පලමුව මම වැන්ද බුදුන් සිහි කරගෙන ඒ ගුණකඳ
දෙවනුව සද්ධර්මෙ උතුම් මුදුනත් කර මෙන්න වැන්ද
තෙවනුව මහ සංඝ රත්නෙ වැඳ සුරන්ට පින් දී සොඳ
කියනව අපි නෙයිනගෙ සූදුව කවියෙන් කර ප්‍රබන්ධ
කිරෙන් සපිරි අපෙ ලක් දිව අසුවුනි ඉංග්‍රිසි රජුන්ට
කෙලින් ඉන්න නොදී අපට බලේ ගත්ත ඔවුන් අතට
පිටින් ආව හම්බහෙට්ටි හැත්ත පිරුන කොළොම් පුරට
ඔවුන් අතර හිටිය නෛයින තම්බි කියල කෙනෙක් යසට
සොදින් මසන් ගත් හන්දියෙ නෛයින උන්නු ගෙයි විස්තර
නගින්න එහි තට්‍ටු හතයි යටටත් ඒ තරම් විතර
තදින්ම සූදුව එතනයි නිලධාරිත් ඇවිත් නිතර
පනින්න බෑ අල්ලන්නට ආන්ඩුවත් බයයි මිතුර
මෙකලා වීරයෙක් උනා කොතලාවල කියා සොඳට
සිතලා වැඩ කරන එකම ජෝන් නමින් පුර සිද්දෙට
ලැබිලා ගුරු තනතුරකුත් පසුව ගියා රේල්ලුවට
එකලා ඔහු කල දස්කම් කියනව මම පෙලින් පෙලට
අල්ලස් දී පොලීසියට කෙස්ගස් හන්දියේ ජයට
නෛන තම්බි සූදු කෙලිය කාටත් බෑ අල්ලන්නට
ආණ්ඩුවත් සතුටුවෙලා රජෙක් වගේ උන්නු මැතිට
සාජන් මේජර් කෙරුවා කොටහේනේ පොලීසියට
එක්ක ගොසින් පොලිස් බටයො දොලොස් දෙනෙක් මරදානට
ඉක්මන් කර කම්බ සරොන් පිට ලේන්සු දී අදින්න
සල්ලි දීල ඔවුන් අතට යන්න කිවුව සූදු පොලට
ඊට පස්සෙ සිද්ද වෙච්ච දේ පුදුමයි අහන් ඉන්න
ඇඳගෙන සුදු වේට්ටියක් ජටාවකුත් බැඳ හිස් වට
ගාගෙන තුන් හූරු ටිකක් දෙමළ හෙට්ටියෙක් විලසට
අරගත්තා බෑග් එකක් නෝට්‍ටු කොල දැම්ම ඊට
නැග ගත්තා රික්ශෝවට අපෙ මැතිඳා යයි විගහට
දකිමින් මේ හෙට්ටි අයියා නෛන සලම් දැම්ම හොඳට
එන්න කාරියම් වන්ඳකු තංගලි සොල්ලුම් ගෝමුට
ආවන්ගදු විලයාර්තු තාපන් කාරු ඔන්දුකිත්ත
ඔන්න ඉතින් වාව කියල එක්ක ගියා ගේ අතුලට
තට්‍ටු හතක් නැග්ග කලට නෛනගෙ ඒ සූදු පොලට
ගොනෙක් වගේ එළුවෙක් විත් පැන්නයි මතිඳුට අනින්න
බාසෙන් කිවුවා නෛනා එළුව ගියා දුන්නු අනට
දැනගෙන මේ රහස් සියලු මැතිඳා යයි ඔට්‍ටු පොලට
බලන්න පුදුමයි මහතුනි නෛනගෙ ඒ සූදු පිටිය
එතනට චන්ඩියා තමයි සේද වත්තෙ ජොන් ගොයිය
දිනන්න අත ගත්තු ගමන් මැතිඳට ඔහු ඔරව හිටිය
කොහෙන් ආපු දෙමළකුදැයි කියල ජෝන් නැගිට සිටිය
කුට්ටම හා සල්ලි මුදල් අරගෙන මැතිඳා එමවිට
ඇතුන් මැදට වන් කෙසරෙක් සින්හ නාද කරන ලෙසට
දැනගල්ලා මෙතන ඉන්න කොතලාවල කියුව කලට
තනියෙන්මයි අල්ල ගත්තෙ විස්සක් අත් අඩංගුවට
පැන්න කලට චන්ඩි ජෝන් පිහියක් අරගෙන අනින්න
දුන්න මැතිඳ පයින් එකක් බිඋ රන් කිරි කටින් එන්න
ඉන්න හිටින්නත් බැරි වුනි මල මුත්තර පිටවු කලට
ඔන්න එවිට ආව එළුව පැනගෙන මැතිඳර අනින්න
කාගෙන් බේරුනත් බැරිය එළුවාගෙන් මාරුවෙන්න
වේගෙන් පැන්නා මැතිඳා ඒ උනාට ඉදිරි පිටට
උඹද මිතුරෙ හතර ගාතෙ චන්ඩිය කියමින් මෙතනට
දුන්නා වම් පයින් එකක් පස්ස ගාතෙ කැඩිල යන්න
ඉතින් අම්මෙ ඉඳල මොටද කියල නෛන පැන විගහට
අතින් පයින් නෙමයි ඔන්න කානු හතයි පිස්තෝලෙට
ගනින් මේක කියුව නමුත් පත්තු නොවිනි මැතිඳු පිනට
මුනින් වැටුනි නෛන තම්බි මතිඳ දුන්නු මරු පහරට
නෛනට රුපියල් දාහයි දහය බැගින් අනිත් අයට
ගෙවුවයි දඩ බොහෝ දෙනෙක් බැරි වුනි තව හත් දෙනෙකුට
හැත්තෑවක් ගෙවල මතිඳ ගත්ත ඔවුන් හැම එලියට
ඇත්තයි අපි මල් පුදන්න ඕන මෙහම වීරයින්ට
එක්ක ඇවිත් ඒ හත් දෙන කෙහෙල්වත්තෙ පිට්ටනියට
පියෙක් ලෙසට ඔවදන් දී දුසිතයෙන් වලකින්නට
දෙකක් පාර බැගින් දුන්න මිතුරනි එය මතක් වෙන්න
කොතෙක් රිදුන නමුත් ඔවුන් මැතිඳට වැඳ ගියයි යන්න
එතුමා කල දස්කම් නම් එක කටකට බැහැ කියන්න
හැමදාමත් මතක් වෙන්න ඉතිහාසෙත් තියෙයි හොඳට
හිටියානම් අද වෙනතුරු වැඩ කරනව ලංකාවට
එතුමා සුරපුර වැඩ්යේ අපේ තියන අහේතුවට