17 කොටස.
අප කළින් KM සහ මගේ හඳහන් ගැලපු නිසා අපට තිබුණේ engagement එකට දිනයක් දා ගැනීම පමණි. එනිසා අපි තැන කිහිපයකට ගියෙමු. ඔවුන් සුභ යැයි කියා දවස් කිහිපයක් දුන්නේය. ඉන් පසු මවු වරුන් දෙදෙනා එක්වී මෙය කළ යුතු ආකාරය පිළිබඳ කථා කර ගනී. ඒ අතර KM ඇයට ගැලපෙන සාරියක් ගෙන උත්සවයට ලෑස්ති විය. KM ලාගේ ගෙවල් ආසන්නයේද හඳහන් බලන කෙනෙක් සිටියි. යොදාගත් දින ලන්වනවත් සමඟ අපගේ මව කිවේ තව හොඳ දිනයක් තිබෙනවාදැයි දැනගැනීමට KM ගේ ගෙවල් ආසන්නයේ ඇති තැනිනුත් බළමු යැයි කියාය. එනිසා එතනටත් ගොස් හඳහන් බැලවිය. නමුත් සිදු වූයේ අපි කවුරුත් නොසිතු දෙයකි. ඔහු කිවේ මෙය දැන්ම කරන්න එපාය කියාය. මට මේ දවස් වල තිබෙන්නේ කේතුය, මේ පවු පළදෙන කාලයයි කියා ඔහු කිවේය. එයත් සමඟ මගේ මව මෙයට පස්ස ගසන්නට විය. නමුත් KM සාරිත් ගෙන engagement එකට ලෑස්ති වි සිටියි. එනිසා KM දිගින් දිගටම කිවේ පටන් ගත්ත එක ඉවරයක් කරමුයි කියාය. එක්කෙනෙකු හැරෙන්නට අනිත් සියලු දෙනා කීවේ මෙය සිදු කළාට කමක් නැහැයි කියාය. නමුත් මව සිතුවේ KM ට උවමනා කෙසේ හෝ බැඳ ගැනීමට පමණක් කියාය. මට මෙය සිදු කිරීමට ගෙදරට බල කළ නොහැක. ඒ වන විට මට degree එකක් හෝ රැකියාවක් තිබුණේ නැත. මා යැපුණේ ගෙදරිනි. ගෙවල් වල කැමැත්තෙන් මෙය සිදු කරනවා ඇරෙන්නට මට බලෙන් මගේ වුවමනාවට කර ගත නොහැක. එහෙත් මම පුළුවන් තරම් මවට කීවෙමි. KM ඉතා අසාවෙන් සාරි ගෙන මෙයට ලෑස්ති වුනාය. මා මවට කිවේ මෙය විවාහය නොවන නිසාත් engage එක පමණක් නිසාත් මෙය සිදු කරමුයි කියාය. එත් මව මට බැන වැදුනාය. "ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නැත" යයි පරණ කතාවක් කියා තිබෙන්නේ කට කසනවට නොවේය. අපි එක තැනකින වෙලාව බලා මෙය කළානම් මෙලහට සියල්ල හොඳින් සිදු වී අවසන් විය හැක. නමුත් හොඳම වෙලාව සොයා ගැනීමට තැන් දෙක තුනකින් බැලීමට යාම නිසා හොඳම වෙලාව කෙසේ වෙතත් තිබුණු වෙලාවත් නැති විය.
KM ලස්සන සරියක්ද ගෙන engagement එකට ලෑස්ති විය. එය නැවතීමත් සමඟ අහල පහල කට්ටිය ඇයට විහිලු කරන්නට එක එක කථා කියන්නට පටන් ගත්තේය. නමුත් ඇය ඒ සියල්ල මා වෙනුවෙන් ඉවසා සිටියාය. විටෙක "බදින්න හොඳ නැහැ කිව්වා නේද?" කියා කෙනෙක් අසයි. "වෙලාව ගැලපෙන්නේ නැහැ කිව්වාද?" තව කෙනෙක් අසයි. මෙනිසා ඇයට සිදුවුයේ බලවත් ලැජ්ජාවකි. පිරිමි අපට මෙය නොතේරුණත් විවාහය යනු ගැහැණු ළමයෙක්ගේ වටිනාම දවසයි. එය නැවතීම ඉරිසියා කාරයන්ට හොඳ ආරංචියක් විය. මෙය අහල පහල සියලු දෙනා දැනගැනීමට වැඩි කලක් ගත වුනේ නැත. දකින දකින සියළු දෙනා ඇයගෙන් මේ පිළිබඳව අසන්නට විය. එනිසා ඇය සිටියේ බලවත් මානසික පිඩනයකිනි. ඇය හඬමින් දුක තුනී කරගන්නට තැත් කළාය. ඇය නිතර කිවේ "මොකක්ද කවී මේ උනේ? මම කොච්චර ආසාවෙන්ද හිටියේ engage එක කරන්න. අනේ මගේ හිත හදන්න කවී..." කියාය. ඇය සිටිනා තත්ත්වය මට තේරුම් ගැනීමට හැකිය. ඇය මා වෙනුවෙන් කෙතරම් දේ කළාද. එහෙත් මට කරන්නට ඉතිරිව ඇත්තේ ඇයගේ සිත හැදීම පමණි. මෙයට අපේ නිවසින් උදව් ලැබුනේ නැත. ඉන් පසු මව කිවේ ලොකුවට ගන්න ඕන නැහැ නිකන් කච්චේරියේ අස්සන් කරලා එනවනම් කරමුයි කියාය. එයට KM කැමති වුයේ නැත. "අපි හොරෙන් පැනල ගිය ය නෙවේනේ කවී එහෙම කරන්න" යැයි KM කීවාය. ඇය කියන දේද සැබෑවය. ඇයට උවමනා වූයේ මෙය ලස්සනට කරන්නයි. මෙය කරන්නේ ජිවිතයේ එක් වතාවක් පමණි. එනිසා හොරු දෙන්නෙක් වගේ නිකන්ම ගිහින් පොතේ අස්සන් කරලා එන්න KM කැමති වුයේ නැත. නමුත් උත්සවයක් ගෙන කරනවාට මව කැමති නැත. මේ පිළිබඳව අම්මා අයියාටද කීවාය. ඔහු මගෙන් ඇසුවේ ස්ථිර රැකියාවකුත් නැතුව ඕව කරල කොහොමද? කියාය. අඩුගානේ degree එකක්වත් නැහැ. ඔහේ ඉඳල හරියන්නේ නැහැ. මෙහෙ ඇවිත් job එකක් කරලා සල්ලි ඉතුරු කරන ගමන් degree එකකුත් කරන්න. ඊට පස්සේ හොඳ hotel එකක wedding එක ගන්නත් පුළුවන් කියා තව දුරටත් ඔහු කිවේය. ඒ කතාවෙත් අත්තක් ඇත. මම දැනට යැපෙන්නේ ගෙදරිනි. ඔහු කී විදිහට කළානම් වැඩේ සාර්ථකය. එනම් වැඩ දෙක තුනම එක වර කරගත හැක. ඒ වන විට මගේ යහළුවන්ද UK ගොස් තිබිණ. ඔවුන් job කරන අතර ඉගෙනිමද කරන්නේය. එනිසා KM ගේ සහ මගේ අනාගතය වෙනුවෙන් UK යාමට මම තීරණය කළෙමි. KM මුලින් කැමති උනේ නැතත් පසුව අප දෙදෙනා වෙනුවෙන් අකමැත්තෙන් හෝ ඇය කැමති විය.
මේ වන විට මම SLIIT එකේ දෙවැනි අවුරුද්දත් complete කර තිබුනෙමි. ඉන් පසු අපි UK ගමනට සුදානම් විය. විස්තර සොයද්දී දැනගන්නට ලැබුණේ degree එකක් තිබෙන කෙනෙකුට තවත් degree එකක් සඳහා UK යෑමට අවසර නොදෙන බවයි. යනවනම් යා යුත්තේ Masters වලටය. එයට මහා වියදමක් යයි. එනිසා එකම විකල්පය වුයේ දැනට කරන degree එක නැවත UK Visa apply කිරීමය. එයට IELTS වුවමනා විය. එනිසා මස 3ක් ඇතුලත එම විභාගය කිරීමට මට සිදු විය. එබැවින් මා බොරලැස්ගමුවේ ගුරුවරියක් ලඟට පංති ගියෙමි. මේ සියල්ල කරන අතර අයියා තව හොඳ වැඩක් කළේය. එනම් KM ගැන වැරදි ආකල්ප මවගේ හිසට දැමිය. KM මට ආදරයක් තිබේනම් මට හොඳ නැහැ කියද්දීම මාව බැඳගන්න හදයිද කියා අයියා නිතරම මවගෙන් ඇසුවේය. දිනක් KM ගේ පියාගේ කකුලේ අමාරුවක් නිසා රෝහල් ගත කිරීමට සිදු විය. එදින අපි සියලු දෙනා රෝහලට ගියෙමු. ඒ යන අතර KM ගේ අතේ තිබුණු bag මම ඉල්ලගත්තෙමි. ඒ ඇයට call එකක් ගැනීමටය. නමුත් ඇය call එක අවසන් කිරීමෙන් පසු මම නැවත bag ටික දුන්නේ නැත. එය අපේ මව දුටුවාය. මව එම සිද්ධියද අයියාට කියා තිබන. එනිසා අයියා කිවේ KM මාව වැඩ කාර කමට තියන් ඉන්නවා කියාය. මට මෙය තේරුම් ගත නොහැක. පිට අය පමණක් නොව, ගෙදර අයද කරන්නේ අපගේ වැරදි සොයා අපව දුරස් කිරීමය. මව නිතරම පැවසුවේ මම අම්මාට වඩා KM ට ආදරේ බවය. engagement එක නැවතීමත් සමඟ KM පැවසුවේ KM එච්චර දේවල් මන් වෙනුවෙන් කරලත් මම KM ට වඩා අපේ අම්මට ආදරේ කියාය. නමුත් මා සැබවින්ම දෙදෙනාටම එක හා සමානව ආදරේය.
IELTS විභාගයෙන් මට අවශ්‍ය තරමට ලකුණු තිබුන හෙයින් UK visa apply කළෙමි. ඉන් පසු අම්මා සහ මම එය හරියන්න යැයි කියා බෝධි පුජා තැබුවෙමු. KM ද නිතර ප්‍රර්ථනා කළේ මට visa ලැබෙන්න කියාය. සාමාන්යෙන් තීරණය දීමට මාස ගණනක් යයි. UK වල මා තෝරාගත් ඉස්කෝලයේ අවුලක් නිසා එහි තීරණය දීම දිගින් දිගට ඇදුනි. ඉන් පසු අවසානයේ ඔවුන් විසා දෙන්නට බැහැයි කියා එව්වේය. පසුව අපි ඔවුන්ගේ තීරණය වැරදියි කියා නැවත ඉල්ලීමක් කළෙමු. ඉන් මාස 6කට පමණ පසු මට visa ලැබිණ. මේ වන විට SLIIT නවතා අවුරුදු එකහාමාරකට ආසන්න කාලයක් ගෙවී තිබන. visa ලැබීමෙන් අනතුරුව අප යන දිනය book කර ගත්තෙමු. ඉන් පසු දිනයක KM සහ ඇගෙ මවත්, මමයි අම්මාත් ගෙනියන්නට උවමනා බඩු ගන්නට ගියෙමු. එවෙලෙහි KM මට 1500ක පර්ස් එකක් අරන් දුන්නාය. මේ මොහොතේද මා පාවිච්චි කරන්නේ ඒ පර්ස් එකයි. නමුත් දැනටත් මා ඇයට කිසි දෙයක් අරන් දී නැත.
UK එන්නට දවස් 3කට කලින් මම නැවතත් මවද සමඟ KM බැලීමට ගියෙමි. KM මෙතෙක් සිතේ තදකරන් සිටිය වේදනාව පිට කලේ එදාය. ඇය මට තුරුළු වී හඬන්නට ගත්තාය. ඉන් පසු ඇය මෙලෙස කීවාය.. "ඔයා යනවටමම කීයටවත් කැමති නැහැ කවී. මන් ඔයාට යන්න දෙන්නේ ඔයාගේ degree එකත්, අපේ අනාගතේ නිසාත් විතරයි. එහෙම නැත්තම් කීයටවත් මන් ඔයාට යන්න දෙන්නේ නැහැ. ගියාට පස්සේ මට හැමදාම කතා කරන්න. මගෙන් දුරස් වෙන්නනම් එපා." ඇය එය කී සැටි මට තාම මතකය. හැඬුම් බර කටහඬකින් ඈ එය කීවේ අවන්කවමය. ඇය මට බොහෝ සේ ආදරය කරයි. කිසි විටෙකත් මා දුරට යනවාට ඇය කැමැති නැත. ලංකාවේ සිටිද්දී එක සතියක් හරි මට ඇය බලන්නට යන්න බැරි වුනොත් ඇය මේ සතියේ මාව බලන්න ආවේ නැහැ කියා තරහා වෙයි. එසේ තිබියදී මට යන්න දෙන්න හිත හදාගත්තේ බොහෝ වෙහෙසක් දරාය. එය මට තේරුම් ගත හැකිය. එසේ පවසා ඇය මට තුරුළු වී සිටියාය. ඇයගේ කඳුළු බින්දු මගේ අත දිගේ ගලා යයි. මම පෙනෙන්නට සිනහා වී සිටියට මමද සිටියේ කියා ගත නොහැකි දුකකිනි. මට දැන් තුරුළු වී සිටින්නේ මා පන මෙන් ආදරය කළ කෙනාය. අප යහළු වී දැන් අවුරුදු 6ක් වෙයි. නමුත් මා ඇයට ආදරය කරන්නට ගෙන ඊටත් වඩා කල්ය. ඇය සමඟ යහළු වීමට මා කෙතරම් පෙරුම් පිරුවාද. නමුත් තව දින තුනකින් ඇයගෙන් බොහෝ දුර ඇතක මට යන්නට වී තිබේ. එය මතක් වන විට මගේ සිත හඬා වැටෙයි. අප අවුරුදු 6ක් තිස්සේ බොහෝ කරදර වලට මුහුණ දෙමින් එකටම සිටියාය. ඒ කරදර හමුවේ අප වෙන් නොවී සිටියෙමු. සතියකට සැරයක් හමු වී වැළඳ ගත්තාය. නමුත් තව දින තුනකින් පෙර මෙන් නැවත මුණ ගැසෙන්නට නොහැක. අපගේ අනාගතය නිසාම අපිට දුරස් වන්නට සිදුව ඇත. එය මට බොහෝ සෙයින් මතක් වුවත් මම එය KM ට කිවේ නැත. එය කීවානම් අඬන මිනිහගේ ඇහැට ඇන්නා වගෙය, මා දුරස් වී යන නිසා KM මට තුරුල් වී අඬයි. මමද දුක් වන බව කීවානම් ඇයගේ සිත තවත් රිදෙන බව මා හොඳාකාරවම දනිමි. KMට නිතරම වුවමනා වියේ විවහා වී මා ළඟින්ම සිටින්නටය, ඇය ඒ පිළිබඳව අහස උසට සිහින මැව්වාය. ඇය කෙරෙහි පැමිණි සියලුම බාධක හමුවේ ඇය ඒ සියල්ලට තනිවම මුහුණ දෙමින් මා සමගම සිටියාය. ඒ මා සමඟ ජිවිතේ බෙදා ගන්නටය. එසේ නොමැතිනම් KM මා හැර ගොස් තිබෙන්නේ මීට ගොඩක් කලින්ය. ඇයගේ සිතෙහි ඇති වේදනාව මට වටහාගත හැකිය. එනිසා මා කළේ KM ව මට තද කරන් ඇයගේ හිස අතගෑම පමණි.
මතු සම්බන්දයි.