මූලික භාවනා ක‍්‍රම හඳුනාගනිමු

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මූලික භාවනා ක‍්‍රම හඳුනාගනිමු

    ජීවිතයට භාවනාවක් ප‍්‍රගුණ කර ගැනීමට ඔබතුළ තිබිය යුතු මූලික සුදුසුකම් කීපයක් පිළිබඳව මීට පෙර සාකච්ඡා කළෙමු. ඒවා නම්, නිදහස් චින්තනයක් තිබීම, මේ මනස දියුණු කර ගැනීමේ වටිනාකම ගැන ඔබ තේරුම් අරගෙන සිටීම, මේ දුර්ලභ මනුෂ්‍ය ජීවිතය ගෙවී යන්නට කලින් මේ දුර්ලභ මනුෂ්‍ය ජීවිතයෙන් ප‍්‍රයෝජන ගත යුතුයි කියලා, ඔබ මතයකට පැමිණ සිටීම, ඔබේ සිත දියුණු කිරීමේ සියලු උපදෙස් බුදුරජාණන් වහන්සේ ගේ ධර්මය තුළ තිබෙන බවට ඔබතුළ ඇති පැහැදීම. මෙන්න මේ කරුණු සැලකිල්ලට අරගෙන මීළඟට අපි ඔබට ඉගෙන ගන්න සලස්වන්නේ මූලික භාවනා ක‍්‍රම දෙක ගැනයි.

    නිතර වැඩිය යුතු භාවනා….
    එයින් පළමු වැනි භාවනාව තමයි ‘සමථ’ භාවනාව. ඊළඟ භාවනාව තමයි ‘විදර්ශනා’ භාවනාව. මේ භාවනා ක‍්‍රම දෙක ගැනම බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම අවධාරණයෙන් ප‍්‍රකාශ කොට වදාළා. ජීවිතාවබෝධයට අතිශයින්ම උපකාරී වෙනවා කියල.
    බුදුරජාණන් වහන්සේ වදාළා (සමථෝ භික්ඛවෝ භාවේතබ්බෝ) මේ සමථ භාවනාව දියුණු කරන්න ඕනෙ. ප‍්‍රගුණ කරන්න ඕනෙ. සමථ භාවනාව ප‍්‍රගුණ කිරීමෙන් සිත දියුණු වෙනවා. සිත වැඩෙනවා. (විපස්සනා භික්ඛවේ භාවේතබ්බා) පින්වත් මහණෙනි, විදර්ශනා භාවනාවත් වැඩිය යුතුයි. විදර්ශනා භාවනාව වැඞීමෙන් ප‍්‍රඥාව දියුණු වෙනවා. විදර්ශනාව කියල කියන්නේ යමක ඇත්ත විමසා බැලීම යි. ප‍්‍රඥාව කියල කියන්නේ, ඒ ඇත්ත ඒ ආකාරයෙන්ම දැකීමේ හැකියාවටයි. එසේ නම් සමථ භාවනාව දියුණු වීමෙන් ඔබේ සිතේ තිබෙන දුර්වලකම්, සිත විසිරෙන ගතිය නැතිවෙලා සිත ශක්තිමත් වෙලා, යමක් අවබෝධ කරගන්ට සුදුසු ආකාරයට සිත වැඩෙනවා. ඒකට අපි කියනවා සිත කර්මණ්‍ය වෙනවා කියල. එ් කියන්නේ යමක් අවබෝධ කරගන්න සුදුසු ආකාරයට සිත සකස් වෙනවා. ඒ සකස්වීම සිදුවන්නේ සමථ භාවනාවෙන්.


    භාවනා ක‍්‍රම දෙක….
    විදර්ශනා භාවනාවෙන් කරන්නේ ජීවිතාවබෝධය ඇති කරල දෙන එක. ජීවිතාවබෝධය ඇති කරල දෙන්නේ ප‍්‍රඥාව තුළින්. ප‍්‍රඥාව කියල කියන්නේ යම්කිසි දෙයක ඇති ඇත්ත ස්වභාවය ඒ විදිහටම දැකීමේ හැකියාවට. මේ භාවනා ක‍්‍රම දෙක වෙන් කරන්න බෑ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ ජීවිතාවබෝධය ලබාගන්න කෙනෙක්, ඉස්සර වෙලා සමථ භාවනාව වඩලා, ඊට පස්සේ විදර්ශනාවට ඒක හරනවනවා. එහෙමත් නැත්නම් විදර්ශනා භාවනාව ඉස්සර වෙලා වඩලා එය සමථ භාවනාවට හරවනවා. එහෙම නැත්නම් මේ දෙකම එකට වැඩෙන අයත් ඉන්නවා. සමථය මුල්කරගෙන විදර්ශනා භාවනාව වඩන අයට කියනවා සමථ පුබ්බංගමා විපස්සනා කියල. විදර්ශනා භාවනාව මුල්කරගෙන සමථ භාවනාව වඩන අයට කියනව විපස්සනා පුබ්බංගමා සමථෝ කියල. මේ දෙකම එකට වැඩෙන අයට කියනව යුගනද්ධ කියල.

    සිතේ සංසිඳීම….
    එසේ නැතිව තනිකරම විදර්ශනාව විතරක් වඩපු, තනිකරම සමථය විතරක් වඩපු පිරිසක් මාර්ගඵල ලාභීන් අතර නැහැ. මේ නිසා අපි දැන් සමථ විදර්ශනා භාවනා ක‍්‍රම දෙක ගැන තවදුරටත් විස්තර වශයෙන් තේරුම් ගන්නට ඕනෙ.
    එ් තමයි සමථ භාවනාවෙන් සිත දියුණු කරල දෙනව. මේ නීවරණ ධර්ම සංසිඳුවලා සිත දියුණු කරන එකට. සමථ කියල කියන්නේ සංසිඳවීම. දැන් අපේ ජීවිතවල යම්කිසි ආරවුලක්, ගැටළුවක්, ප‍්‍රශ්නයක් ඇතිවුණාම අපි කියනවා ”දැන් අපි මේක සමථයකට පත් කරගනිමු.” කියලා කියන අදහසමයි සමථය කියල කියන්නෙ. මනස සමථයකට පත් කරල දීම. මනසේ අවුල්බව නැති කරල මනස සන්සුන් කරල දෙන්න පුළුවන්කම මේ සමථ භාවනාවකින් ලැබෙනවා.


    අපේ සතුරන් පස් දෙනා හඳුනාගනිමු….
    විශේෂයෙන්ම මේ මනස අවුල් කරන කරුණු පහක් මේ ජීවිතේ පවතින බව බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගෙන අපට වදාළා. එ් පහට කියන්නේ පංච නීවරණ කියලයි. නීවරණ කියල කියන්නේ, මේ චිත්ත දියුණුව නැති කරන, ප‍්‍රඥාවට බාධා ඇති කරන, ප‍්‍රඥාව වළක්වන සිතේ දියුණුව වෙනස් කරල දාන, තමන් නොමග යවන දේට තමයි නීවරණ කියල කියන්නේ. නීවරණ ධර්ම පහක් ඇති බව බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ තමයි,
    කාමච්ඡන්දය – තමන් ආස කරන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශවලට සිත නිතර නිතර ඇදී යන ගතිය.
    ව්‍යාපාදය– තමන් ගැටිච්ච අරමුණුවලට එනම් ඇහෙන් දැකපු දේ, කණෙන් අහපු දේ, නාසයෙන් ආඝ‍්‍රාණය කළ දේ, දිවෙන් රස විඳපු දේ, කයෙන් පහස ලැබූ හැටි මේවා ගැන නිතර නිතර මතක් වෙවී ගැටීමක් ඇතිවෙනවා. ඒ ස්වභාවයට කියන්නේ ව්‍යාපාද කියලයි.
    ථිනමිද්ධ– ඊළඟට තමන්ට මේ සිත දියුණු කරගන්නට බැරි මට්ටමට තමන් අලස (කම්මැලි) වීම, නිදිමතට පත්වීම.
    උද්ධච්ච කුක්කුච්ච – එනම් තමන් ධර්මයේ හැසිරෙන්න තියෙද්දී තමන්ගෙන් වෙච්ච අත්වැරදි ගැන, කල්පනා කර කර තමන්ගෙන් වෙච්ච අත්වැරදි ගැන හිත හිතා ඒ වගේම ශෝක කර කර, සිත විසිරෙන ආකාරයට සිත පැවැත්වීම.
    විචිකිච්ඡා – ඊළඟ එක තමයි තමන් ඉන්න ධර්ම මාර්ගය ගැන මේක දියුණු කළොත් හරියයි ද? මේක හරියයි ද? මේක දියුණු කරන්න බැරිවෙයි ද? මට බැරිවෙයි ද? කිය කිය තමන් හැම තිස්සේම පසු බහින සැකය.
    මෙන්න මේවා තමයි අපේ සිතේ හැම තිස්සෙම වෙලාගෙන තිබිල අපට මානසික දියුණුවක් කරා යන්න බාධා කරන වළක්වන දේවල්.
    මෙන්න මේවා සිතෙන් සම්පූර්ණයෙන් යටපත් කරලා සිත සමාධිමත් කරලා දෙන්න පුළුවන්කමක් සමථ භාවනාවට තියෙනවා. ඒ නිසා අපි සමථ භාවනාවත් අනිවාර්යයෙන්ම කළ යුතු භාවනාවක්.

    ප‍්‍රඥාවේ උල්පත….
    ඊළඟ භාවනාව තමයි විදර්ශනා භාවනාව. මේ විදර්ශනා භාවනාවත් අනිවාර්යයෙන්ම කළ යුතුයි. විදර්ශනා භාවනාව තමයි යමක තිබෙන මූලික ස්වභාවය, ඒ කියන්නේ යමක ඇති මූලික ලක්ෂණය උදාහරණයක් හැටියට කිව්වොත් බුදුරජාණන් වහන්සේ වදාළා හේතු නිසා හටගත්තු සියලු දේවල් අනිත්‍යයයි කියල. එතකොට ඒ හටගත්තු මූලික දේවල්වල ලක්ෂණය මොකක්ද? අනිත්‍යයයි. මෙන්න මේ අනිත්‍ය ලක්ෂණය හටගත්තු හැම දෙයකම තියෙනවා නම්, සකස් වෙච්ච සෑම දෙයකම තියෙනවා නම්, ඔබ තුළත් මේ අනිත්‍ය ලක්ෂණය තියෙනවා.

    අනිත්‍ය දේ අනිත්‍යමයි…
    එහෙනම් ඔබේ ජීවිතය පුරා මේ ලක්ෂණය තියෙනවා. දැන් ඔබ මේකට වසඟ වෙලා හිටියට, මේ අනිත්‍යයට ඔබ මුහුණ නොදී හිටියට, අනිත්‍ය දේ අනිත්‍ය වීම ඔබට වළක්වන්න බෑ. අනිත්‍ය දේ අනිත්‍ය වෙන කොට හඬා වැටෙන්නේ ඒ නිසා. නමුත් මේකට හඬා වැටෙන්නේ නැතිව, අනිත්‍ය දේ අනිත්‍ය වෙන කොට ඔබට අවබෝධයෙන් සිටින්න පුළුවන් නම් අන්න ඔබ තුළ ජීවිතය පිළිබඳව අවබෝධයක් තියෙනවා. මේ නිසාම අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන් දැකීමේ හැකියාව, දුක් දේ දුක් වශයෙන් දැකීමේ හැකියාව, අනාත්ම දේ අනාත්ම දේ වශයෙන් දැකීමේ හැකියාවට (අනාත්ම දේ යනු තම වසඟයේ පවත්වන්න බැරි, අයිතිකාරයෙක් නැති දේට) කියනවා අනිත්‍ය දර්ශනයයි කියල.

    අභියෝග කරදර හමුවේ පෙරටම යන්න….
    සිහිය මෙහෙයවලා නුවණ මෙහෙයවලා විමස විමසා බලන කොට ඔබ තුළ මේ ලක්ෂණ කෙමෙන් කෙමෙන් දියුණු වෙනවා. යමක් විනිවිද දකින්න පුළුවන් හැකියාව ලැබෙනවා. අන්න එ් හැකියාවට තමයි ප‍්‍රඥාව කියන්නේ. ඒ ප‍්‍රඥාව ලබන්න වුවමනා කරන ආකාරයට ඒ හැකියාව දියුණු කිරීමට කියනවා විදර්ශනා කියලා.
    ඔබ මේ කාරණයේදී ගොඩක් නුවණ පාවිච්චි කරන්නට ඕනෙ. කෙනෙක් ඔබට කියන්න පුළුවන් ”හා…. හා…. අනිත්‍ය භාවනාව සිහි කරන්න එපා. ඔබ ගිහි ගෙදර ඉන්න කෙනෙක්. එ්ක ඔබට අදාළ නෑ.” ඔබේ ස්වාධීන නුවණින් කල්පනා කරලා ඔබ හිතන්න මෙහෙම. ”මේ කෙනා නම් අමු මිත්‍යා දෘෂ්ටිකයෙක්. මේ කෙනා නම් යථාර්ථයට විරුද්ධව කල්පනාව තියෙන කෙනෙක්. මේ කෙනා නම් චිත්ත දියුණුවට බාධා කරන්න කැමති කෙනෙක්. මේ කෙනා නම් ප‍්‍රඥාව දියුණු වෙනවට අකමැති කෙනෙක්” කියල තෝරාගෙන ඒ අදහස බැහැර කරන්නට ඕනෙ.
    ශ‍්‍රද්ධාව ඇති කර ගනිමු
    එසේ බැහැර කරලා ඔබේ ජීවිතය තුළ ඔබ හිතන්න ඕනෙ මෙහෙම. ”බුදුරජාණන් වහන්සේ මහා කරුණිකයි. බුදුරජාණන් වහන්සේ ජීවිතය අවුල් වෙන කඩාකප්පල් වෙන දේවල් මේ ලෝකයට කියන්නෙ නෑ. ඒවා කියන්නේ පෘථග්ජන අය විසින්. බුදුරජාණන් වහන්සේ පෘථග්ජන කෙනෙක් නෙවෙයි. උන්වහන්සේ අරහත්වයට පත්වෙච්ච නිකෙලෙස් උත්තමයන් වහන්සේ නමක්. බුදුරජාණන් වහන්සේගේ ධර්මය පෘථග්ජනභාවයෙන් එතෙර කරවන ධර්මයක්. බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවක සඟරුවන පෘථග්ජන භාවයෙන් එතෙර වෙලා, අරහත්වයට පත්වෙන අරහත්වය කරා පිය නගන ශ‍්‍රාවක පිරිසක්.
    මේ නිසා මම සරණ ගියපු තිසරණයටයි මේ අනිත්‍ය දර්ශනය අදාළ ‘ඒ නිසා යමෙක් කියනවා නම්, මේ අනිත්‍ය දර්ශනය ජීවිතයට වැඩක් නෑ‘ කියල, ඒ කෙනා තිසරණයෙන් බැහැර වෙච්ච මිත්‍යා දෘෂ්ටික, මිත්‍යා මත දරන අන්ධ බාල පෘතග්ජන පැත්තේ කෙනෙක්,“ කියල පැහැදිලිවම එයා හඳුනාගන්නට ඕනෙ. හඳුනාගෙන ඔබ සම්පූර්ණයෙන්ම ජීවිතය ගැන අවබෝධයකින් කටයුතු කරන්න ඕනෙ.

    නොසැලී පෙරටම ගමන් කරන්න…
    එසේ නම් දැන් ඔබ මතක තියාගන්න සමථ භාවනාව කියන්නේ සිත තැන්පත් කරන, පංච නීවරණ යටපත් කරන, සමාධිය දියුණු කරන වැඩපිළිවෙලකටයි. සමථ භාවනාව තුළින් දියුනු කරගන්න සමාධිය බොහෝ වේලාවක් තියාගන්න පුළුවන්කම තියෙනවා. එ්කට කියනවා ධ්‍යාන කියල. මේ ධ්‍යාන, පළවෙනි ධ්‍යානය, දෙවෙනි ධ්‍යානය, තුන්වෙනි ධ්‍යානය, හතරවෙනි ධ්‍යානය වශයෙන් දියුණු කරන්න පුළුවන්.
    විදර්ශනා භාවනාව මනාකොට හැසිරවීමෙන් දියුණු වෙන්නේ ප‍්‍රඥාවයි. ප‍්‍රඥාව දියුණු වෙන්න, දියුණු වෙන්න එ් කෙනාට මේ ජීවිතය ගැන තියෙන අනවශ්‍ය බැඳීම්, ජීවිතය ගැන ගොඩනගන අදාළ නැති ප‍්‍රශ්න, ජීවිතය ගැන ගොඩනගන අද්භූත ආකල්ප, ජීවිතය ගැන ගොඩනගන මිත්‍යා අදහස්, මේ සියල්ලම බැහැර වෙලා, යථාර්ථවාදී අවබෝධයක් කරා එයාගේ ජීවිතය සකස් වෙනවා.
    එසේ නම් අපට මේ සමථ භාවනාවෙන් සිත දියුණු කරල දෙනවා. විදර්ශනා භාවනාවෙන් ප‍්‍රඥාව දියුණු කරලා දෙනවා. මේ සිතත් ප‍්‍රඥාවත් දියුණු කරන සමථ විදර්ශනා භාවනා දෙකම අපට දියුණු කරගන්න පුළුවන් හොඳ භාවනාවක් බුදුරජාණන් වහන්සේගේ ධර්මය පුරාම තියෙනවා. ඒකට අපි කියනවා සතිපට්ඨානය කියල. මෙන්න මේ සතිපට්ඨාන භාවනාව අපේ ජීවිතයට දියුණු කරගන්න පුළුවන් ආකාරයට මින් ඉදිරියට දැනගන්න පුළුවන්. දැන් ඔබ මතක තියාගන්න සමථ විදර්ශනා කියල භාවනා දෙකක් තියෙනවා. මේ දෙකම ජීවිතයට අත්‍යවශ්‍යයි. මේ දෙකම දියුණු කරගන්න ඔබත් මහන්සි ගන්න.
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    godak pin. watinawa......... :)

    මේ කිසි දෙයක් මම ලියන ඒවා නෙවේ :)
    mahamevnawa site එකෙන් අරගන්නේ.

    තනියම කියවන්නෙ නැතුව කට්ටිය එක්ක බෙදාගන්නවා. :)
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මචං පුලුවන් නම් පංච නීවරණ නැති කරන විදිහ ගැන කියලා දෙන දේශනාවක් හොයලා දීපන්. ගොඩක් පින්.
     

    sharetuto

    Junior member
  • May 5, 2009
    50
    4
    8



    අසුභ භාවණාව | asuba bawanawa | Asuba Bawanawa
    මරණ සති භාවණාව | maranasati bawanawa | maranasatiya

    සිතේහි ආ‍යුෂ චිත්තක් ක්ෂණ ඒකයි.
    මොහතින් මොහත සිත විසිරේයි.
    සිත විසිරිම අඩු කරීමට
    අසුභ භාවණාව - මරණ සති භාවණාව
    උපකාරි වෙයි.

    නාම රුප ධර්මයෝ ක්ෂණයක් ක්ෂණයක් පාස
    සිදි සිදි බිදි බිදි ඇති වෙමින් නැතිවෙමින් යන නිසා
    අනිත්‍යයි.

    ක්ෂණයක් ක්ෂණයක් පාස
    සිදි සිදි බිදි බිදි පෙලෙමින් යන නිසා දුකයි.

    කැමති නිසා නොපවතින නිසා අනාත්මයි.
    පිලිකුල් බැවින් අසුභයි.

    --------------------------------------------------------------------------
    දේශක තුමන්ටද, නන් අයරුන් සහය වුවන්ටද, මාහද, ඔබටද, තුන් ලෝකයේ සියළු සත්වයන් හටද, ආයුෂ වර්ණ සැප බල විර්‍ය් ප්‍රඥ්ඥා ධන දාන්‍ය යස ඉසුර ලැබේවා!!!. වහ වාහ චතුර් ආර්‍ය සත්‍ය අවබෝධ වේවා!!!. ක්ෂණ සම්පත්තිය, කල්‍යාණ මිත්‍ර සම්පත්තිය, යොනිසෝ මනිසිකාරය, දම්මානුදම්ම ප්‍රතිපදාවනි ලැබේවා!!!.
     

    sharetuto

    Junior member
  • May 5, 2009
    50
    4
    8



    මෛත්‍රීය භාවණාව - Mithri bawanawa - Maithree bawanawa samatha bawana

    බුදු ගුණ අනන්තයි.
    සදහම් ගුණ අනන්තයි.
    මහා සංඝ ගුණ අනන්තයි.

    මම නිදූක් වෙත්වා,නිරෝගී වෙත්වා,සුවපත් වෙත්වා
    මා මෙන්ම තුන් ලොකයේ සියලු සත්වයෝද නිදූක් වෙත්වා,නිරෝගී වෙත්වා,සුවපත් වෙත්වා

    ආයූෂ වර්ණ සැප බල විර්‍ය් ප්‍රඥ්ඥා ධන දාන්‍ය යස ඉසුර ලැබේත්වා....
    කල්‍යාණ මිත්‍ර සම්ප්‍රත්තිය, ක්ෂණ සම්ප්‍රත්තිය ලැබේත්වා....

    අතීපූජ්‍ය නා උයනේ අරියධම්ම නාහිමි.

    -----------------------------------------------------------------
    දේශක තුමන්ටද, නන් අයරුන් සහය වුවන්ටද, මාහද, ඔබටද, තුන් ලෝකයේ සියළු සත්වයන් හටද, ආයුෂ වර්ණ සැප බල විර්‍ය් ප්‍රඥ්ඥා ධන දාන්‍ය යස ඉසුර ලැබේවා!!!. වහ වාහ චතුර් ආර්‍ය සත්‍ය අවබෝධ වේවා!!!. ක්ෂණ සම්පත්තිය, කල්‍යාණ මිත්‍ර සම්පත්තිය, යොනිසෝ මනිසිකාරය, දම්මානුදම්ම ප්‍රතිපදාවනි ලැබේවා!!!.
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    තෙරුවන් සරණයි...!!!
    ධර්ම දානීය කුසල් අත්වේවා..!!
    ++++