රුපියලේ_දුක්බර_දෛවය

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    8,912
    10,429
    113
    රුපියලේ_දුක්බර_දෛවය

    money_srilanka.jpg



    අගය අවප‍්‍රමාණ වීමේ තනි-දිසාවේ පාරක දිවෙන රුපියලේ දුක්බර දෛවය



    ශ‍්‍රී ලංකාවේ මුදල් ඒකකයේ බාහිර වටිනාකම මණින සම්මත මිනුම වශයෙන් ගැනෙන ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය හදිසියේ කඩා වැටීම ගැන මේ දිනවල මාධ්‍ය තුළ ලොකු කතාබහක් ඇතිව තිබේ. මහ බැංකුව තමන්ගේ විනිමය අනුපාතිකය දැන් ප‍්‍රකාශයට පත්කරන්නේ නැත. එය, 2000 සිට පැවත එන පුරුද්දකි. ‘නිදහසේ පාවෙන විනිමය අනුපාතික ක‍්‍රමය’ යටතේ අපේ විනිමය අනුපාතිකය තීන්දු වීමට විදේශ විනිමය වෙළඳපොලට ඉඩ හැරීම පටන් ගත්තේ ඒ වසරේදී ය. ඒ අනුව, දැනට වෙළඳපොල මාර්ගෝපදේශය සඳහා විනිමය අනුපාතික දෙකක් තිබේ. ඒ දෙකම, වාණිජ බැංකු කෙරෙහි බලපවත්වන්නේය. ඒ අනුපාතික දෙකම, දවසකින් පසුව, මහ බැංකුව මගින් ප‍්‍රකාශයට පත්කරනු ලැබේ.

    වෙළඳපොලේ කුලප්පුව

    එකක් වන්නේ, අන්තර්-බැංකු විදේශ විනිමය වෙළඳපොල වශයෙන් හැඳින්වෙන, වාණිජ බැංකු තම තමන් අතරේ කෙරෙන ගනුදෙනු සඳහා පාවිච්චියට ගන්නා, ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ගණන් ගැනෙන, ‘ප‍්‍රතීයමාන තත්කාලීන අනුපාතිකයයි’. මේ අනුපාතිකය අනුව, මීට සති දෙකකට පෙර ඇමරිකානු ඩොලරයට රුපියල් 155.75 වශයෙන් පැවති අතර, අපේ‍්‍රල් 27 වැනි දා වන විට එය රුපියල් 157.65 දක්වා පහළ වැටුණි. එනම්, ඩොලරයක රුපියල් අගය 1.90 කින් පහළ වැටීමකි.

    අනිත් අනුපාතිකය වන්නේ, රුපියලේ ඉරණම මැනීම සඳහා මාධ්‍ය සහ වෙනත් විශ්ලේෂකයන් විසින් පාවිච්චි කරනු ලබන සාමාන්‍ය අනුපාතිකයයි. එනම්, වාණිජ බැංකු විසින් මුදල් ලැබීම හෝ යැවීම සිදු කිරීමේදී ඩොලරයක වටිනාකම වශයෙන් ගැනෙන රුපියල් අගයයි. මීට සති දෙකකට කලින්, එනම් අපේ‍්‍රල් 16 වැනි දා ඩොලරයක් මිලදී ගැනුණේ, රුපියල් 153.76 කට ය. එහි විකිණුම් මිල වුණේ රුපියල් 157.53 කි. ඒ අනුව, විකිණීම සහ මිලදී ගැනීම අතර මධ්‍යම අනුපාතිකය වුණේ, රුපියල් 155.64 කි. අපේ‍්‍රල් 27 වැනි දා වන විට මේ ප‍්‍රමාණයන්, පිළිවෙලින් රුපියල් 155.40 ක් සහ රුපියල් 159.01 ක් වූ අතර, මධ්‍යම අනුපාතිකය වුණේ, රුපියල් 157.21 කි. මේ අනුපාතික දර්ශකයට අනුව, සති දෙකක කාලයක්දී ඩොලරයට සාපේක්ෂ රුපියල් අගය රුපියල් 1.57 කින් පහළ ගොස් තිබේ. විවේචකයන් සහ මාධ්‍යකරුවන් අතරේ කැළඹීමක් ඇති වී තිබෙන්නේ මේ කියන අවප‍්‍රමාණය සම්බන්ධයෙනි.

    මෙය අසාමාන්‍ය තත්වයක් නොවේ. 1977 අවසානයේ සිට නම්‍යශීලී විනිමය අනුපාත ක‍්‍රමයක් අප පනවා ගත් දා සිට මෙවැනි තත්වයන් හටගෙන තිබේ. ඊට කලින් ලංකාවේ තිබුණේ, ස්ථාවර විනිමය අනුපාත ක‍්‍රමයකි. එම ක‍්‍රමය තුළ, ඩොලරය-රුපියල අතර විනිමය අනුපාතිකය වෙනස් කෙරුණේ, ආණ්ඩුව ගන්නා ප‍්‍රතිපත්ති තීන්දු මත පමණි. එහෙත් රටේ විදේශ විනිමය ලැබීම් සහ ගෙවීම් අතරේ නිරන්තර හිඟයක් පැවති තත්වය තුළ, මේ ස්ථාවර අනුපාත ක‍්‍රමය වැඩි කල් පවත්වාගෙන යාමේ හැකියාවක් නොවුණි. ඊට ප‍්‍රතිකර්මයක් වශයෙන්, ඉතා දරුණු ආකාරයේ ආනයන සහ විනිමය පාලනයක් පවත්වාගෙන යාමට එදා රජයන්ට සිදු වූ අතර ඒ මගින් ආනයනයන් බරපතල ලෙස සීමා කෙරුණි.

    රෙද්දේ හැටියට කබාය කපා ගැනීම

    එය හරියට, ඇෙඟ් තරමට කබායක් මසා ගැනීම සඳහා ප‍්‍රමාණවත් රෙද්දක් ලබා ගන්නවා වෙනුවට, තිබෙන රෙද්දේ හැටියට කබායක් මසා ගැනීම වැනි ය. ඒ අනුව ශ‍්‍රී ලාංකිකයන්ට එන්න එන්නම ඇඟ හිරවෙන කබායක් තුළ සිර වීමට සිදු විය. මේ නිසා, ඩොලර් මිලදී ගැනීමට අවශ්‍ය කළ කෙනා ඒ සඳහා රුපියල්වලින් වැඩිපුර ගෙව්වේ නැති වුවත්, කාලයෙන්, දුෂ්කරතාවයෙන් සහ මහන්සියෙන් ඒ සඳහා ගෙව්වේය. ඒ ක‍්‍රමය තුළ, එකිනෙකාට ලබා ගත හැකි ඩොලර් ප‍්‍රමාණය සීමිත විය. එය එක්තරා ආකාරයක සලාක ක‍්‍රමයකි. කෝටා ක‍්‍රමයකි. මේ තත්වය 1977 දී අවසන් කෙරුණු අතර, වෙළඳපොලේ තීරණය වන මිල ගණන් මත වැඩි මුදලක් ගෙවා අවශ්‍ය ඩොලර් ප‍්‍රමාණයක් මිලදී ගැනීමට ඉන්පසුව කෙනෙකුට හැකියාව ලැබුණි.

    ඒ අනුව, 1950 දී රුපියල් 4.76 ක් වශයෙන් තීරණය කරනු ලැබූ ඩොලරයක මිල 1960 දක්වා ඒ ප‍්‍රමාණයේම තිබුණු අතර, එය වෙනස් වුණේ 1960 දී ආණ්ඩුව විසින් සියයට 20 කින් රුපියල අවප‍්‍රමාණය කරනු ලැබූ අවස්ථාවේ පමණි. එදා පටන් රුපියල කිහිප වරක් අවප‍්‍රමාණ කොට තිබේ. එක් වරක් පිළිඇගැයීමක් කොට තිබේ. අලූත් විදේශ විනිමය ප‍්‍රතිපත්තිය හඳුන්වා දෙන අවස්ථාවේ නිල විදේශ විනිමය අනුපාතිකය වුණේ ඩොලරයට රුපියල් 8.81 කි.

    එහෙත් මේ නිල අනුපාතිකය, කෙනෙකු නොමග යවන සුළු ය. මන්ද යත්, ආනයන ගනුදෙනු සියල්ලම පාහේත්, අපනයන ගනුදෙනුවලින් සුළු ප‍්‍රමාණයකුත් සඳහා, ඉහත කී නිල අනුපාතිකයට උඩින් තවත් සියයට 65 ක විශේෂ බද්දක් අය කළ බැවිනි. එය හැඳින්වුණේ, ‘විදේශ විනිමය හිමිකම් සහතික ක‍්‍රමය’ යනුවෙනි. ඒ අනුව, සැබෑ විනිමය අනුපාතිකය වුණේ, ඩොලරයට රුපියල් 14.54 කි.

    1977 දී ඒකීය රුපියලක්

    එතෙක් පැවති, විවිධ ගනුදෙනු සඳහා පාවිච්චියට ගැනුණු විවිධ විනිමය අනුපාතික භාවිතය හැඳින්වුණේ, ‘බහු-විධ ව්‍යවහාර මුදල් ක‍්‍රමය’ වශයෙනි. 1977 දී මේ බහු-විධ විනිමය අනුපාත සියල්ල අහෝසි කෙරුණි. ඒ වෙනුවට, රුපියල-ඩොලරය අතර විනිමය අගය, රුපියල් 15.56 ක් වශයෙන් ඒකාග‍්‍ර කෙරුණි. එය, එතෙක් පැවති රුපියලේ අගය සියයට 7 කින් පමණ අවප‍්‍රමාණය කිරීමකි. රුපියල අවප‍්‍රමාණය වීමේ තනි-දිසාවේ මාවතට ලංකාව පිලිපන්නේ එතැන් සිට ය. ඒ අනුව, පසුගිය සතිය වන විට ඩොලරයක අගය රුපියල් 157 ක් වී තිබුණි.

    ශ‍්‍රී ලංකාවේ රුපියල සම්බන්ධයෙන් ගත් විට මෙය අසතුටුදායක ඉරණමකි. එහෙත් ඒ තනි-දිසාවේ ගමනට හේතුවක් තිබේ.

    ජංගම ගිණුමේ හිඟයක් වළක්වා ගැනීම

    රටක මුදල් ඒකකයේ අගය ස්ථායී කර ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා ඇත්තේ එක ක‍්‍රමයක් පමණි. එනම් රටවැසියා ඉල්ලන විදේශ මුදල් ප‍්‍රමාණය සැපයිය හැකි තරමේ විදේශ මුදල් ප‍්‍රමාණයක් යම් විදිහකින් උපයාගෙන තිබීමයි. රටවල් විසින් විදේශ මුදල් උපයා ගනු ලබන්නේ, අපනයන වශයෙන් ගැනෙන භාණ්ඩ විකිණීමෙන්, සේවාවන් විදේශයන්ට විකිණීමෙන් සහ විදේශිකයන්ට සාධක සේවාවන් විකිණීමෙනි. මීට අමතරව, විකිණීමක් නොවන විදේශ විනිමය ලැබීම් හෙවත් රට ඇතුළට ගලා එන ලැබීම් ද ඊට ඇතුළත් වෙයි. බැංකු භාෂාවෙන් ඒවා හැඳින්වෙන්නේ, විදේශයන්හි සේවය කරන අය විසින් එවන මුදල් සම්පේ‍්‍රෂණ ලෙසිනි.

    අනිත් පැත්තෙන් ශ‍්‍රී ලාංකිකයෝ විදේශ මුදල් ඉල්ලා සිටිති. ඒ, පිටරටවල්වලින් භාණ්ඩ ආනයනය කිරීමට, පිටරට සේවාවන් මිලදී ගැනීමට සහ සාධක සේවාවවන් වශයෙන් ගැනෙන, ණයට ගත් මුදල් සහ ආයෝජනයන්හි ලාභ සඳහා වන පොලී ගෙවීම් ආදිය සඳහා ය. මේවාට, ශ‍්‍රී ලාංකිකයන් විසින් විදේශිකයන්ට දෙනු ලබන තෑගි හෙවත් රටින් බැහැරට යන පැවරුම් ද අයත් වෙයි.

    මේ සියලූ ගනුදෙනු, ‘ගෙවුම් ශේෂයේ ජංගම ගිණුම’ යන්න තුළ එක්කාසු කරනු ලැබේ. එහිදී, මුලින් කී මුදල්, එනම් රටට ලැබෙන මුදල්, බැර පැත්ත වශයෙනුත්, අනිත් මුදල්, එනම් රටින් පිටට යන මුදල්, හර පැත්ත වශයෙනුත් එම ගිණුම තුළ වාර්තා වෙයි. රටක මුදල් ඒකකය ස්ථාවර වීම සඳහා අවශ්‍ය කරන මූලික දෙය වන්නේ, මේ ජංගම ගිණුම තුලනය (සමබර* කර ගැනීම ය. තවත් විදිහකින් කිවහොත්, එම ගිණුමේ හිඟයක් තිබුණොත්, එම හිඟය වෙනත් වසරක ලබන ඊට සමාන අතිරික්තයකින් පුරවා ගත යුතුය. එක දිගටම අතිරික්තයන් තිබුණොත්, එහි අදහස වන්නේ රටක් තමන්ට අවශ්‍ය කරන විදේශ මුදල් ප‍්‍රමාණයට වඩා විදේශ මුදල් ප‍්‍රමාණයක් උපයන බව ය.

    එසේ ලබන අතිරික්තයන් වෙනත් රටවලට ණයට නොදුන්නොත්, එම රටේ මුදලේ වටිනාකම වැඩි වීමට පටන් ගනී. එක දිගටම මේ ගිණුමේ හිඟයක් පැවතුණොත්, එම රටට විදේශ මුදල්වල හිඟයක් ඇති වන්නේය. වෙනත් රටවල්වලින් ණය අරගෙන එවැනි හිඟයන් පියවා ගත යුතුය. ඒ ආකාරයෙන්, තම මුදල් ඒකකයේ වටිනාකම තාවකාලිකව ස්ථායී කර ගැනීමට රටකට හැකි වන්නේය. එහෙත් එසේ කරන විට රටක විදේශ ණය සම්භාරය වැඩි වන්නේය. එය හඳුන්වනු ලබන්නේ, ණය උගුලක් වශයෙනි. එයින් තත්වය තවත් අසතුටුදායක වෙයි. එම රට, තම මුදල් ඒකකය අවප‍්‍රමාණය වීමේ තනි-දිසාවට යන මගකට පිවිසියා වන්නේය.

    ශී‍්‍ර ලංකාවේ ජංගම ගිණුමේ අභාග්‍ය සම්පන්න අතීත ආර

    1977 පටන් ශ‍්‍රී ලංකාව මුහුණදී ඇත්තේ එම අභාග්‍යයටයි. මේ ජංගම ගිණුමේ එක දිගටම තිබී ඇත්තේ හිඟයකි. රටේ ආර්ථිකයේ තරමට හෙවත් දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව ගත් විට, මේ හිඟය ඇතැම් වර්ෂවල සියයට 16 ක් තරම් ඉහළ ගොස් ඇත. එම හිඟය ඉහළ යන විට රටක් ඒ ගැන කලබල වෙයි. එහෙත් ඉතා සුළු ප‍්‍රමාණයකින් හෝ එම හිඟය පහළ බසින විට හිත හදා ගනී. එවිට වන්නේ, රටක් මුහුණදී ඇති අවදානම සහ අනතුර ආණ්ඩුවට අමතක වීමයි.

    2012-2017 අතර කාලය තුළ අපේ වාර්ෂික ජංගම ගිණුමේ හිඟය, සාමාන්‍ය වශයෙන් දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 3 කි. මේ නිසා ශ‍්‍රී ලංකාවේ රුපියල අවප‍්‍රමාණය වීමේ තෙරපුමක් දිගටම තිබුණි. මීට කලින් පැවති රජය කෙළේ, පිටරටවල්වලින් ණය අරගෙන, වෙළඳපොල තුළට එය මුදා හැරීම මගින්, අර කියන තෙරපුම ලිහිල් කිරීමයි. එය හරියට, වේදනාවෙන් අත්මිදීම සඳහා පිළිකා රෝගියෙකුට වේදනානාශකයක් දීම මෙනි. එය ප‍්‍රතිකාරයක් නොවේ. එබැවින්, නිසි ප‍්‍රතිකාරයක් නොමැතිව තුවාලය ඇඟ ඇතුළේ පැසවන්ට ගනී. දවසක පිළිකාව උග‍්‍ර වී, කිසි බෙහෙතක් අහන්නේ නැති තත්වයට පත්වූ විට, රෝගියා මියයයි.

    අලූත් ආණ්ඩුවේ අකී‍්‍රයත්වය

    2015 ජනවාරියේ බලයට එන විට වර්තමාන නායකත්වයට මේ ගැන අවබෝධයක් තිබුණි. එහෙත් මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය මෙන්ම මුදල් ඇමතිවරයාත් කටයුතු කෙළේ ආර්ථික අර්බුදයක් නැති ගානට ය. 2014 වසර සඳහා වන මහ බැංකු වාර්තාව නිකුත් වුණේ, අලූත් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු, 2015 අපේ‍්‍රල් මාසයේ ය. එහිදී, 2014 කාලය තුළ රුපියලේ ස්ථායී භාවය ගැන ආණ්ඩුව කතා කෙළේ, සෑහීමට පත් මනෝ භාවයකිනි. මේ ස්ථායී භාවය වාර්තා වුණේ, ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ය. 2014 ශ‍්‍රී ලංකාව ගනුදෙනු කරන වෙනත් ප‍්‍රධාන රටවල මුදල් ඒකකවලට සාපේක්ෂව ලංකාවේ රුපියල අගයෙන් වැඩි වී ඇති බව වාර්තා වන විට, ආණ්ඩුව තවත් සතුටට පත්විය.

    තමන් වෙළඳාම් කරන ප‍්‍රධාන රටවල මුදල් ඒකකවලට සාපේක්ෂව රුපියලේ අගය තුළ ඇති වී තිබෙන වෙනස තක්සේරු කිරීම සඳහා මහ බැංකුව ‘ඵලදායි විනිමය අනුපාතික දර්ශක’ දෙකක් පාවිච්චි කරයි. එකක්, රුපියලේ නාමික අගය මැණීමට ය. අනික, රුපියලේ මූර්ත අගය හෙවත් සැබෑ අගය මැණීමට ය. 2014 දී මේ දර්ශක දෙකේම අගයන් ඉහළ ගොස් තිබීමෙන් පෙනී ගියේ, ශ‍්‍රී ලංකාව තමන්ගේ අපනයනයන් සඳහා තිබූ තරගකාරී හයිය නැති කරගෙන තිබූ බවත්, ආනයනයන් සඳහා වැඩියෙන් තල්ලූ වෙමින් සිටි බවත් ය. මෙය, රෝගී තත්වයකි. මන්ද යත්, ඒ මගින් අපනයනයන් මැඩලනු ලබන බැවිනි. ආනයනයන්ට වැඩි තල්ලූවක් ලැබෙන බැවිනි. කලක් යන විට රුපියල අවප‍්‍රමාණය වීමට තල්ලූ කෙරෙන පීඩනය පසුපස ඇති ප‍්‍රධාන සාධකය එයයි.

    මේ සම්බන්ධයෙන් මහ බැංකුව ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් කළ යුතුව තිබුණි. එහෙත් එය එසේ කෙළේ නැත. මහබැංකුව ආලේප කොට දුන් මේ ලස්සණ චිත‍්‍රයෙන් තවත් දිරි ගත් මුදල් අමාත්‍ය රවී කරුණානායක, අසිරිමත් ප‍්‍රතිඥාවන් රටට නිකුත් කිරීමට පටන් ගත්තේය. රටේ විනිමය අනුපාතිකය ඩොලරයට රුපියල් 131 සිට රුපියල් 105 දක්වා නංවන බව ඔහු කීය.

    මේ ප‍්‍රතිඥාව ඉටු කරලීමට ඔහු අසමත් වූ විට ඔහු තවත් පොරොන්දු දුන්නේය. හිතවත් බෙල්ජියානු ආයෝජකයෙකු හරහා ඩොලර් බිලියන 3 ක් රටට ගෙන එන බව එවැන්නකි. ඒ ප‍්‍රතිඥාවත් ඉටු කිරීමට අසමත් වූ විට, වෙළඳපොළේ රුපියලේ අගය පහළ වැටීම ගැන මහබැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට දෝෂාරෝපණය කරන්ට පටන් ගත්තේය. මේ ආකාරයට, අදාළ ප‍්‍රශ්නය විසඳන සිද්ධිදායක පියවර ගැනීම වෙනුවට ආණ්ඩුව කෙළේ බාල දේශපාලනයේ ගැලීමයි.

    පියවර ගැනෙන විට පෙරහැර ගිහිං

    එසේ ගත හැකිව තිබූ සිද්ධිදායක පියවර කවරේද? එය අඩු වශයෙන්, දෙයාකාරයකින් ගත හැකිව තිබුණි. විදේශ විනිමය වෙළඳපොළට මැදිහත් වීමෙන් කෙටිකාලීන රුපියලේ අගය ස්ථායී කර ගත හැකිව තිබුණි. එහෙත් එසේ කිරීමෙන් රටේ විදේශ මුදල් සංචිතය නැති වී යාමට පාර කැපෙනු ඇත. එබැවින් වඩා යෝග්‍යතම ක‍්‍රියාමාර්ගය විය හැකිව තිබුණේ, හදිසි අවශ්‍යතාව සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලබා ගැනීමත්, රටේ ජංගම ගිණුමේ අතිරික්තයක් ඇති කර ගැනීම එල්ල කර ගත්, භාණ්ඩ හා සේවා අපනයනය ප‍්‍රවර්ධනය කෙරෙන දීර්ඝ කාලීන ප‍්‍රතිපත්තිමය උපාය මාර්ගයකට අවතීර්ණ වීමත් ය.

    ප‍්‍රමාද වී, 2016 ජුනි මාසයේදී ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාර ලබා ගත්තේය. එහෙත් භාණ්ඩ හා සේවා අපනයනය ප‍්‍රවර්ධනය කිරීමේ ප‍්‍රතිසංස්කරණ වැඩපිළිවෙල ක‍්‍රියාවට නැංවූයේ බාගෙට ය. එහි ප‍්‍රතිඵලය වී ඇත්තේ, එක දිගට රුපියල බාල්දු වීමයි. ඒ අනුව, 2015 ආරම්භයේදී රුපියල් 131 ක් වූ ඩොලරයක රුපියල් වටිනාකම, අද වන විට රුපියල් 159 දක්වා පහළ වැටී ඇත. ඊළඟ සති කිහිපය තුළ මහබැංකුව මැදිහත් වී රුපියලේ අගය වර්තමාන තත්වයේ රඳවා ගැනීමට කටයුතු කරනු ඇත. එහෙත්, දීර්ඝ කාලීන ප‍්‍රතිපත්තිමය වැඩපිළිවෙලකින් තොර වුවහොත්, එය වඳ ළිඳකට දිය ලෑම වැන්නකි.

    ජීවන වියදම ඉහළ යෑම

    සාමාන්‍යයෙන්, රුපියලේ අගය පහළ වැටෙන විට රට හෙල්ලෙයි. මන්ද යත්, ජනතාවගේ ජීවන වියදමට එය කෙලින්ම බලපාන බැවිනි. ශ‍්‍රී ලාංකිකයන්ගේ පරිභෝජන මල්ලෙන් විශාල කොටසක් සමන්විත වන්නේ, ආනයනය කළ භාණ්ඩවලිනි. රුපියලේ අගය පහළ වැටන විට ඒ ආනයනය කෙරෙන භාණ්ඩවල මිල ඉහළ යයි. ඒ අතරේ, රුපියලේ බාල්දුව, ප‍්‍රවාහණ සේවාවන්ට මෙන්ම, බෙහෙවින් ආනයනික ඉන්ධන භාවිතයට ගැනෙන විදුලි ජනනයටත් බලපායි. එවිට එම ආයතනවලට තමන්ගේ නිෂ්පාදනයන්හි මිල ඉහළ දැමීමට ඉඩ නොලැබුණොත් ඒවා පාඩු ලබන ආයතන බවට පත්වෙයි. මේ දෙකෙන් කොයි එක වෙතත්, එය ජනතාවට බලපායි. තමන්ගේ නිෂ්පාදන මිල ඉහළ දැමීමට නොහැකිව මේ ආයතන පාඩු පිට දිව්වොත් ඒ බර දැරීමට වෙන්නේ බදු ගෙවන මහජනතාවට ය. අනිත් අතට, පාඩු ලැබීමෙන් වැළැකීම සඳහා ඒවාට තමන්ගේ භාණ්ඩ සේවා මිල ඉහළ දැමීමට ඉඩ හැරියොත් එයත් ජනතාවගේ ජීවන වියදම ඉහළ යාමට බලපාන්නේය. එහෙත්, ජනතාවට උදව්වක් වශයෙන්, රටක මුදල් ඒකකයක් කෘත‍්‍රීමව බලගැන්වීමට රටකට පුළුවන් කමක් නැත.

    තායිලන්තයේ දුක්බර අත්දැකීම

    මන්ද යත්, එසේ කෘත‍්‍රීමව බලගැන්වෙන මුදල් ඒකකය, යම් දවසක කඩා වැටෙන බැවිනි. ඒ කඩා වැටීමත් සමග ආර්ථිකයත් කඩා වැටෙන බැවිනි. 1997 දී සිදුවූ නැගෙනහිර ආසියාතික මූල්‍ය අර්බුදයේදී මෙවැනි තත්වයකට මුහුණදීමට තායිලන්තයට සිද්ධ විය. 1997 ට කලින් දශක ගණනාවක් තිස්සේ තායිලන්ත මුදල් ඒකකය වන බාත් කෘත‍්‍රීම අගයක පවත්වාගෙන ගියේ ඇමරිකානු ඩොලරයට තායි බාත් 25 ක අගයක් පවරමිනි. මේ අගය පවත්වාගෙන යාම සඳහා තායිලන්ත බැංකුවේ තිබූ විදේශ මුදල් සංචිත පාවිච්චි කෙරුණි. ඒ සඳහා එම සංචිතවලින් ඩොලර් බිලියන 25 ක්ම වියදම් කිරීමෙන් පසුවත්, බාත් ඒකකයේ අගය ඒ මට්ටමින් පවත්වාගෙන යාමට නොහැකි විය. තායිලන්ත ආණ්ඩුව ගෙන ගිය ඒ ප‍්‍රයත්නය දවසක් දා අතහැර දැමුණි. එදාම ඇමරිකානු ඩොලරයක් සඳහා ගෙවන බාත් අගය 50 ට කඩා වැටුණි. එයින් මුළු තායිලන්ත ආර්ථිකයම හෙල්ලූම් කෑවේය. ඊළඟ අදියර වුණේ තායිලන්ත ආර්ථිකයත් කඩා වැටීමයි. එයින් ගොඩ ඒමට එම රටට ඉතා දරුණු සහ වේදනාකාරී පියවර ගැනීමට සිදු විය. එබැවින් රුපියල අවප‍්‍රමාණය වීමට ඉඩ නොහැරියොත් ශ‍්‍රී ලංකාවත් ඊට සමාන තත්වයකට අනාගතයේ මුහුණදෙනු ඇත.

    නාමික ණය තොගයේ වෙනස

    බොහෝ විට ඉදිරිපත් කෙරෙන තර්කයක් වන්නේ, රුපියල අවප‍්‍රමාණය වූ විට, ශ‍්‍රී ලංකාව ලබාගෙන ඇති විදේශ ණය සඳහා වන පොලී ගෙවීමට වැඩි රුපියල් ප‍්‍රමාණයක් අවශ්‍ය වන බව ය. මන්ද යත්, විදේශ ණය ආපසු ගෙවීමටත්, ඒවාට අදාළ පොළී ගෙවීමටත් වැඩි රුපියල් ප‍්‍රමාණයක් වැය වන බැවිනි. විදේශ මුදල්වලින් ගොඩගැසී ඇති ණය තොගයේ රුපියල් වටිනාකම ඉහළ යන බව විවේචකයෝ නිතර පෙන්වා දෙති.

    උදාහරණයක් වශයෙන්, 2017 වසර අවසන් වන විට ශ‍්‍රී ලංකාවේ විදේශ ණය තොගයේ ප‍්‍රමාණය ඩොලර් බිලියන 31 ක් විය. ඩොලරයක රුපියල් වටිනාකම රුපියලකින් පහළ වැටුණොත් (එනම් ඩොලරයකට ගෙවන රුපියල් ප‍්‍රමාණය රුපියලකින් වැඩි වුණොත්*, ඉහත කී විදේශ ණය ප‍්‍රමාණයේ රුපියල් වටිනාකම රුපියල් බිලියන 31 කින් ඉහළ යනු ඇත. එහෙත් මෙය, විදේශ ණය තොගයේ නාමික අගය ඉහළ යාමක් පමණි. එම ණය තොගයෙන් මේ මොහොතේ ආපසු ගෙවන්නේ ඉතා සුළු ප‍්‍රමාණයක් වන නිසා ආණ්ඩුවේ වර්තමාන ක‍්‍රියාකාරීත්වයට එහි බලපෑමක් ඇති නොවේ.

    ආණ්ඩුව ශුද්ධ ප‍්‍රතිලාභියා ය

    එහෙත් වර්තමාන තත්වය යටතේ, රුපියල අවප‍්‍රමාණය වීමේ ශුද්ධ වාසියක් ආණ්ඩුවට ලැබෙන්නේය. 2018 අයවැය වාර්තාවට අනුව, මේ වසරේ විදේශ ණය සහ පොලී ගෙවීම සඳහා ඩොලර් බිලියන 1.7 ක් වැය කිරීමට තිබේ. ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය රුපියලකින් බාල්දු වන්නේ නම්, මේ වසරේ විදේශ ණය ගෙවීම සඳහා වන ආණ්ඩුවේ වියදම රුපියල් බිලියන 1.7 කින් වැඩි වන්නේය. අර කී ණය ගෙවීම සඳහා ආණ්ඩුවට අවශ්‍ය කරන ඩොලර් ප‍්‍රමාණය මහ බැංකුවෙන් ලබා ගැනීම සඳහා මේ අමතර මුදල ආණ්ඩුව යම් ආකාරයකින් සොයා ගත යුතුව තිබේ. ඒ අනුව, එය ආණ්ඩුව මත පැටවෙන අමතර බරකි.

    එහෙත් මේ කියන වසර තුළදී ආණ්ඩුවට ලැබෙන විදේශ මුදල් ද තිබේ. අලූත් විනිමය අනුපාතිකය අනුව, ඒ ලැබෙන මුදල්වල වටිනාකමත් රුපියලකින් වැඩි වන්නේය. එවැනි විදේශ මුදල් ලැබෙන එක් මාර්ගයක් වන්නේ, ආනයන තීරුබදු ය. දැනට එම ප‍්‍රමාණය වසරකට ඩොලර් බිලියන 1 ක් පමණ වෙයි. ඊට අමතරව, මේ වසර තුළ ඩොලර් බිලියන 2.4 ක ණයක් ලබා ගැනීමටත් අදහස් කෙරේ. ඒ මාර්ග දෙකෙන් පමණක් ආණ්ඩුවට ඩොලර් බිලියන 3.4 ක් ලැබේ. එනම් එහි රුපියල් වටිනාකම බිලියන 3.4 කින් ඉහළ යන බව ය. ඉතිං, මුලින් කී ආණ්ඩුවේ පාඩුව වූ රුපියල් බිලියන 1.7, මේ කියන රුපියල් බිලියන 3.4 න් අඩු කළ විට, ආණ්ඩුවේ ශුද්ධ ලාභය රුපියල් බිලියන 1.7 ක් වන්නේය.

    සිංගප්පූරුව සිය විනිමය අනුපාතිකය කළමනාකරණය කර ගන්නා රහස

    කෙසේ වෙතත්, වෙළඳපොළ තුළ රුපියල බාල්දු වීමට ඉඩ හැරීමට මෙය හේතුවක් නොවිය යුතුය. ශ‍්‍රී ලංකාව තමන්ගේ ගෙවුම් ශේෂයේ ජංගම ගිණුම අතිරික්තයක් දක්වා වර්ධනය කර ගන්නා, දීර්ඝ කාලීන පියවර ගත යුතුව තිබේ. එසේ කිරීමෙන් රුපියලේ වර්තමාන අගය ඒ මට්ටමෙන් තබා ගැනීමට ශ‍්‍රී ලංකාවට හැකි වන්නේය.

    ඊළඟට, හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක කැමැත්තක් දැක්වූ පරිදි, රුපියලේ අගය වැඩි වීමට ඉඩ හැරියොත් කොහොමද? රුපියලේ අගය වැඩි වීම හේතුවෙන් අපනයන තලයේ තරගකාරීත්වය දුර්වල කෙරෙන නිසා එවැන්නක් විනාශකාරී වන්නේය. (උදාහරණයක් වශයෙන්, අපනයනය කෙරෙන කරාබු නැටි කිලෝවක් සඳහා ගොවියාට ලැබෙන රුපියල් ප‍්‍රමාණය අඩුවන්නේය. ඊට පිළියමක් වශයෙන් ගොවියා තමන්ගේ මිල වැඩි කළොත්, වෙනත් රටවල් සමග තරග කිරීමට නොහැකි වන්නේය- පරිවර්තක* ඒ නිසා, තරගකාරීත්වයේ අවාසිය මගහරවා ගැනීම සඳහා නිෂ්පාදන ඵලදායීත්වය වර්ධනය කර නොගෙන, රුපියලේ අගය ඉහළ යෑමට ඉඩ හැරීම විනාශකාරී වන්නේය. පසුගිය අවුරුදු 60 ක පමණ කාලයක් තිස්සේ සිංගප්පූරුව කෙළේ හරියටම ඒ දේ ය.

    සන්සන්දනාත්මකව බැලූවොත්, 1950 දී සිංගප්පූරු ඩොලරය ගැටගසා තිබුණේ ඇමරිකානු ඩොලර් 1 ට සිංගප්පූරු ඩොලර් 3.06 ක් වශයෙනි. එකල ශ‍්‍රී ලංකාවේ රුපියල තිබුණේ, ඇමරිකානු ඩොලර් 1 ට රුපියල් 4.76 ක් වශයෙනි. කෙසේ වෙතත්, සිංගප්පූරුවේ ජංගම ගිණුමේ නිරන්තර අතිරික්තයක් පැවති නිසා සිංගප්පූරු ඩොලරය අගයෙන් ඉහළ ගොස් මේ වන විට ඇමරිකානු ඩොලරයකට සිංගප්පූරු ඩොලර් 1.30 දක්වා අගයෙන් වැඩි වී තිබේ. එහෙත් මේ තත්වය සිංගප්පූරුවේ වෙළඳ තරගකාරීත්වයට නරක අන්දමින් බලපෑවේ නැත. මන්ද යත්, තමන්ගේ ඩොලරයේ අගය ඉහළ යාම හේතුවෙන් ඇති වන තරගකාරීත්වයේ අවාසිය මගහරවා ගැනීමට තමන්ගේ නිෂ්පාදන ඵලදායීතාව වර්ධනය කර ගැනීමට සිංගප්පුරුව සමත් වූ බැවිනි.

    මේ නිසා ශ‍්‍රී ලංකාව දැන් කළ යුතුව ඇත්තේ, රුපියල බාල්දු වීමට ඇති පීඩනයෙන් ගොඩ ඒම සඳහා, තම ජංගම ගිණුමේ හිඟය, අතිරික්තයක් දක්වා වර්ධනය කර ගත හැකි ප‍්‍රතිපත්ති පැකේජයක් සකසා ගැනීමයි.



    සලකන අයට සහ Bump , Comment කරන අයට 23+ ගානේ දෙනවා....
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    මහ බැංකු හොරකමත් ඕකට බලපාන්න ඇති.කවුද හිතුවේ මේ ආණ්ඩුව මෙහෙම වෙයි කියලා.JVP උනත් ඒ දවස් වල ආණ්ඩුව පැත්තනේ හිටියේ දැන් ඔය මොනා කිව්වත්.සෝභිත හාමුදුරුවෝ හිටියනම්..
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,912
    10,429
    113


    Rep23++++

    මහ බැංකු හොරකමත් ඕකට බලපාන්න ඇති.කවුද හිතුවේ මේ ආණ්ඩුව මෙහෙම වෙයි කියලා.JVP උනත් ඒ දවස් වල ආණ්ඩුව පැත්තනේ හිටියේ දැන් ඔය මොනා කිව්වත්.සෝභිත හාමුදුරුවෝ හිටියනම්..

    උඹ ඕක මතක් කරපු නිසා කියන්නම් ,එක විතරක් නෙවෙයි ,

    2011 වර්ෂයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව ග්‍රීක බැඳුම්කරවල රටේ සංචිත මුදල් ආයෝජනය කරමින් යුරෝ මිලියන 33 ක මුහුණත වටිනාකම ඇති ග්‍රීක බැඳුම්කර යුරෝ මිලියන 22.16 කට මිලදී ගෙන ඇති බවත් එම ගනුදෙනුව සිදු වූ ආකාරය සහ ඊට සිදු කළ මැදිහත්වීම තුළ මූල්‍ය අක්‍රමිකතා රැසක් සිදුව ඇත.

    එසේම 2011 වසරේ විවිධ අවස්ථාවල දී එම බැඳුම්කර කොටස් විකුණා දැමීමෙන් සහ යුරෝපා මහා බැංකුව විසින් එම බැඳුම්කර සඳහා හුවමාරු ලෙස දෙන ලද අනිකුත් පැවරුම් ලබා ගනිමින් අපහසුවෙන් එයින් ඉවත් වී ඇති නමුත් රුපියල් මිලියන 2,100 කට අධික පාඩුවක් මේ හරහා ශ්‍රී ලංකා රජයට සිදුව ඇත.

    එසේම අදාළ සංචිතවල පැවතියේ මූල්‍යමය වශයෙන් ණයට ගත් මුදල් බවත් එම ණය ගෙවීමට පෙරළා ණය ගැනීම ඇතුළුව දිගින් දිගටම සංචිත පවත්වාගෙන යාම සහ අත්‍යාවශ්‍ය වියදම් වෙනුවෙන් ණයට මුදල් ගැනීම තුළ රටට ඇති මූල්‍ය හානිය අති විශාලය.

    ලාභ ගැනීමට කොහෙත්ම අවස්ථාවක් නොමැති බව පෙනෙන්නට තිබිය දී සේවක අර්ථසාධක අරමුදල හා රක්ෂණ සංස්ථාව මැදිහත්ව සිදු කළ හයට් හෝටල් සමාගමේ ගනුදෙනුව, ශ්‍රී ලංකා රන් සංචිතවලින් ටොන් 40 ක් පමණ ජපන් සමාගමක් වන ජඩුවා හෝල්ඩින්ස් හරහා ජපානයේ SUISSE SECURITIES සමාගමට විකිණීම, විදුලිබල මණ්ඩලයේ අර්ථසාධක අරමුදලේ මුදල් පෞද්ගලික සමාගමක් හරහා බැදුම්කර වල ආයෝජනය කර පාඩු සිදු කිරීම, මහ බැංකුවට අයත් නොවන විවිධ කාරණා සඳහා මහ බැංකුවේ මුදල් විවිධ උපදෙස් සේවා සපයන විදේශීය ආයතනවලට ගෙවීමට මැදිහත්වීම පසුගිය පාලන සමයේ මහ බැංකුවේ බැඳුම්කර සහ සේවක අර්ථ සාධක අරමුදල සම්බන්ධ ගනුදෙනු තුළ මූල්‍ය අක්‍රමිකතා රැසක් සිදුව ඇත.

    තව ද මූල්‍ය, ගෑස්, හෝටල් වැනි බොහෝ සමාගම්වල කොටස් මිල, කෘතිම ලෙස ඉහළ දමා, pump and dump එම ඉහළ මිලට සේවක අර්ථසාධක අරමුදලට ලබා ගැනීම පිටුපස එවකට මහා භාණ්ඩාගාරයේ අධිපති වූ අජිත් නිවාඞ් කබ්රාල් මෙන්ම එම ආණ්ඩුවට හිතවත්ව සිටි කෝටිපති ව්‍යාපාරිකයන් කිහිපදෙනකු ඇති බවත් ඔවුන් ගනුදෙනු කිහිපයක් හරහා කෝටිපතියන් වූ ආකාරයත් අනතුරුව ඔවුන් ඒ මුදල් මහා පරිමාණයෙන් ආයෝජනය කර මාධ්‍ය ජාල ඇතුළු මහා පරිමාණයේ ආයෝජන රාශියක් සිදුකිරීම
     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කිසිම ආර්ථික දැක්මක් නැතිව යන මේ ගමනේ තව තවත් කෙලවෙන එක නේද වෙන්නේ.....
     
    • Like
    Reactions: hi.dushan

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    http://emgesathapaha.blogspot.com/2018/04/blog-post.html

    එකසිය හැටයි! ලාබයි!!
    අවශ්‍ය තරමට වඩා බොහෝ අඩුවෙන් වුවත්, පසුගිය දින කිහිපය තුළ ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව රුපියල තරමක් අවප්‍රමාණය වී ඇති අතර ඩොලරයක විකුණුම් මිල පළමු වරට රුපියල් 159 ඉක්මවා තිබේ. මේ ගැන බොහෝ විවේචනද අහන්නට ලැබේ.

    පසුගිය වසරේ මාර්තු 30 දින එක්සත් ජනපද ඩොලරයක විකිණුම් මිල පළමු වරට ශ්‍රී ලංකා රුපියල් 150 මට්ටම ඉක්මවූ අතර ඒ අවස්ථාවේදී ඒ පිළිබඳව කෙටි විමසුමක් කරමින් ලිපියක් මේ වියුණුවෙහි පල කෙරුණේය. පහතින් ඇත්තේ ඒ ලිපියට සබැඳියකි.

    එකසිය පණහයි! ලාබයි!!


    ඒ අවස්ථාවේදී මා පෙන්වා දුන් පරිදි 2015 අවසානයේදී ඩොලරයක "සැබෑ" මිල (2001 වසරේදී ක්‍රය ශක්ති සාම්‍යය පැවතුණු සේ සලකමින්) රුපියල් 213ක් පමණ විය. එම ලිපිය සමඟ පළ කළ වගුව අලුත් දත්ත ඇතුළු කොට යාවත්කාලීන කර පහත පළ කර තිබේ.



    ඉහත වගුවෙන් පෙන්වා ඇති පරිදි, ලංකාවේ අපනයන තරඟකාරිත්වය 2001 මට්ටමේවත් තබාගනිමින් ගෙවුම් ශේෂ අර්බුදයෙන් යම් තරමකින් හෝ ගොඩ යන්නටනම් රුපියල ඩොලරයට සාපේක්ෂව අඩු වශයෙන් තවත් 45-50%කින් පමණවත් අවප්‍රමාණය විය යුතුය. ජාතික ආර්ථිකය නඟා සිටුවීම වෙනුවෙන් කටයුතු කරන බව හා ඉන්දියානු විරෝධයක් මතුපිටින් පෙන්වන ඇතැම් අය ඒ අතරම එයට තනිකරම ප්‍රතිවිරුද්ධව ජාතික ආර්ථිකය බිඳ දමමින් ඉන්දියාවට හා චීනයට වාසි සැලසෙන පරිදි විණිමය අනුපාතිකය පවතින මට්ටමේම තබාගැනීම වෙනුවෙන්ද හඬ නැඟීම තරම් විහිළුවක් තවත් නැත.

    මෙහි උද්ධමනය සේ සලකා තිබෙන්නේ එක් එක් රටෙහි දළ දේශීය නිෂ්පාදිතයේ අවධමනකයයි. ඒ වෙනුවට, පාරිභෝගික මිල දර්ශකයන්හි වෙනස්වීම් සලකමින් ගණනය කළහොත් ලැබෙන ඇමරිකන් ඩොලරයේ අගය මීටත් වඩා ඉහළ එකකි.
     

    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    මට කියල දියල්ල හරියටම ඩොලර් එකක් රුපියල් 15* යි කියල තක්සේරු කරන්නෙ කොහොමද කියල :confused:
    ගාණක් හදලද :confused:
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    මට කියල දියල්ල හරියටම ඩොලර් එකක් රුපියල් 15* යි කියල තක්සේරු කරන්නෙ කොහොමද කියල :confused:
    ගාණක් හදලද :confused:

    Based on Supply and Demand