ඇමෙරිකාවේ රැඳී සිටීමට වීසා තිබුණත් ග්‍රීන් කාඩ් නොමැතිව රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 06 දෙනෙක් එරටින් පිටුවහල් කර 28 දින අලුයම ඇමෙරිකානු විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබිණි.
ඔවුන් යාපනය, පමුණුගම, පේදුරුතුඩුව, ඩෙල්ෆ් යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති. ඔවුන් 28 දින අලුයම 12.00 ට ඇමෙරිකාවේ සිට ඕ.ඒ.ඊ.-4013 දරන එරටට අයත් විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබූ අතර එම ගුවන් යානය තුළ මෙම ශ්‍රී ලාංකිකයන් 06 දෙනා සමග තවත් විවිධ රටවල එරටින් පිටුවහල් කළ 162ක් සිට තිබේ. මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දීමෙන් පසුව එම ගුවන් යානය නේපාලයේ කත්මණ්ඩු නුවර වෙත පිටත්ව ගොස් තිබේ.
ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති මත මෙසේ එරට රැඳී සිටින විදේශිකයන් පිටුවහල් කිරීම සිදු කර ඇති අතර මෙසේ පිටුවහල් කර සිටි එක් ශ්‍රී ලාංකිකයෙකුගේ බිරිඳ සහ මෑතකදී ඇය විසින් ප්‍රසූත කර ඇති කුඩා දරුවා තවදුරටත් ඇමෙරිකාවේ රැඳී සිටින බව කටුනායක ගුවන් තොටුපොළේදී ආරක්ෂක අංශ සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
මෙසේ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් භාර ගත් මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී තුබූ අතර එහිදී ඔවුන් මෙරට තුළ කිසිදු අපරාධ ඉතිහාසයකට සම්බන්ධ නොවූ අය බව අනාවරණය වීමෙන් අනතුරුව 28 දින දහවල් නිදහස් කර යවා තිබේ