එක්දින වැඩ වර්ජන ඉතිහාසයේ අසාර්ථකම වැඩ වර්ජනය
වර්ජනය අසාර්ථක කරලීමට ජනතාව දුන් සහයට රජයේ ප්‍රසාදය
ලාල්කාන්තගේ නරිවාදන් රෙද්ද පල්ලෙන් බේරේ
මුළු රටම වැඩ සේවක පැමිණීම 93.5%
ජනතාව ජනාධිපතිතුමා සහ රජය සමඟ බව පෙන්වූවා
රජයේ සංවර්ධන වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමේ අරමුණින් හා රට තුළ අනවශ්‍ය භීතියක් ඇති කර රටේ ස්ථාවරභාවයට හානි කිරීම සඳහා ඇතැම් රාජ්‍ය විරෝධී කණ්ඩායම් හා රාජ්‍ය නොවන සංවිධාන විසින් ඊයේ (21දා) ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරන ලද වැඩ වර්ජනය එක්දින වැඩවර්ජන ඉතිහාසයේ අසාර්ථකම වැඩ වර්ජනය ලෙස ඉතිහාසගත වනු ඇත.
රාජ්‍ය හා පෞද්ගලික සෑම සේවකයෙකුම තමන්ගේ වගකීම ඉටුකරමින් වෙනදාටත් වැඩි උනන්දුවකින් තමන්ගේ කාර්යාල හා වැඩපළවල් වෙත වාර්තා කර තිබුණි. එය සාමාන්‍ය දිනකට වඩා පැමිණීමේ වැඩි ප්රතිශතයකි. එනම් සාමාන්‍ය පරිදි රජයේ සේවකයින්ගේ පැමිණීම 90% ක් වුවද එය අද දින 93.5% දක්වා වර්ධනයක් පෙන්නුම් කර ඇති බව රජය පවසයි.
රජය විසින් ගොවි, ධීවර, වතු ආශ්රිත ජන කොට්ඨාශවල ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීමට ගත් පියවරවල් ජනතාවට අමතක නොමැති බව මෙම වැඩ වර්ජනයේ අසාර්ථකවීම තුළින් පෙන්නුම් කෙරේ. තවද වර්ජකයින් දහස් ගණන් තලා පෙළා රැකියාවලින් නෙරපා දැමු යුගය වැඩ කරන ජනතාවට අමතක වී නොමැති බැව්ද මෙයින් පැහැදිලි වනු ඇත.
පාසල්, රෝහල්, වැඩ බිම් සාමාන්‍ය පරිදි ඊයේ (21) දින ක්‍රියාත්මක වූ අතර ප්‍රවාහන සේවය ද සාමාන්‍ය පරිදි රට තුළ ධාවනය කිරීමට කටයුතු කෙරිණි. පටු දේශපාලන වුවමනාකම් හා බලපෑම් වලට යට නොවී ඊයේ දින ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරන ලද වැඩ වර්ජනය අසාර්ථක කරලීමට සමස්ත වැඩකරන ජනතාව ලබාදුන් සහයෝගය රජය පැසැසුමට ලක් කරයි.