Domino’s, Pizza Hut විතරද?; රු. 1000ට අඩුවෙන් බඩ පැලෙන්න පීසා කන්න, මෙන්න තවත් සුපිරි පීසා කඩ 10ක්
1. Giovanni's
1. Giovanni's
මට හමුවුණ තරු 5හේ පීසා කඩේ. තියෙන්නෙ තමයි තිඹිරිගස්යාය ආනන්ද හිමි මාවතේ. හැම්, බේකන් විතරක් නෙවෙයි තව එක එක විදියට හදපු රස මස් ජාති, එළවළු, චීස් පදමට දාලා හදන මෙයාලගෙ පීසාවල, රොටියෙ ඉඳන්ම හැදෙන්නෙ කඩේ ඇතුලෙදිමයි. මැදපු ග්‍රැනයිට් මේසයක් උඩ තුනීයට හැදෙන රොටියට අඟලක් එක හමාරක් ඝන කමට හිටින්න අඩුම කුඩුම ටික වැටිලා දර උඳුනෙ පදම් වෙද්දි එන සුවඳ නම් ඉවසන් ඉන්න බැරි තරම්. ඇත්තටම ගාණ රු. 1000ක් වගේ වුණාට කාපු කෙනෙක් නම් ආයෙ රස අමතක වෙනව බොරු.
2. Belmio Pizza
කඩ නම් අන්න පීසා කඩ. තඩි මාගරිටා පීසා එකක් රු. 900යි වෙන්නෙ. එතකොට ඒ සයිස්ම චිකන් බාබකියු පීසා එකක් රු. 1000යි. බේකන්, ඔලිව් පීසා එකක් රු. 1150යි. ඒ විතරක් නෙවෙයි පීසා කාලා කන්න මෙයාලා ලඟ ඩෙසර්ට් පීසාත් තියෙනව, නියුටෙලා පීසා, නියුටෙලා කැල්සෝන් පීසා වගේ. ඒවත් රු. 900 වගේ යන්නෙ. තලවතුගොඩ මාදිවෙල පාරෙ තියෙන මේ පීසා කඩේ මුලු මනින්ම හැදෙන්නෙ ඉටෑලියන් පීසා නිසා රසවල් ගැන නම් අමුතුවෙන් කියන්නත් ඕන නැති තරම්. ඒ නිසාම ඔය අද හෙට පීසා පාර්ටි දාන්න හිතාගෙන ඉන්න අය අනිවාර්යයෙන්ම යන්න ඕන තැනක් තමයි මේ බෙල්මියෝ.
3. Rocco's
රොකෝගෙ පීසා කන්න ඕන නම් යන්න රාජගිරිය, නාවල පාරට. එතන ඉඳන් මීටර 200ක් නෑ රොකෝස් එකට. හැම්, බේකන්වලින් හොඳටම වැඩ දාපු පීසා එකක් කනව නම් කියාපු තැනක් තමයි. එවෙලෙ හදල දර පෝරණුවෙ බේක් කරල ගන්න මෙයාලගෙ Salmon Affumicato වගේ පීසා නම් පට්ට රසයි. මොකද පදම් කරපු ලොකු සැමන් කෑලි, ළූණු, මොසරැල්ල චීස් එහෙමත් මදි නොකියන්න දාලා තියෙනවනෙ. අනික පොඩි පීසා එකක ගාණ රු. 1000, 1100 වගේ නිසා පොකට් එකටත් අවුලක් නෑ. අපි කිව්වට ඔය සැමන් පීසා විතරක් නෙවෙයි තව එක එක රසට හදපු රස වෑහෙන පීසා ජාති 10, 12කටත් වඩා රොකෝ ළඟ තියෙනව. ගිහින් කාලාම බලන්නකෝ.
4. Cafe Michelangelo
ශ්‍රී ලංකන්, වෙස්ටර්න් රසවල් හරි ලස්සනට ගලපල පට්ට රහට පීසා හදන තැනක් තමයි නාවල, කොස්වත්තෙ මයිකල් ආන්ජෙලෝ කැෆේ එක. 'මයිකල්ආන්ජෙලෝ' කියන්නෙ චිත්‍ර කලාකාරයෙක්නෙ. 'කැෆේ මයිකල්ආන්ජෙලෝ' කියන්නෙ පීසා කලාගාරයක්. පොල්සම්බෝල පීසා කියන්නෙ අන්න ඒ කලාවෙන් බිහිවුණු පට්ට පීසා එකක්. රු. 900ක් විතර වුණාට පොල්සම්බෝලයි, පදමට එකතු වුණු චීස් රසයි රස නහර පිනවන්නෙ තරඟෙට වගේ. ඒ හැරුණාම ඉස්සන්ගෙන් පිරුණු ලොකු මරියානා පීසා එකක ස්මෝල් එකකුත් රු. 1100ක් වගේ වෙන්නෙ. ඇත්තටම කටට රහට බඩකට පුරවගන්න නම් කැෆේ මයිකල්ම තමයි.
5. Harpo's Pizza
කොළඹ 07, ග්‍රෙගරි පාරෙයි නුගේගොඩ, ස්ටැන්ලි තිලකරත්න මාවතෙයි තියෙන හාර්පෝස් එක පොකට් එකට ලොකු බරක් නොදී ම රසම රස පීසා ටිකක් රස බලන්න තවත් කියාපු තැනක්. මෙයාලගෙ බේකන්, ස්මෝක්ඩ් චිකන්, චීස් දාලා හදන පීසා රොමන්ගා එක එහෙම සෑහෙන්න නැගල යනව. එකක් රු. 1060යි. දෙන්නෙක්ට ඇති වෙන්න තියෙනවත් එක්ක. ලංකාවෙ අපිට හුරුපුරුදු පීසා රසෙන් එන නිසා මදි නොකිය කන්නත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඉස්සො, මී කිරි, සුදු ළූණු, තක්කාලි වගේම ඇති පදමට මොසරැල්ල චීසුත් දාලා හදන රසම රස මරියානා පීසා එකකුත් මෙයාලගෙන් රු. 1100කට ගන්න පුළුවන්. නියමයි නේ…
6. Chatz
කුරුඳුවත්ත හෝර්ටන් ප්ලේස්වල තියෙන චැට්ස් එකේ පීසාත් අනිවා රස බලන්න ඕන ලැයිස්තුවෙ තියෙන පීසා තමයි. රස වර්ග 10ක් 12ක් නැති වුණාට, තියෙන සෙට් එකෙන් චිකන් චීස් පීසා එහෙම පට්ටම රසයි. මදි නොකියන්න මොසරැල්ලා චීස් දාලා, පුංචි සැර ගතියක් තියෙන්න මිරිස්, ගම්මිරිස් එහෙමත් දාලා තක්කාලි, සුදු ළූණු, පෙපර් රස පදමට දාලා හැදෙන මේ පීසා රු. 800 වගේ ඉඳන් ගන්නත් තියෙන නිසා පොකට් එකටත් ඒ හැටි ගාණක් නෑ.
7. Arthur's Pizza
ඔන්න තියෙනව අපේ රහට පීසා හදන තවත් නියම කඩයක්. නම ආතර්ගෙ පීසා. තියෙන්නෙ ගල්කිස්සෙ ලයන්ස් පබ් එක ළඟ. සෑහෙන් අඩු ගාණකට වෙනස්ම පීසා රසක් අත්විඳින්න මෙතනට යන ඔයාලට පුළුවන්. බිත්තර, බේකන් දාලා හදන පීසා එතකොට චිකන්, නයි මිරිස් පීසා... උණු උණුවෙ මේසෙට එද්දි ඉබේටම කටට කෙල උණන ගාණයි. පීසා එකේ චීස් රස මැද්දෙන් පදමට කැපෙන සැර ගතියත් එද්දි පංකාදු පහයි, කාගෙන කාගෙන යන්න පුළුවන්. අනික මේ තරම් රස පීසාවල ගණනුත් රු. 1000ට අඩුයි. ආ.. ඒක නෙවෙයි ආතර්ගෙ පීසා කඩේට යන ඔයාට කැමති නම් බියර් වීදුරුවක් අරක්කු වීදුරුවක් තොල ගගා වුණත් පීසා රස බලන්න පුළුවන් හොඳද.
8. Peppers
මැජෙක්ටික් සිටි ෆුඩ් කෝට් එකේ තියෙන පෙපර්ස් පීසා කඩේ 'පොඩි බඩගින්නට සුපර්' පීසා කෑල්ලක් කන්න කියාපු තැනක්. හැබැයි ඉතින් ලොකු ලොකු වැඩ කිඩ, රස ජාති 8, 10 එහෙම නම් නෑ. ගොඩක් දුරට පීසා හට් එකේ පීසා වගේ තමයි. මෙයාලගෙ ස්පයිසි චිකන්, තක්කාලි පීසා එක තමයි නැගලම යන්නෙ. ලොකු කෑල්ලක් රු. 180ට ගන්න පුළුවන්.
9. Il Caffe
කොල්ලුපිටිය ඩුප්ලිකේෂන් පාරෙ තියෙන ඉල් කැෆේ එකත් ඔරිජිනල් ඉටෑලියන් පීසා කන්න කියාපු තැනක්. වැඩේ කියන්නෙ මෙයාල ළඟ තියෙන පීසාවලින් රසම එක මොකක්ද කියන්න තරම් අපි දන්නෙ නෑනෙ. හැබැයි තුනී රොටිය උඩින් වැටෙන පදම් වුණු මස් ටිකයි තක්කාලි, පෙපර්, ඔලිව් එක්ක ඝන මොසරැල්ල චීස් තට්ටුවක් එහෙම වැටෙන නිසා රසේ අඩුවක් නම් වෙන්න බෑ. හැරත් පොඩි පීසා රු. 800, 900 වගේ ඉඳන් ගන්නත් තියෙනවනෙ. ඉතින් ඉල් කැෆේ පැත්තෙ ගියපු යාළුවෙක් ඉන්නව නම් ඔයා කාපු පීසා එකේ රස අපිට කමෙන්ට් කරන්න. එතකොට අපිට වගේම අපේ පීසා ලෝලීන්ටත් සෑහෙන්න වැඩක් ගන්න පුළුවන්නෙ.
10. Platinum Pire
වැල්ලවත්ත මරීන් ඩ්‍රයිව් එකේ තියෙන ප්ලැටිනම් පයර් පීසා එකේ පීසාවලට අපේ කට්ටිය එච්චරටම කැමති නැති වුණාට මට නම් ලොකු අවුලක් නෑ. මොකද පීසා හට්, ඩොමිනෝස් පීසා ගාණටම තියෙනවනෙ. අර වැඩේ තියෙන්නෙ මස් මාළු, එළවළු, චීස් ඇතිරුමට වඩා ලොකුවට රොටිය තියෙනව එක තමයි. සැර ගතියක් එහෙම නම් නැති තරම්. චීස් රස තමයි ඉතින්. කොහොම වුණත් ලොකු පීසා කෑල්ලක් රු. 350ට 400ට ගන්න පුළුවන්නෙ. අනික දෙකක් කෑවාම බඩත් ෆුල්.
BUDDIKA@yamu
උබලා දන්න තැනුත් මේකේ දාපල්ලා.දන්නේ නැති අයට දැනගන්න
උබලා දන්න තැනුත් මේකේ දාපල්ලා.දන්නේ නැති අයට දැනගන්න





