කන්දක් තරණය කිරීමට ගිය 32 හැවිරිදි ඩෙන්මාර්ක් ජාතික සංචාරක කාන්තාවක් පසුගිය 10 වනදා සිට අතුරුදහන්වී ඇති බවට වාර්තා වුණි.
සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර සංචාරක පොලීසිය විමර්ශන ආරම්භ කළේය.
ඒ අනුව අදාළ විදෙස් ජාතික කාන්තාවගේ සිරුර අද (14) දිනයේ සොයාගැනීමට හැකිවී තිබේ.
මෙසේ කන්දක් තරණය කිරීමට යන බව පවසා හෝටලයෙන් පිටව ගිය විදේශීය කාන්තාව නැවත හෝටලයට නොපැමිණි බව කියමින් එම හෝටලේ අයිතිකරු පොලීසියට පැමිණිල්ලක් කර තිබුණි.
පොලීසිය සඳහන් කළේ විදේශීය ජාතික කාන්තාව පසුගිය 09 වනදා මහනුවර අම්පිටිය පාරේ පිහිටි නවාතැනක් වෙත පැමිණ රැඳී සිට ඇති අතර 10 වනදා උදෑසන සිට ඇය නවාතැන් ස්ථානයේ නොසිටි බවට ඊයේ (13) පැමිණිල්ලක් ලැබුණු බවය.
ඇය පොත්තපිටිය ප්‍රදේශයේ අලගල්ල කන්ද තරණය කිරීම සඳහා යන බවට නවාතැන් ස්ථානයේ සිටි සේවකයින් වෙත දැනුම්දී ඇති බවද විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
සිදුකළ විමර්ශන අනුව අද (14) දින අලගල්ල කන්ද ප්‍රදේශයේ තිබී ඇයගේ සිරුර පොලීසියට හමුවී ඇත.
වයස අවුරුදු 32ක් වන ඩෙන්මාර්ක් ජාතික කාන්තාව අලගල්ල කන්ද ප්‍රදේශයේ ගලකින් ලිස්සා වැටී ඇති බවට නිරීක්ෂණය වෙන බව පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර සහ පොත්තපිටිය පොලිස් ස්ථාන වැඩිදුර විමර්ශන සිදුකරයි.
