ගුණසිංහත් පරාද වුණු වැල්ලවත්ත රෙදි මෝලේ සටන
ලංකාවේ පළමු වැඩවර්ජනය ආරම්භවනුයේ 1893 බව සාමාන්‍ය පිළිගැනීමයි. එහෙත් වෘත්තීය ක්‍රියාමාර්ග පිළිබඳ උනන්දුව ඇතිවූයේ ඊටත් දශක කිහිපයකට පෙර සිටය. කෙසේ වෙතත් 1893 පසුව එළැඹි යුගය වැඩකරන ජනතාව වෘත්තීය අරගල තුළින් තම අයිතිවාසිකම් දිනාගත් යුගයක් විය. ඒ.ඊ. ගුණසිංහ සහ වැඩවර්ජන දෙකක් නොව එකක් ලෙස නැගෙමින් පැවැති මේ යුගයේ කඩා වැටීම ආරම්භ වූයේ තිහේ දශකයේය. ඒ වැල්ලවත්ත රෙදි මෝලේ වර්ජනයයෙනි.
මුල්කාලීනව කම්කරු ව්‍යාපාරය සියතට ගෙන මෙහෙයවන්නට නායකත්වයක් නොතිබිණි. කම්කරු නායකයා ලෙස ඒ.ඊ. ගුණසිංහ මහතා ඉස්මතුව පැමිණෙන තෙක් මේ කම්කරුවන් අතර පැවැති මේ හිඩැස වැසීගියේ විටින් විට මතුවූ නායකයන් මඟිනි. ජෝන් කොතලාවල, අනගාරික ධර්මපාල මෙන්ම කම්කරුවන් අතරින් ද පිරිස් විටින් විට මේ හිස්තැන පුරවන ලදි. තත්වය වෙනස් වන්නේ 1920න් පසුවය. එම දශකයේදී කම්කරු ව්‍යාපාරය ශක්තිමත්ව නැගෙමින් තිබුණේ ගුණසිංහ මහතා යටතේය. ආචාර්ය කුමාරි ජයවර්ධන විසින් “ශ්‍රී ලංකාවේ කම්කරු ව්‍යාපාරයේ නැඟීම“ කෘතියේ සදහන් කරන පරිදි ඒ.ඊ. ගුණසිංහ අවංක කම්කරු නායකයෙක් ලෙස ජනතාවගේ ගෞරවය දිනා සිටියේය. කෙසේ වෙතත් වැල්ලවත්ත රෙදි මෝලේ 1933 දී ක්‍රියාත්මක වූ වැඩවර්ජනයත් සමඟම ගුණසිංහයන්ට කම්කරුවන් අතර තිබූ ප්‍රසාදය බිඳ වැටෙන්නට විය.
වැල්ලවත්ත රෙදි මෝල එවක ලංකාවේ පැවැති විශාලතම රෙදි මෝල ලෙස පිළිගැනේ. ඉන්දියානු ජාතිකයන් සතුව එහි අයිතිය පැවැති අතර, 1899 වර්ෂයේදී ආරම්භ කරන ලද්දකි. මෙහි සියලු සේවක සේවිකාවන් 1400කට ආසන්න වූහ. සේවය කළ කම්කරුවන්ගෙන් බහුතරය ඉන්දීය ජාතිකයන් බව වාර්තා වන අතර එයිනුත් 2/3කට ආසන්න පිරිස මලයාලි ජාතිකයෝ වූහ.
වැල්ලවත්ත රෙදි මෝලේ ප්‍රධාන වෘත්තීය සමිතිය ක්‍රියාත්මක වූයේ
ඒ. ඊ. ගුණසිංහ මහතා යටතේය. එපමණක් නොව 1920 දශකයේ පැවැති වැඩවර්ජන දෙකක් සාර්ථකව ජයග්‍රහණය කිරීමට ද ඔහු සමත් විය. 1923-1926 සහ 1929 වර්ෂවල පැවැති එම වැඩවර්ජනයන්හිදී දැක්වූ නායකත්වය නිසා රෙදි මෝලේ කම්කරුවන්ගේ විශ්වාසනීය නායකයා වී සිටියේද ගුණසිංහ මහතාය. එහෙත් 1933 වර්ෂය වනවිට ලෝකය පුරා ඇතිවෙමින් තිබූ දැඩි ආර්ථික පරිහානිය හමුවේ ඔහුගේ ක්‍රියා කලාපය කම්කරුවන්ට ප්රශ්නකාරී විය. පැවැති ආර්ථික අර්බුදය ලංකාවේ ද සියලු කර්මාන්තවලට දැඩිසේ බලපෑවේය. රෙදි කර්මාන්තය සැලකීමේදී ජපන් රෙදිපිළි වෙළෙඳපොළට පැමිණ තිබිණි. මේ නිසා ජපන් රෙදිපිළි සමඟ තරගයකට මුහුණ දීමටද රෙදිපිළි කර්මාන්තයට සිදුවූ අතර එය දේශීය කර්මාන්තවලට යහපත් ලෙස බලපෑවේ නැත. මේ හේතුවෙන් ඇතිවූ තත්ත්වය නිසා සියලු සේවකයන්ගේ වැටුප් කප්පාදුවක් කිරීමට වැල්ලවත්ත රෙදි මෝලේ පාලකයන් විසින් තීරණය කෙරිණි. මෙය ලංකාවේ කම්කරුවන්ට බලපෑ ඓතිහාසික තීරණයක් විය.කර්මාන්ත ශාලාවක වැටුප් අඩුකිරීමට තීරණය කළ පළමු අවස්ථාව බවද විචාරකයන්ගේ මතයයි. පාලකයන්ගේ තීරණය කන වැකීමත් සමගම කම්කරුවෝ හදිසි වැඩවර්ජනයකට යොමු වූහ. ඔවුහු පෙත්සමක් අත්සන් කර ආණ්ඩුවට බාර දුන්හ. ඒ සමගම වැටුප් කප්පාදුවට එරෙහිව නැගී සිටින ලෙස කම්කරු නායක ඒ.ඊ. ගුණසිංහ මහතාගෙන් ද ඉල්ලා සිටින ලදි. මෙහිදී ගුණසිංහ මහතාගෙන් යහපත් ප්‍රතිචාරයක් කම්කරුවන්ට ලැබුණේ නැත. වර්ජනයට විරුද්ධ වූ ඔහු වර්ජනය නවත්වා සේවයට වාර්තා කරන මෙන් කම්කරුවන්ට දැනුම් දෙන ලදි. පූර්ව දැනුම් දීමකින් තොරව වර්ජනය කිරීමෙන් කම්කරු සංගමය සහ සේව්‍යයන්ගේ සම්මේලනය අතර ඇති ගිවිසුම උල්ලංඝනය වන බව මෙහිදී හේතු ලෙස ගුණසිංහ මහතා පෙන්වා දෙන ලදි. තවද වර්ජනයට සම්බන්ධ සාමාජිකයන් රැසකගේ සංගම් සාමාජිකත්වය අහෝසිව ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.
නමුදු සේවකයන්ගේ පාර්ශ්වයෙන් කියා සිටියේ වැටුප් අඩුකිරීමක් සම්බන්ධයෙන් ගිවිසුමේ අඩංගු නොවන බවයි. තවද වැඩවර්ජනය කිරීමේදී සාමාජිකත්වය පිළිබඳ ප්‍රශ්නයක් නොමැති බවත් කළයුතුව ඇත්තේ වර්ජකයන්ගේ සාමාජිකත්වය අලුත් කිරීම පමණක් බවත් වර්ජකයෝ ප්‍රකාශ කළහ. කෙසේ වෙතත් 1933 වර්ෂයේ දී පැවැති වැඩවර්ජනයට ගුණසිංහ මහතා සහයෝගය ලබා දුන්නේ නැත. ඔහු දිගින් දිගටම කම්කරුවන්ට විරුද්ධ විය. මේ නිසා ගුණසිංහ මහතාත්, වර්ජිත කම්කරුවන් අතර මත ගැටුම සමථයකට පත් වූයේ නැත. මෙහි ප්‍රථිපලයක් ලෙස කම්කරුවෝ විකල්ප මාර්ග වලින් පිහිටක් පැතූහ. ඔවුහු තරුණ සංගමයේ ක්‍රියාකාරියකු මෙන්ම නීතීඥයකු වූ එච්. ශ්‍රී. නිශ්ශංක මහතා හමු වීමට කටයුතු කළහ. නිශ්ශංක මහතාගේ මැදිහත් වීම ඔස්සේ කම්කරුවන්ට කොල්වින් ආර්. ද සිල්වා මහතා මුණ ගැසෙන්නේ ඉන් අනතුරුවය.
“මේකට අපි නඩු ගිහින් වියදම් කර ගන්න ඕනේ නැහැ. මේක සාධාරණ කරුණක්. වැටුප් අඩුකරන්න කොම්පැනි අයිතිකාරයන්ට බැහැ. අපි අලුතින් සමිතියක් පිහිටුවාගෙන සටන ඉදිරියට ගෙන යමු. මේක අපිට දිනන්න පුළුවන්“ කොල්වින් ආර් ද සිල්වා මහතාගේ ප්‍රකාශය කම්කරුවන්ට දිරිදෙන්නක් විය. කොල්වින් ආර් . ද සිල්වා ඒ වනවිට කොළඹ තරුණ සංගමයේ ක්‍රියාකාරී සාමාජිකයෙක් විය. එම සංගමයේ සියලු සාමාජිකයන් ද මේ සටන සමඟ එක්වූහ. ඒ අනුව පිලිප් ගුණවර්ධන, ඇස්.ඒ. වික්‍රමසිංහ, රොබර්ට් ගුණවර්ධන, ඇන්.ඇම්. පෙරේරා යන පිරිස් කැපී පෙනිණි.
කොල්වින් ආර් ද සිල්වා මහතා උපදෙස් දුන් පරිදි 1933 පෙබරවාරි 23 දින රෙදි කර්මාන්ත ශාලාවේ සියලු කම්කරුවෝ වෙනත් සමිතියක් ආරම්භ කළහ. “වැල්ලවත්ත රෙදි මෝලේ කම්කරු සංගමය“ නම් වූ එහි සභාපති ධුරයට පත්වූයේ කොල්වින් ආර්. ද . සිල්වා මහතාය. ඒ සමඟම වැඩවර්ජනය මාස දෙකක් පුරාවට පැවැත්විණි. කෙසේ වෙතත් නව වෘත්තීය සමිතිය සමඟ සාකච්ඡාවට එළැඹීමට රෙදි මොලේ පරිපාලනය කැමැති වූයේ නැත. ඔවුන් දිගින් දිගටම කියා සිටියේ ගුණසිංහ මහතාගේ වෘත්තීය සමිතිය හැර නව වෘත්තීය සමිතිය නොපිළිගන්නා බවය.
මෙහිදී ගුණසිංහ මහතාගේ ක්‍රියාකලාපය කම්කරුවන්ගේ පිළිකුලට හේතුවිය. කම්කරුවන් නොමග යවා කම්කරු සංවිධාන විනාශ කිරීමට කටයුතු කරන බවට ඔහු තරුණ සංගමයේ සාමාජිකයන්ට චෝදනා කළේය. එතැනින් නොනැවතුණු ඔහු ජාතිභේදය ඇවිස්සීමට කටයුතු කළ බවට ද චෝදනා නැඟේ. විශේෂයෙන්ම රෙදි මෝලේ සේවකයන් විශාල පිරිසක් මලයාලි ජාතිකයන් වීම හරහා ගුණසිංහයන් මේ සඳහා මාවත විවෘත කරගත්තේය. මේ වනවිට රටෙහි ආර්ථික පරිහානිය නිසා අඩු වැටුපට සේවය කිරීමට ඉන්දියානු කම්කරුවන් යොදා ගෙන තිබිණි. සෑම කර්මාන්ත ශාලාවකම එම තත්ත්වය දක්නට ලැබිණි. සිංහල කම්කරුවන්ට රැකියා නොමැති වීමට මලයාලි කම්කරුවන් බලපා ඇති බව ඔහු චෝදනා කළේය. එම චෝදනාව වැල්ලවත්ත රෙදි මෝලට ද ගුණසිංහ ආදේශ කළේය. මෙහිදී වැඩවර්ජනය කඩාකප්පල් කිරීමේ අරමුණින් සිංහල සේවකයන් ලොරිවල පටවා කර්මාන්ත ශාලාවට යැවීමට කටයුතු කෙරිණි. මේ නිසා කර්මාන්ත ශාලාව අභ්‍යන්තරයේ ගැටුම් ඇති විය. තත්ත්වය පාලනය කිරීමට පොලිසිය කැදවීමට ද සිදුවූ අතර අවසානයේ කම්කරු ඇමැතිවරයා ගේ මැදිහත්වීම යටතේ කොමිසමක් පත් කෙරිණි.
1931 කාර්මික ආරවුල් ආඥා පනත යටතේ ආරවුල සමථයකට පත් කිරීමට පත් කළ එම කොමිසමෙන් ගුණසිංහ මහතාගේ ක්‍රියා කලාපය සාධාරණය කර තිබිණි. කම්කරුවන්ට යම් සහනයක් ලැබුණද එය ඔවුන් අපේක්ෂා කළ අන්දමින් නොවිණි. කොමිසමේ තීරණය ලැබීමත් සමඟම කම්කරුවෝ සහ ඔවුන්ගේ නව වෘත්තීය සමිතිය දැඩි ලෙස විරෝධය පාන්නට විය. කෙසේ වෙතත් ගුණසිංහගේ කම්කරු සංගමය කොමිසමේ තීරණයට සතුට ප්‍රකාශකර රැස්වීමක් පවා සංවිධානය කර තිබිණි. ගුණසිංහ කෙරේ අප්‍රසාදය කම්කරුවන් තුළ ත්‍රීව කිරීමට එය බලපෑවේය. පවතින වැටුප් පවා සාධාරණ මට්ටමක නොමැති හෙයින් වැටුප් කප්පාදුව අසාධාරණ බව ප්‍රකාශ කළ කොල්වින් ආර්. ද සිල්වා මහතා කොමිසමේ තීරණය පිළි නොගන්නා බව ප්‍රකාශ කළේය.
මේ අතරම කම්කරුවන් කුපිත කිරීමට ගුණසිංහ මහතා ක්‍රියා කළ බවට ද තරුණ සංගමයේ නායකයන් චෝදනා කළේය. ඒ අතරම වර්ජන කාලය තුළ අපහසුතාවට පත්ව සිටි කම්කරුවන්ගේ අවශ්‍යතා , කෑම බීම ආදිය වෙනුවෙන් ආධාර මුදලක් එක් රැස් කිරීමටද තරුණ සංගමය කටයුතු කළේය. මෙය ගුණසිංහගෙන් ගිලිහෙමින් තිබූ ප්‍රසාදය තරුණ සංගමය වෙත යොමු වීමට තවත් බලපෑ හේතුවක් විය. අවසානයේ වැටුප් අඩුකිරීමට රෙදි මොලේ පරිපාලනයට නොහැකි වූ අතර ගුණසිංහ ගේ කම්කරු සංගමය බලවත් කඩා වැටීමකට ලක්විය. ගුණසිංහයන්ගේ සමිතියට අභියෝගයක් ලෙස නව කම්කරු සමිතියක් බිහිවිය. එය ආණ්ඩුව තැති ගැන්වීමට ලක් කළේය. වෘත්තීය සමිතියක් එහාට ගිය දේශපාලන ව්‍යාපාරයක් බවට පත්වෙමින් තිබීම එයට හේතු විය. තවත් කෙටි කලකින් තරුණ සංගමය ලංකා සමසමාජ පක්ෂය ලෙසින් දේශපාලන කරළියට පැමිණෙන අතර වැල්ලවත්ත රෙදිමෝලේ සටන් සගයන් රැසක් එහි ඉහළ පෙලේ නායකයන් බවට පත්විය.
lankadeepa