මා හිතවත් ජගත් මනුවර්ණ සහෝදරයා වෙතය,
හිතවත් ජගත්,
වේදිකාව සේ ම ටෙලිනාට්‍ය වලදීත් මා දුටු නැගී එන අංකුර රංගධරයා ඔබ වූ බව සිහිපත් කරමි. කුමන ආකාරයේ චරිතයක් වුවත්, එය තුලට ආවේශ වී එය ඉදිරිපත් කිරීමේ ඔබ සතු වූ ඒ කුසලතාවය මා ඉමහත්ව අගය කලෙමි. පසු කාලයක, අළුත් පරපුර තුලින් දේශපාලනය තුලට බැස, මේ කාළකන්නි ඩිස්කිලන්තයේ පදින්නට ලැම්බෝගිනියක් ඔබ මහ හඩින් ඉල්ලා සිටි විට ද, මා ඔබේ ඒ වේදනාව අවබෝධකොට ගත්තෙමි.
නමුත් ජගත්,
ඔබ අවබෝධ කොට නොගත් සත්‍යය වන්නේ මේ පවතින ක්‍රමය තුළ දේශපාලකයන් අප සියලු ම දෙනාව ගොනාට අන්දවන බවය. එදා ලැම්බෝගිනියක් ඉල්ලා මුර ගෑ ඔබ, අද ඔබ දර දිය ඇද පත් කොට ගත් අය ම කලාව තුට්ටු දෙකට දමා කටයුතු කරන විට ඔබ පත්ව සිටින වේදනාවත්, ඊට වඩා ලැජ්ජාවත් අවබෝධ කොට ගෙන සිටිමි. ඔබ සිතුවේ අළුත් පරපුරට සෙවන දුන් අය මේ රට සුරපුරක් කරාවියැයි සිතා ය. බොහෝ දෙනා එසේ සිතුව මුත් එය එසේ නොවන බවත්, උන්ට ඔබ කියන සංස්කෘතික ජීවිතය අදාළ නොවන බවත් ඔබට දැන් හෝ වැටහෙනවා ඇතැයි සිතමි. මා මහින්දවාදියෙක් නොවන මුත් අවසන දී සිදුවූයේ ඉගුරු දී මිරිස් ගැනීමක් බව ඔබට දැන් වැටහෙනවා ඇත.සබුද්ධිකයෙක් ලෙස ඔබ වඩාත් නිවැරි දෙය තෝරා ගැනීමත්, ඒ නයින් තවදුරටත් කඩේ නොයෑමත් කරනවා නම් ඒ ඇතිය.
කලාකරුවන් පවතින කිසුදු ක්‍රමයකට කඩේ නොයා යුතු බව සිතමි. කලාකරුවා සතු කාර්යය වන්නේ මිනිසා ඥාණනය කිරීමයි යනුවෙන් පැවසුවේ ඔබේ වරිගයේ මහා මිනිසා බ්‍රර්ටෝල් බ්‍රෙක්ට්ය. ඔහුට වරදින්නට විදියක් නැති බව මා මෙන් ම ඔබ ද විශ්වාස කරනවා යයි සිතමි.
ඔබ ඇතුළු අළුත් පරපුර ද ජනතාව ඥාණනය කළ යුතු කාලය එළඹ ඇතැයි මකත් කරමින් නවතිමි.
ඔබේ කටයුතු සාර්ථක වේවා!!
ඔබේ රංගනයන් අගය කරන,
දත් කිඹුළා වන මම් වෙමි.