දිනක ඔබ ඔබ උපන් නගරය හැර වෙනත් තැනක ඔබේ නිවස සාදා ගනු ඇත. ඔබ ඔබේ ජීවිතය සොයා බෝහිමියානුවෙකු සේ උපන් ගමෙන් අභිනිශ්ක්‍රමණය කරනු ඇත. එය වෙනත් නගරයකට එසේත් නැතිනම් වෙනත් රටකට වන්නට පිළිවන.
දිනෙක ගෙදර යනවා යන හැඟීම ඔබේ හදවතේ ඇති වටිනාම හැඟීම බවත්, ගෙවී ගිය කාලය යනූ ජීවිතයේ ස්වර්ණමය යුගයක් බවත් ඔබට පසක් වනු ඇත.
කාමර කීපයක ඔබේ නිවස, ඔබේ සුරතලුන්, ඔබේ දෙමාපියන්, ඔබේ සහෝදර සහෝදරියන්, නෑදැයින් සමඟ තවදුරටත් ආගිය වගතුග කතා කරන්නට අවේලාවේදී පවා මිතුරන් සමඟ සතුටු සාමිචියේ යෙදෙන්නට තවදුරටත් ඔබට නොහැකි වනු ඇත.
ඔබ ආසම විදියේ කෑම ජාති කන්නට, ඔබ ආසම විදියේ ඇල දොලකින් නාගන්නට යන්නට පවා ඔබට දිනගනිමින් සිටින්නට සිදුවනු ඇත. ආදරණීයන් සමඟ කතා බහ විනාඩි කිපයකට පමණක් සීමා වෙනු ඇත. ඉන් සමහරෙක් මගහැරී යනු ඇත. ඔවුන්ගේ මලගම පමණක් කවුරුන් හෝ විසින් කවදාක හෝ ඔබට ඇමතුමක් දී දැනුම් දෙනු ඇත.
උපන්බිමෙන් වෙන්වීම සුලුපටු නොවන්නේ එබැවිනි. ජීවිතයේ බොහෝ දුක් වේදනා ඔබට තනිව දරා ගන්නටත්, වෙනදා ගෙවූ ජීවිතය මතකයක් සේ හදවත තුල තබාගෙන එදිනෙදා කටයුතු වෙහෙසක් නොපෙන්වා කරගෙන යාමටත් සිදුවෙන දවස් ඉන්පසු උදාවේ. වෙහෙසක් දැනෙන විට ඔබටම ඔබවම නිවාගන්නට වෙන දවස් ඉන්පසු උදා වේ. පුතේ බත් බෙදලා ඇති කන්නට යැයි කියූ හදවත ඔබෙන් ගවුගානක් දුර පුංචි කුටියක ඔබගැනම සිතමින් වැතිරී සිටිනු ඇති. ඔබ ගමරට එනතුරු මගබලන මහලු වූ දැසක් වැරන්ඩාවේ කොනක පුටුවක දවස පුරා පත්තරයක් කියවමින් සිටිනු ඇති.
කාලාන්තරයකට පසු ගමට යද්දී මිය ගිය සමහරක් නෑ හිත මිතුරන්ගේ දිරාපත් වු ගෙවල්, වැඩිවියට පත් වූ නොහදුනන තරුණයන්, වල් බිහි වී ගිය සෙල්ලම් පිට්ටනි, අලුත් වූ ගොඩනැගිලි සහිත පරණ පාසැල ඔබේ නෙත ගැටෙනු ඇත. ඒවා විසින් ඔබේ අතීතකාමය දැඩිව අවුස්සද්දී එදා පටන් ඔබ දන්නා හදුනන වෙනස් නොවූ ගහක් දෙකක්, ගරා වැටී ගිය පෙට්ටි කඩයක් සිරියක් නොපෙන්වා නමුත් හිස ඔසවා සිටින මහගෙදර පමණක් ඔබව එදා තරමට ආදරයෙන් වැලදගනු ඇත.