සිරුරෙන් බැහැර අත්දැකීම්

raveenaj

Active member
  • Feb 8, 2016
    223
    153
    43
    සිරුරෙන් බැහැර අත්දැකීම්

    ඇස්ට්‍රල් ලෝකය සහ සැබෑ ලෝකය අතර සැරිසරන හැටි
    http://www.elakiri.com/forum/showthread.php?p=20348875↩

    ➡ මෙම ලිපිය අතුල මංචනායක මහතා විසින් නවයුගය පුවත් පතේ 2013 ජූනි කලාපයට ලියූ ලිපියක් වන අතර මේ පිළිබඳ සියලුම ගෞරවය එතුමාටම හිමි විය යුතුය.





    Capture_6.png

    මිනිසාට තම සිරුරෙන් බැහැරව සිටිය හැකිද? නූතන අධිමානසික විද්‍යාවේ සොයා ගැනීම් අනුව එය සැබෑවකි. තම සිරුරෙන් බැහැරව සිටි අවස්ථා පිළිබඳව පිළිගත හැකි වාර්තා රාශියක් මේ වන විට ලෝකය පුරා බොහෝ රටවල බොහෝ දෙනෙකු වෙතින් ඉදිරිපත් වී තිබේ.(out of body experience) සිරුරෙන් බැහැර අත්දැකීම් යනුවෙන් හදුන්වනු ලබන මෙවැනි අත්දැකීම් පිළිබඳ වාර්තා ගණනාවක් මේ වන විට ප්‍රකාශයට පත්ව ඇති අතර ඉන් වැඩි කොටසක් මරණාසන්න අත්දැකීම් හෙවත් Near Death Experience ලෙස සැලකේ.

    සිරුරෙන් බැහැර අත්දැකීමක් ලැබූ කවර හෝ පුද්ගලයෙකු තුළ වුවද ඇති වන ප්‍රථම සංවේදනය වන්නේ තමාගේ සිරුර ඉතා සැහැල්ලු වී තමා ගුවනේ පාවෙන බවය. මෙය ඇතැම්විට නින්දේදී හෝ අඩ නින්දේදී දැකීමට ඉඩ තිබේ. සිහින දැකීමේදී මෙන්ම සිහිනයෙන් විවිධ ස්ථානවලට ගමන් කිරීමේදී සිදුවන්නේද සිරුරෙන් බැහැරට ගමන් කීරීමක් බැව් කාල් යුං නමැති මනෝවිද්‍යාඥයා විශ්වාස කළේ ය. සෑම සිරුරෙන් බැහැර අත්දැකීමකදීම තමාට තමාගේ භෞතික සිරුර දක්නට ලැබීම සිදුවේ. විශේෂයෙන් ශල්‍යකර්මයකදී බොහෝ අවස්ථාවල සිදු වී ඇති පරිදි තම සිරුර ශල්‍යාගාරයේ මේසය මත වැතිර තිබෙන අයුරු දැකීමත් නින්දේදී සිදුවන සිරුරෙන් බැහැර අත්දැකීමකදී තම සිරුර ඇඳ මත වතිර නිශ්චලව තිබෙන අයුරුත් දැකගැනීමට ලැබුණු බැව් වාර්තා වී තිබේ. ඒ සමගම ඇතිවන නිදැල්ලේ අහසේ පාවීමේ සංවේදනයත් ඉතා සුවපහසුවත්, සියලුම කායික වේදනාවන්ගෙන් නිදහස් වීමත් එවැනි මොහොතකදී අත්දැකීමට ලැබෙන බව සිරුරෙන් බැහැර අත්දැකීම් ලැබූවන් විසින් විස්තර කරනු ලැබ ඇත. මේ අතර ඇතැම් අය, තමා තමාගේ භෞතික සිරුරට සිහින් අද්‍රව්‍යමය තන්තුවකින් සම්බන්ධව සිටින අන්දම ද විස්තර කර තිබේ.
    Capture_7.png

    සිරුරෙන් බැහැර අත්දැකීමකදී ගුවනේ, නිදැල්ලේ පාවෙන තැනැත්තා සතු සිරුර Astral Body හෙවත් 'මනෝකාය' හෝ 'සූක්ෂ්ම සිරුර' යනු භෞතික සිරුර තුලම තැන්පත්ව තිබී, මෙවැනි අත්දැකීමකදී පමණක් සිරුරෙන් බැහැර වන භෞතික සිරුරේම සැබෑ පිටපතක් වන නමුත් අද්‍රව්‍යමය ස්වරූපයක් ගන්නා එකකි. ආලෝකමය පෙනුමක් ඊට ඇති අතර ඇතැම් අවස්ථාවලදී පියවි ඇසින් දැකීමට ද හැකී වේ. තවද එය ද්‍රව්‍යමය නොවන බැවින් ඕනෑම ඝන වස්තුවක් තුළින් ඊට ගමන් කළ හැකි වේ. ඇත්ත වශයෙන්ම කිවහොත් ඇස්ට්‍රල් සිරුරකට පැවතිය හැක්කේ ඇස්ට්‍රල් තලයක පමණි. ඇස්ට්‍රල් තලය Astral Plane යනුවෙන් හැදින්වෙන්නේ ද භෞතික තල Physical Plane හෙවත් භෞතික ලෝකය හා සමාන්තරව පවත්නා ඊට සෑම අතින්ම සමාන අද්‍රව්‍යමය ලෝකයකි. ඇස්ට්‍රල් ලෝකය සිත දියුණු කල යෝගීන් හට භෞතික ලෝකය හා සමානවම ප්‍රත්‍යක්ෂ වශයෙන් සංවේදනය කිරීමට හැකි වන බව අධිමානසික පර්යේෂකයෝ ප්‍රකාශ කරති. භෞතික සිරුරෙන් ඉවත් වී ඇස්ට්‍රල් සිරුරට පිවිසි පුද්ගලයකුට භෞතික ලෝකයේම පිටපතක් වූ ඇස්ට්‍රල් ලෝකය තුළ නිදහසේ සැරිසැරීමට හැකිවේ. තවද භෞතික ලෝකය තුළ පවත්නා වූ කාල අවකාශ සංඥා ඇස්ට්‍රල් ලෝකය තුළ සැරිසරන්නෙකුට නොදැනෙන බව පැවසේ. එනම් යම් ස්ථානයක් ගැන සිතූ සැනින් එම ස්ථානයේ පෙනී සිටීමේ හැකියාවත් ඇස්ට්‍රල් තලයට පිවිසි කවරෙකුට වුවද ලැබෙන බව විශ්වාස කෙරේ.

    මරණයට ඉතා ආසන්න තත්ත්වයට පිවිසීම නිසා තාවකාලික ඇස්ට්‍රල් සිරුරට පිවිස භෞතික සිරුරෙන් ඉවත් වූ අයෙකුට වුවද ඉහත විස්තර කළ කාල අවකාශ සීමාවලින් තොරව හැසිරීමට ඉඩ ලැබේ.

    ඇස්ට්‍රල් සිරුරට පිවිසීම හෙවත් භෞතික සිරුරෙන් ඉවත් වීම පිළිබඳව පුරාණ ග්‍රන්ථවල පවා සඳහන් වී තිබේ. පතංජලී යෝග සූත්‍රයෙහි සිත දියුණු කරන යෝගියෙකුට ලැබිය හැකි 'සිද්ධි' අටෙන් එකක් වශයෙන් සිරුරෙන් බැහැරව අහසේ පාවීම දක්වා ඇත. මේ හැර බෞද්ධ සාහිත්‍යයේ බොහෝ අවස්ථාවලදී රහතන් වහන්සේලා සෘද්ධි බලයෙන් අහසින් වැඩම කළ ආකාරය පිළිබඳ විස්තර සඳහන් වේ.

    පුරා ඊජිප්තියානු චිත්‍ර සටහන්වලින් පැහැදිලි වන පරිදි ඇස්ට්‍රල් තලයට පිවිසිය හැකි ගේට්ටු දහයක් හා දොරටු හතක් ඇති බැව් පුරාණ ඊජිප්තියානුවෝ විශ්වාස කළහ. එමෙන්ම ඔවුහු ආත්මය හෙවත් ඇස්ට්‍රල් සිරුර, කුරුල්ලෙකු මෙන් භෞතික සිරුරෙන් ඉවතට පියාඹා යා හැකි බැව් ද විශ්වාස කළහ.

    ඇමෙරිකා එක්සත් ජනපදයේ විස්කොන්සින් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙකු වූ ඩීන් ෆීල්ස් 1978 වර්ශයේදී සිරුරෙන් බැහැර අත්දැකීම් ලැබූ අය පිළිබඳව අන්තර් සංස්කෘතික පර්යේෂණයක් කළේ ය. බටහිරට අයත් නොවන සංස්කෘතීන් 70 ක් ඇසුරෙන් කරනු ලැබූ එම පර්යේෂණය මගින් හෙළිදරව් වූ පර්යේෂණයට සහභාගී වූ මුළු සංඛ්‍යාවෙන් සියයට 95 ක් ම පවසා සිටියේ තමන් ලැබූ සිරුරෙන් බැහැර අත්දැකීම් සැබැවින්ම සිදු වූ දෙයක් බවය. එනම් තමා සැබැවින්ම සිරුරෙන් ඉවත්ව සිටි බවය.

    ඉතා මෑත ගතවූ කාලය තුළදී පිළිගත හැකි පුද්ගලයන් ගණනාවක් විසින් තම තමන් ලැබූ සිරුරෙන් බැහැර අත්දැකීම් විස්තර කරනු ලැබ ඇත. ඒවායින් බොහෝමයක් හදිසි අනතුරු නිසා බරපතල ශල්‍යකර්මවලදී සිරුරෙන් බැහැරව ලැබූ අත්දැකීම්. මේ එවැනි එක් සිදුවීමක් පහත සඳහන් කරමු.

    1964 වර්ෂයේ දිනක ඩේවිඩ් ටේලර් සහ ඔහුගේ මිත්‍රයෙකු උතුරු ටැන්සානියාවේ නැගෙනහිර අප්‍රිකා ප්‍රදේශයේ මෝටර් රථයක ගමන් කරමින් සිටියේ ය. හදිසියේම මෝටර් රථය ඉදිරියෙන් ආ ලොරියක ගැටීම නිසා බරපතළ තුවාල ලැබූ ඩේවිඩ් ටේලර් මරණයට ඉතා ආසන්න තත්ත්වයට පත් වූයේ ය. පසුව මෝෂ් රෝහලට ඇතුළු කරනු ලැබූ ඔහු සුවය ලැබීමෙන් පසු තම අත්දැකීම් විස්තර කළේ පහත දැක්වෙන අන්දමිනි.

    "අප එවේලේ මෝෂ් දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයෙහි ගමන් කරමින් සිටියා. මගේ මිතුරා රිය පැදවූ අතර මා ඉදිරිපස අසුනේ අඩ නින්දේ පසු වුණා. පුරා පැය හයකට පසුව ඉදිරියෙන් ආ ප්‍රථම වාහනය පෙන්වීමට මගේ රිය පැදවූ මිතුරා මා අවදි කළා. මට දෙනෙත් විවෘත කර බැලීමටවත් අවස්ථාවක් ලැබූණේ නැහැ. ඉදිරියෙන් ආ ලොරිය අප රථයේ මහ හඬින් ගැටුනා. ඒ සමගම මා අහසේ පාවෙමින් මෙම සිදුවීම දකිමින් සිටින බව මට දැනුණා. මා යාර කිහිපයක් ඉහළින් අහසේ පාවුණා. ලොරියේ හැපුණු අපේ රථයට බරපතළ හානි සිදුවී තිබෙනු මා දුටුවා. කිසිදු තුවාලයක් නැතිව සිටි මගේ මිතුරා රථයෙන් එළියට පැමිණ රථයෙන් ඉවතට බිම වැටී තිබූ මගේ සිරුර පරීක්ෂා කර බලන අන්දම මම අහසේ සිට බලා සිටියා. මා මිය ගොස් ඇති බව මට හිතුණා. ඉන් පසුව මට මතක ඇත්තේ මම මෝෂ් රෝහල තුළ ඇඳක් මත දින දෙකක් සිහියෙන් තොරව සිටි බවයි. පසුව මා මගේ සිරුර තුළට පිවිස සිටින බව මට දැනුණා."
    Capture_8.png

    ඩේවිඩ් ටේලර් විසින් පසුව ඉදිරිපත් කරන ලද මෙම විස්තරය ඔහුගේ මිතුරා විසින් කරන ලද විස්තරය සමග සෑම අතින්ම ගැළපුණු බව දක්නට ලැබිණි. මෙබඳු වාර්තා දහස් ගණනක් දැනට ලෝකය පුරා බොහෝ රටවලින් ඉදිරිපත් වී තිබේ. තවද එම විස්තර කිසිවක් බැහැර කළ නොහැකි ආකාරයේ සාක්ෂි සහිතව ඉදිරිපත් වී ඇත. මේ හැර ඉබේටම මෙන් සිදු වූ සිරුරෙන් බැහැරවීම් පිළිබඳව ද වරින් වර වාර්තා වී තිබේ. සුප්‍රසිද්ධ සාහිත්‍යකරුවකු වූ අර්නස්ට් හෙමිංවේ විසින් තමන් ඉබේටම තමන් ලැබූ සිරුරෙන් බැහැර අත්දැකීමක් පිළිබඳ විස්තර කර ඇත්තේ පහත දක්වන අයුරිනි.

    "මගේ ආත්මය හෝ යමක් මගේ සිරුරෙන් එළියට ඇදෙන බව මට දැනුණා. ඔබ ඔබගේ සාක්කුවෙන් සිල්ක්වලින් නිම වූ ලේන්සුවක් අදින්නාක් මෙන් පහසුවෙන් මම ඉබේටම මෙන් මගේ සිරුරෙන් එළියට ඇදුණා. මඳ වේලාවක් අහසේ පවුණු මා නැවත සිරුරට ඇතුළු වූ බව මට දැනුනා."

    සිරුරෙන් බැහැර අත්දැකීම් පිළිබඳ මෙවැනි විස්තර දාර්ශනිකයන් හා මනෝවිද්‍යාඥයන්ට මහත් වූ ගැරළුවක් බවට පත්වී තිබේ. බොහෝ විවේචකයන් පවසන්නේ සිරුරෙන් බැහැර අත්දැකීම් යනු හුදු දෘෂටි මායාවක් බව ය. නැතිනම් විකාර රූප පෙනීමක් බව ය. එහෙත් සැබැවින්ම එම අත්දැකීම් ලැබූ කිසිවෙකු තම අත්දැකීම් දෘෂ්ටි මායාවක් හෝ මායාකාරී සංවේදනයක් ලෙස නොසලකති. ඔවුන් සියළුම දෙනා සිතන්නේ තමන් සැබැවින්ම සිරුරෙන් ඉවත්ව ස්වල්ප වේලාවක් හෝ ගත කළ බව ය. විශේෂයෙන් සිරුරෙන් බැහැරව සිටි කාලය තුලදී අවට පරිසරය තුළ සිදු වූ සිදුවීම් නිවැරදිව විස්තර කිරීමට ඔවුන් සමත් වීම නිසා මෙය හුදු මනෝ විකාරයක් සේ බැහැර කිරීමට නොහැකි වී තිබේ.

    තවද මේ අන්දමින් සිරුරෙන් බැහැර අත්දැකීම් ලැබූ බොහෝ දෙනෙකු පවසන්නේ සමස්ථ ජීවිතය හා තමාගේ ජීවිත පැවැත්ම පිළිබඳ මතය හා ආකල්පය මෙම අත්දැකීමෙන් පසු බොහෝ දුරට වෙනස් වූ බව ය. විශේෂයෙන් මරණයට ඇති බිය මුළුමනින්ම පහවූ බව ය. මරණය යනු දරුණු වේදනාකර අත්දැකීමක් නොව සුන්දර වූ අත්දැකීමක් බව ඔව්හු පවසති.

    භාවනා ආදී සිත දියුණු කිරීමේ ක්‍රම මගින් කිසියම් මට්ටමකට එළඹීමෙන් පසුව තමාගේ කැමැත්ත පරිදි කැමති විටෙක සිරුරෙන් බැහැර විය හැකිය යන විශ්වාසය තහවුරු කෙරෙන ලේඛන විශාල සංඛ්‍යාවක් මේ වන විට ප්‍රකාශට පත් වී තිබේ.

    ක්‍රමානුකූලව සිත පුහුණු කරමින් යම් මානසික අභ්‍යාසයක යෙදෙන කවරෙකුට වුවද සිරුරෙන් බැහැර අත්දැකීම් ලැබීමට හා සිරුරෙන් බැහැර චාරිකාවල යෙදීමට හැකි බව විස්තර කෙරෙන පොත්පත් රාශියක් 1990 න් පසුව අධිමානසික සාහිත්‍යට එක් වී තිබේ.

    Out of Body Experience in 30 Days හෙවත් 'දින 30 කින් සිරුරෙන් බැහැර වීමට මග" නමැති කෘතිය ඉන් එකකි. මෙම කෘතිය ඇසුරින් ඉදිරිපත් කරනු ලබන විස්තර ලබන කලාපයෙන් ඔබට කියවීමට ඉඩ ලැබෙනු ඇත.
    Capture_10.png
    Capture_9.png




     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,563
    2,387
    113
    Experience ගන්නකන් විශ්වාස කරන්න අමාරුයි.

    භාවනා කරනවා බලමු.
     

    raveenaj

    Active member
  • Feb 8, 2016
    223
    153
    43
    Experience ගන්නකන් විශ්වාස කරන්න අමාරුයි.

    භාවනා කරනවා බලමු.

    මට experience හම්බුනා මචං හැබයි භාවනා කරල නම් නෙමෙයි. භාවනාත් කරනව මං කොහොමත් හොදයිනෙ.