2021 වසරේ දෙසැම්බර් මාසයේ 21 වන දින අභ්‍යවකාශ ගත කරන්නට යෙදුණු James Webb අභ්‍යවකාශ දුරේක්ශය නිවැරදි ලෙස නාභිගත කිරීමේ කාර්යය මේ වනවිට නාසා ආයතනය ආරම්භ කර තිබෙනවා. ඇමරිකාවේ Maryland හි Greenbelt නගරයේ පිහිටා ඇති නාසා ආයතනය අනුබද්ධිත Goddard අභ්‍යවකාශ පියාසැරි මධ්‍යස්ථානයේ කටයුතු කරන, මෙහෙයුම් බාර ඉන්ජිනේරුවන් විසින් දුරේක්ශයේ ප්‍රධාන තල දර්පණය නිවැරදි ලෙස නාභිගත කිරීමේ කාර්යයට උපකාර වන "actuators" නමින් හදුන්වන කුඩා මෝටර ක්‍රියා කරවීමට අවශ්‍ය විධානයන් එය වෙත යැවීම මේ වනවිටත් ආරම්භ කර තිබෙනවා.
ෂඩස්‍රාකාර කොටස් 18 කින් සමන්විත වූ රන් ආලේපිත බෙරලියම් (beryllium) ලෝහ පුවරු මත ඇති ප්‍රධාන දර්පණය මීටර 6.5 (අඩි 21 අගල් 4)ක පමණ වටප්‍රමාණයකින් යුක්ත වන අතර වසර 30 ක් පැරණි හබල් දුරේක්ශයේ තිබූ ආලෝකය එක්රැස් කරගන්නා පෘෂ්ඨයට වඩා විශාල වපසරියක ආලෝකය එක්රැස් කරගැනීමට හැකි පෘෂ්ඨයක් මෙම James Webb අභ්‍යවකාශ දුරේක්ශයට පවතී.දුරේක්ශයේ ඇති ප්‍රමාණයෙන් කුඩාවන, දිවිතීයික දර්පණයේ කාර්යය වනුයේ ප්‍රධාන දර්පණයෙන් එක් රැස් කරගන්නා සෘජු ආලෝකය James Webb අභ්‍යවකාශ දුරේක්ශයේ ඇති කැමරාවට හා අනෙකුත් උපාංගවලට ලබාදීමයි.
මෙම සම්පූර්ණ ක්‍රියාවලිය අවසන් කරගැනීමට මාස 3 ක පමණ කාලයක් ගතවේයැයි ගණන් බලා ඇති අතර එලෙස බලාපොරොත්තු වූ ආකාරයෙන් කටයුතු සිදුවුවහොත් James Webb අභ්‍යවකාශ දුරේක්ශය භාවිතා කර ලබා ගන්නා පළමු ඡායාරූපය මේ වසරේ මැයි මාසය වන විට ලබාගත හැකිවේයැයි මෙහෙයුම් භාර විශේෂඥයින් විසින් විශ්වාසය පළ කර තිබෙනවා. හබල් දුරේක්ශයට වඩා 100 ගුණයකින් බලවත් හා ඩොලර් බිලියන 9 ක වටිනාකමකින් යුතු වූ James Webb අභ්‍යවකාශ දුරේක්ශය අනාගතයේදී විශ්වයේ රහස් සොයායන තාරකා විද්යාඥයන් වෙනුවෙන් මහාර්ඝ සේවයක් කරනු නොඅනුමානය.
Last edited: