Sinhalayage Hinamanaya - සිංහලයාගේ හීනමානය
2003 සැප්තැම්බර් මස ස්විඩනයේ ස්ටොක්හෝම් නගරයේ පැවැති ජාත්‍යන්තර තරුණ සමුළුවකට සහභාගී වීමට මට අවස්ථාව ලැබිණි. මගේ පැමිණීම දැනගත් එරට වසන ශ්‍රී ලාංකිකයෝ ඔවුන් ඇමතීමට ද මට ඇරයුම් කළහ. එම දේශනය අවසානයේ ප්‍රශ්න ඇසීමට මම අවස්ථාවක් ලබා දුන්නෙමි. සිංහල කාන්තාවක් විවාහ කරගත් ස්විඩන ජාතිකයෙක් ද මේ අතර සිටියේය. ඔහු මගෙන් අපූරු ප්‍රශ්නයක් ඇසීය. ඔහු ඇසුවේ සිංහලයින් දෙදනෙකු කතා කරන විටත් සිංහලෙන් කතා නොකර ඉංග්‍රීසියෙන් කතා කරන්නේ ඇයිද යන්නයි. මෙම ප්‍රශ්නයට එදා මා දුන් පිළිතුර මට දැන් මතක නැත. නමුත් එම ප්රශ්නය තවමත් නොවිසඳී ඇති හෙයින් වසර දහයකට පසුව හෝ අපි ඒ ප්‍රශ්නයට පිළිතුරු සොයමු.
ස්වීඩනයේ දී පමණක් නොව ලංකාවේ දී පවා ඉංග්‍රීසි උගත් සිංහලයින් දෙදනෙකු හමු වූ විට දොඩමළු වන්නේ ඉංග්‍රීසි බසිනි. එමෙන්ම තරු පහේ හෝටලයකට ආහාර ගැනීමට ගිය විට අපේ දුඹුරු සම දකිමින් සේවකයින් අප අමතන්නේ ඉංග්‍රීසි බසිනි. මෙය ලංකාවට ආවේණික තත්වයකි. යුරෝපය, ආසියාව, අප්‍රිකාව හෝ ලතින් ඇමෙරිකාවේ කිසිම රටක දක්නට නොමැති සුවිශේෂි ප්රවණතාවයකි. මෙම තත්වය හේතුවෙන් සිංහල සමාජයේ ඉංග්‍රීසි භීතිකාවක් (Anglophobia) මෙන්ම ඉංග්‍රීසි උන්මාදයක් ද (Anglomania) හට ගෙන තිබේ.
ලංකාව ඉංග්‍රීසි යටත්විජිතයක්ව තිබුණු හෙයින් මෙම උන්මාදය බිහි වී ඇතැයි සමහරෙක් පවසති. ලෝකය පුරා පමණක් නොව සමස්ත දකුණු ආසියාවේම ඉංග්‍රීසි යටත්විජිත තිබිණි. පකිස්තානුවෝ හමු වූ විට දොඩමළු වන්නේ උර්දු බසින් මිස ඉංග්‍රීසියෙන් නොවේ. බංගලිදේශයේ තරු පහේ හෝටල් බස බෙංගාලිය. තමිල්නාඩුවේ හැර ඉන්දියාවේ අන් සෑම ප්‍රාන්තයකම ජනතාව සිය තරාතිරම කුමක් වුවත් හින්දි බසින් කතාබස් කරති. මා දන්නා තරමින් මෙම පුරුද්ද තිබෙන්නේ ලංකාවේ පමණකි.
හලාල්කරණය පිළිබඳ මගේ දෙසුමකට සවන් දුන් සරසවි ඇදුරුතුමියක් අපූරු ප්‍රශ්නයක් ඇසීය. ඒ ලංකාවේ මුස්ලිම් ජනතාව සිංහලයින් විවාහ කර ගත් නමුත් දෙමළ බස මව්බස ළෙස වහරන්නේ ඇයි ද යන්නයි. ප්‍රවීණ මාධ්‍යවේදී ඒ එස් එම් අයුබ් මහතා ලියූ “මුසල්මානුවා සහ බිරියන් සිව්දෙනා“ නමැති පොතේ තමන් ජීවත් වන රටේ ප්‍රධාන බස සිය මව්බස කර නොගත් එකම මුස්ලිම් ජන කොටස සිටින්නේ ලංකාවේ බැව් පවසයි. එයට මුස්ලිම් ජනතාවට දොස් නගා ඵලක් නැත. සිංහලයින්ටත් සිංහල නොවටී නම් මුස්ලිම් අයට එය කෙසේ වටින්නද?
නාම පුවරුවක එක් ඉංග්‍රීසි අකුරක් වැරදී තිබුණොත් එය පෙන්වා දීමට කවුරුත් ඉදිරිපත් වෙති. නමුත් සිංහල උවමනාවෙන්ම වරද්දයි. ඒ සිංහල බස නොහැකිවීම ආඩම්බරයට කරුණක් වී තිබෙන බැවිනි. ජාත්‍යන්තර පාසල් වල ඉගෙන ගන්නා සිය දරුවන්ට සිංහල බස නොහැකි බව මව්පියන් පවසන්නේ ඉමහත් ආඩම්බරයෙනි. සමහරෙක් නිවසට මිතුරන් පැමිණෙන විට හෝ සාද පැවැත්වෙන විට සිය දෙමව්පියන් වේලාසන නිදා ගැනීමට යොමු කරති. නැතහොත් කාමරයකට කොටු කරති. ඒ සිය දෙමව්පියන්ට ඉංග්‍රීසි බස නොහැකි බව හෙළි වෙතියි ලැජ්ජාවෙනි.
සිංහල බස අමතක වීම බොහෝවිට විදේශගත වී සිට පැමිණෙන අයට වැළඳෙන රෝගයකි. ඔවුන් කතා කරන්නේ කැඩුණු සිංහලෙනි. සමහරු උපාධි ලබා ගැනීම සඳහා චීනය, රුසියාව සහ ජපානය වැනි ඉංග්‍රීසි බස භාවිතා නොකරන රටවලට යති. නැවත පැමිණෙන විට ඔවුන්ට සිංහල බස අමතක වුවත් ඉංග්‍රීසි බස නම් පෙරටත් වඩා හොඳින් කතා කරති.
ඇත්තෙන්ම බොහෝ දෙනෙක් කුමන බසින් කතා කරතත් සිතන්නේ සිය මව්බසිනි. එබැවින් විසි වසරක් පමණ උගත් බස වසර කිහිපයකින් අමතක වීමට නොහැක. ඔවුන් සිංහල බස නොහැකි බව පෙන්වන්නේ තමන්ට වැදගත්කමක් ආරූඨ කර ගැනීමේ අටියෙනි. මේ පිළිබඳ අපූරු සිදුවීමක් මා මතකයේ ඇත. අප පාසල් යන සමයේ ඒඑෆ්එස් නමින් සිසුන් හුවමාරු වැඩපිලිවෙලක් තිබුණි. ඒ අනුව අපේ පාසලේ සිසුන් කැනඩාව, ඔස්ට්‍රේලියාව සහ ජපානය වැනි රටවල පාසලක වසරක් ඉගෙන ගත් අතර ඒ රටේ සිසුන් අපේ පාසලේ වසරක් ඉගෙන ගන්නා ලදී.
මා උගත් ඩී ඇස් සේනානායක විදුහලේ මගේ ශ්‍රේණියේ මිතුරෙක් එසේ වසරක් ඔස්ට්‍රේලියාවේ ගත කර නැවත පාසලට පැමිණියේය. ඔහුට සිංහල වචනයක්වත් මතක තිබුණේ නැත. ඔහු සියළු දෙනා සමග අමුතු උරුවකට ඉංග්‍රිසි බසින් කතා කරයි. බස දන්නෝ ඔහුට පිළිතුරු දෙන විට නොදන්නෝ ඔහු යමක් අසත් යැයි බියෙන් සැඟවුණහ. ඔහුගේ මේ අධිරංගනය මුලින්ම හාස්‍යයටත් පසුව කළකිරීමකට සහ කෝපයකටත් පෙරළිණි. කාගේත් සීමාව පැන්නේ කොස්ස පෙන්වමින් ඉංග්‍රිසි බසින් මේ උපකරණය කුමක්දැයි විමසූ විටයි. එක් අයෙක් ගුරු මේසයට එලා තිබුණු රෙද්ද ගෙන එය ඔහුගේ හිසට දැමීය. තවත් පිරිසක් කිසිවක් නොපෙනෙන ඔහුට තරගයට ටොකු ඇන්නෝය. මුලින්ම ඔහු “මේ මොන විකාරයක් ද?“ “වහාම නතර නොකළොත් මම පොලීසිය ගෙන්වනවා“ වැනි වැකි ඉංග්‍රීසි බසින් පැවසීය. ක්‍රමයෙන් ටොකු ඇනීම වේගවත් විය. ඒ සමගම ඔහු කෑ ගැසුවේ “බුදු අම්මෝ! මාව බේරා ගනියෝ!“ යැයි පවසමිනි. කවුරුත් සිනාසෙමින් ටොකු ඇනීම නැවැත්වූහ. සිංහල බැරිබැරියාවට ඇති එකම බෙහෙත ටොකු කසාය බැව් එදා ඔහුට පැවසුවේ නිශාන්ත ගරුසිංහය.
අපේ රටේ සිංහල බැරිවීම ආඩම්බරයටත් ඉංග්‍රීසි බැරිවීම ලැජ්ජාවටත් කරුණකි. එබැවින් ඉංග්‍රීසි බස වරදමින් කතා කිරීමට අප අකැමතිය. එබැවින් ඉංග්‍රීසි දන්නා අය ද වරදිතියි යන සැකයෙන් ඉංග්‍රීසි බස හැසිරවීමට මැලි කමක් දක්වති. අරාබියට, කොරියාවට හෝ ජපානයට යන අපි මාස කිහිපයකින් ඒ රටේ භාෂාව ඉගෙන ගත්තත් වසර දහතුනක් පාසලේ ඉගෙනීමෙන් පසුත් ඉංග්‍රීසි බස හැසිරවීමට නොහැකි වී ඇත්තේ වරදිතියි යන බිය හේතුවෙනි. ඒ අනුව පෙනෙන්නේ අපේ තරුණ පරපුරට ඉංග්‍රීසි ඉගෙන ගැනීමට ලොකුම බාධාව වී ඇත්තේ ඉංග්‍රීසි බස අපේ සමාජයේ වැජඹෙන තත්වයකින් පසු වීමයි. ඉංග්‍රීසි පුළුවන්වීම ආඩම්බරයටත් එය නොහැකි වීම ලැජ්ජාවටත් හේතුවක් විය යුත්තේ ඇයිදැයි මට තේරුම් ගැනීමට දුෂ්කරය.
ඉංග්‍රීසි ලොව තිබෙන අතාර්කික සහ අවිධිමත්ම භාෂාවන්ගෙන් එකකි. Put පුට් යනුවෙන් ශබ්ද කරන විට but බුට් නොවී බට් වන්නේ මෙම අතාර්කික බව හේතුවෙනි. ඉංග්‍රිසි බසේ ස්වරාක්ෂර (vowels) ඇත්තේ පහක් පමණි. එබැවින් එක ස්වරාක්ෂරයක් ශබ්ද ගණනාවක් නියෝජනය කරයි. එමෙන්ම එක ශබ්දයක් සඳහා ස්වරාක්ෂකර කිහිපයක් ද භාවිතා කෙරේ. එබැවින් ඉංග්‍රීසි බස පිළිබඳ මහචාර්යවරයෙකුට වුවත් යම් වචනයක් ශබ්ද කරන ආකාරය හෝ ලියන ආකාරය වැරදිය හැක.
සිංහල බස එසේ නොවේ. සිංහල හෝඩිය දන්නා ඕනෑම අයෙකුට ඕනෑම වචනයක් තේරුම නොදැන සිටියත් කිසිම අපහසුවකින් තොරව උච්චාරණය කළ හැක. එමෙන්ම ලොව පැරණිතම සජීවි බස් අතරට සිංහල ද අයත් බව බොහෝ දෙනෙක් නොදන්නා කරුණකි.
වාරි තාක්ෂණය, කෘෂිකර්මය, වෙදකම, බුදු දහම, වාස්තු විද්‍යාව, යකඩ කර්මාන්තය සහ ලාක්ෂා කර්මාන්තය වැනි ක්ෂේත්රයන්හි මහ දැනුම් සම්භාරයක් සිංහල බස සමග ගොනු වී තිබේ. සිංහල බස මරා දැමීමෙන් සිදු වන්නේ එම දැනුම් පද්ධතින් ද බස සමග විනාශ වීමයි. රාවණා යුගයේ සිට වසර දහස් ගණනක් පුරා ගොනු වුණු මහ දැනුම් සම්භාරයක් ඒ සමගම මිනිස් සංහිතියට අහිමි වනු ඇත. ඔටුවා විස්තර කිරීමට පොහොසත්ම බස වන්නේ අරාබිය. එමෙන්ම ඇස්කිමෝවරුන්ගේ බස හිම විස්තර කිරීමට ඇති පොහොසත්ම බස විය යුතුය. එසේම අපේ දැනුම විස්තර කිරීමට ඇති පොහොසත්ම බස සිංහලයි. එයට එක් නිදසුනක් වන්නේ තම්බනවා, නටවනවා, කැකෑරනවා ආදි සිංහල වෙදකමේ එන විවිධ ආකාරයේ ජලය උණු කිරීම් සඳහා ඉංග්‍රීසි බසේ ඇත්තේ boiling පමණය. එබැවින් සිංහල වෙදකම අපේ බසින් මිස ඉංග්‍රීසි බසින් විස්තර කිරීම දුෂ්කරය.
පසුගිය සමයේ ලංකාවේ දැවැන්ත බොදු පිබිදීමක් දක්නට ලැබිණි. එමෙන්ම සිංහල බස පිළිබඳ ද පිබිදීමක් ඇති කිරීමට දැන් කාලය එළැඹ තිබේ. එසේ නොකළොත් නුදුරු අනාගතයේ දීම ලොව සුමටම බසක් මහ දැනුම් සම්භාරයක් සමග අතුරුදහන් වීමේ අවදානමක් ඇත. ඉංග්‍රීසි වැජඹෙන ස්ථානයට සිංහල බස ඔසවා තැබුවොත් එය සිංහල බස රැක ගැනීමට පමණක් නොව බමුණු කුලය අයිතිය කියා පාන ඉංග්‍රීසි බස සාමාන්‍ය ජනතාව අතරට ගෙන යෑමට ද හේතුවක් වනු ඇත.
උදය ගම්මන්පිල
සිංහලයාගේ හීනමානය

Last edited: