගේ phone එකෙන් www•google•com කියලා ගැහුවම, ඒ පණිවිඩේ ඔයාගේ Private IP එකෙන් Router එකට යනවා. Router එක ඒක අරගෙන, එයාගේ Public IP එක ඒකට ගහලා අන්තර්ජාලයට යවනවා. Google එකෙන් උත්තරේ එන්නේ Router එකේ Public IP එකට. ඊට පස්සේ Router එක ඒක ආයෙත් ඔයාගේ Phone එකට දෙනවා. ඒ නිසා අන්තර්ජාලයේ ඉන්න අයට කවදාවත් ඔයාගේ Phone එකේ තියෙන Private IP එක පේන්නේ නෑ. එයාලට පේන්නේ Router එකේ Public IP එක විතරයි.
මේ Public IP එකේ තියෙන වැදගත්ම දේ වගේම භයානකම දේ තමයි, මේකෙන් ඔයා ඉන්න තැන හොයාගන්න පුළුවන් වීම. හැම Public IP එකක්ම අයිති රටකට සහ ප්‍රදේශයකට. ඔයා මොකක්හරි වැරැද්දක් කළොත් පොලීසියට පුළුවන් ඒ Public IP එක කාටද අයිති කියලා ISP ගෙන් අහලා, හරියටම ඔයා ඉන්න ගෙදර හොයාගන්න. ඒ වගේම ඔයා වෙබ්සයිට් එකකට ගියාම, "ඔයා ඉන්නේ ශ්‍රී ලංකාවේ නේද?" කියලා පෙන්නන්නෙත් මේ Public IP එක නිසා.
ඉතින් සරලවම කිව්වොත්, Private IP එක ගෙදර කාමරේ නම්බර් එක නම්, Public IP එක කියන්නේ ගෙදර ලිපිනය. ඒක මුළු ලෝකෙටම පේනවා, ඒ වගේම ඒක ලෝකෙටම එකයි.
හරි, දැන් අපි IP Address වල වර්ග දෙක ගැනම දන්නවා.