පූජා, සත්කාර කිරීමේ වටිනාකම ගැන පොඩි වුනත් දිග කථාවකින් වැඩේ පටන් ගමු ........
බුද්ධ කාලෙදි විශාලා මහනුවර කියන්නේ බොහොම සමෘද්ධිමත් නගරයක්. ලිච්ඡිවීන් තමයි පාලනය ගෙන ගියේ. ඔවුන් සප්ත අපරහාණීය ධර්මයන්ට අනුව රට පාලනය කල නිසා සමෘද්ධිමත් භාවයේ උපරිමය ඔවුන්ට තිබුනා. මේ රටේ මිනිස්සුත් බොහොම සන්තෝශයෙන් ජීවත් වුනේ. කොහොම වුනත් පැණිවරකා ගහටත් හෙණ ගහනවා වගේ මේ විශාලා මහනුවරටත් මහා ප්‍රශ්නයක් ඇති වුනා.
බත, බුලතින් ආඩ්‍ය වෙලා තිබ්බ මේ නුවර සාගතයක් ඇති වෙලා කෑම නැති වෙන්න ගත්තා. ඉතින් මුලින්ම මැරුනේ දුප්පත් මිනිස්සු. මේ අයව දාන්න තැන් තිබ්බෙත් නෑ. ඉතින් මහ මග පවා මිණී ගොඩ ගැහිලා තිබුනා. මේ මළකුණු වල පණුවො ඇතිවෙලා ගඳ උහුලන්න බැරි තත්වෙට පත් වුනා. මේ මිණීකුණු ගඳත් එක්ක යක්කු මේ නුවරට ඇතුල් වුනා. ඒ එක්කම පෙරටත් වඩා මිනිස්සු මැරෙන්න පටන් ගත්තා. ඒ වගේම මළමිණී වලින් පිටවුන විෂබීජ නිසා නුවර වැසියන්ට ලෙඩ රෝගත් ඇතිවුනා. මේ විදියට අපි කවුරුත් අහලා තියෙන තුන් බිය විශාලා මහනුවරට ඇති වුනා.
ඉතින් සමහරු වෙනත් රටවලට පැනලා ගියා. මිනිස්සුන්ට කර ගන්න දෙයක් නැති වුනා. ඉතිරි වුන මිනිස්සු ඒ කාලෙදි රජකම් කරන ලිච්ඡවි රජ්ජුරුවන්ට මේ ගැන කන්නලව් කලා. රජු තමුන්ගේ පුරෝහිතයින්ගෙන් මේකට කරන්න ඕනා ප්‍රතිකර්ම ගැන විමසුවා. මේ අය කියන්න යෙදුනා ධර්මිෂ්ට රජ්ජුරුවො ඉන්නවානම් මේ වගේ ප්‍රශ්නයක් වෙන්නේ නෑ කියලා. ඉතින් රජ්ජුරවො නුවර ඉන්න මිනිස්සු රැස් කරවලා තමුන්ගේ මොනවා හරි වැරැද්දක් තියේදැයි විමසුවා. මිනිස්සු රජුගේ ගැන විමසලා අවසානයේ තීරණය කලා කිසිම දෝෂයක් නැති බව. ඉන් පස්සෙ එක එක උපක්‍රම ගැන සාකච්ඡා කලා තමුන්ට ඇති ප්‍රශ්නෙ විසඳගන්න. කෙනෙක් කියනවා බිලිපූජා කලාම හරි කියලා. තව කෙනෙක් කියනවා යාග හෝම කරන්න ඕනා කියලා. මේ වගේ නොයෙකුත් උපක්‍රමයන් සාකච්ඡා වුනා. සාකච්ඡා කලා විතරක් නෙමෙයි අවසානයේ මේ දේවල් සිදු කරා. නමුත් තුන් බිය නැති වුනේ නෑ.
ඉන් පස්සේ සමහරු යෝජනා කලා ෂඩ් ශාස්තෘවරුන්ව ගෙන්නමු කියලා. හේතුව වුනේ ඒ අය මහා බලවත් සැලකූ නිසා ඒ අය වැඩියොත් භය සන්සිඳෙයි කියලා. ඉන් පසු මේ අයවත් ගෙන්නුවා, නමුත් පලක් වුනේ නෑ. අවසානයේ එක මනුෂ්‍යයෙක් තමුන්ට දැනෙන තරමින් බුදුන්ගේ ගුණ කියලා කියනවා මේ භය සන්සිඳුවන්න පුළුවන් වෙන්නේ උන්වහන්සේට විතරයි කියලා. එතකොට ඒ කථාව විශ්වාස කරලා මිනිස්සු අහනවා දැන් කෝ බුදුහාමුදුරුවො කියලා. ඒ වෙලාවේ බුදුහාමුදුරුවො වැඩ සිටින්නේ වේළුවනාරාමයේ. ඉතින් රජතුමා පණිවිඩකරුවො යවනවා බිම්බිසාර රජ්ජුරුවන්ට අපිට මෙහෙම ප්‍රශ්ණයක් වෙලා බව කියලා බුදුන්ව වඩමවන්න කියලා. මේ පණිවිඩේ අරන් යන්නේ මහාලී ලිච්ඡවි රජු. මේ රජ්ජුරුවො සෝවාන් ආර්ය ශ්‍රාවකයෙක් බවත් මෙහිදී කියන්න ඕනා. මේ ඇත්තට දේශනා කරන්න යෙදුන සූත්‍ර දකින්න පුළුවන් ත්‍රිපිටකයේ. ඉතින් මේ දූත පිරිස බිම්බිසාර රජුගෙන් ඉල්ලීම කලාම රජ්ජුරුවො කියනවා මගේ නුවර වැඩ සිටින බුදුන්ට මම එහෙම කියන එක යුක්තිසහගත නැ, ඒ නිසා ඔබලාම ආරාධනා කරන්න කියලා. ඒ අනුව දූත පිරිස බුදුහාමුදුරුවො මුණ ගැහිලා විස්තරේ කියලා ආරාධනා කරනවා විශාලාවට වඩින්න කියලා.
මේ වෙලාවෙදි බුදුහාමුදුරුවො අනාගතය සලකා බලලා තීරණය කරනවා විශාලාවට වඩින්න. විශාලාවෙදී උන්වහන්සේ විසින් දේශනා කරන රතන සූත්‍රය බුද්ධාඥාවක් විදියට කෙළ ලක්ෂයක් සක්වළ පැතිර සිටින බවත් සූත්‍රය දෙසා අවසන් වෙද්දී සුවාසූ දහසක් සත්වයෝ නිවන් දකින බවත් තුන්බිය සන්සිඳෙන බවත් උන්වහන්සේ දැක්කා.
බුදුහාමුදුරුවො විශාලාවට වඩින්න තීරණය කල බව දැනගත්තම බිමිබිසාර රජ්ජුරුවො මිනිස්සුන්ට කියනවා පාර සරහන්න කියලා. ඒ වගේම තමන්ම ගිහින් බුදුහාමුදුරුවො මුණ ගැහිලා මේ ගැන විමසලා ඉල්ලා සිටිනවා පාර සරසනතෙක් නොවඩින්න කියලා. ඉතින් රජ්ජුරුවොන්ගේ ආඥාවෙන් රජගහ නුවරයි ගඟයි අතර දුර පාර සමතලා කරලා අවසන් වෙලා විශාලා නුවරට වඩින්න ආරාධනා කලා. බුදුහාමුදුරුවොත් තමුන්ගේ පිරිවර පන්සියයක් භික්ෂූන් සමග වැඩම කරන්න යෙදුනා.
බිම්බිසාර රජු බුදුපිරිස වඩින පාරේ ගවු හතරෙන් හතරට විහාර හදලා දනක් පමණ එරෙන තරම් මල් අතුරලා පාට පහෙන් කොඩි පාර දෙපැත්තේ එල්ලලා තොරන් හදලා, බුදුහාමුදුරුවන්ට එක කුඩයක් උඩින් තව කුඩයක් තියෙන විදියට කුඩ දෙකකුත් අන් භික්ෂූන්ට කුඩ පන්සියයකුත් වන විදියට ලැහැස්ති කරලා මහා සත්කාර කරමින් සෙනෙග පිරිවරාගෙන දවස් පහක් තිස්සේ සංග්‍රහ කරමින් ගං තොටුපලට වැඩෙම්මෙව්වා. එතැනින් ලිච්ඡවීන්ට දැන්වූවා ගඟේ ඉඳන් නුවරට වඩම්මවා ගන්න කියලා.
මේක අහපු ලිච්ඡිවි රජ්ජුරුවො තනි රජෙක් ඔය විදියට කලානම් 7707 දෙනෙක්ට කොයි තරම් සරසන්න පුළුවන්ද, අපි ඔයිට වඩා සරසලා සංග්‍රහ කරමින් බුදුන් වඩම්මනවා කියලා තීරණය කරලා විශාලා නුවරට ගඟේ ඉඳන් යන පාර සමතලා කරලා කොඩි වලින් සරසලා බුදුහාමුදුරුවන්ට කුඩ හතරකුත් අනෙකුත් භික්ෂූන්ට කුඩ දෙක ගාණෙ (එක පිට එක හිටින විදියට) ලැහැස්ති කලා. ඉන් පස්සෙ සෙනග ලැහැස්ති කරන් පෙරහැරකින් ඇවිත් ගං තෙර හිටියා.
බිම්බිසාර රජ්ජුරුවො අඟුල් දෙකක් එකට බැඳලා අඟුළු උඩ මණ්ඩපයක් හදලා මල් මාලා වලින් සරසලා බුදුහාමුදුරුවන්ට වැඩ සිටින්න සත්රුවනින් පුටුවක් ලෑස්ති කලා. බුදුහාමුදුරුවො ඒ මත්තේ අසුන් ගත්තා. අනෙකුත් භික්ෂුන් වහන්සේලාත් අඟුලට නැගලා බුදුහාමුදුරුවො වටේ වැඩි සිටියා. බිම්බිසාර රජු කරවටක් යනකම් දියේ පසුපස ගමන් කරලා ස්වාමීනි ඔබ වහන්සේ ආපසු වඩනා තෙක් මෙහිම නැවතී සිටින බව බුදුහාමුදුරුවන්ට ප්‍රකාශ කලා.