Sexual Performance Anxiety

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,872
    3,198
    113
    ලිංගිකත්වය කියන්නේ මිනිසා ඇතුළු සත්ත්වයින් තුළ තිබෙන අවශ්‍යතාවයක්.

    මිනිස්සුන් ලිංගික ක්‍රියාකාරකම් වල නිරත වීමට හේතූන් දෙකක් තිබෙනවා. එකක් තමයි ප්‍රජනනය. ඒ කියන්නේ දරුවන් බිහිකිරීම සඳහා. අනෙක් කාරණය වින්දනය. ඒ කියන්නේ තෘප්තියක් ලබාගැනීම සඳහාත් ලිංගික ක්‍රියාකාරකම් වල මිනිසුන් නිරත වෙනවා.

    දෙදෙනෙකු අතර සබඳතාවයකදී සහකරු සහ සහකාරිය ලිංගික ක්‍රියාකාරකම් වලට පවතින යොමුවීම, ලිංගික ක්‍රියාකාරකම් වල නිරත වීම, සබඳතාවය කෙරෙහි බොහෝ සෙයින් බලපෑම් ඇතිකරනවා. සබඳතාවය ශක්තිමත්ව පැවතීමට දෙදෙනා අතර තිබෙන ලිංගික සබඳතාවයන් එක් හේතුවක් වෙනවා.
    දෙදෙනා අතර ගැටුම් ඇතිවීම, පවුල් ජීවිතය ගතකිරීමට අපහසු වීම, අනියම් සබඳතා ඇතිවීම, සහ අවසානයේ දික්කසාද වීම්ද දෙදෙනා අතර ලිංගික සබඳතාවයේ ගැටලු නිසා සිදුවෙනවා.
    ඇතැම් අවස්ථාවන් වලදී පිටතට වෙනත් ස්වරූපයෙන් පෙන්නුම් කරන ඇතැම් ගැටුම් වලට මූලික හේතුව ලෙස ලිංගික සබඳතා වල ගැටලු පැවතීම හේතුවක් වෙලා තියනවා.

    දෙදෙනෙකු අතර තිබෙන ලිංගික සබඳතාවයේ ගැටලු වලට, මනෝ උපදේශනය, මනෝ චිකිත්සනය, සහ අවශ්‍ය අවස්ථාවන් වලදී ඖෂධ ප්‍රතිකාර වැනි හොඳ විසඳුම්, ක්‍රියාමාර්ග තිබුණත් බොහෝ අය ඒවාට යොමුවන්නේ නැහැ. ඒවාට යොමු නොවීමට මූලිකම හේතුව තමයි ලැජ්ජාව. එලෙස යොමු නොවන නිසා ලිංගික සබඳතා වල ගැටලු නිසා එක් අයෙකු හෝ දෙදෙනාම පීඩා විදිමින් පසුව කාලයත් එක්ක මම කළින් සඳහන් කළා වගේ තවත් බොහෝ ගැටලු දෙදෙනා අතර ඇතිකරගන්නවා.

    ඉතින් අද ලිපියෙන් කතාකරන්නේ, සහකරු සහකාරිය අතර ලිංගික සබඳතාවයේදී ඇතිවෙන්න පුළුවන් එක් ගැටලුවක් ගැන. ඒ තමයි Sexual Performance Anxiety.

    ලිංගික ක්‍රියාකාරකම් වලට අවතීර්ණ වීමේදී හෝ සිදුකරන විටදී ඒ ගැන චකිතයක්, කනස්සල්ලක්, සහ යම් බියක් වැනි හැඟීමක් තමයි මෙහිදී ඇතිවන්නේ. ඒ කියන්නේ ලිංගික ක්‍රියාකාරකම් සිදුකිරීමට මානසික වශයෙන් පුද්ගලයා සූදානම් නැති තත්ත්වයක්.

    දෙදෙනා අතර ශාරීරික වශයෙන් ලිංගික ක්‍රියාකාරකම් සිදුකළාට ඊට මූලික වශයෙන් බලපාන දෙය තමයි මානසික තත්ත්වය. ලිංගික ක්‍රියාකාරකම් සිදුකිරීමට මානසිකව සූදානම් නැතිනම්, ශාරීරික වශයෙන් නිසිලෙස එහි නිරත වෙන්න බැහැ.
    ඉතින් මේ sexual performance anxiety නිසා සිදුවන්නේ දෙදෙනා අතර නිසි ලිංගික සබඳතාවයක් ගොඩනගාගන්න නොහැකි වෙනවා. ඒ තුළින් දෙදෙනාට නිසි සතුටක් ලබාගන්න නොහැකි වෙනවා.

    දැන් මම සඳහන් කරන්නම්, Sexual performance anxiety තත්ත්වයේ පෙන්නුම් කරන ලක්ෂණ මොනවාද කියලා.

    ⁃ ලිංගික ක්‍රියාකාරකම් වලට උනන්දුවක් නොමැතිකම
    ⁃ දෙදෙනා අතර ලිංගික සබඳතාවය අරම්භ කිරීමට අපහසු වීම
    ⁃ අනුගත වීමට නොහැකි බව
    ⁃ නොසන්සුන් බවක් ඇතිවීම
    ⁃ කනස්සල්ලක් ඇතිවීම
    ⁃ යම් බියක් දැනීම
    ⁃ උද්දීපනය වීමට අපහසු වීම
    ⁃ සුරාන්තයට පත්වීමට අපහසු වීම
    ⁃ පුරුෂයන් හට ශිෂ්ණය ප්‍රාණවත් කරගැනීමට සහ එය පවත්වාගැනීමට අපහසු වීම
    ⁃ ඔවුන්ගෙන් නොමේරු ශුක්‍රාණු පිටවීම
    ⁃ කාන්තාවන්ගේ යෝනි මාර්ගය වියළි වීම
    ⁃ ලිංගිකව එකතු වන විට ඔවුන්ට වේදනාවක් ඇතිවීම

    Sexual performance anxiety ඇතිවීමට විවිධ හේතූන් බලපාන්න පුලුවන්. අපි බලමු මොනවාද ඒ කියලා.

    ⁃ තමන්ගෙ ශරීරය ගැන ස්වයං ගැටලු හිතේ තිබීම. ( මහත වැඩියි, කෙට්ටු වැඩියි, ලස්සන නැහැ, ආකර්ෂණීය නැහැ, ලිංගික අවයව වල ප්‍රමාණය ගැන ගැටලු, වගේ දේවල්)
    ⁃ දුර්වල ආත්ම අභිමානය සහ දුර්වල ආත්ම අවබෝධය
    ⁃ සහකරු සහකාරිය අතර චිත්තවේගීය ගැටලු. ( අකමැති කෙනෙක් සමඟ විවාහවී සිටීම, දෙදෙනා අතර නිතර ගැටුම් තිබීම, විශ්වාස බිඳවටීම්)
    ⁃ Depression, Anxiety වැනි තත්ත්වයන් තිබීම
    ⁃ ලිංගික ක්‍රියාවන් පිළිබඳව අවබෝධයක් නොමැතිකම
    ⁃ දැඩි ආතතිය (රැකියාවේ ප්‍රශ්න, ආර්ථික ගැටලු ඇතුළු විවිධ සමාජීය සහ පාරිසරික ගැටලු නිසා ඇතිවන මානසික පීඩනය)
    ⁃ මීට පෙර හිංසන හෝ වෙනත් ඍණාත්මක ලිංගික අත්දැකීම් වලට මුහුණපා තිබීම
    ⁃ ලිංගික දර්ශන (pornography) කෙරෙහි අධික නැඹුරුව
    ⁃ වැරදි වැටහීම් සහ වැරදි විශ්වාසයන්. (ලිංගික තෘප්තිය ලැබීම පාපයක්, තමන්ට අනිත් කෙනාව සතුටු කරන්න බැහැ, තමන් ලිංගිකමය වශයෙන් දුර්වල කෙනෙක් වගේ දේවල් මත කටයුතු කිරීම)

    එවැනි හේතූන් මේ sexual performance anxiety ඇතිවීම කෙරෙහි බලපාන්න පුලුවන්.
    අපි දැන් බලමු මෙවැනි තත්ත්වයක ලක්ෂණ තිබෙනවා නම් මොනවාද කරන්න පුලුවන් දේවල් කියලා.

    ⁃ තමන්ගෙ විරුද්ධ ලිංගිකයා සමඟ විවෘතව තමන්ගෙ තත්ත්වය ගැන කතාකරන්න.
    ⁃ තමන්ගෙ දුර්වලතාවය හොඳින් තේරුම් අරගන්න. ඉන් පසුව එය මඟහරවා ගන්න, ජීවිතයට බාධාකාරී නොවන තත්ත්වයට පත් කරගන්න මොනවාද කරන්න පුලුවන් දේවල් ගැන හිතන්න.
    ⁃ දැඩි ආතතියකින් නම් එදිනෙදා ගෙවන්නේ, ඒවාට ඉක්මනින් නිසි විසඳුම් ලබාගන්න කටයුතු කරන්න
    ⁃ නිවැරදි විශ්වාසයයක්, නිවැරදි අවබෝධයක් ලැබෙන තෙක් ලිංගික ක්‍රියාකාරකම් වලට යොමුවෙන්න එපා.(විශේෂයෙන්ම පාසල් වයසේදී ලිංගික ක්‍රියාකාරකම් කිසිසේත්ම සුදුසු නැහැ.)
    ⁃ තමන්ට තනිවම හෝ දෙදෙනාට එකතුව අවබෝධයෙන් නිරාකරණය කරගැනීමට නොහැකි තත්ත්වයක නම් තිබෙන්නේ හොඳම විසඳුම තමයි මනෝ උපදේශන සහය ලබාගන්න එක.

    අවසාන වශයෙන්, යම් ලිංගික ගැටලුකාරී තත්ත්වයක් නිසා ඔබ සහ ඔබේ සහකරු/ සහකාරිය යම් පීඩනයකින් ඉන්නවා නම් දෙදෙනා අතර නිතර නිතර ගැටුම් ඇතිවීමට එය හේතුවක් වීමට නොදී, බිය වීමට හෝ ලැජ්ජාවට හේතුවක් කරගන්නේ නැතිව නිසි ක්‍රියාමාර්ග වෙත යොමුවීම සිදුකරන්න.