A/L කරන කාලේ එක සැරයක් ඉස්කෝලේ නිවාඩුවට අපේ පන්තියේ යාළුවො අට දෙනෙක් අවාරේ සිරිපාදේ ගියා. කොටුවෙන් බස් එකේ නැගලා කුරුවිටට ගිහින් එරත්න පැත්තෙන් ගියේ. එක එක කෑම ජාති එහෙම ගෙවල් වලින් අරගෙන ගියේ. මුල්ම දවසේ රෑ අපි එරත්න පන්සලේ බණ මඩුවේ නැවතුනේ. එදා රෑ මාර වැස්සක් වැස්සා. පහුවදා උදේ බලද්දී හැම තැනම ගංවතුරට යටවෙලා. අපි පන්සලෙන් පිටත් වෙද්දී හාමුදුරුවෝ කිවුවා ඔය ළමයි සිරිපාදේ යන්න එපා ආපහු ගෙවල් වලට යන්න කියලා. අපි පන්සලෙන් එළියට ඇවිල්ලා කතාවුණා ආපහු යන්න බෑ කොහොම හරි සිරිපාදේ යමු කියලා. එදා දවසෙත් සැරෙන් සැරේ වැස්ස. කුඩැල්ලෝ විමානේ. කැලෑ අඩි පාරේ ගල් මුල් උඩින් පැනගෙන යන්න තියෙන්නේ. හිටපු ගමන් පාර හරහා හෙන වතුර පාරවල් කඩාගෙන බහිනවා. එතකොට වතුර පාර අඩුවෙනකල් බලාගෙන ඉඳලා කැලෙන් රිංගලා යන්න වෙන්නේ. කොහොම හරි එදා හැන්දෑව වෙද්දී අපි සීතගඟුල කිට්ටුව ලොකු අම්බලමකට ආවා. කිසිම පැත්තක ලයිට් එළියක් නෑ. අමු අන්ධකාරේ. අම්බලම ඇතුලේ ලී දඬු වලින් මැසි ගහලා තියෙනවා. ඒවා ඔක්කොම දිරලා. ජරාවාස වෙලා. එදා හැන්දෑවෙත් නාකපන වැස්ස. උහුලන්න බෑ පට්ට සීතලයි. අපි මැසි කඩලා ලීදඬු අරගෙන අම්බලම ඇතුලේ ගිනිගොඩක් ගහලා ගිනිගොඩ වටේ ඉඳගෙන නොයෙක් මාතෘකාවල කතා කියනවා. අන්තිමේ හොල්මන් සීන් එකේ කතා ඇදිලා ආවේ
. අපේ උන් ඇඟේ මයිල් කෙලින් වෙන හොල්මන් කතා කියන්නේ. ඔහොම කතා කිය කිය ඉන්නකොට එළියෙන් පොඩි ළමයෙක් අඬන සද්දයක් ඇහිලා අපි අන්ද මන්ද වුනා. යකෝ මේ මහ රෑ නාකපන වැස්සේ මේ වගේ පට්ට පාලු තැනකට පොඩි එකෙක් එන්නේ කොහොමද?
බයවුණු පාර අපි ඔක්කොම නැගිටලා එක පොදියට ලංවෙලා එළියෙ පොඩි එකා අඬන සද්දේ ඇහෙන පැත්ත බලනවා. එතකොට අපි දැක්කා අඳුරේ චායාවක් වගේ ගෑණු කෙනෙක් ළමයෙක් වඩාගෙන අපි ඉන්න පැත්තට හෙමින් එනවා. කට්ටියටම හීන් දාඩිය දැම්මා. ඒ ගෑනු කෙනා අම්බලමේ මිටි තාප්පේ ළඟටම ඇවිත් අපෙන් ඇහුවා මල්ලි මෙහෙන් කවුරු හරි වන්දනා නඩයක් ගියාද කියලා. එතකොට අපිට හිතුනා මේ හොල්මනක් නෙමෙයි ඇත්තම ගෑනු කෙනෙක් කළුවරේ අතරමන් වෙලා ඇවිත් කියලා. මම හෙමින් ඒ ගෑනු කෙනා ඉන්න දිහාට කිට්ටු කෙරුවා. එතකොට එක යාලුවෙක් මගේ අතින් ඇදලා යන්න එපාඔහොම ඉඳන් කතාකරපන් කියලා රහසින් වගේ කිවුවා. මම නැවතුනේ නෑ ගෑනු කෙනා ලඟට කිට්ටු කරලා කිවුවා අක්කේ මේ පැත්තෙන් කවුරුවත් ගියේ නෑ. දැන් මේ මහ රෑ කළුවරේ වැස්සේ ඔය දරුවවත් අරගෙන යන්න එපා අනතුරක් වෙන්න පුළුවන් ඒ නිසා බය වෙන්න එපා අපිත් එක්ක මෙතන නවතින්න අපි උදේට ඔයාව පහල පන්සලට එක්කගෙන යන්නම් කියලා. මේ ගෑනි කිසිම කතාවක් නැතුව ළමයාවත් අරගෙන මහ වැස්සේ කළුවරේඉදිරියටම යන්න පිටත් වුනා. මට පුදුම බයක් හිතුනේ මේ ගෑනි මොකක් හරි අනතුරක් කරගනියි කියලා. ඒ හින්දා අක්කේ යන්න එපා ඔහොම නවතින්න කියලා කෑ ගහගෙනම මම ඒ ගෑනි පස්සේ හයියෙන් හයියෙන් ඇවිදගෙන ගියා. කට්ට කළුවරට ගෑනියෙක් තියා මෙලෝ හසරක් පෙන්නේ නෑ. ඊට පස්සේ මම අක්කේ අක්කේ කියලා කෑ ගගහා ඒ ගෑනිව කොහොම හරි අල්ලගන්න හිතාගෙන කන්ද ඉහලට කැලේ අස්සෙන් දුවන්න පටන් ගත්තා. ඔය විදියට සීතගඟුල ළඟට යනකල්ම දිවුවා. ඒ ගෑනි ආගිය අතක් හොයාගන්න නැහැ. සීතගඟුල ළඟ නැවතුනාම මට දැනුනා මගේ අඟ නිකන් පණ නැතුව යාගෙන එනවා වගේ. එතකොටම අපේ යාළුවො සෙට් එක මගේ ලඟට දුවගෙන ඇවිල්ලා මාව උස්සලා අරගෙන ආයෙම අම්බලමට එක්ක ආවා. හැබැයි මට වෙන මොකුත් අවුලක් වුනේ නම් නැහැ. එදා රෑ අපි තීරණය කළා සිරිපාදේ යාම පැත්තක දාලා උදේ ආපහු ගෙදර යමු කියලා. පහුවදා උදේ අපි ආපහු ගෙවල් වලට එන්න පිටත් වුනා. හවස පහ වගේ වෙද්දී මම ගෙදර ආවා.
එදා ඉඳන් අද වෙන තුරුම අර ගෑනිටයි ලමයටයි මොකද වුනේ කියන එක අපිට ප්‍රහේලිකාවක් වගේ. ඒ ගෑනි යන්න පිටත් වෙද්දීම මම පස්සෙන් පැන්නුවා. ළමයෙකුත් වඩාගෙන මට මුණනොගැහි එච්චර වේගයකින් ගෑනියෙකුට ඒ මහ වැස්සේ පට්ට කළුවරේ කොහොමවත් යන්න බැරි බව නම් සහතිකයි. ඒ වෙච්චි සිද්ධිය අදටත් හිතාගන්න බෑ
. අපේ උන් ඇඟේ මයිල් කෙලින් වෙන හොල්මන් කතා කියන්නේ. ඔහොම කතා කිය කිය ඉන්නකොට එළියෙන් පොඩි ළමයෙක් අඬන සද්දයක් ඇහිලා අපි අන්ද මන්ද වුනා. යකෝ මේ මහ රෑ නාකපන වැස්සේ මේ වගේ පට්ට පාලු තැනකට පොඩි එකෙක් එන්නේ කොහොමද? එදා ඉඳන් අද වෙන තුරුම අර ගෑනිටයි ලමයටයි මොකද වුනේ කියන එක අපිට ප්‍රහේලිකාවක් වගේ. ඒ ගෑනි යන්න පිටත් වෙද්දීම මම පස්සෙන් පැන්නුවා. ළමයෙකුත් වඩාගෙන මට මුණනොගැහි එච්චර වේගයකින් ගෑනියෙකුට ඒ මහ වැස්සේ පට්ට කළුවරේ කොහොමවත් යන්න බැරි බව නම් සහතිකයි. ඒ වෙච්චි සිද්ධිය අදටත් හිතාගන්න බෑ

