
පාලමෙන් පල්ලෙහාට මිනිහෙක් පනිනවා.
පේනවනේ හෙවනැල්ල!
ඒක දිහා බලාගෙන යට ඉන්න මිනිහට කරන්න දෙයක් නෑ තමයි!
හැබැයි එයත් මේක ඇහින්දැකපු සාක්කි කාරයෙක්!
බොහොම ඉස්සර කාලෙක මගේ ඥාති වෙන තරුණයෙක් මිය යනවා. එතකොට මම සාමාන්‍ය පෙළවත් කරල නැති පොඩි කෙල්ලෙක්.
ඉතින් අපේ තාත්තා ඒ මළ ගෙදරට ගිහිල්ලා ඇවිල්ල කියනවා,
"නිශාන්ත කොහේ ගියාද කියල හොයා ගන්න බැරුව දවස් ගානක් ගත වෙලා අන්තිමට බාත්රූම් එකට එහා පැත්තේ කාමරෙන් ගඳක් ආවහම තමයි ගල්කිස්ස පොලිසිය ඇවිල්ල කාමරේ ලොක් කඩල මිනිය හොයාගෙන තියෙන්නෙ" කියලා...
තාත්තා මේවා කියන්නේ වැඩ ඇරිල ඇවිල්ල අම්මත් එක්ක...
අම්මා හූ මිටි දිදී අහගෙන ඉන්නවා මොකුත් කියන්නේ නෑ...
ඔන්න ඊ ගාව දවසේ තාත්තගේ කතාවේ ඉතිරි ටික,
"මම අදත් මල ගෙදර ගියා, නිශාන්තගේ ලියුම කියෙව්වා...
ඔයා දන්නවනේ නිශාන්ත civil engineer කෙනෙක්..
ඉගෙන ගත්තෙ මොරටුව කැම්පස් එකේ..
පවුලේ එකම දරුවා කාගෙන්වත් බැනුමක් අහන්නැතුව හැදුනෙ වැඩුනෙ!
හොඳට ඉගෙන ගත්තා, හොඳ තැනකට ගියා, රස්සාව හරියට කළා!
එක දවසක් නිශාන්තගේ ලොක්කාට තරහ ගිහිල්ලා ඉන්න වෙලාවක, ලියුමක මොකක්ද වැරැද්දක් තිබුණා කියලා, ඒ ලියුම අනිත් ඔෆිසස්ල ඉස්සරහ නිශාන්තගේ මූණට විසි කරලා කෑ ගහලා තියෙනවා!
'තමුසෙල එක එකාගේ පන්දම්වලින් ආවහම මෙහෙම තමයි, ලියුමක් හරියට ගහගන්න බෑ' කියලා..!
එදා ඉදල තමයි නිශාන්ත අතුරුදන් වෙන්නේ..!
නිශාන්තයේ ලියුමේ කියලා තියෙනවා, ඒ වගේ ලැජ්ජාවකට එයා එයාගෙ ජීවිතේ ම මූණ දීල නෑ, ජීවිත කාලෙම කිසිම වරදක් කාටවත් නොකරපු සුදුසුකම් වලට රස්සාවට ගිය එයාට, ඒක දරාගන්න බැරිවුණා කියලා..!
ඇත්තටම ඒක ඒ බොස්ට වෙන වැරදීමක්, ඒ වරද කරලා තියෙන්නේ නිශාන්ත නෙවෙයි!
අද නිශාන්තගේ ෆියුනරල් එකට එයාගෙ ඔය කියන බොස් ආවා..
කට්ටියම එපා කිව්වත් මම ඒ ලියුම අරගෙන ගිහිල්ලා ඒ මනුස්සයගේ අතට දුන්නා..!
එයා ටික වෙලාවක් ඒ ලියුම දිහා බලාගෙන ඉඳලා කිසිම කතාවක් නැතුව ලියුම මගේ අතට දීලා මගේ අත් දෙක තදින් අල්ලගෙන ඉඳලා පිටවෙලා ගියා..
එයාගේ ඇස් වලට තත්පරෙන් කඳුළු පිරෙනවා මම දැක්කා...!
ඒ මිනිහා ජීවිතකාලෙම මැරි මැරි උපදින්න ඕන මිනිහෙක්!"
තාත්තාගේ හඬ උස් වුණා!
"මට ප්‍රශ්නයක් තියෙනවා අහන්න."
අම්මා එක පාරටම කිව්වා..
"දවස් තුනක් යනකන් තමන්ගෙම ගෙදර ඒ දරුවා කාමරේක එල්ලිලා ඉන්නවා කියලා ඒ අම්මා තාත්තට පවුලේ අනෙක් අයට නොතේරුනේ ඇයි?
ඊළඟ ප්‍රශ්නය!
ඔයා ඒ ලියුම අර මනුස්සයාට දුන්නට පස්සේ එයා කොහෙද ගියේ කියලා ඔයා හොයලා බැලුවද?"
ඒකට තාත්තා දීපු උත්තරේ මට ඇහුනෙ නෑ! හැබැයි ඒ සංවාදය මට හොඳට මතක හිටියා!
ඔබේ එක බැල්මක් නිසා මිනිහෙක් මැරෙන්න පුළුවන්!
ඔබේ එක වචනයක් නිසා මිනිහෙක් ජීවිත කාලෙම විඳවන්න පුළුවන්!
මිනිස්සු මැරෙන එක දිවිනසා ගන්න එක ගැන නෙවෙයි..
මිනිස්සු "මරණ එවුන්" ගැන කතා කරන්න!
මිනිස්සුන්ව හදවතින් අවුරුදු ගාණක් තිස්සේ මැරෙන තැනට වැඩ සලසන උන් ගැන කතා කරන්න!
කාගෙහරි මරණයකදී ඔබ විත්ති කාරයෙක් නෙමෙයි කියලා ඔබ කියන්නේ කොහොමද?
ඔබට ඒක හොඳටම විශ්වාසද???
අසංවේදී මිනිස්සු කියන්නේ ඝාතකයෝ!
ඔබ ජීවත් වෙච්ච මේ මුළු කාලෙටම කාටවත් ඔබ ඒ ජාතියේ සීරියල් කිලර් කෙනෙක් උනේ නෑ කියල ඔබට හොඳටම ෂුවර්ද?
මේක හෙන බයානක ප්‍රශ්නයක්!
පුළුවන් නම් අවංකව උත්තර දෙන්න!...
ඔබ මිනිහෙක් මරල නෑ කියලා ඔබට ෂුවර්ද?
- Mayuri Liyanage -
මේක කියෙව්වම ටික කාලෙකට කලින් post කළ thread එකක් මතක් වුනා.
https://elakiri.com/threads/අපි-හැමෝම-බිඳෙන-සුළුයි.2054685/