අපේ ජීවිතේ යාළුකම්, හිතවත්කම් කියන්නේ හරිම වටිනා දෙයක්.
අද අපි කතා කරමු බැංකු ණයකට ඇපකරුවෙකු ලෙස අත්සන් කිරීමේදී ඔබ නොදන්න, නමුත් අනිවාර්යයෙන්ම දැනගත යුතු ගැඹුරු වගකීම් සහ එහි භයානක ප්‍රතිවිපාක ගැන.
ඇපකරුවෙක් යනු කවුද? - සරල පැහැදිලි කිරීමට එහා ගිය යථාර්ථය
සරලවම, ඇපකරුවෙක් යනු ණයගැතියා ණය නොගෙවුවහොත්, එම මුදල පොලියත් සමඟ ගෙවීමට බැංකුවට නීත්‍යානුකූලව පොරොන්දු වන පුද්ගලයායි. නමුත් බොහෝ දෙනෙක් නොදන්නා කාරණය නම්, ලංකාවේ බොහෝ බැංකු ඔබව අත්සන් කරවන්නේ "කොන්දේසි විරහිත ඇපයකට" (Unconditional Guarantee) වීමයි. මෙහි අර්ථය නම්, ණයගැතියා පළමු වාරිකය පැහැර හැරි සැණින්, ඔහුගෙන් මුදල් අයකර ගැනීමට උත්සාහ කිරීමටත් පෙර, සෘජුවම ඔබ වෙත පැමිණ මුළු ණය මුදලම ඉල්ලීමට බැංකුවට නීත්‍යානුකූලවම බලය තිබීමයි. 
ණය නොගෙව්වොත් ඔබට මුහුණදීමට සිදුවන දරුණු යථාර්ථය
ණය පැහැර හැරිය විට, එන්තරවාසි ලැබීමෙන් පසු 1990 අංක 2 දරණ ණය ආපසු අයකර ගැනීමේ (විශේෂ විධාන) පනත යටතේ නඩු පැවරීම සිදුවේ. මෙහිදී බැංකුවලට "පරාටේ විධානය" (Parate Execution) නම් ඉතා බලවත් නීතිමය අවියක් හිමිවේ. ඒ හරහා, ණයට ඇපයට තැබූ දේපළක් අධිකරණ ක්රියාමාර්ගයකින් තොරවම වෙන්දේසි කර මුදල් අයකර ගැනීමට බැංකුවට හැකියාව ඇත. ඇපකරුවෙකු ලෙස ඔබගේ දේපළක් ණයට ඇපකර නොතිබුණත්, නඩු තීන්දුවකින් පසු ඔබගේ දේපළද වෙන්දේසි කර මුදල් අයකර ගැනීමට ඔවුන්ට හැකිය.

ඇපයෙන් ඉවත් විය හැකිද?
වරක් ඇපකරුවෙකු ලෙස අත්සන් කළ පසු, එම ණය සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් වන තුරු ඔබට එයින් ඉවත් විය නොහැක. ණයගැතියා සමඟ ඔබගේ සබඳතාව බිඳී ගියත්, ඔහු රට හැර ගියත්, බැංකුව ඉදිරියේ ඔබගේ වගකීම එලෙසම පවතී. ඔබට ඇපයෙන් ඉවත් වීමට අවශ්‍ය නම්, බැංකුව පිළිගන්නා වෙනත් සුදුසු ඇපකරුවෙකු ණයගැතියා විසින් ඉදිරිපත් කළ යුතු අතර, එයට බැංකුවේ පූර්ණ අනුමැතිය හිමිවිය යුතුය. එය බොහෝවිට සිදු නොවන දෙයකි.
ඇපකරු මිය ගියහොත් කුමක් සිදුවේද?
මෙය බොහෝ දෙනෙක් නොසිතන නමුත්, වඩාත් භයානකම තත්ත්වයයි. ඇපකරුවෙකු මිය ගිය පමණින් ඔහුගේ වගකීම අවසන් වන්නේ නැත. එම ණය වගකීම ඔහුගේ/ඇයගේ බූදල් (Estate) වෙතට, එනම් උරුමක්කාරයන්ට (Heirs) පැවරේ. සරලවම කිවහොත්, ඔබ ඇප වූ ණයක් පැහැර හැරී ඇත්නම්, ඔබ මිය ගිය පසුත් එම ණය ගෙවීමේ වගකීම ඔබේ බිරිඳට/ස්වාමියාට හෝ දරුවන්ට පැවරේ. ඔවුන් සතු දේපළ විකුණා හෝ එම ණය ගෙවීමට ඔවුන්ට සිදුවීමට ඉඩ ඇත. ඔබ නොගත් ණයක් නිසා ඔබේ පවුලේ අනාගතයම අඳුරු විය හැකිය.
CRIB වාර්තාවේ නොකියවෙන කතාව
ඔබ ඇප වූ ණයක් පැහැර හැරුණු විට, ඔබේ CRIB වාර්තාවේ එය ඍණාත්මකව සටහන් වේ. මෙහිදී සටහන් වන්නේ "ණය නොගෙවූ බව" පමණක් නොවේ. දින 30, 60, 90 ආදී වශයෙන් ගෙවීම් ප්‍රමාද වූ දින ගණන, පැහැර හැරි වාරික සංඛ්‍යාව වැනි සියුම් තොරතුරු පවා සටහන් වේ. එම ණය පසුව ගෙවා අවසන් කළත්, "පැහැර හැර පසුව පියවූ ණයක්" ලෙස එය වසර ගණනාවක් යනතුරු ඔබේ වාර්තාවේ පැවතීමට ඉඩ ඇත. 
මෙහි ඔබට ඇපකරුවකු ලෙස සිදුවන අගතිදායී තත්ත්වය නම් ඔබගේ මූල්‍ය අවශ්‍යතාවයක් මත ණය මුදලක් ලබා ගැනීමට බැංකුවකට හෝ ණය දෙන ආයතනයකට ගියවිට, ඔබ අත්සන් කළ ණය ගැනුම්කරු විසින් සිදුකළ ණය පැහැර හැරීමක් මත ඔබට අවශ්‍ය ණය මුදල ලබාදීමට එම ණය දෙන ආයතනය විසින් ප්‍රතික්ෂේප කිරීමයි.

ඇපකරුගේ අයිතිවාසිකම්
මේ සියලු වගකීම් මැද, ඇපකරුවෙකුට යම් අයිතිවාසිකම් ප්‍රමාණයක්ද ඇත. ප්‍රධානම අයිතිය වන්නේ "ප්‍රත්‍යාදේශන අයිතිය" (Right of Subrogation) යි. මෙහි අර්ථය නම්, ඔබ ණයගැතියා වෙනුවෙන් බැංකුවේ ණය සම්පූර්ණයෙන්ම ගෙවා දැමූ පසු, ඔබට බැංකුවේ තැනට පත්වී, ඔබ ගෙවූ සම්පූර්ණ මුදල ණයගැතියාගෙන් අයකර ගැනීම සඳහා ඔහුට විරුද්ධව නඩු පැවරීමට නීත්‍යානුකූලවම හැකියාව ලැබීමයි. කෙසේ වෙතත්, මෙයද තවත් දීර්ඝ නීතිමය ක්‍රියාවලියකි.
අත්සන් කිරීමට පෙර ඔබ තහවුරු කරගත යුතුම දේවල්!
ඉහත කරුණු සලකා බලා, ඔබට යමෙකුට ඇප වීම අත්‍යවශ්‍යම නම්, පහත පියවර අනිවාර්යයෙන්ම අනුගමනය කරන්න.
මෙය "කොන්දේසි විරහිත ඇපයක්ද" යන්න නීතිඥයෙකු ලවා හෝ තහවුරු කරගන්න.
ඔබ බැංකුවට ඇප වන්නා සේම, ණයගැතියාගෙන් ඔබටත් නීත්‍යානුකූල ගිවිසුමක් ලබාගන්න. ඔබට මුදල් ගෙවීමට සිදුවුවහොත්, එය නැවත ඔබට ගෙවන බවටත්, ඒ සඳහා ඔහුගේ වත්කමක් ඇප ලෙස දක්වන බවටත් එම ගිවිසුමේ සඳහන් කරගන්න.
ඔහුගේ රැකියාව, ආදායම, වෙනත් වත්කම් ගැන ඔහු කියන දේ පමණක් නොව, ඔබට හැකි මට්ටමින් ඒ ගැන ස්වාධීනව සොයා බලන්න.
ණය වාරිකය ගෙවූ පසු රිසිට්පත ඔබට එවීමට එකඟ කරවා ගන්න.
ඔබ අත්සන් කළ සියලුම ලියවිලිවල සම්පූර්ණ පිටපත් කට්ටලයක් ඔබ සතුව තබාගන්න.
අවසාන වශයෙන්…
හිතවත්කමට උදව් කිරීම මනුෂ්‍ය ගතියකි. නමුත් ඔබගේ මුළු ජීවිත කාලයේ මහන්සියත්, ඔබේ පවුලේ අනාගතයත් පරදුවට තබන තීරණයක් නොදැනුවත්කම නිසා නොගන්න. ඉහත ආරක්ෂිත පියවර අනුගමනය කළ නොහැකි නම්, "මට සමාවෙන්න, මේ තරම් විශාල මූල්‍ය අවදානමක් ගන්න මට අමාරුයි" කියා මිත්රශීලීව නමුත් ස්ථිරව ප්‍රතික්ෂේප කිරීම, ඔබ ඔබටත් ඔබේ පවුලටත් කරන විශාලම සේවය වනු ඇත.
" කැප උනත් ඇප වෙන්න එපා!" කියලා අපේ පැරැන්නන්ගේ කියමනක් තියෙන්නේ නිකමට නෙවෙයි.