ගෑස් ද එහෙනම් පරිස්සමෙන්
අද වන විට බොහෝ නිවෙස් තුළ ඉවුම් පිහුම් කටයුතු සඳහා ප‍්‍රධාන ඉන්ධනය ලෙස භාවිතා කරන්නේ එල්.පී. ගෑස්ය. එහෙත් ගෑස් ආශ‍්‍රිතව බිහිසුණු අනතුරු රැසක් මේ වනවිටත් සිදුවී හමාරයි. මෙම අනතුරුවලට ප‍්‍රධාන හේතුවක් ලෙස දැක්විය හැක්කේ ඒවා පරිහරණය කරන්නන්ගේ නො දැනුවත්භාවයයි. ආරක්ෂිතව ගෑස් භාවිත කරන්නේ කෙසේද යන්න අතිශයින් වැදගත් වූවකි.පළමුවෙන්ම ගෑස් සිලින්ඩරයක් මිලදී ගැනීමේදී එය වගකිවයුතු ස්ථානයකින් ලබා ගන්න. එහිදී ගෑස් ගඳක් හෝ කාන්දු වීමක් හෝ තිබේදැයි මනාව පරීක්ෂා කර බලන්න. එසේම නිසි ප‍්‍රමිතියකින් යුතු ගෑස් උදුන්, රෙගියුලේටර් සහ හෝස් භාවිතා කරන්න. එමෙන්ම ඒවා නියමිත කාල පරිච්ඡේදය ඉක්මවූ විට මාරු කිරීමටද වග බලාගත යුතුය. සාමාන්‍යයෙන් රෙගියුලේටරයක් අවුරුදු පහකට වතාවක්වත්ද හෝස් එකක් අවුරුදු දෙකකට වතාවකවත්ද මාරු කරන්න.එමෙන්ම ගෑස් සිලින්ඩරයක් ආරක්ෂිතව ගබඩා කිරීමද අවශ්‍යවේ. ඒ අනුව ගෑස් සිලින්ඩරයක් සිරස් අතට ගබඩා කළ යුතු වේ. තවද නිසි පරිදි වාතාශ‍්‍ර ලැබෙන, ගිනි හෝ ගිනි පුලිඟු හට ගන්නා ස්ථානවලින් දුරස්ව, හදිසි අවස්ථාවක දී ඉවත් කර ගත හැකි වන පරිදි අවහිරවලින් තොර වූ ස්ථානයක තැබීමට වගබලා ගන්න.
තවද ගෑස් සිලින්ඩරයක් භාවිත කිරීමේදී නො කළ යුතු දෙවල් වන්නේ. සිලින්ඩරය පාවිච්චි කිරීමට සූදානමක් නැතිව මුද්‍රාව ගැලවීම, පොළොව මට්ටමට පහළින් හෝ කාණු අසල හෝ බේස්මන්ට්වල ගෑස් සිලින්ඩර ගබඩා කිරීම, සිලින්ඩර එහා මෙහා කිරීමේ දී ඒවා රෝල් කිරීම හෝ බිම අත හැරීම.මෙහිදී අදාළ උපාංග පාවිච්චි කරන ආකාරය මෙන් ම ඒවා නිරන්තරව පරීක්ෂාවට ලක් කිරීමද වැදගත්. රෙගියුලේටරයට සහ උදුනට හෝස් එක සවිකර ක්ලිප් යොදා තද කළ යුතුයි. රෙගියුලේටරයේ හා හෝස් බටයේ ගෙවීම්, පළුදුවීම් සහ කාන්දුවීම් තිබේදැයි පරීක්ෂා කළ යුතුවේ. එමෙන්ම උදුනද නිරතුරුවම පරීක්ෂාවට ලක් කළ යුතුවේ. පිරුණු ගෑස් සිලින්ඩරයකට රෙගියුලේටරය සවිකිරීමේදී සැලකිය යුතු කරුණු කීපයකි. එනම් සිලින්ඩරය පොළොව මට්ටමේ තබන්න. උදුන එයට වඩා ඉහළින් රැඳවිය යුතුය. ගෑස් උදුන නිවා දමා තිබිය යුතුය. රෙගියුලේටරය නිවා දමා තිබිය යුතුය. අවට ගින්දර හෝ ගිනි පුලිඟු නිකුත්වන විදුලි උපකරණ නොතිබිය යුතුය. රෙගියුලේටරය "ක්ලික්" හඬක් නැගෙන තුරු සිලින්ඩරයේ වෑල්වය මතට තද කරන්න. රෙගියුලේටරය නිසි පරිදි සිලින්ඩරය සවි නො කර පහ කිරීමට උත්සාහ නො කරන්න. සිලින්ඩර සම්බන්ධතාවෙන් ගෑස් කාන්දුවන ගඳක් හෝ ශබ්දයක් නැති බව පිරික්සන්න.
ගෑස් භාවිත කර කෑම පිසිනවිටදී දොර ජනෙල් විවෘතව තැබීමට අමතක නොකරන්න, ගෑස් උපරිම අයුරින් ප‍්‍රයෝජන ගැනීමට නම් උදුනෙන් නිල් දැල්ලක් නිකුත් විය යුතුයි. කහ දැල්ලක් නිකුත් වුවහොත් ගෑස්වලින් උපරිම ප‍්‍රයෝජන ලබාගත නොහැකිය. එවැනි අවස්ථාවකදී ගෑස් උදුන අලුත්වැඩියා කරගත යුතුවේ. ස්වයංකී‍්‍රය නොවන ගෑස් උදුනක් දැල්වීමේ නිවැරැදි ක‍්‍රමය දැන සිටීම අත්‍යවශ්‍යවේ. එහිදී රබර් හෝස් බටය උදුනෙහි මතුපිට නොගෑවෙන බවට වග බලා ගන්න. ගිනිකූරක් දල්වන්න. ගිනි සිල බර්නරයට ළං කරන්න. උදුනෙහි වෑල්වය පහ කරන්න. ගෑස් සිලින්ඩරයක් පාවිච්චි නොකරන විටදී රෙගියුලේටරය සිලින්ඩර වෑල්වයෙන් ඉවත් නොකර එය කි‍්‍රයාවිරහිත කළ යුතුයි.සිලින්ඩරයෙන් ගෑස් ගඳක් හෝ කාන්දු වන ශබ්දයක් දැනුනොත් පහත පරිදි කි‍්‍රයා කළ යුතු වේ. දැල්වෙන ගින්දර සියල්ල නිවා දමන්න. කිසිදු විදුලි උපකරණයක් හෝ ස්වීචයක් කි‍්‍රයාත්මක කිරීමෙන් සහ දුරකථනය පාවිච්චි කිරීමෙන් වළකින්න. හැකිනම් ප‍්‍රධාන ස්වීචය කි‍්‍රයාවිරහිත කරන්න. වාතාශ‍්‍රය ලබාදීම සඳහා දොර ජනෙල් මුළුමනින් ම විවෘත කරන්න. ගෑස් කාන්දුවක් ඇත්දැයි දැන ගැනීමට රෙගියුලේටරය හෝස් බටය සහ උදුනෙහි සවි කිරීම් පිරික්සන්න. කාන්දුව සිදුවුණහොත් ගෑස් සමේ නොගෑවෙන ලෙස ගෑස් කාන්දු වෙන්නේ හෝස් බටයෙන් හෝ උදුනෙන් නම් රෙගියුලේටරයේ ඇති ස්වීචය කි‍්‍රයාවිරහිත කරන්න. කාන්දුව සිදුවන්නේ රෙගියුලේටරයෙන් හෝ වෑල්වයෙන් නම් එය ඉවත් කර කළු පැහැති වැස්මෙන් ආවරණය කරන්න. ගොඩනැඟිල්ලෙන් පිටත හොඳ වාතාශ‍්‍රායක් ඇති තැනකට සිලින්ඩරය ගෙන යන්න.ගෑස් අලෙවි නියෝජිතයාගේ සහාය ලබා ගන්න. කාන්දුව ගෑස් උදුනේ හෝ වෙනත් උපාංගවල හේතුවෙන් සිදු වන්නේ නම් පුහුණු කාර්මිකයකුගේ සහාය ලබාගන්න.මෙහි දී නො කළ යුතු දෑද ඇත. එනම්; නුසුදුසු ආයුධ, යකඩ ඇණ, ඉස්කුරුප්පු නියන් ආදිය උපයෝගී කරගෙන සිලින්ඩර වෑල්වයේ කාන්දුවීමේ අලුත්වැඩියා කරන්නට උත්සාහ කිරීම. මෙයින් සිලින්ඩර වෑල්වයට හානි සිදුවිය හැකිය. ගෑස් කාන්දුවීම් වැළැක්වීම සඳහා නිසි පිළියම් යෙදීමට පෙර ගෑස් සිලින්ඩරය යළි සම්බන්ධ කිරීම.ගෘහස්ත පාවිච්චිය සඳහා නිෂ්පාදනය කර ඇති ගෑස් සිලින්ඩර වාහන සඳහා භාවිත නො කළ යුතු වේ. එවැනි භාවිතයන් ඉතාමත් අනතුරුදායකය.
අන්තර්ජාලය ඇසුරෙනි