කුරුණෑගල ප්‍රදේශයේ පිරිවෙනක වැඩවසන හත් හැවිරිදි කුඩා සාමණේර හිමිනමකට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියකට අදාළව එම පිරිවෙනේම අධ්‍යාපනය ලබන තිස් හැවිරිදි හිමිනමක් කුරුණෑගල මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මගින් පසුගිය 20 වැනිදා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
රාත්‍රී කාලයේදී නිදාගෙන සිටියදී දුටු බියකරු සිහිනයක් හේතුවෙන් මෙම කුඩා හිමිනම කෑගසා ඇති අතර, එය පදනම් කරගනිමින් මෙම වධහිංසාව පමුණුවා ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
සිහිනයෙන් බියට පත් කුඩා හිමිනමට ක්‍රිකට් පිත්තකින් සහ කෝටුවකින් දැඩි සේ පහර දී ඇති සැකකාර හිමිවරුන්, ඉන් නොනැවතී උන්වහන්සේගේ පාද දෙකෙන් අල්ලා යකඩ ඇඳක ගසා ඇත. එතරම් කෲර වධහිංසාවක් සිදුකිරීමෙන් අනතුරුව, වතුර බාල්දියක් ගෙනැවිත් සාමණේර හිමිනම නහවා ඇති බවද පොලිසිය පවසයි.
පසුව, පසුදින පහන් වන තුරුම තෙත බරිත වූ අඳනකඩය පිටින්ම දැඩි සීතලේ ගැහෙමින් නිදාගැනීමට එම කුඩා හිමිනමට බලකර ඇති අතර, එම සීතල සහ තෙතමනය හේතුවෙන් උන්වහන්සේට මුළු රාත්‍රිය පුරාම නින්ද ගොස් නොමැති බවද වැඩිදුරටත් තොරතුරු හෙළි වී තිබේ.
මෙම අමානුෂික සිදුවීමේ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන විසිහය හැවිරිදි අනෙක් හිමිනම සිද්ධියෙන් පසු මිහින්තලය ප්‍රදේශයට පලාගොස් සැඟව සිට ඇත. කෙසේ වෙතත්, කුරුණෑගල මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරීක්ෂිකා ශාන්ති පුෂ්පලතා මහත්මියට ලැබුණු තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ මිහින්තලය පොලිසිය මගින් මීට පෙර එම ප්‍රධාන සැකකරුද අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුව මේ මස 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
sirawata..man hithan hitiye podi unuth eke kiyala.