බෝඩිමේ විත්ති සහ ත්‍රිබල් ගේම්

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    බෝඩිමේ විත්ති සහ ත්‍රිබල් ගේම්

    swordsman-free-clipart.png



    මේ ලියන්නට යෙදෙන සිද්දි මාලාව සිදුවූයේද අනූ හය වසරේ අගෝස්තු උසස්පෙළ විභාගයට ඉතා ආසන්න කාලයක බව ස්ථිරකොට ලිවිය හැක්කේ හේතු සාදක කිහිපයක් මතය. ඉන් පළමුවැන්න නම් අපගේ පාසල් මිතුරෙකු වන හික්කඩුවේ ඥානාට පාඩම් කටයුතු පහසුවනු පිණිස කාලයක් වසා දමා තිබු ඉස්කෝලේ ආච්චිගේ අම්බලන්ගොඩ තුඩුවමුල්ලේ පිහිටි නිවස ඉස්කෝලේ ආච්චි විසින් ඥානාට භාර දුන්නේ උසස්පෙළ විභාගය ආසන්නයේ වන නිසාය. (ඉතාමත් අලංකාර නමක් සහ වංශවත් පෙළපත් නාමයක් මා මිතුරාට තිබුනත් හය වසරේ පටන් මා මිතුරා ඥානා ලෙස හැඳින්වුයේ ඇයිදැයි මා අද වනතුරුත් දන්නේ නැත.) දෙවැන්න නම් සාපෙළ හොඳින් සමත් වුවහොත් මාගේ පියාණන් විසින් මා හට තෑගි වශයෙන් අරන් දීමට පොරොන්දු වූ මෝටර් සයිකල් පොරොන්දුව කිසිදා ඉටු නොවෙන්නා වූ දේශපාලන පොරොන්දුවක්ම වූ නිසා තෑගී පොරොන්දු වෙනුවෙන් මා දිගින් දිගටම සටන් කිරීමත් , සටන දිනෙන් දින උග්‍ර අතට හැරෙනු දුටු මාගේ නැසීගිය ආදරණීය පුංචී විසින් මා හට මෝටර් සයිකලයක් මිලදීගෙන දීමත් මෙම වකවානුවේම සිද්ද වූ සමගාමී සිද්දියක් වීම නිසාය. එතෙක් පියාණන් සතු මෝටර් සයිකලය පට්ට ගසමින් සිටි මට මගේම කියා හොන්ඩා එම් . බී . ෆයිව් වර්ගයේ මෝටර් සයිකලයක් ලැබීම නිවසේ එකම විනාඩියක්වත් රැඳී නොසිටීමට මසුරන් හේතුවක් වූ බවනම් සත්‍යයකි.

    උසස්පෙළ ශිෂ්‍යයෙකු වූ මා හට අධික පෙට්‍රෝල් තිබහකින් පෙලුනාවූ මගේ මෝටර් සයිකලයට ඉන්දන සපයාගැනීමට මාගේ ආදරණීය මවුතුමිය, පියාණන්ට හොර රහසේ මා වෙත සැපයු අනුග්‍රහය මෙහිදී අගය කල යුතුමය. මාගේ සියලුම අවර ගනයේ තක්කඩි වැඩ සඳහා පියාණන්ට හොරෙන් සාදර සමාදර අනුග්‍රහය දැක්වූ මාගේ මෑණියන් නොවන්නට මම වනාහි , මෝටර් සයිකලයක් පැද යන්නට නොදන්නා, වාහනයක් පදවන්නට නොදන්නා, රියදුරු බලපත්‍රයක් නොමැති , පිහිනන්නට නොදන්නා , සංගීත භාණ්ඩයක් වාදනය කිරීමට නොදන්නා , කිසිදා ගැහැණු ළමයෙකුට ආදරය කර නොමැති , යහළුවෙකු කියා එකෙක් නොමැති, ඕනෑම ලොක්කෙකුට යේස් සර් කියනා , දෙන දෙයක් කා වෙන දෙයක් බලා ඉන්නා, රජයේ ආයතනයක ලියන රස්සාවක් කරනා හෙනම හෙන ගොබ්බයකු වීමට බොහෝ දුරට ඉඩ තිබුනේය.

    වැඩිහිටියෙකුගේ අධීක්ෂණයක් නොමැති අපේම කියා බෝඩිමක් ඥානාට ලැබීම අපි කාටත් වෙස්වලාගත් ආශිර්වාදයක් වුයේ හවස් වරුවේ ටැග් ගැසීමට අපට විශේෂිත වූ ස්ථානයක අවශ්‍යතාවය කාලයක සිටම දැනෙමින් තිබු බැවින්ය. ඊටත් අමතරව විශේෂිත වරප්‍රසාදයක් වින්දාවූ එකෙක් සිටියානම් ඒ අපගේ තඩියාය. තඩියා සහ බඩ තඩියා යනු එකෙක් නොව දෙදෙනෙකු බව මෙහිදී පාඨක සැම සිහිතබාගත මනාය. තඩියා නම් දැනට කුවේටයේ සේවය කරනා තඩියාගේ නුවර එලිය සංචාරය සඳහා පාදක වූ අපගේ හිතාදර මිත්‍ර තුඩුවමුල්ලේ තඩියා වන්නේය. එකල තඩියා විසින් ප්‍රේමයෙන් වෙලී සිටි පෙම්වතිය තඩියාගේ පවුලේ උදවියට නයාට අදුකොල මෙන් වූ නිසා තඩියා පෙම්වතියට පෙම් හසුන් ලිව්වේද , පෙම්වතිය විසින් එවනා පෙම් හසුන් කියෙව්වේද හොර රහසේය. ඥානාට ගෘහමූලික පදවිය සමගම ලැබුණු බෝඩිම තඩියාගේ ප්‍රේම වෘතාන්තය පාඩුවේ කරගෙන යාමට කදිම තෝතැන්නක් මෙන්ම බංකරයක් තරම් කදිමට ආරක්ෂාකාව තහවුරු වූ වටපිටාවක්ද වුයේ නිරායාසයෙන්මය. කොතරම් ආරක්‍ෂිත වටපිටාවක වුවද තඩියාගේ මෑණියන් වහන්සේත් , නැසීගිය පියානනුත් අපගේ සෙවනැල්ල පවා දැඩි අදීක්ෂණයට ලක් කලේ තුඩුවමුල්ලේ සියලුම ජංගම රහස් ඔත්තු සේවාවල, රොයිටර් සේවා සහ ෂර්ලොක් හොම්ස්ලාගේ පිහිට නොමිලේම ඔවුනට ලැබුණු බැවින්ය. රහස් ඔත්තු සේවාවන් සහ ෂර්ලොක් හොම්ස්ලා කොතරම් විශ්වාසදායි වුවත් වැරදි බුද්ධි තොරතුරු වලින් මුලාවේ වැටෙන තඩියාගේ මෑණියන් දවසකට වතාවක් දෙවතාවක් හදිසි වැටලීම් සඳහා ඥානාගේ බෝඩිමට කඩා පනින්නේ පොලිසියෙන් කසිප්පු පොළකට පනිනවාටත් වඩා කාර්යක්ෂමතාවයක් විද්‍යාමාන කරමිනි. එය එසේ බැවින් පාසල් වේලාවෙන් පසුව ඥානාගේ බෝඩිමේ රැඳෙනා අපද නිරන්තරයෙන්ම කල්ගත කලේ මී කන් මෝඩ් එක ඕන් කරගෙනමය. හදිසි වැටලීම් සඳහා කඩාපනිනා වූ අයවලුන් අතර තඩියාගේ නැසීගිය පියානන්ද වූ අතර නිවසේ නීතිමය අයිතිකරු වූ ඉස්කෝලේ ආච්චීද හදිසි වැටලීම් සඳහා සහභාගී වූ අවස්ථා නැත්තේම නොවේය .

    ඥානාගේම ලඟම ඥාතියෙකු වූ සම්පතයාද එම බෝඩිමේම සාමාජිකයකු වූ අපගේ කැලෑසියේම සගයකු අතර සම්පතයා උප ගෘහමූලික තනතුර හෙබවූයේ ඥානා නොමැති වෙලාවට පමණි. ඉස්කෝලේ ආච්චී විසින් බෝඩිමේ පුරවැසිභාවය ප්‍රධානය කොට තිබුනේ ඥානාට සහ සම්පතයාට පමණක් බැවින් ඉස්කෝලේ ආච්චී හදිසි වැටලීම් සඳහා කඩන් පහත්වෙන අවස්තා වලදී නීත්‍යනුකූල නොවෙන සංක්‍රමණිකයින් ලඟම තිබෙන කව්ලුවකින් එලියට පැන පණ එපා කියා දුවගොස් සැඟවෙන්නේ විශ්‍රාමික ගුරුවරියක් වන ඉස්කෝලේ ආච්චීට හසුවීම ක්‍රිමිනල් කේස් එකක් වන බැවින්ය. අනවසර සංක්‍රමණිකයින් සඳහා රැකවරණය සැපයීමේ වරදට ඥානා වරදකරු වුවහොත් අපගේ අගනා වාසස්ථානය අපටද ඥානාටද අහිමිවන බැවින් ඉස්කෝලේ ආච්චී හදිසි වැටලීම් සඳහා සහභාගී වන අවස්තාවන්හීදී දුවන්නට අතක් නොමැතිනම් ඇඳක් යටට හෝ රිංගා ඉස්කෝලේ අච්චීගේ පරීක්ෂණ කටයුතු නිමවෙන තෙක් මලා මෙන් නිහඬව සිටීම අපේ එවුන්ගේ පුරුද්දය. එවන් එක් අවස්ථාවක අත පය හතර දිග එවුන් බෝඩිමෙන් පැනගත්තත් මා හට දිවීමට අතක් නොවුයෙන් වාඩිවී සිටි ඇඳ මතම මලා මෙන් ඇලවී සිටීමට මට සිදුවුයේය . ඇඳ යටට රිංගීමට උත්සහ කර ඇඳ යට පෝලිමට එක්කාසු කර තිබෙන්නා වූ හිස් බෝතල් ශබ්දයෙන් පෙරලා දමා බඩුත් සමගම හොරුන් මාට්ටු වීමට තිබු අවස්ථාව එයින් ගිලිහුනත් ඉස්කෝලේ ආච්චි මා මලාක් මෙන් නිදා සිටිනා ඇඳ අසලට විත් ඥානාගෙන් ඇසුවේ මෙස්යි..

    මේ මොකාද බොල මේ..

    මේ ආච්චියෙ සම්පත්නේ..

    ඇස් පෙනුම මදක් දුර්වල වූ ඉස්කෝලේ ආච්චි මාගේ මුහුණට අඟල් හයක් තරම් කිට්ටුවට මුහුණ ලංකර විනාඩියක් පමණ මාගේ මුහුණ නරඹනු යාන්තමට ඇස් ඇරන් සිටි මට චායාවක් සේ පෙනුනත් මලාක් මෙන් නොසිටියොත් ඥානාත් සුං මාත් සුං බව සහසුද්දෙන්ම දන්නා නිසා හදවත දෙමෝලෙන් පිටි කොටද්දීත් මලාක් මෙන්ම සිටීමට මට සිදුවුයේය..

    මේ දරුවා හරියට වෙනස් වෙලානේ.. මොකෝ මේ මහා දවල් නිදි..

    ඊයේ රෑ එළිවෙනකල් පාඩම් කරලා ආච්චියේ ..

    හ්ම්.. ඉස්කෝලේ ආච්චී පරීක්ෂණය අවසන් කරේ නැවතත් වරක් කේශාන්තයේ සිට පාදාන්තය දක්වා මා පරික්ෂා කිරීමෙන් අනතුරුවලු..

    මට වඩා අඩියකට වඩා උසින් වැඩි සම්පතයා ඒ වෙලාවේ බෝඩිමේ නොසිටීමත්, ඥාතියා වුවත් ඉස්කෝලේ ආච්චීට සම්පතයා ඒ තරම් මතකයේ නොමැති චරිතයක් වීමත් අපගේ වාසියට සිටි අතර එය එසේ නොවුවානම් ඥානා කොට්ටා පදුරුත් සමගම බෝඩිමෙන් එලියට විසික් වන්නේ එදාය.

    මෙම පෝස්ටුව ලිවීමට උක්තය වන මා මිත්‍රයා හඳුවාදීමට මුලදී අතපසුවීම මාගේ වරදක් බැවින් පාඨකයෝ ඒ ගැන මා වෙත සමාව භාජනය කරත්වා.. සිද්දියට උක්ත මාගේ මිත්‍රයා මාගේ උසස්පෙළ පන්තියේම එකට ඉගෙනගත් ප්‍රාණ සමාන මිත්‍රයකු වුවත් මා මිත්‍රයා මේ වනවිට කෝටිපති ව්‍යාපාරිකයකු බැවින් මෙහි නම සඳහන් කිරීම නොවටින්නේයැයි මට හැඟේ .එකල ඕනෑම අවදානම් කාරියකට එක පයින් රෙඩී ගනයේ සගයකු වන මා මිත්‍රයා මෝටර් සයිකල් පිස්සෙකු බව කිවයුතුමය. මාසෙන් දෙකෙන් මෝටර් සයිකල් මාරුකරනා පිස්සුවකින් පෙලුනාවූ මා මිතුරු තැන එවකට භාවිතා කරමින් උන්නේ RZ 125 වර්ගයේ මෝටර් සයිකලයකි. පාසල අවසන් වූ වහා නිවසට විත් දිවා ආහාරය ගත්තායින් නොගත්තායින් මමද මාගේ මෝටර් සයිකලය ගෙන තුඩුවමුල්ලේ ඥානාගේ බෝඩිමට වාර්ථා කරන අතර මා මිත්‍ර නම සඳහන් කිරීමට නොහැකි සගයාද ඒ ලෙසින්ම ඔහුගේ යමහා RZ 125 සයිකලයෙන් ඥානාගේ බෝඩිමට වාර්ථා කිරීම සාමාන්‍ය සිද්දියකි. එතැන් පටන් ඇරඹෙන රස්තියාදුව අවසන් වන්නේ ටියුෂන් කුමාරියන් නිවෙස් වලට එන්නාවූ සැන්දෑ යාමයේ ඥානාගේ බෝඩිමේ තාප්පය උඩින් පෝලිමට වාඩිවී පාරේ යන ටියුෂන් කුමාරියන් ගණන් කිරීමෙන් පසුවයි. තුඩුවමුල්ලේ තරුණ දූ වරුන් සිටිනා මවුවරුන් ඥානාගේ බෝඩිමට එරෙහිව පෙත්සම් ගැසුවේ නැත්තේ තඩියා , බතලයා සහ තුඩුවමුල්ල වාසී දේවානන්ද විද්‍යාලයේ ක්ලාස්මේට් පිරිසද ඥානාගේ බෝඩිමේ නිත්‍ය සාමාජිකයින් වූ බැවින්ය. සිද්දියට උක්ත මා මිත්‍රයා හිටි හැටියේ ඔහුගේ මෝටර් සයිකලය පනගන්වාගෙන ඉගිලෙන්නේ සිත් ගත් ටියුෂන් කුමාරියන් දැක බලාගැනීමට බව සියල්ලෝම දනිතත් ඒ කව්රුන් උදෙසාද යන්න අප කව්රුත් දැන සිටියේ නැත. මාද හිටි හැටියේ මාගේ මෝටර් සයිකලය පනගන්වාගෙන ඉගිලෙන්නේ මාගේද එවන් අපේක්ෂාවක් එවකට තිබූ බැවින් වුවත් ඥානාගේ බෝඩිම අවට නොහොත් , තඩියාගේ ගමේ නොහොත් , තුඩුවමුල්ලේ මාගේ සිත්ගත් දැරිවියක් නොසිටිය බව මෙහිදී අවදාරණයෙන් කිවයුතුමය. සිද්දියට උක්ත මා මිත්‍ර සගයා මාගේ මැන්ගෝ ෆ්‍රෙන්ඩ් කෙනෙක් වුවත් කිසිදු දිනෙක අහවල් කෙල්ල යාලු කරගන්න උදව් කරපන් කියා මාගෙන් තබා කාගෙන්වත් උදව් ඉල්ලා නැත. උදව් ඉල්ලුවානම් ඕනෑම එකෙක් උදව්වක් කරන්නට දෙවරක් සිතන්නේද නැත.

    සිද්දියේ කථා නායකයා වන මා මිතුරු තැන ඔහුගේ තිබු මෝටර් සයිකල් උන්මාදය සංසිඳුවා ගැනීමට නිතර ඇසුරු කලේ මෝටර් සයිකල් පිස්සන් සමගමය. කොතරම් මෝටර් සයිකල් පැද්දත් මා හට මෝටර් සයිකල් පිස්සුවක් නොමැති වූ බැවින් එම සංගමයට මා ඇතුලත්කර ගැනීමට මා මිතුරා කිසිදු අවස්තාවක උත්සහ දරා නොමැත. එදත් අදත් මෝටර් සයිකල් ධාවනයේ අම්බලන්ගොඩ කීර්තියක් ඉසිලු ඉන්දික සමග නිතර ගමන් බිමන් යාමට පුරුදු වී සිටි මා මිතුරා ගැහැණු ළමයකු පසුපසින් යන්නේනම් ඒ ගමනට සහභාගී කරගත්තේද ඉන්දිකයාවම පමණි. ඉන්දිකයා මෝටර් සයිකල් ධාවනයේ සුපිරි වැඩකාරයකු මෙන්ම එවකට පළාතේ නමක් ඉසිලු මෝටර් සයිකල් අලුත්වැඩියා කරන්නෙකි . ලොකු ලොකු බයිසිකල් වලින් පවන බඳු වේගයෙන් ඉගිලුනා වූ ඉන්දිකයා ස්කූටියක් පැදන් යන අවස්තාවකදී ලොරියක ගැටීම නිසා දින කිහිපයක් සිහි නොලබාම සිට එලොව ගිහින් මෙලොව පැමිණියේ දරුවන්ගේ වාසනාවටම වන්නට ඇත. ඉන්දිකයාව හඳුන්වා දීමට ලොවටම එකයි වර්ගයේ ලෝ සුපතල සුරතල් නාමයක් තිබුනත් එම නම මෙහි ලියා තබා වසරකට වරක් යෙදෙන මාගේ ලංකා ගමනය අනතුරුදායක ගමනක් බවට පත්කරගැනීමේ උවමනාවක් මා වෙත නැති හෙයින් එම නම මෙහි සඳහන් කරන්නේ නැත.

    පාසල් අරුනාවූ වෙලාවේ මාගේ අනෙක් මෝටර් සයිකල් මිත්‍රයා ඉන්දිකයාවද පසුපස ඉඳුවාගෙන කව්රුන් හෝ ගැහැණු දරුවකුගේ ආරක්ෂාවට පසුගමන් යන වගක් මාගේ කෘතහස්ත ඥානයට වැටහී තිබු නමුත් මාගේ මිත්‍රයා එවන් දෑ කල පළමු අවස්ථාව එය නොවන බැවින් මාද ඒ තරම් ඒ ගැන තැකීමක් කලේ නැත. පාසල් ඇරී , ටියුෂන් ඇරී නිවසට යන ඇහැට කනට පෙනෙනා වූ ගැහැණු දරුවන් පසුපස කොල්ලන් ඇදෙන ස්භාවය අද මෙන්ම එදාත් එසේමය, සීනි බෝතලයට කුහුඹින් ඇදෙන්නේ කෙසේද එයත් එසේමය.

    ඥානාගෙ බෝඩිමේ කල්ගතකරනවාට අමතරව හල්වතුරේ ක්‍රිකට් ක්‍රීඩා කටයුතුද සමගාමීව හවස් වරුවේ සෑම දිනකම සිදුවූ අතර මාගේ නව මෝටර් සයිකලය සහ ඥානාගෙ බෝඩිම ටික කලකට මා ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඈත්කිරීමට සමත්වූ එකම ප්‍රභල සාදකය වීය. එහෙත් සතියකට වරක් දෙවරක් ක්‍රිකට් සෙල්ලම් කිරීමට මා අමතක නොකළ නොකලද එවන් එකතරා දිනෙක හල්වතුර ක්‍රීඩාංගනය වෙත මා මිතුරාගේ RZ 125 මෝටර් සයිකලය පැමිණුනේ ඉන්දිකයාවද පසුපස ඉන්දුවාගෙනයි. මාගේ නියත ස්ථානය වන කඩුලු රකින්නා ස්ථානයේ පන්දු රකිමින් සිටි මා ආසන්නයටම මෝටර් සයිකලය පැදගෙන ආ මා මිත්‍රයා සහ ඉන්දිකයා පැවසු දෙයින් මට මද වෙලාවකට එලෝ මෙලෝ නැති වූ බව සත්තම සත්තය.

    උඹ හම්බවෙන්න තමයි මේ ආවේ..

    කතාව ආරම්භ කලේ ඉන්දිකයායි..

    මොකෝ බන් කේස් එක..

    උඹ තුඩුවමුල්ලේ කෙල්ලෙකුට ට්‍රයි නේද..

    පිස්සුද යකෝ උඹට..

    මේ උඹ මට කොලේ වහන්න ලෑස්ති වෙන්න එපා.. උඹ දන්නවනේ මේ ඉන්දික කව්ද කියලා..

    හරි බන් ඉන්දික මම නොකරන මගුලක් කොහොමද බන් පිළිගන්නේ..

    තෝ කාටත් හොරෙන් අපේ බාපගේ දූ පස්සේ ගිහින් තියනවා යකෝ..

    බොට පිස්සුද බන් ඉන්දික.. මම ගියානම් ගියා කියල කියන්න මොකටද බන් බය වෙන්නේ..

    හරි එහෙනම් තෝ වසන්තගේ නංගි ශ්‍යාමලී පස්සේ ගියේ නැහැ එතකොට..

    බොට පිස්සුද යකෝ..

    එහෙනම් අපේ බාප්පා මට කථා කරලා කිව්වේ කලුපාට එම් . බී . ෆයිව් එකකින් කොල්ලෙක් එනවා කියල ශ්‍යාමලී පස්සේ.. පුතෝ මම මේ කියන්නේ උඹේ හොඳට.. උඹ එහෙම ගියානම් ඒක නවත්තපන්.. ඔන්න මම යාළුකමට උඹව බේරාගත්තා. ආයෙ මටනම් කියන්න එපා බොල අපේ බාප්පාගේ පුත්තු එක්ක පටලගෙන බේරල දීපන් කියල හොඳේ..

    අනේ බන් ඉන්දික මම ශ්‍යාමලී පස්සේ ගියේ නැහැ බන්.. උඹේ බාප්පට කියහන් වැරදීමක් වෙන්න ඇති කියලා..

    බාප්පා මට කිව්වේ බෝඩිමට එන කලුපාට එම් . බී . ෆයිව් එකේ එන එකා කියලා.. ඒ ඉතින් උඹනේ..

    හරි බන් එම් . බී . ෆයිව් එක පදින්නේ මම තමා.. එත් මට පිස්සු නැහැ බන් ශ්‍යාමලී පස්සේ ගාටන්න..

    හරි දැන් මම ඒක ශේප් කරන්නම්.. උඹ ආයේ ශ්‍යාමලී පැත්තවත් බලනවා නෙවෙයි හරිද..

    හරි හරි බන්.. මම උඹට එකපාරක් කිව්වනේ . මම ශ්‍යාමලී පස්සේ ගියෙත් නැහැ යන්නෙත් නැහැ..

    හරි එහෙනම් අපි ගියා.. නැති ලෙඩ පටලවාගෙන ඔන්න මටනම් කියන්න එපා බේරලා දියන් කියලා.. අපේ බාප්පා මහා අණක් ගුණක් නැති එකා හොඳේ..

    ඉන්දිකයා සහ මාගේ මිත්‍රයා මෝටර් සයිකලය පනගන්වාගෙන නික්ම ගියායින් එම සංවාදය එතැනින් අවසන් වුවද ඔවුන් නික්ම ගියේ මාගේ ඔලුගෙඩියේ ප්‍රශ්නාර්ථයක් ඉතුරු කරමිනි. මොටෝව පැද ආ මාගේ අඹ යාලුවා මෙම සංවාදයේදී කිසිදු අදහසක් ඉදිරිපත් නොකරමින් මා වෙත විරිත්තමින් සිටීම මා වෙත ප්‍රශ්නාර්ථයක් වූ අතර මා නොදැනුවත් කමින් මේ කියනා ගැහැණු දැරිවිය යන එන පාරක දෙතුන් වරක් මා හට හමුවුනේවත්දෝ කියා මතකය ආවර්ජනය කිරීමට උත්සහ දැරුවද එවන් මතකයක් මාගේ ඔලුගෙඩිය තුල නොවීය. ඥානාගෙ බෝඩිමේ තාප්පය උඩ සිටිනා හැන්දෑ වරුවලදී එතැනින් යන්නා වූ ඕනෑම ගැහැණු දැරිවියකට අපේ එවුන් කියනා වූ කුප්ප කථා වලට හුරේ දැමුවද ශ්‍යාමලී වෙත විශේෂත්වයක් මා වෙත නොවූ බැවින් ඇසුවා වූ හතර බීරි කථාව අමතක කර දමා ක්‍රිකට් ක්‍රීඩාව දෙස මා ඔලුව යොමු කලේ පිතිකරුගෙන් ගිලිහී මා වෙත ආ පන්දුවක් සුපුරුදු පරිදිම මාගෙන්ද ගිලිහුණු නිසාවෙන් මවුගුණ ගායනා කල පන්දු යවන්නාගේ හඬිනි .

    උදේ වරුවට පාසලේද , හවසට ඥානාගෙ බෝඩිමේද සුපුරුදු ලෙස කාලය ගෙවී යද්දී අපේ එවුන් සුපුරුදු සියලු අවරගණයේ ක්‍රියාවන් අඛණ්ඩව පවත්වාගෙන ගිය අතර බෝඩිම අවට ආරක්ෂාව සහ පහසුකම් නොඅඩුව සැපයීමට තුඩුවමුල්ලේ රහස් පරීක්ෂණ සේවා සහ රොයිටර් සේවා දිවා රෑ නොබලා වෙහෙසිනි . බෝඩිම අවට වතු වල තිබෙනා වූ කොස්, දෙල් ,කුරුම්බා ,තැඹිලි , උක්ගස් , මයියොක්කා වැනි පහසුවෙන් ආහාරයට ගතහැකි දෑ එම ගස්වලින් අයිතිකරුවන්ට නොදන්වාම රාත්‍රී කාලයේදී අතුරුදහන් වූ අතර බෝඩිමේ තාප්පය අයිනේ තිබෙන කුණු ගොඩේ කොස් පොතු, දෙල් පොතු, මයියොක්කා පොතු වැනි අවශේෂයන් රහස් පරීක්ෂණ සේවා සහ ෂර්ලොක් හෝම්ස් සේවාවන්ගේ ඇස ගැසීමට නොදීමට අපේ එවුන් විසින් අපූරුවට වගබලා ගැනිණි. මුළු තුඩුවමුල්ලේම තිබෙනා වූ ගස්වල ගෙඩි අතුරුදහන් වූවත් බෝඩිමේ වත්තේ එකුදු ගසක එකුදු ගෙඩියක්වත් අතුරුදහන් නොවූයේ එම ගස්වල තිබෙන්නාවූ මල්, ගැට , පැහුණ ගෙඩි, ඉදුණ ගෙඩි , කලටි, කුරුම්බා, වේලිච්ච පොල් ඇතුළු සියලූම වර්ගයේ ගෙඩි වර්ග ගැන සජීවී දත්ත වාර්ථාවක් ඉස්කෝලේ ආච්චීගේ ඔලුවේ සටහන්ව තිබු බැවින්ය. තඩියාගේ දෙමාපියන් ප්‍රමුක ඥාති පිරිවරද දිවා රෑ නොබලා තඩියාගේ පෙම් පලහිලව්ව පසුපස හඹාගිය අතර හදිසි වැටලීම්ද අඛණ්ඩව සිදුවිණි. එකල ජී. පී. එස් තාක්ෂණයෙන් පුද්ගලයින් සිටිනා ඉසව්ව දැනගැනීමේ ක්‍රමවේදය ලොවට හඳුන්වා දුන් පුද්ගලයාට තඩියා ස්තුතිවන්ත වියයුත්තේ එම කාලයේදී එම තාක්ෂනය ලොවට හඳුන්වා නොදුන් නිසාය. තඩියාගේ කරුමයට එම තාක්ෂනය එකල භාවිතයේ තිබුනානම් තඩියාගේ දෙමාපියන් ජී. පී. එස් උපකරණයක් තඩියාට ගිල්ලවනු නොඅනුමානය. උසස්පෙළ විභාගය ඉතාම ආසන්නයේ බැවින් පාසල් යාමද අඛණ්ඩව සිදු නොවූ අතර පාඩම් කටයුතු ඉතාමත් අල්පවද , අනෙකුත් සියලු අවරගණයේ ක්‍රියාවන් උපරිමයෙන්ද සිදුකරමින් සොමිය ඒකාකාර ස්ථානයක පවත්වාගැනීමට සැවොම එකාසේ පෙළ ගැසී උන්නාහුය.

    ලිපියට උක්ත කතා නායකයාගේ සිද්දියේ කුටප්‍රාප්තිය සිදුවූයේ අප සියලුදෙනා පාසල් නොගොස්ම බෝඩිමේ රැඳුනාවූ එක්තරා දිනයකයි. දහවල් එකයි තිහ පසුවී පාසල් ළමා ළපටින් නිවෙස් කරා ඇදෙන්නා වූ වෙලාවට බෝඩිමේ ජනතාව තාප්පය උඩට වාර්ථා කිරීම සාමාන්‍ය චර්යාවයි. ආචාරධර්ම අකුරට පිළිපදිමින් සියල්ලන්ම තාප්පය අසලට වාර්ථා කෙරුණු අවස්ථාවේ මාගේ මිතුරාගේ RZ 125 මොටෝව බෝඩිම දෙසට ඇදෙන ශබ්දය ඈතින් ඇසෙන්නට වුවත් එය විශේෂිත සිද්දියක් නොවූයේ පාසල් නිමවූ වහා මා මිත්‍රයාද බෝඩිම වෙත ඇදෙනා වූ බැවිනි. එහෙත් එකවර මොටෝව නවත්වන ශබ්දය ඇසුනත් කිසිවෙකු ඒ ගැන අවදානයක් යොමු නොකළේ අප සියලුදෙනාම යම් දෙයක් මිලදී ගැනීමට නිරන්තරයෙන් ටිඩීගේ කඩයට යන එන්නාවූ අයවලුන් නිසාය. මොටෝව නවත්වන ශබ්දය අසුනේ ටිඩියාගේ වෙළඳසැල ආසන්නයේ බැවින් කිසිදු විශේෂත්වයක් අපේ එවුන්ට දැනුනේද නැත. එහෙත් හදිසියේම කරෝලිස් වේද මාවත දිගේ පහලට දිව ආවාවූ රොයිටර් සේවාවකින් අප වෙත දැනුම් දුන්නේ මා මිත්‍රයට කව්රුන් හෝ කඩුවකින් කොටන්නට යන ආකාරයේ ප්‍රවුර්තියකි. ප්‍රවුර්තියෙන් කලබලයට පත් අප සියලුදෙනා ටිඩියාගේ කඩය අසලට දුවගියේ සිදුවන්නේ කුමක්දැයි හරිහැටි වැටහීමක් නොමැති නිසාවෙනි.

    වංගුවෙන් තුඩුවමුල්ල පාරට මතුවූ අපට දක්නට ලැබූයේ කඩු සටනකට ලැහැස්ති වී උන් ශ්‍යමලීගේ අයියා නොහොත් වසන්තයා කඩුවක් අත දරමින් ඉන්දිකයාට සහ මාගේ අඹ යාළුවාට කොටන්නට උත්සහ කරන භයානක දර්ශනයකි..කඩයෙන් එලියට පැන්නා වූ ටිඩියාද අවට ගම්වාසීන්ද කඩු කොටයක් අතදරා සටනට යන්නට උත්සහ කරමින් සිටිනා වසන්තයා නම්මවා ගැනීමට අසීරු උත්සාහයක යෙදී සිටි අතර වැටකින් කඩා ගත්තා වූ ඉන්නක් ඇත දරා සටනට එන්නට උත්සහ කරන්නාවූ ඉන්දිකයා නම්මවා ගැනීමට තවත් පිරිසක් උත්සහ කරමින් සිටියාහුය. මා මිතුරාගේ RZ 125 බයිසිකලයද , වසන්තයාගේ සී නයින්ටියද පාර මැද පෙරලී තිබුණි.

    කපනවා යකෝ තොපි දෙන්නව.. පෙති ගහනවා මම අද තොපිව..
    වසන්තයා ඉන්දිකයාව යුද්දයට කැඳවන්නේ එසේය..

    කපන්න.. තෝ කොහොමද යකෝ මාව කපන්නේ.. තෝ දන්නේ නැහැ මේ ඉන්දික කව්ද කියල.. වර බලන්න කොටන්න..
    ඉන්දිකයාද අරින්නේ නැත..

    තොපි දෙන්න දැන් කාලයක් තිස්සේ මගේ නංගි පස්සේ එන්නේ.. තොපි හිතන් ඉන්නේ අපි ගොන්නු කියලද යකෝ.. අද මම තොපිව පෙති ගහනවා..
    වසන්තයා කඩු කොටය ගුවනේ ලෙලදෙවයි .. එහෙත් ටිඩියා ප්‍රමුක ගම්වැසියන් වසන්තායව අතාරින්නෙ නැත..

    තෝත් චන්ඩියෙක්ද යකෝ මට.. අතක් තියපන් පුලුවනිනම් මට..
    ඉන්දිකයාද අරින්නේ නැත.. එහෙත් ගම්වාසීන් ඉන්දිකයාව අතාරින්නේද නැත..

    වසන්තගේ මල්ලී, තාත්තා ඇතුළු පිරිසද හදිසියේ එම ස්ථානයට කඩා පැන්න අතර ඊට සමගාමීව අපේ උන්ද වලිය මැදට කඩා පනින ලදී.. තඩියා, බතලයා, එරාජ්, වාස් ඇතුළු බෝඩිමේ තුඩුවමුල්ල නියෝජනයට පැත්තක් ගැනීමට නොහැකි රණ්ඩුවක් වීම හේතුවෙන් කරුණු විමසා බලා සාමකාමීව වලිය සමතයකට පත්කරගැනීමට අපේ එවුන්ට හැකි වුයේ දැඩි පරිශ්‍රමයක් ඒ වෙනුවෙන් දැරීමෙන් අනතුරුවයි. වැට ඉන්නක් උලුක් කරමින් සිටි ඉන්දිකයාවද , ටිඩියාගේ කඩය අයිනේ නියපොතු කමින් සිටි මා මිතුරාද කැදවාගෙන අප සැම බෝඩිම වෙත පැමිණියේ කඩු කොටය අත දැරූ වසන්තයා ඇතුළු පවුලේ පිරිස එම ස්ථානයෙන් නිවෙස් බලා විසිර ගියායින් පසුවයි..


     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    සිද්දියෙන් අගතියට පත් ඉන්දිකයා සහ මා මිතුරා වටකොට පස්චාත් මරණ පරීක්ෂණය පවත්වන්නට අපේ එවුන් ලක ලැහැස්ති වූයේ සියල්ලෝම බෝඩිමේ තාප්පය අසලින් වාඩි වූවායින් පසුවය. සිද්දියේ අගමුල කිසිවෙකුත් නොදැන සිටියත් සිද්දියට කඩු හරඹයට මුලිකවූ ඉන්දිකයාත් , ඉන්දිකයාගේ අනුගාමිකයා වූ මා මිතුරාත් ගැන ඊට වැඩි යමක් මා දන්නා බැවින් කිසිවක් කථා නොකර සිටීමට මා වගබලා ගත්තද මා මිතුරා නියපොතු කමින් මා දිහා හොර ඇහෙන් බලමින් ඇඹරෙමින් සිටියේ තිත්ත කසාය මුට්ටියක් බලෙන් පොවන ලද ගොළුවකු සේමය.

    බෝඩිමේ සාමාජිකයින් සියල්ලන් විසින්ම ඉන්දිකයා ඇස්වසනු ලදුව යන්තම් සන්තම් ප්‍රශ්නය සමතයකට පත්වූ පසුව ඉන්දිකයා මා මිතුරාද සමග බෝඩිමෙන් නික්ම යන්නට මොටෝ සයිකලයට ගොඩවූ මොහොතේ එතෙක් වෙලා මාගේ හදවත දවාලූ ප්‍රශනය මම ඉන්දිකයා හමුවේ තැබුවෙමි..

    ඈ බන්.. දැන් උඹලෑ පවුලේ මිනිස්සු විරසක වෙලාද බන්..

    ඒ කිව්වේ.. මට ටිකක් පැහැදිලි කරහන් මොකක් ගැනද උඹ මේ කියන්නේ..

    මම අහන්නේ උඹයි උඹේ බාප්පාගේ පුත්තුයි විරසක වෙලාද ..

    මා මිතුරාද තිත්ත කසාය බිවූ ගොළුවකු සේ මොටෝසයිකලයේ පසුපස අසුනේ වාඩිවී සිටිමින් නියපොතු කමින් මා දෙස හොරැහින් බලමින් සිටියි..

    බොට පිස්සුද යකෝ.. අපේ බාප්පල අපි කිසම අවුලක් නැහැ..

    එතකොට බොගේ බාප්පයි බාප්පගේ පුත්තුයි කඩුවක් අරගෙන බොට කොටන්න ආවේ පිස්සුවටද..

    බොට පිස්සුද යකෝ.. මගේ බාප්පෙක් කොහෙද මට කොටන්න ආවේ..

    ඒ කියන්නේ දැන් වසන්තය උඹේ බාප්පාගේ පුතා නෙවෙයි..

    බොට පිස්සු හැදිලද යකෝ.. ඌ කොහොමද මගේ බාපගේ පුතා වෙන්නේ.. උගේ නම වසන්ත කියල දන්නෙත් අද බන් මම..

    එහෙනම් උඹ දැන් මාසෙකට විතර කලින් හල්වතුරට තකහනියක් ඇවිත් මට කිව්වේ මම බොලෑ බාප්පාගේ දූ ශ්‍යාමලී පස්සේ යනවා කියල.. මතකද උඹ කිව්වෙ බාප්පා මහා නපුරු එකා, ශ්‍යාමලී පස්සේ යනවනම් ඒක නවත්තපන් කියල..

    ඔව්.. මම කිව්වා තමයි.. ඉතින්..

    එතකොට දැන් පැය භාගෙකට කලින් බොට කඩුවෙන් කොටන්න ආවේ එදා කියපු බාප්පාගේ පුතා වසන්ත තමයි බොල ..

    හහ් ..

    මා කියූ දෙයින් එලෝ මෙලෝ නැතිවූ ඉන්දිකයා විනාඩියක් පමණ මා දිහා දෑස් විදහා බලා සිටියායින් අනතුරුව හැරුනේ පිටුපස අසුනේ වාඩිවී නියපොතු කමින් සිටි මා මිතුරා දෙසටයි..

    බැහැපන් මගෙන් මැරුන් නොකා..

    යමන් බන්.. මුගේ මේ විකාර අහන්නේ නැතුව අපි යමන්..

    මා මිතුරා ප්‍රශ්නයෙන් පැන යාමට උත්සහ කලේ එලෙසයි..

    මම දැන් තොට එකපාරක් කිව්වනේ.. බැහැපන් මගෙන් මැරුම් නොකා..

    මා මිතුරාද මොටෝවෙන් බැස්සේ ඉන්දිකයා වෙත විරිත්තමින්ය..

    බල්ලෝ.. තෝ දැනගනින් මීට පස්සේ කෙල්ලෙක් පස්සේ යනකොට තෝ එක්ක යන එකාටවත් කියපන් මේ යන්නේ අහවල් කෙල්ල පස්සේ කියලා.. බලහන් දැන් මේ පීචං වෙන්නේ මමනේ තෝ නිසා.. තෝ මහා #$%#&$^#@&$%$#%%$&#%@%$ බල්ලෝ ..

    මා මිතුරාට සිංහල සංස්කෘත වලින් ඇමැතූ ඉන්දිකයා මා දිහාට හැරුණි..

    මේ කාලකන්නියා කඩු කොටයක් අරන් පාරට පනිනකම් මම දන්නේ නැහැ බන් මූ මොකාද කියලා.. මෙන්න මේ බල්ලාගේ කීමට තමයි එදා ඇවිත් උඹව බය කරේ.. බැලුවාම මූ ගහල තියෙන්නේ ත්‍රිබල් ගේම් එකක්.. උඹ ශ්‍යාමලී පස්සේ යාවි කියන බයට මා ලව්වා උඹව බය කරලා මටත් නොකියම මාව එක්කන් ගිහින් තියෙන්නේ ශ්‍යාමලී පස්සේ.. හපොයි මට ගහන්න ඕන බූ වල්ලකින් බන් මු වගේ එකෙක් ආස්සරේ කරනවට .. මම දන්නේ නැහැ බන් ඒ කෙල්ලගේ නම ශ්‍යාමලී කියලා..

    සිද්දිය එලෙසින් නිමාවට පත්වුවත් මාගේ අඹ යාලුවා ශ්‍යාමලීගේ සිද්දිය ගැන අද වනතුරු කසිදු දෙයක් කතා කර නොමැත. කරන්නට යෙදුනාවූ ත්‍රිබල් ගේම් එක දුටු මට පිහිටවන්නාවූ දෙවි කෙනෙක් මා ඉදිරිපිටදීම මා මිතුරාගේ ත්‍රිබල් ගේම් එක අනුකම්පා විරහිතව කුජීත කර දැමුයේ ඒ ආකාරයෙනි. එවන් ඩබල් ගේම් කිහිපයකින් අනතුරුව එක් දරු පියෙක් වී සිටියි..

    රහස් පරීක්ෂක සේවා, රොයිටර් සේවා හා ෂර්ලොක් හෝම්ස් සේවා වල ඒකාබද්ධ මෙහෙයුම් සිය දහස් ගණනකින් අනතුරුව තඩියාගේ, ත්‍රාසය, භීතිය, කුතුහලය සපිරි ප්‍රේම වුර්තාන්තයද නිමාවුයේ තඩියාගේ දෙමාපිය ප්‍රමුක ඥාති පිරිවරට ඉනිමක ජයක් අත්කර දෙමින්ය. ප්‍රේම වුර්තාන්තයෙන් ශෝකයටපත් තඩියා තවත් ප්‍රේම වුර්තාන්තයකට ආරම්භය සනිටුහන් කලත් සුපුරුදු පරිදිම එයටද දෙමාපිය, ඥාති පිරිවර විරුද්දවූ නියායෙන් සියල්ල අත්හැර විදේශ රැකියාවක් සඳහා පිටත්ව ගියේය. එහිද ගොස් නිකම් නොසිටි තඩියා කුවේටයෙන්ද පෙම්වතියක් සොයාගත්තේ කොටන කුකුළාට කොයි කොටුවත් එකයි කියන්නාක් සේය . එදත්, අදත් , හෙටත් සත්‍ය ප්‍රේමයේ සලකුණක් වූ තඩියාට කුවේටයේ හමුවූ පෙම්වතිය විවාහ කරගැනීමට දෙමාපිය ආශිර්වාදය හිමිවූ අතර අද වනවිට එක්දරු පියෙක් වශයෙන් සාර්ථක පවුල් ජීවිතයක් ගතකරමින් සිටියද එම පෙම්වතියද සෙන්ටිමෙන්ටල් කරදීමට අප වෙහෙසවූ ආකාරය ගැන වෙනම පොස්ට් එකකින් ලිවිය යුතුය..

    උසස්පෙළ විභාගයට ඔන්න මෙන්න තිබියදී අපගේ අවරගණයේ ක්‍රියාවක් ඥානාගෙ දෙමාපියන්ට අතටම මාට්ටු කර දීමට ඒකාබද්ධ රහස් පරීක්ෂක සේවා සාර්ථකව සමත් වූ අතර, එම ක්‍රියාවට දඬුවමක් ලෙස, අපගේ දුක සහ සතුටඑක ලෙසින් විඳගත්තා වූ බෝඩිම සදහටම වසා දැමීමට ඥානාට සිදුවිණි.

    ඥානාගෙ දෙමාපියන් බෝඩිමට පැමිණ කොට්ටා පැදුරු සමගින් ඥානා කුදලාගෙන මයිනරයේ පසුපස අසුනට බලහත්කාරයෙන් නංවාගෙන බෝඩිමට සමුදී යනු දුටු මට එදා මතකයට නැගුනු දේ අදද එලෙසම මතකයේ සටහන්වී ඇත . එනම් අඹ යාලුවෝ ටෙලි නාට්ටියේ සුනිල් නොහොත් සුදු ආප්පෝ බලහත්කාරයෙන් කොළඹ පාසලකට ඇතුලත් කිරීමට රැගෙන යන අවස්ථාවේ මයිනරයේ පසුපස වීදුරුවෙන් නිමල් දෙස බලා සිටි ආකාරයයි..ඥානාද එලෙසම බෝඩිමේ සගයන් දෙස මයිනරයේ පසුපස වීදුරුවෙන් බලා සිටි ආකාරය ඉතාමත් දුක හිතෙනා සුළුය...


    අනේ බෝඩිමේ කතා ඉවරයි කියලා හිතුවට ඉවර නෑ .. තව තියෙනවෝ ...

    """""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""

    ඉතිහාසය දෙස බලා සිනාසෙන්නට උත්සහ කලද එම සිනහව පසුපසින්ම පැමිණෙන දුක්ඛදායී සිතුවිල්ල නම් බෝඩිමේ සිද්දීන් සියල්ලටම සෘජුව සම්භන්ධ වූ ඉස්කෝලේ ආච්චීද, ඥානාගෙ පියාද, තඩියාගේ පියාද මේ වනවිට ජීවතුන් අතර නොසිටීමයි. අපව යහමග යැවීමට දිවා රෑ නොබලා වෙහෙසවූ පුද්ගලයින් වශයෙන් ඉස්කෝලේ ආච්චීටද, ඥානාගෙ පියාටද, තඩියාගේ පියාටද නිර්වාන සම්පත්තියම ලැබේවා ...


    මෙය මා විසින්ම මාගේ බ්ලොගයට ලියන ලද්දක් බව කරුණාවෙන් සලකන්න..
     
    Last edited:
    • Like
    Reactions: dina84

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,525
    906
    113
    ගම්පහ
    පට්ට බං ආසාවෙන් කියෙව්වා.මාටින් වික්‍රමසිංහ ශූරීන්ගේ කතාවක් කියෙව්වා වගේ.ඉතුරු ඒවත් දාන්න
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    බලන් ගියාම මාමිට ඉඳලා තියෙන්නෙත් මට හිටිය වගෙ එපා කරපු, වසවර්ති සෙට් එකක් . . . :lol: :lol:
    අපේ වසවර්තියෝ ගැන කියන්න දේවල් තිබ්බත්, කියලා මට යහතින් ඉන්න වෙන්නෙ නෑ . . . :no: :no:
    තව අවුරුදු 10කින් විතර තමා ඒවා එළි කරන්න ඕනි . . ;) ;)


    Rep + + + + +

     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,941
    24,353
    113
    tracing Geo-location.. ... ...
    මේකත් ලොවෙත් නෑ.. තව වෙච්චි සිද්දි දාන්න.. නුවරඑළියේ ගමන ගැනත් කියෙව්වා.. බ්ලොග් එකේ ලින්ක් එක මෙතන දාන්න බැරි නම් PM එකක් වත් දාන්න.. ලියන විදියට කියවන්න පට්ට ආස හිතෙනවා අනිත් එක මේවට තනියම හිනා යනවා සද්දෙට.. 7+