පරමාදර්ශය ජීවිතයම වූ කල......,ගුරු ගීතය, සිනමාපටය නිමයි
ජීවිතයට බොහෝ පරමාදර්ශ තිබේ. එය එසේ නොවිය යුතුයැයි තර්කයක්ද සමාජය තුල ඇත. තමන් තමන්ම වනවා මිස අනෙකෙකුවිම හෝ අනෙකා සේ විම තමන් තමන්ටම නුසුදුස්සෙකු වීමකි. එසේ වුවද අපට දෙමව්පියන්ගේ සිට ජීවිතයට බලපාන පරමාදර්ශ චරිත රැසක් මුණගැසේ. "දුයිෂෙන්" එවැනි පරමාදර්ශයකි.
ගුරුවරයෙකු කී සැනින් අපගේ මතකයට එන්නේ "දුයිෂෙන්" ය. ඒ තරමට ඔහුගේ ගුරු භූමිකාව අපගේ ෆැන්ටසි ගුරුවරයා හා සමපාත වන්නේය. ප්ලේටොනික ප්‍රේමයේ පරමාදර්ශය ද ඔහුම වන්නේය. එහිදී අනෙකා වන්නේ "අලිතීනායි" ය. "දුයිෂෙන් හා අල්තීනායි ප්‍රේමය" අපගේ ෆැන්ටසි ප්‍රේමයම වන්නේය.
මොවුන් දෙදෙනා අපට මුණගැසෙන්නේ සෝවියට් ලේඛක චිංගීස් අයිත්මාතෙව් (Chingiz Aitmatov) ගේ "පළමු ගුරුවරයා" (The First Teacher) නවකතාවෙනි.
ඒ 1962 වසරේදී ය. "ගුරු ගීතය" නමින් සිංහලට පරිවර්තය වන මෙය සිංහල පාඨකයා අතර වඩාත් ජනප්‍රියම පරිවර්තන නවකතාව බවට පත්වීමට ගතවූයේ කෙටිකලෙකි. පරම්පරාවෙන් පරම්පරාවට අදත් තරුණ පාඨකයින්ගේ මනස "ගුරු ගීතය" කියවීමෙන් ලද ආහ්ලාදයෙන් විකසිත වෙන ආකාරය බොහෝ තැන්හි දැකගත හැකිය. "ගුරු ගීතය" කියවන විට මැවෙන පරිකල්පනීය සුන්දරත්වය සැබෑ ලෙස සොයා යන්නට තරම් එය පාඨකයා පොළොඹවන සුලුය.
90 දශකයේ අග භාගයේ "ගුරු ගීතය" සාහිත්‍ය කෘතියෙන් සිනමා කෘතියක් කිරීමේ නොතිත් ආශාවෙන් පෙලුණු තරුණයෙක් එහි තිර පිටපත රචනා කරගෙන අර්ථපතීන් සොයමින් ඇවිදිමින් සිටියේය. ඔහුට අවශ්‍ය වූයේ අප කියවූ "ගුරු ගීතය" නවකතාව, අපේ මනසේ මැවූ විචිත්‍රවත් මනස් රූ පෙළම තම සිනමා කෘතිය තුලින් ප්‍රති නිර්මාණය කිරීමටය. මේ තරුණයා උපාලි ගම්ලත්ය. දශක කිහිපයක ඇවෑමෙන් උපාලි ගේ සිහිනය යථාර්ථයක් බවට පත්වෙමින් පවතී. ඔහු "ගුරු ගීතය" සිනමා පටය නිර්මාණය කර ඇත්තේය.
"90 දශකයේ "ගුරු ගීතය" පොත කියවන විට හැමදෙනාගෙම වගේ මගේ මනසේත් චිත්තරූප මැවෙන්න ගත්තා. ඒ චිත්තරූප සිනමාපටයක් බවට පරිවර්තනය කළ යුතුයි කියලා මට හිතුනේ ඒ කාලේදිමයි. ඒකට බලපෑ තවත් කාරණා කිහිපයක් තිබුණා. ප්‍රේමය පිළිබඳව කෘතියේ තිබෙන ගැඹුරු කියවීම, සෝවියට් සමාජවාදී විප්ලවයේ දී කිරිගිස්ථානයට පලාගිය ඉඩම් හිමි රදළ කොටස් ක්‍රියාත්මක කල ප්‍රති විප්ලවීය ක්‍රියාකාරකම්, ඒවා වලක්වන්න මිනිස්සු ගත්ත උත්සාහයන්, පුංචි මිනිසුන් සෝවියට් ජයග්‍රහනය වෙනුවෙන් කල පරිත්‍යාගයන්. මේවා සියල්ල මට මහත් උත්තේජනයක් සැපයුවා. "
90 දශකයේ අගභාගයේ උපාලි අතින් තිර පිටපතක් ලෙස ලියවෙන "ගුරු ගීතය" සිනමා කෘතියක් ලෙස නිර්මාණය වීම ආරම්භ වන්නේ 2012 වසරේ දී. පසු නිෂ්පාදන කටයුතු සිදු කෙරෙන්නේ 2015 වසරේ දී මෙවැනි දීර්ඝ කාලපරාසයක, පරමාදර්ශය යථාර්ථයක් බවට පත්වන්නට හේතුවීමම ශ්‍රී ලාංකික සිනමා කර්මාන්තයේ අර්බුදයක් ලෙසින් තේරුම් ගැනීම වරදක් නොවේ.
"මම තිරපිටපත ලියලා විවිධ නිෂ්පාදකවරු සමග කතා කලා. ඔවුන් කැමැත්ත පළකලත් ඒ අයට අවශ්‍ය වුනේ ඒ අය කැමති දිශානතීන්ට චිත්‍රපටය අරගෙන යන්න. මම ඒකට කැමතිවුනේ නැහැ. මොකද මේ කතාව මට අයිති නෑ. ඒ වගේම කතාව ලියූ අයිත්මාතෙව්ටත් එය අයිති නෑ. මේක සෝවියට් විප්ලවයට සම්බන්ද වුන මිනිසුන්ට අයිති කතාවක්. ඒ නිසා ඒ අයිතිය තහවුරු වෙන ආකාරයෙන් චිත්‍රපටය කරන්න පුලුවන් ඉඩක් හැදෙනකම් මම මේක රැකගත්තා. අවසානයේ ජාතික චිත්‍රපට සංස්ථා ණය ආධාර වැඩ පිළිවෙලෙන් මුදලක් ලැබුණා. ඒකෙන් වැඩ ආරම්භ කරලා, මගේ කුඹුරු ඉඩම් වගයක් තිබ්බා ඒවා විකුණලා ඒ සල්ලිත් යෙදෙව්වා.
පස්සේ කැනඩාවේ ජීවත් වෙන මගේ ශ්‍රී ලාංකික මිතුරෙකු වන ඇල්ප්‍රඩ් සෙනෙවිරත්න මට විශාල මුදලක් දුන්නා. අවසාන පණ නල පිම්බේ ආචාර්ය ආරෝෂ ප්‍රනාන්දු චිත්‍රපටය මහජන ප්‍රදර්ශනය දක්වාම අදටත් අරගෙන එන්නේ ඔහු. ඒ නිසා දීර්ඝ කාලයක් මේ සඳහා මට පෙරුම් පුරන්න සිද්ධ වුණා."
"ගුරු ගීතය" සාහිත්‍ය කෘතියේ චරිත හා බැඳුනද ඒ සිදුවීම් හා බැඳී ඇති සමාජ පරිසරය අපට ආගන්තුක එකකි. හිම වැටෙන ගම්මාන, පොප්ලර් ගස්, අශ්වයින් මතින් ගමන් බිමන් යන, සීතලෙන් බේරීමට සියොලඟම වසාගත් මිනිසුන් අප බොහෝ දෙනෙකු දැක ඇත්තේ විදෙස් චිත්‍රපට වලින් හා සාහිත්‍ය කෘති වලිනි. මේ ආගන්තුක දේවල් අපේ කරමින් අපට වඩාත් සමීප කිරීම අතිශය දුෂ්කර කාර්යයකි.
"ඇත්තටම මට අවශ්‍ය වුනා මේ කෘතියේ ආත්මයට හානියක් නොවන ලෙසිනුත්, එය කියවූ පාඨකයාගේ පරිකල්පනයට අසාධාරණයක් නොවන අයුරිනුත් චිත්‍රපටය නිර්මාණය කරන්න. නමුත් ඒ සාධාරණය වෙනුවෙන් සුදුසු පරිසරයක් අපේ රටේ කොහෙත්ම ඇත්තේ නැහැ. මේ අතරේ මම චිත්‍රපටකරණය පිළිබඳ පාඨමාලාවක් හදාරන්න නේපාලයට යනවා. එහිදි කල සංචාරයකදි මට මෙම කතාවේ තියෙන ස්ථාන හැබැහින් දකින්න ලැබෙනවා.
කතාවේ පාදක ප්‍රදේශය වන කිරිගිස්ථානයේ 1920 ගණන් වල තිබුණ පරිසරය අද නෑ. නමුත් නේපාලයේ හිමාල ප්‍රදේශයේ අන්නපූර්ණ කියන පලාතේ එවැනි පරිසරයක් මම දැක්කා. එහි මනංග් කියන ගම්මානයේ තමා මෙය විශේෂයෙන් රූ ගත කලේ. ඒ ප්‍රදේශය අඩි 15,000 ක් පමණ උස ප්‍රදේශයක්. වාහනයකින් යා හැකි අවසාන තැන ඉඳලා මනංග් ගම්මානයට කි.මී 90ක් විතර දුර්ග මාර්ගයක අතිදුෂ්කර ගමනක් යන්න ඕනේ.
ඒ දුෂ්කරතා ජය අරගෙනයි මේ චිත්‍රපටයට සාධාරණයක් ඉෂ්ට කරන්න මම උත්සාහ කලේ. අපේ නිෂ්පාදන කණ්ඩායමේ සිටි අයගෙන් කොටසක් හිම කුණාටු වලට හා අධික සීතලට බියෙන් නිර්මාණ කටයුත්ත අතැරදා ආපසු ලංකාට ආවා. නමුත් මම සඳහන් කරන්න ඕනේ මෙහි ප්‍රධාන චරිතය වන දුයිෂෙන් ට රඟපාන රොෂාන් රවින්ද්‍ර ඇතුලු කණ්ඩායම "මළත් කාර්යය අත් අරින්නේ නෑ" කියන මතයේ හිටියා.
සීතලට ඔවුන්ගේ නියපොතු පවා ගැලවී යද්දි ඔවුන් කළ කැපකිරීම විශිෂ්ටයි. මාස 3ක් මේ සියලු දුෂ්කරතා විඳගනිමින් අපි රූ ගතකිරීම් කලා. නේපාල චිත්‍රපට මණ්ඩලය පවසනවා ලෝකයේ උසම තැනක රූගත කිරීම් කළ ප්‍රථම වෘතාන්ත චිත්‍රපටය මේ "ගුරු ගීතය" කියලා. නමුත් ඒ ගැන තව දුරටත් සොයා බලන්න ඕනේ. ඇත්තටම මට අවශ්‍ය වුනේ මේ සාහිත්‍ය කෘතිය ලියූ, කියවූ කිසි කෙනෙකුට අසාධාරණයක් නොවන ආකාරයෙන් මෙය සිනමාවට නගන්න. මං හිතනවා මගේ උත්සාහය සාධාරණ ඉමක් දක්වා ලඟාවුණා කියලා."
දුයිෂෙන් ආරම්භ කරන ඉස්කෝලේ දීප්තිමත් ශිෂ්‍යාව වන අල්තිනායි වැඩිදුර ඉගෙනිම සඳහා නගරයට යන මොහොතේ දුයිෂෙන් සිය වියෝගී දුක සඟවා අල්තීනායි දිරිමත් කරයි. "ගුරු ගීතය" කෘතියේ මේ අවස්ථාව අතිශය සංවේදීය. ගැඹුරු මානව සිතුවිළි වල සීතට කඩදාසි පිටු හරහා හදවතට කිඳා බසින්නේය.
"අඩන්න එපා අල්තීනායි.." දුයිෂෙන් මගේ කඳුළු පිස දැමුවේය. "අපි දෙන්නා හිටවපු අර පොප්ලර් ගස් දෙක මම බලාගන්නම්. " යැයි හිටිහැටියේ දුයිෂෙන් කීය. "උඹ ලොකු උගත් ගෑනියෙක් වෙලා ගමට එනකොට ඒ ගස් ලස්සනට වැඩිලා තියේවි."
මේ දෙබස් අතර දුයිෂෙන් නම් සරළ මනුස්සයා තුල සැඟව ඇති මහා විසල් හදවත අපට දැක ගැනීමට පුලුවන් වේ. දුයිෂෙන්ගේ ගැඹුර සිය සිනමා නිර්මාණය හරහා ප්‍රති නිර්මාණය කරන්නට වෙහෙසෙන උපාලි ගම්ලත් නම් තරුණ සිනමාකරුවා පවසන්නේ,
"දුයිෂෙන් කියන මහා මිනිසාගේ ගති සොබාවන්ට හානියක් නොකර ඔහුට ආදරය කරන ශ්‍රී ලාංකික රසිකයාගේ චිත්තරූපයන්ද බොඳ නොකර දුයිෂෙන්ව තවත් වසර සිය දහස් ගණනක් ඔවුන්ගේ හදවතේ වීරයෙකු ලෙස ජීවත් කරවන්නයි මට අවශ්‍ය වුනේ. ඒ උත්සාහය සාර්ථක වුනාද කියන එක හෙට දවසේදි ප්‍රේක්ෂකයන් තීරණය කරාවි."
අල්තිනායි ගේ චරිතයට පණ දෙන කල්පනී ජයසිංහ වේදිකා රංගනයෙන් මිදී ප්‍රථම වතාවට කැමරාවක් ඉදිරියේ සිය රංග කෞශල්‍යය නිරාවරණය කරන්නේ "ගුරු ගීතය" සිනමා නිර්මාණය සඳහායි.
ශ්‍රී ලාංකීය නළු නිළියන් මෙන්ම නේපාල නළු නිළියන් රැසක්ද රංගනයේ නියැලෙන "ගුරු ගීතය" සිනමා නිර්මාණයේ කැමරාකරණය කාවින්ද රණවීරගෙන් වන අතර කලා අධ්‍යක්ෂණය පූර්ණ ජය ශ්‍රී ගෙනි. නදීක ගුරුගේ සංගීතය නිර්මාණය කරන මෙහි තේමා ගීතය නිලාර් එන්. කාසිම් රචනා කරයි.
"ගුරු ගීතය" සාහිත්‍ය කෘතිය කියවන සැවොම එහි සියුම් ලෙස ගලායන ප්‍රේමයට ප්‍රේම කරති. ඇතැම්හු ඒ ප්‍රේමය විනිවිද දකිති. එහි පතුලේ වැතිර ඇති මානවීය ගුණ සමුදාය ආස්වාදනය කරති. තවත් සමහරු එහි ඇති දේශපාලනය දකිති. "ගුරු ගීතය" සාහිත්‍ය කෘතිය තුල ඇති ත්‍රිමාණ විශිෂ්ටත්වය වන්නේ එයයි. එය ඒ ආකාරයෙන් උපාලි ගම්ලත් නම් සිනමාකරුවාගේ "ගුරු ගීතය" සිනමා කෘතිය තුල ද තිබේදැයි අපට නුදුරේදී විමසා බැලිය හැකි වනු ඇති.
"ඔව්, හැම ජීව ප්රාණයකටම තමාගේ වසන්තයකුත් තමාගේම ශරත් සමයකුත් තිබෙනවා." - ගුරු ගීතය
- කපිල එම්. ගමගේ
ගෙඩි පිටින් උස්සල ලදී - ස්තුතිය අදාළ කතෘට

ලිද