ලෝකේ දැන් එකම සයිබර් අවකාශයක්. ඉතින් මේ අවකාශයේ සැරිසරද්දී නෙත ගැටුණු අපූරු බ්ලොග් අඩවියක් තමා '' පාදඩ අසපුව ''



සසර සැරිසරන පාදඩයා විසින් අකුරු කරන මේ අඩවියේ වඩාත් සිත් ගනිපු අකුරු රචනයක් තමා ''සෙන් කතා''. සමහරු මේ කතා කියවල ඇති. තවත් උදවිය මේ අඩවියේ පාඨකයෝ වෙන්න ඇති.ඒ කොහොම වෙතත් මම හිතුවා මේ කතාන්තර පෙළ එළකිරියේ අපේම වැසියෝ වෙනුවෙන් හූයක අමුණලා ඔබ වෙත ගෙනෙන්න.
ඇත්තටම මේ පුංචි කතා පෙළ මාර විදිහට හිතට දැනුණා. ( Great inspiring stories)
මුලින් මතක් කරන්න ඕනේ තමුන්ගේ නිර්මාණ අයිතියක් වෙනින් තැනක වෙනින් කෙනෙක් යටතේ පල කරන්න අවසර දුන් '' පාදඩයා ''.

ඊළඟට අපි කොයි කව්රුත් දන්න අපේ GT අයියා.

................................................//.........................................................
සෙන් කතා - 1
තේ කෝප්පය
බොහොම ඉස්සර කාලෙ ඉතාම බුද්ධිමත් සෙන් ගුරුතුමෙක් හිටියා. සෙන් බුදු දහම ගැන ඉගෙනගන්න බොහෝ දෙනා ඔහු හොයාගෙන ආව.
එක දවසක් ඉතාම ප්රසිද්ධ උගතෙක් සෙන් ගුරුතුමා හොයාගෙන ආවා.
"මම ආවෙ ඔබෙන් සෙන් දහම ගැන ඉගෙනගන්න. මගේ මනස සෙන් මගට විවෘත කරන්න."
ඔහු ගුරුතුමාගෙන් ඉල්ලා හිටියා.
ගුරුතුමා ඔහුට තේ කෝප්පයක් බොන්න ආරාධනා කරා. වතුර උණුවෙන තුරු උගතා සෙන් දහම ගැන තමා දන්න දේවල් ගුරුතුමාට කියන්න පටන් ගත්තා. වතුර උණුවෙලා තේ පැහෙන තුරුම ඔහු දිගටම කතා කළා.
ඔහුගේ කතාවට ඇහුම්කන් දෙමින්ම ගුරුතුමා තේ කෝප්පයක් වත් කළා. ඒත් කෝප්පය පිරුණම තේ වත්කරන එක නැවැත්තුවේ නෑ. කෝප්පය උතුරා උණු තේ තතමි පැදුර දිගේ ගලාගෙන ගියා.
"නවත්තන්න මොනාද මේ ඔබ කරන්නෙ? ඔබට පිස්සුද?"
උගතා කෑ ගැහුවා.
"තේ කෝප්පය පිරිලා නම් ඒකට තවත් තේ වත්කරන්න බෑ. ඔබේ කෝප්පය හිස් කරගන්න."
දුණුවායා
මහළු සෙන් ගුරුතුමෙක් හිටියා. ඔහු තරුණ කාලේ දුණු ශිල්පය ගැන ඉතාම ප්රසිද්ධ කෙනෙක්.
දවසක් තරුණ ඉතාමත් දක්ෂ දුණුවායෙක් ගුරුතුමා හොයගෙන ආවා. ඔහු ආවෙ ගුරුතුමාට දුණු හරඹයකට අභියෝග කරන්න. ගුරුතුමා එකඟ වුනා.
මුලින් විද්දේ තරුණයා. ඔහු ඉතාම ඈත තිබ්බ ඉල්ලක්කයකට හරියටම ඊතලය විද්දා. ඔහුගේ දෙවැනි ඊතලය මුල් ඊතලය දෙපලු කරගෙන ආයෙත් හරියටම ඉලක්කයට වැදුනා.
"පුළුවන් ද එහෙම කරන්න?"
තරුණයා මහළු ගුරුතුමාගෙන් අවඥාවෙන් ඇහුවා.
"ඔබේ දුන්න පාලනය කිරීමේ හැකියාව පුදුම උපදවන සුළුයි"
එහෙම උත්තර දීපු ගුරුතුමා තරුණයා කැඳවාගෙන කඳු ගැටයක් උඩට ගියා.
එතැන ඉතාම ගැඹුරු ප්රපාතයක් හරහා ඒදණ්ඩක් විදිහට දාපු දිරච්ච ලී කොටයක් තිබුනා. ගුරුතුමා ලී කොටය මැදට ගිහින් ඒ නුදුරේ තිබ්බ ගහක කඳකට ඊතලයක් විද්දා.
"දැන් ඔබේ වාරය"
තරුණයා ප්රපාතය ළඟට ගියා. පහල බැලුවා. ඊතලයක් විදිනවා තියා ලී කොටය උඩට කකුලක් තියන්න වත් ඔහු බය වුනා.
"ඔබේ දුන්න පාලනය කිරීමේ හැකියාව පුදුම උපදවන සුළුයි. නමුත් ඊතලය මුදාහරින හිත පාලනය කිරීමේ හැකියාව ඉතාම දුර්වලයි."
සඳ
බොහෝම ප්රසිද්ධ සෙන් ගුරුතුමෙක් වුන ර්.යෝකන් ජීවත් වුනේ කඳුකරයේ තිබුන පුංචි ගෙපැලක. ඔහු ඉතාම අල්පේච්ඡ ජීවිතයක් ගත කළා.
දවසක් හොරෙක් ඔහුගේ පැලට පැන්නා. හැම තැනම හෙව්වත් හොරකම් කරන්න තරම් වටිනා දෙයක් හොයාගන්න බැරි වුනා. එතකොටම ර්.යෝකන් ආවා.
"ඔබ බොහොම දුර ඉඳල මාව බලල යන්න ඇවිත්. මට ඔබව හිස් අතින් යවන්න බෑ. මෙන්න මගේ ඇඳුම්, මේවා මගෙන් එන තෑග්ගක් විදිහට පිළිගන්න."
ර්.යෝකන් තමා ඇඳගෙන හිටපු ඇඳුම් ටික ගලවලා හොරා අතට දෙන ගමන් කිව්වා.
තක්කු මුක්කු වෙලා මොහොතක් බලාගෙන හිටපු හොරා ඇඳුම් පොදියත් අරගෙන අතුරුදහන් වුනා.
ර්.යෝකන් නිරුවතින්ම එළියට ඇවිත් හඳ දිහා බැලුවා. හඳ බොහෝම ලස්සනට පායල තිබුනා.
"අසරණයා. මට මිනිහට මේ ලස්සන හඳ දෙන්න තිබුන නං....."
මාළු
චුවාං ත්සු සහ ඔහුගේ මිතුරෙක් දවසක් ගං ඉවුරක ඇවිදිමින් හිටියා. ඔවුන් දැක්කා මාළු රෑණක් එහෙ මෙහෙ පීනන හැටි.
"අර බලනවකො අර මාළු දිහා. උං කොයිතරම් සන්තෝසෙන් ද ඉන්නෙ."
චුවාං ත්සු යාළුවට කිව්වා.
"තමුසෙ කොහොමද එහෙම කියන්නෙ? තමුසෙ මාළුවෙක් ද? තමුසෙ මාළුවො සන්තෝස වෙන හැටි ගැන මොකවත් දන්නෙ නෑ නෙ."
යාළුව එහෙම කිව්වා.
"තමුසෙ මම ද? තමුසෙ දන්නෙ කොහොමද මම මාළු ගැන දන්නවද නැද්ද කියල?"
චුවාං ත්සු පිළිතුරු දුන්නා.
අම්බලම
දවසක් ඉතාම ප්රසිද්ධ සෙන් ගුරුවරයෙක් ගමනක් යමින් ඉද්දි රෑ බෝවුනා. ඔහු ඒ පළාතේ ප්රධාන සමුරායි වරයා ගේ මාළිගාවට ගියා. සමුරායි වරයා ඔහුව හඳුනා ගත්තා.
"සුබ සැන්දෑවක් ගුරුතුමනී, මගෙන් මොනවද කෙරෙන්න ඕනෙ"
සමුරායි වරයා ගුරුතුමාව පිළිගත්තා.
"මට අද රෑට මේ අම්බලමේ නවාතැන් ඕනෙ"
සමුරායි වරයා යක්ෂාවේෂ වුනා.
"මේක අම්බලමක් වුනේ කොහොමද? මේක මගේ පරම්පරාවෙ මාළිගාව."
"මට සමාවෙන්න. ඔබට කලින් මෙහෙ හිටියෙ කවුද?"
"මගේ තාත්තා"
"දැන් ඔහු කෝ?"
"ඔහු මැරිලා"
"හොඳයි. ඊට කලින් මෙහෙ හිටියෙ කවුද?"
"මගේ සීයා"
"දැන් ඔහු කෝ?"
"ඔහුත් මැරිලා"
ගුරුතුමා හිස සැලුවා.
"මේ ගොඩනැගිල්ල, මිනිස්සු කාලෙන් කාලට පදිංචි වෙලා ඉඳල නික්ම යන මේ ගොඩනැගිල්ල අම්බලමක් නෙවෙයි කියලද ඔබ කිව්වේ?
................................................//.........................................................
මගේ රචනයක් නොවේ.
උපුටා ගැනීම : පාදඩ අසපුව බ්ලොග් අඩවිය
https://paadadaasapuva.blogspot.com/
එහෙනම් කිරී වාසි ඔබට ජය වේවා.

"


